ඉන්දු ඇමෙරිකා සහයෝගය තුළ සැඟවුණු ගිනි පුපුරු

Untitled-1
යහපාලන සංදර්ශනය
August 28, 2017
venizulla
වෙනිසියුලාව නව ව්‍යවස්ථාවේ වැඩ අරඹයි
August 28, 2017
Show all

ඉන්දු ඇමෙරිකා සහයෝගය තුළ සැඟවුණු ගිනි පුපුරු

diyatha

1947 අගෝස්තු 15දා, දකුණු ආසියාවේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයෝ, ජවහර්ලාල් නේරු සහ මහත්මා ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත වූ ඉන්දියානු ජාතික සංගමයේ ස්වාධීන ඉන්දියානු ආණ්ඩුවකට බලය පවරා දුන්හ. නිදහස ලබා දීමට පෙර ඉන්දියාවේ අවසන් බි්‍රතාන්‍ය ආණ්ඩුකරයා වූ, මවුන්ට්බැටන් සාමි, කරච්චියේ මුස්ලිම් ලීගයේ සභාපති එම්.ඒ. ජින්නා සමග එක්ව පකිස්ථානය මුස්ලිම් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. පකිස්ථානය බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වයඹ දිග සහ ඊසාන දිග මුස්ලිම් බහුතරයක් ජීවත් වූ ප්‍රදේශයෙන් කපා වෙන්කරන ලද අතර, එමගින් නව ඉන්දියාව හින්දු රාජ්‍යක් බවට පරිවර්තනය කරන ලදී.
ඉන්දියාව ජනවාර්ගික පදනමක ඛෙදාලීම 20වන සියවසේ මහත් අපරාධයන්ගෙන් එකක් විය. ඉන්දියාව ඛෙදීම මගින් පැන නංවන ලද බිහිසුණු ජනවාර්ගික ප්‍රචණ්ඩය මිලියන දෙකක් පමණ හින්දුන්, මුස්ලිමුන් සහ සික්වරුන් මරා දමන ලද අතර මානව ඉතිහාසයේ මහා ජන සංක්‍රමණයන් ගෙන් එකක් සිදු කළේය.
එසේම ඛෙදීම සිදුකෙරුණේ දකුණු ආසියාවේ භූගෝලය, ඉතිහාසය, සංස්කෘතියට හා ජල සම්පත් යුක්ති සහගතව පාවිච්චි කිරීමද ඇතුලූ ආර්ථීක වර්ධනයේ තර්කනයටද විරුද්ධවය. පකිස්ථානයේ මෙන්ම නමට පමණක් අනාගමික වූ ඉන්දියාවේ ද පාලකයන් විසින්, සමාජ කෝපය වර්ධනය වන දිසාවකට යොමු කිරීම සඳහා ද, පීඩිත පන්තිය භේද කිරීම සඳහා ආගමික මූලධර්මවාදයද, කුලවාදයද පැතිිරවීය. ඉන්දියාව සහ පකිස්ථානය අතර පරස්පරයන් යුද්ධ හා දේශපාලනික ගැටුමකට පණ පෙවීය. ගත වූ දශක හත පුරා, ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට ප්‍රකාශිත යුද්ධ තුනක් ද අප්‍රකාශිත යුද්ධ ගණනාවක් ද කර ඇති අතර, යුද අර්බුද මාලාවක් තුළින් ගමන්කරමින් සිටියි.
බි්‍රතාන්‍යයන් ඛෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළේය. තම අධිරාජ්‍ය පාලනය තුළට ජනවාර්ගික, ඛෙදුම්වාදී උපායන් යොදාගත්තේය. එසේම මුස්ලිම් ලීගය බි්‍රතාන්‍ය සමග කුමන්ත්‍රණය කළේය. කොන්ග්‍රසයට ඉන්දීය අධිරාජ්‍යවාදයේ උත්සාහයන් පිළිබඳ දියුණු දැක්මක් තිබුණේ නැත. ගාන්ධිගේ නායකත්වය යටතේ, කොන්ග්‍රසය, 1920 සිට 1942 දක්වා දියත් කළේ දේශපාලනිකව නිරායුද කර දැඩිව පාලනය කෙරුණු ජන විරෝධතා පමණි. නමුත් ඉන්දීය පීඩිතයන් එරට ප්‍රගතිශීලී බලවේග සමග එක්ව ස්වරාජ්‍ය දිනා ගැනීමට නිසි සටන් මාර්ගයට පිවිසෙන විට කොන්ග්‍රසය වඩාත් ඕනෑකමින් අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් පැතුවේය. විශේෂයෙන්ම 1942 ‘ක්විට් ඉන්ඩියා’ ව්‍යාපාරයෙන් කොන්ග්‍රසය භීතියට පත් වූහ. 1945 සහ 1947 දක්වා කාලපරිච්ඡේදයේදී ඉන්දියාව පූර්ව විප්ලවවාදී ස්වරූපයක අරගලයන්ගෙන් ඇලලී ගියේය. මහා වැඩවර්ජන, කල්කටාවේ සහ බොම්බායේ වැඩකරන ජනතා බිම් තුළින් පොලිසිය සහ හමුදාවට එරෙහි සෘජු ගැටුම් සහ රාජකීය ඉන්දියානු භටයන්ගේ කැරැල්ලක් ඇතුලූ අධිරාජ්‍ය විරෝධි අරගල මාලාවකින් ඉන්දියාව සෙලවී ගියේය.
ජනතාව මෙසේ ඉදිරියට පැමිණියත් කොන්ග්‍රස් නායකයෝ පෙළඹුනේ යටත් විජිත රාජ්‍යයේ පාලනය සියතට ගැනීමට පමණි.
එම අරමුණ ඇතිව ඔවුහු බි්‍රතාන්‍යයන් සමග සම්මුතියකට ඉදිරිපත් වූහ. බි්‍රතාන්‍යයෝ දකුණු ආසියාව තුළ සෘජු අධිරාජ්‍ය පාලනයේ සිට වක්‍ර අධිරාජ්‍ය පාලනය කරා මාරු වීමේ අවශ්‍යතාවය වටහා ගත්තෝය. එහෙත්, ජාතිවාදී උගුල යොදාගැනීමට ඔහු උනන්දු වූහ. ඒ සඳහා ඛෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කරන්නට තම මුස්ලිම් ධනේශ්වර හා ඉඩම්හිමි අනුග්‍රාහකයන් පෙළඹවූහ.
1947 අගෝස්තු මාසයට පෙර දශක තුනක් තිස්සේ දකුණු ආසියාව සෙල වූ මහා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය මත සිය පාලනය තහවුරු කිරීමට කොන්ග්‍රස් නායකයෝ ඇතුළු හැකි සෑම දෙයක්ම කළහ. එම පාවාදීම් අතර බි්‍රතාන්‍ය මිත්‍ර කඳවුරේ යුද ප්‍රයත්නයට බාධාකරා යයි කියමින් 1942 ක්විට් ඉන්ඩියා ව්‍යාපාරය මර්දනය කිරීමට බි්‍රතාන්‍ය, ඉන්දියානු පාලන අධිකාරීන්ට ආධාර කිරීම සහ මුස්ලිම් ලීගය ඉදිරිපත් කළ වෙනම පකිස්ථානයක් උදෙසා ප්‍රතිගාමී ඉල්ලීමට සහය දීම ඇතුළත් වේ.
පකිස්ථානය ඉන්දියාවෙන් වෙන් කළද පකිස්ථාන ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට එරට පාලකයන් සමත් වූයේ නැත. එසේම බලයට පත් ඉන්දීය පාලකයන්ටද තම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් ලැබුණේ නැත. පසුගිය කාලය පුරාවටම ඉතා අඩු මුදලකට ශ්‍රමය සපයන්නන් ලෝකය පුරා ඉන්දීය පාලකයන් විසිින් ඛෙදා හරිනු ලබූවත් ධනපතියන් බවට පත් වීමට හැකි වී ඇත්තේ ඉන්දියාවෙන් ඉතා කුඩා පිරිසකටය.
වර්තමානය වන විට එය යම් තරමකට වෙනස් වී තිබේ. ඒ ලෝකයේ තෙවැනි බලවත් රාජ්‍යයක් බවට ඉන්දියාව පත් වී තිබීමෙනි. බිලියන පතියන්, කෝටි පතියන්ගෙන් සැදුම්ලත් වත්මන් ඉන්දියාව මහා ඉහළින් සිය රටේ ආර්ථීක, දේශපාලනික, යුදමය වර්ධනයන් ගැන කතා කෙරුවත්, බිලියන 1.3ක් වෙසෙන ඉන්දියාවේ හතරෙන් තුනකටවත් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකි වී ඇත්තේය. ඒ ඔවුන්ගේ දවසේ ආදායම ඩොලර් දෙකකටත් වඩා අඩු වීම නිසාය.
මේ සඳහා බලපා ඇත්තේ නරේන්ද්‍ර මෝඩි ඇතුලූ එරට පාලක පැලැන්තියේ ඇමෙරිකානු ගැතිභාවයයි. ට්‍රම්ප් විසින් ඇමෙරිකානු පාලනයේ මෘගත්වය ලෝකයට මුදාහරිනවා සේම එයට නොදෙවෙනි ආකාරයට ඉන්දියාවද කලාපය තුළ ඇමෙරිකානු ආභාෂය ලබමින් සිය මෘගත්වයන් විදහා පායි. එසේම ආයෝජකයන්ට හිතකර ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම මගින් සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පිටුපස ඉන්දියාව පෙළ ගැස්සවීම මගින් මෝඩි බාරගෙන ඇත්තේ ඉන්දියානු ධනපති පන්තියට තවදුරටත් ඉහළ නැගීම හා මහා බලවතෙකු බවට පත් වීම සඳහා ඇති වුවමනාවය.
ඉන්දියව විසින් ගෙන යනු ලබන ඇමෙරිකානු ගැතිභාවයේ උපරිමය මේ වන විට පෙනෙන්නේ චීනය හා ඉන්දියාව අතර ඇති දේශ සීමා අර්බුදයෙනි. ඇමෙරිකාව විසින් ගෙන යනු ලබන චීන විරෝධී ක්‍රියාපිළිවෙතට සහාය දෙමින් මෙම දේශසීමා ගැටුම දිගින් දිගටම ගෙන යන්නේ හිමාලය ආශ්‍රිතව විශාල ඉන්දීය හමුදා බලඇණියක් යොදවමිනි. චීනය ලොව අංක එකේ බලවත් රාජ්‍යයන්ගෙන් එකක් වන අතර, ඔවුන් සිය බලය සීඝ්‍රයෙන් තම රට තුළත් ලෝකයේ පුරාවටත් ඉතා සාමකාමීව ගෙන යනු ලබයි. මේ සඳහා ඔවුන් වෙළඳපොළ භාවිතා කරන අතර ආසියාතික කලාපය තුළ චීනය මේ වන විට වෙළඳපොළ අත්පත් කර ගැනීමට දස්කම් දක්වා ඇත.
මේ හේතුවෙන් කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නයක ඉන්දියාව සිටින අතර, එයට විසඳුම් ලෙස ඉන්දියාව ඇමෙරිකාව දෙසට හැරී ඇත. උතුරු කොරියානු අර්බුදයට ඉන්දියාව සහාය දක්වන්නේද එම පරමාර්ථයෙනි. එහිදී ඇමෙරිකාව ගනු ලබන තීන්දු කිසිදු පැකිලීමකින් තොරව ඉන්දියාව පිළිගනියි. නමුත් උතුරු කොරියාවත්, චීනයත් යන රටවල් දෙකම ආසියාතික රටවල් වන අතර ඉන්දියාව සිය කලාපයට නෑකම් කියන රටවල් විරසක කරගනිමින් මෝදි ඇතුලූ ඉන්දීය පාලකයන් ගෙන යනු ලබන වැඩපිළිවෙළින් ඉන්දියාවටම පාඩු සිදුවෙයි. ඇමෙරිකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් අත්සන් කරමින් න්‍යෂ්ටික වැඩසටහන් විටින් විට ක්‍රියාත්මක කිරීම තුළ අනිකුත් ආසියාතික බලවත් රාජ්‍යයන් ඊට පෙර සූදානම් සිදු කිරීමද නොපැකිලව සිදු කරනු ඇත. එබැවින් මෙසේ ගෙන යනු ලබන ඇමෙරිකානු ගැතිකමින් තව තවත් ඉන්දියාව අනතුරට පත් කරයි.
දශක ගණනාවක් පුරා පකිස්ථානය එක්සත් ජනපදයේ ආසියාතික නියෝජිතයා විය. එම කාලය තුළ ඇමෙරිකාව දකුණු ආසියාව අස්ථායි කළේය. සන්නද්ධ න්‍යෂ්ටික තරගයක් ඇති කරමින් පකිස්ථානය ඉන්දියාවට තවත් සතුරු කරවීය. නමුත් පසු කලෙක පකිස්ථානය විසින් කරන අනතුරු හැඟවීම් නොසලකමින් ඇමෙරිකාව, ඉන්දියාවට සහාය දෙමින් ඇත. එබැවින් ඛෙදා පාලනය කිරීම මගින් පැනනැගුණු ඉන්දු පකිස්ථානු ප්‍රතිවිරෝධතා ඇමෙරිකන් – චීන ගැටුම සමග පෙරට යමින්, දැවැන්ත නව පුපුරනසුලූ බලයක් අත්කරදී තිබේ.


ධනංජය සූරියබණ්ඩාර