විද්‍යා ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම – ලලිත් ජයසිංහ පසුපස විජයකලා

ප්‍රබල චරපුරුෂයන් යොදා ඉන්දියාවෙන් මෙහෙයුමක් 
August 10, 2017
aaac
බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය
August 28, 2017
Show all

විද්‍යා ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම – ලලිත් ජයසිංහ පසුපස විජයකලා

aaac

 


දැන් රටේ නීතියක් තිඛෙන්නේ දැයි කිසිවෙකුට සිතා ගැනීමට නොහැකි වී තිබේ. එක එකා තම තමන්ගේ ගෝලබාලයන් බේරා ගැනීමට නීතිය අල්ලේ නටවමින් සිටී. එළිපිට පැහැර ගැනීම් සිදු වේ. මැරයෝ පොලිසියට වෙඩි තබති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාට අනුව ඒ වෙඩි තැබීම අහම්ඛෙන් සිදු වූවකි. ඒ ගැන ඒ තරම් කලබල විය යුතු නැත. කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කර ගැනීමේ න්‍යායට අනුව පරීක්ෂණ වාර්තා අවසන් වන්නටත් පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සියල්ල සාධනය කර අවසන් කරන්නේ යටගැසිය යුතු යමක් එහි තිඛෙන නිසාය.
2015 මැයි 13 වනදා සිවලෝගනාදන් විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කිරීම මුළු මහත් ලාංකේය සමාජයම සසල කළ සිදුවීමක් විය. එකී අපරාධකරුවන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව අපරාධකරුවන්ට උපකාර කරන්නට ඉදිරිපත් වී ඇති සංවිධාන ජාලය ද සුළුපටු නොවන බව දැන් හෙළි වෙමින් තිඛෙන කරුණු අනුව පැහැදිලි වේ.
මෙම නින්දිත අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාව යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශවාසීන් විසින් කොටු කරගෙන තිබියදී ඔහුව පොලිස් භාරයට ගෙන, ඔහුට පළා යන්නට ඉඩ සලසා දී තිබුණේ එවකට යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහ විසිනි. ලලිත් ජයසිංහ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය තමිල්මාරන් මීට සම්බන්ධ වූ ආකාරය දැන් හෙළිදරව් වී අවසන්ය.
මහාචාර්ය තමිල්මාරන් මීට පැටලෙන්නේ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් නිසාය. ලලිත් ජයසිංහ යනු මහාචාර්ය තමිල්මාරන්ගේ ගෝලයෙකි. මහාචාර්ය තමිල්මාරන් ඊළඟ මැතිවරණයකදී කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශය සඳහා තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටියේය. සශීකුමාර් යනු පුංකුඩුතිව් ප්‍රදේශයේ ජාවාරම්කාරයෙකි, ගේම්කාරයෙකි. ඡන්දයකට යන විට තමිල්මාරන්ට ඔහුගේ උදවු වුවමනාය.
