බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය

aaac
විද්‍යා ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම – ලලිත් ජයසිංහ පසුපස විජයකලා
August 10, 2017
asea
ගංවතුරින් දකුණු ආසියාව යට වෙයි
August 28, 2017
Show all

බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය

aaac

ලංකාවේ දැන් සිටින්නේ හරි හරි ගේම්කාරයන්ය. ඒ ගේම්කාරයන්ගෙන් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේය. හොරු අල්ලන්නට ආ ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගත් බව කියන්නේ ඒ නිසාය. කෙසේ වෙතත්, ආණ්ඩුව අල්ලාගෙන සිටිය හොරුන් එසේ මෙසේ හොරුන් නොවේ. හොරකම් කරන්නේ ඇස් නිලංකාර කරවන ගේම්වලිනි. කෝප් කමිටුව මඟින් හෙළිදරවු කළ මහ බැංකු බැඳුම්කර වංචාව එවැන්නකි. වංචා කර ඇති මුදල රුපියල් බිලියන ගණනකි. ඒ වෙනුවෙන් දී ඇති සන්තෝසම් පමණක් රුපියල් මිලියන ගණනකි.
අනාදිමත් කාලයක පටන් ලංකාවේ මැති ඇමතිවරුන් හොරකමට ප්‍රසිද්ධය. පාරක් හදන එකේ පටන් කරන හැම කටයුත්තකින්ම කීයක් හෝ හොරා කෑවේ නැත්නම් මැති ඇමතිවරුන්ට නින්ද යන්නේ නැත. තනි තනිව හෝ කිහිප දෙනෙකු එකතු වී කළ මේ හොරකම් පවුල් පිටින් කරන්නට පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දීය. ඒ නිසා කරන හොරකම්වල වටිනාකම ද ලක්ෂ ගණනේ සිට කෝටි ගණන් දක්වා වර්ධනය විය. මුලින් මුලින් කරන ලද හොරකම් ජනතාවට තේරුම් ගත හැකි වුවත්, පසු කාලයේ දී ඒවා තේරුම් ගැනීම අමාරු වූයේ හොරකම් කරන ලද මුදල් ප්‍රමාණ ජනතාවට තේරුම් ගැනීමට නොහැකි තරම් විශාල ඒවා වූ නිසාය. ඒ මුදල් ප්‍රමාණ බැද්දේගම කතාවේ සිළිඳුට විසි අවුරුද්දක් මෙන් විය.
හවුල් ආණ්ඩුව පැමිණීමත් සමඟ ජනතාව තවත් අන්ධභූත කරමින් හොරකම් කරන ආකාරය ද වෙනස් විය. දැන් හොරකම් කරන්නේ ජනතාවට තේරෙන භාෂාවකින් නොවේ. බැඳුම්කර වංචාව තවමත් බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. පාර්ලිමේන්තුවේත් දේශපාලන වේදිකාවලත් බැඳුම්කර වංචාව ගැන කියන විට දුවන කෝච්චි දෙස බලා ඉන්නා හරක් මෙන් බලා ඉන්නවා හැරෙන්නට ජනතාවට කරන්නට දෙයක් නැත. මේ කියන්නට යන හොරකම ද කිසිවෙකුටත් පහසුවෙන් තේරුම් ගත හැකි හොරකමක් නොවේ. එහෙත් තේරෙන භාෂාවෙන් කියනවානම් මේ තවත් බැංකු කොල්ලයකි. සිදුවීම සැකෙවින් මෙසේය:
ශී්‍ර ලංකාවේ මුදල් මