බූරුවෝ හා මිනිස්සු

66
දෑස් පෙනෙන අන්ධයෝ
May 8, 2017
559+89+8
මීලග පියවර…
May 8, 2017
Show all

බූරුවෝ හා මිනිස්සු

222244444445

රාජ්‍ය සේවකයන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව පසුගිය සතියේ සීමා නීර්ණ කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා සිදු කළ හෙළිදරව්ව කිසියම් ආන්දෝලනයක් ඇති කර තිබේ. එයට උදාහරණ ලෙස ඇමතිවරුන් සිය නිලධාරීන්ට ආමන්ත‍්‍රණය කරන ස්වරූපය ඔවුන්ගේම අත්දැකීම් ඇසුරෙන් ඔහු ගෙන හැර දැක්වූයේය. ප‍්‍රධාන පෙළේ නිලධාරීන්ට පවා බූරුවන්, වැඳිරියන් ආදී ලෙස අමතන බව ඔහු පැවසීය. වසර 38ක් රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති, එසේම විවිධ වර්ගයේ ආයතනවල සේවය කළ පුද්ගලයකු ලෙස ඔහු පවසන මේ කතාව අපේ සමාජ ඛේදවාචකයේම තවත් එක් පැතිකඩකි. කිසියම් ආයතනයක නිලධාරීන් හා සේවකයන් බූරුවන්, වැඳිරියන්, බල්ලන්, පූසන් යයි සිතන මැති ඇමතිවරුන් තමන්ට මෙම වරප‍්‍රසාද ලැබුණේ කුමකට දැයි හඳුනන්නේ නැත. එවැනි අපහාස, පරිභව, නින්දාවන් විඳිමින් තමන්ගේ වෘත්්තිය හෝ සේවාව සිදු කළ හැකි ද? තිරිසන් සතුන්ට මිනිසාට මෙන් විඥානයක් නොමැති නිසා එසේ කළ හැකිය. එහෙත්, මිනිසුන්ට නම් එසේ කළ නොහැකිය. තම නිලධාරීන් හා සේවකයන් රෝබෝවරුන් හෝ වහලූන් ලෙස සලකන මෙම මනෝභාවය වැඩවසම් සම්ප‍්‍රදායට අයත් වූවකි. ‘ලොක්කා හිටගෙන කරන විට පොඩි එවුන් දුව දුව කරන්නේ යැ’යි ජනවහරේ කියමනක් තිබේ. ඒ නිසා ඉහළින් දෙන ආදර්ශය ඒ ලෙසටම පහළ නිලධාරීන් හා සේවකයන් පිට ද පැටවේ. අනෙක් අතට ඇමතිවරුන්ගේ ‘රෙස්පෙක්ට්’වලින් නිලධාරීන් පීඩනයට පත් කරන විට එම නිලධාරීහු ද ඔවුන්ගේ පහළ නිලධාරීන් හා සේවකයන් මත එය පටවති. මෙය අද රාජ්‍ය සේවය පුරාම ඔඩු දුවා ඇති කනගාටුුදායක තත්ත්වයකි. හමුදා, පොලිස් වැනි සේවාවන්වල මෙම තත්ත්වයන් ඉතාම උග‍්‍රය. පළාත් පාලන ආයතන, ගුරු සේවය, සංස්ථා, මණ්ඩල ආදියේ ද තත්ත්වය වෙනස් නොවේ. ඇතැම් තැන්වල ලිංගික හිංසනයන් මට්ටමටම ඒවා වර්ධනය වී තිබේ. මේ පිළිබඳ කතාබහ කරද්දී පසුගිය රාජපක්ෂ පාලනය සමය පිළිබඳ සිහිපත් වීම වැළැක්විය නොහැකිය. එක් අවස්ථාවක මර්වින් සිල්වා ඇමතිවරයා රාජපක්ෂ පවුලේ උෂ්ණයෙන් පිම්බී කළ කටයුතු ඉතිහාසගත වී තිබේ. රාජ්‍ය සේ්වකයෙකු මහදවාලේ ගසක බඳිනු ලැබුවේ දෙනෝදාහක් බලා සිටියදීය. රාජ්‍ය ත‍්‍රස්තවාදයේ බලය කෙතරම්ද යත් අවසානයේ තමා කැමැත්තෙන්ම ගසට