විජයකලා මහේෂ්වරන් හිටපු යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ බිරිඳයි. ටී. මහේෂ්වරන් ජීවතුන් අතර සිටින තාක් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය දරන අතරම එක් පසෙකින් මහින්ද රාජපක්ෂ සමග ඩීල් දමමින් සහ අනෙත් පසෙන් එල්.ටී.ටී.ඊ.යට කප්පම් ගෙවමින් උතුරු පළාතේ වෙළෙඳ ඒකාධිකාරයක් පිහිටුවා ගැනීමයි. මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මරණයට පත් වන්නේ ද මෙකී කප්පම් ගැටලූවක් නිසා බව කියවේ. මහේශ්වරන්ගේ මරණයෙන් පසුව මෙම වෙළෙඳ අධිරාජ්‍යය වෙනුවෙන් ඉදිරියට එන්නේ විජයකලා සහ මහේශ්වරන්ගේ බාල සොයුරු ත්‍යාගරාජා තුවාරකේශ්වරන්ය. ඔවුන් දෙදෙනා දෙපසකින් සටන් වදින්නේ මේ වෙළෙඳ අධිරාජ්‍යය ඛෙදා ගැනීම වෙනුවෙන්ය. රාජපක්ෂලා බලයේ සිටින තාක් ඔවුන් සමග ඩීල් දැමූ විජයකලා සහ තුවාරකේශ්වරන් දැන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සෙවණෙහිය. රාජපක්ෂලා අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමුණත්, මහේෂ්වරන් පවුලේ නෑනා මස්සිනාලා තවමත් අරලියගහ මන්දිරයට රිංගති. එසේ ඉහළින් ලබා ගන්නා දේශපාලන හයියෙන් බිම් මට්ටමේ ජාවාරම්කාරයන්, චණ්ඩින් පෝෂණය කරති. ස්විස් කුමාර් ද මේ අයගෙන් කෙනෙකි.
ලලිත් ජයසිංහ විසින් මහාචාර්ය තමිල්මාරන්ගේ ඉල්ලීම අනුව නිදහස් කරනු ලැබූ ස්විස් කුමාර් කොළඹට රැගෙන විත් ඇත්තේ ද ත්‍යාගරාජා තුවාරකේශ්වරන් විසින් බවද දැන් හෙළි වෙමින් තිබේ. මෙයද දේශපාලන බලය සහ ජාවාරම් බැඳී ඇති තරම මනාව පෙන්නුම් කරයි. විජයකලා සහ තුවාරකේශ්වරන් දෙදෙනා අතර සතුරුකමක් තිබුණ ද, ජාවාරම්කරුවකු වන ස්විස් කුමාර්ට මේ දෙදෙනාගේම සහාය හිමිය. තුවාරකේශ්වරන්ගේ උදවු එතනින් ද නතර වී නොමැත. විද්‍යා ඝාතන නඩුවේ අගතියට පත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටින්නේ නීතිඥ කේ. වී. තවරාසාය. නීතිඥ තවරාසාව නඩුවට සම්බන්ධ කර නොගන්නා මෙන් විද්‍යාගේ පවුලේ සාමාජිකයන්ට තුවාරකේශ්වරන් විසින් තර්ජනය කර තිබේ.
නීතියෙහි එක් සිද්ධාන්තයක් තිබේ. මෙය අපරාධ නඩුවලදී භාවිතා කෙරෙන්නකි. සැකකරු අපරාධය සිදු වන අවස්ථාවේදී වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීම මෙහිදී සිදු වේ. ස්විස් කුමාර් මීට ද සූදානම්ව සිට ඇත. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කෙරුණේ 2015 මැයි 13 වනදාය. ස්විස් කුමාර් විසින් වැල්ලවත්තේ ලැගුම් හලක් මැයි 12, 13, 14, 15 යන දින සඳහා කලින්ම වෙන් කර මුදල් ගෙවා එහි රිසිට්පත්ද ලබාගෙන තිබිණි. ඔහුගේ උත්සාහය වී තිබුණේ තමා එදින වැල්ලවත්තේ සිටි බව අධිකරණයට ඔප්පු කිරීමය. එහෙත්, ලැගුම්හලෙහි හිමිකරු සාක්ෂි දෙමින් ස්විස් කුමාර් 12, 13 දෙදින තුළ ලැගුම් හලෙහි නොසිටි බවත්, ඔහු ලැගුම් හලට පැමිණියේ 14 වනදා බවත් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත්, මින් පැහැදිලි වන්නේ ස්විස් කුමාර් නම් ජාවාරම්කරුවා මෙම අපරාධය සඳහා කොතෙක් දුරට සංවිධානය වී සිටියේද යන්නය. එමෙන්ම ඔහුව විජයකලා සහ තුවාරකේශ්වරන් වැන්නන්ට මෙතරම් වටින්නේ ද මේ සංවිධානාත්මක බව නිසාමය.
මෙයින් හෙළි වන තවත් කරුණක් වන්නේ යාපනය ප්‍රදේශයේ දැනට පවතින පාතාල පන්නයේ සංස්කෘතියයි. මෙහි කූටප්‍රාප්තියක් වූයේ පසුගියදා විද්‍යා ඝාතන නඩුවේම විනිසුරුවරයකු වෙත යාපනය නල්ලූර්හිදී එල්ල වුණු වෙඩි ප්‍රහාරයයි. යාපනය ප්‍රදේශය අද හන්දි ගානේ ඉන්නා චණ්ඩින්ගේ සැණකෙළි බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ඔවුන්ට රැකවරණ සපයන්නේ දේශපාලන බලාධිකාරියයි. විජයකලා මහේෂ්වරන් සහ තුවාරකේශ්වරන් අතර ද බලය වෙනුවෙන් ගැටුම් තිබේ. එහෙත් දෙදෙනාම විද්‍යා ඝාතනයේ මහමොළකරු මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබේ. මින් පෙන්නුම් කෙරෙන්නේ බලය ඇති උදවිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය චණ්ඩින්ට, ජාවාරම්කරුවන්ට අල්ලස් දීමේ, නඩත්තු කිරීමේ නින්දිත ස්වරූපයයි.
ටී. මහේශ්වරන් ජීවත්ව සිටියදී ඔහුගේ වෙළෙඳ අධිරාජ්‍යය සතුව ජාවාරම් රාශියක් තිබිණි. අද ඒවායේ උරුමකරුවන් වී සිටින්නේ විජයකලා සහ තුවාරකේශ්වරන්ය. දැනට අත්අඩංගුවෙහි පසුවන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද සම්බන්ධ ඕස්ටේ්‍රලියාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ගෙන ගිය මිනිස් ජාවාරමෙහි ද ඉහළින්ම විජයකලා මහේශ්වරන්ගේ නම සඳහන්ය. මෙම ජාවාරම් ජාලයෙහි කෙළවරක ස්විස් කුමාර් ද සාමාජිකයෙකි. විද්‍යා ඝාතනය හරහා අපට කියවා ගැනීමට හැකි වන්නේ මෙකී නින්දිත, ජඩ ජාවාරම් ජාලය කොතෙක් පුළුල් ද, කොතෙක් බලවත් ද යන්නයි.
විජයකලා මහේෂ්වරන්ලා පමණක් නොව පසුගිය ආණ්ඩුවේ කෙරුවාවල් ද මේ සමග පැටලී තිබේ. ඒ නිසා එකෙක් බේරන විට තව එකෙක් පැටලීම වැළැක්විය නොහැකිය. රිමාන්ඩ් බත් කන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව, රට පටලවන බොරුවක් ගොතා බේරා ගැනීම සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයෙකු ඉදිරිපත් වී සිටීම විසින් සියල්ල අවුල් ජාලයක් බවට පත් වෙමින් තිබේ.
නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස පෙනී සිටින මේ ඊනියා නීතිවේදියා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සියලූ කුණු සේදීමට ඉදිරිපත් වී සිටි අයෙකි. ලලිත් ජයසිංහ ද, අතකොටා, චොකා මල්ලී ඇතුළු පසුගිය ආණ්ඩුවේ හෙංචයියන් වෙනුවෙන් නීතිය යටගැසීමට කටයුතු කර ඇති බවට තොරතුරු දැන් අනාවරණය වී තිබේ. එක ජාතියේ සතුන් එකට ලගිනවා සේ ලලිත් ජයසිංහ මේ නීතිවේදියා යනු එකට බෝතලේ හිස් කරන ගජයෝ වෙති. එබැවින්, පසුගිය 17 වෙනිදා අනුරාධපුර සිරමැදිරියට ගොස් ලලිත් ජයසිංහ හමු වූ මොහු සිය ගජයා නිදහස් කර ගැනීම සඳහා ගැටයක් ගසා ඇත.