තබා බැඳගත් බව ඔහු කීය. එසේම රූපවාහිනී සංස්ථාවට පැන සේවකයන්ට හිංසා කිරීමට පැමිණ යකා නැටූ අන්දමත් ඉන්පසු මාස ගණනක් යන තුරු දැලිපිහිවලින් කපමින් සේවක සේවිකාවන්ට හිංසා කළ අයුරුත් කිසිවෙකුට අමතක නැත. දැන් පන්සල් ගානේ මල් වට්ටිගෙන ඇවිදින මහින්ද රාජපක්ෂ මහතා එකල ඒවාට සිය පවුල් බලයේ හස්තයේ රැුකවරණය සැලසුවේය. එසේම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාට ආර්ථික වර්ධනය ගැන ව්‍යාජ තොරතුරු සැකසීමට රාජපක්ෂලාගේ දේශපාලන අධිකාරීය බල කළ විට හෘදසාක්ෂියට අනුව එසේ කළ නොහැකි බව කියා ඉල්ලා අස්විය. එහෙත්, තනතුරු හා වරප‍්‍රසාද අහිමි වීමට බියෙන් තව කොතෙක් දෙනෙක් රටම අනතුරේ හෙළන කොතරම් දේවල් කරන්නට ඇත්ද? පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා දූෂණ විමර්ශනයේ දී එක්තරා අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු ප‍්‍රකාශ කර තිබුණේ තමන් වැරදිකරුවන් නොවන බවත්, තමන් එම වැරදි කළේ රාජපක්ෂවරුන්ගේ බලකිරීම් නිසා බවත්ය. එසේම එකල බස්නාහිර පළාත් මහ ඇමතිවරයා වූ ප‍්‍රසන්න රණතුංග පළාත් සභාවේ ඉහළ නිලධාරියෙකු මහ ඇමතිවරයාගේ කිසියම් අයථා කටයුත්තක් සඳහා වූ ලිපියක අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව ගෙන්වා අමු තිත්ත කුණුහරුප භාෂාවෙන් බැනවදින හඬ පටයක් සමාජ ජාල තුළ මීට වසර දෙකකට පෙර සැරිසැරූ අන්දමද එය ඇසූ කිසිවෙකුටත් අමතක විය නොහැක. සැබැවින්ම පසුගිය රාජපක්ෂ පාලනය ජනතාව ප‍්‍රතික්ෂේප කළේ එකී වැඩවසම්, රාජපක්ෂ සම්ප‍්‍රදායෙන් රට නිදහස් කර ගැනීමේ අරමුණද සහිතවය. යහපාලනය ඇති කර ගැනීමේ අරමුණෙනි. නමුත් මේ සිදුවන දේවලින් එකී සම්ප‍්‍රදායේ වෙනසක් වූ බවක් නොපෙන්වයි. අශෝක පීරිස් මහතාගේම වචනවලින් කියන්නේ නම් රට පත්ව ඇත්තේ මහත් බියජනක, අනතුරුදායක තත්ත්වයකටය. එනම් පැයට කිලෝමීටර් 100-200ක පමණ වේගයෙන් බර වාහනයක් පාරේ එමින් තිබේ. ඉදිරියේ පාර මැද මිනිසුන් පිරී සිටියි. කර කියා ගත හැකි කිසිවක් නැති රියැදුරා සිය දෑතින් දෑස් වසා ගනියි. අශෝක පීරිස් මහතා පවසන්නේ අපේ රට පත්ව ඇත්තේ එවන් තත්ත්වයකට බවයි. බූරුවන් හා වැඳිරියන් ලෙස තම නිලධාරීන් දකින මැති ඇමතිවරුන් විසින් පාලනය කරනු ලබන රටකට එවන් ඉරණමක් අත් වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් පුදුම වන්නේ ‘බූරුවා’ කී පමණින් ‘බූරුවන්’ වීමට සූදානම් මිනිසුන් සිටීමය. .