සී.අයි.ඩී.ය විසින් අත්අඩංගුවට ගත් ලලිත් ජයසිංහව කයිට්ස් අධිකරණය කරා ගෙන යද්දී ඔහු රැගෙන ගිය ඛෙන්ස් රථය අතරමගදී රිය අනතුරකට ලක් විය. මෙම සිද්ධිය පාදක කරගෙන සී.අයි.ඩී.ය විසින් ලලිත් ජයසිංහව මරා දැමීමට කුමන්ත්‍රණය කළා යැයි ව්‍යාජ පැමිණිල්ලක් සකස් කිරීමට මොහු උපදෙස් දී තිබේ. එමගින් සී.අයි.ඩී.යත් පොලිස්පතිවරයාත් බියපත් කළ හැකි යැයි ලලිත් ජයසිංහට වැඩි දුරටත් උපදෙස් ලැබී ඇත.
මෙම උපදේශය කන වැකෙනවාත් සමග ලලිත් ජයසිංහ පවසා ඇත්තේ ඊට තවත් හේතුවක් එකතු කළ හැකි බවයි. එනම් ලලිත් ජයසිංහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු වූ සිද්ධියකි. ලලිත් ජයසිංහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 25 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කෙළේය. එහිදී මොහු විද්‍යා සිද්ධියට සම්බන්ධ නිසා යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් කළහොත්, ජීවිතයට අනතුරක් වෙතැයි කියා අනුරාධපුර බන්ධනාගාරයට යොමු කරන ලෙස ඔහුගේ නීතිඥයෝ අධිකරණයෙන් සහනයක් ඉල්ලා සිටියහ. විනිසුරුවරයා ඊට අනුමැතිය දුන්නේය. පසුව ලලිත් ජයසිංහවත් රැගෙන බන්ධනාගාර රියකින් අනුරාධපුරය බලා යද්දී අතරමගදී දැක තිඛෙන්නේ අදාළ බන්ධනාගාර මාරු කිරීමේ නියෝගයට විනිසුරුවරයාගේ අත්සන තබා නැති බවයි. ඉන්පසු ලලිත් ජයසිංහවත් රැගෙන වාහනය යළි හරවා ගත් නිලධාරීහු යළි කයිට්ස් බලා පැමිණ අදාළ අත්සන ලබාගෙන අනුරාධපුරය බලා නැවත පිටත්ව තිබේ.
මෙම සිද්ධියද තමාව අතරමගදී ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයේ කොටසක් ලෙස හුවාදැක්විය හැකි යැයි ලලිත් ජයසිංහ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයාට පවසා ඇත. මේ අනුව ලලිත් ජයසිංහ කරන ලද බරපතළ වරද පසෙක තබා ලලිත් ජයසිංහ ඝාතන කුමන්ත්‍රණ නාඩගමක් ඉදිරියට ගැනීමට ඉහත කී නීතිවේදියා ප්‍රමුඛ කණ්ඩායමක් කටයුතු කරගෙන යයි. මේ පිළිබඳව පොලිස්පතිවරයාට නිල වශයෙන් පැමිණිල්ලක් කිරීමටත්, ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් සූදානම් කර තිබේ.
කලක් මානව හිමිකම් කොමිසමේ සභාපතිකම දැරූ අයෙකු අද අසරණ දැරියකගේ ඝාතකයාට උදවු කළ ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටීමත්, 18 හැවිරිදි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට කුරිරු ලෙස වධහිංසා පමුණුවා මරා දැමීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරුවා මුදා ගැනීම වෙනුවෙන් රටේ දැනට ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන්නියත් කටයුතු කරන රටක ළමයින්ගේ ආරක්ෂාව ගැන තවත් කතා කළ යුතු නැත.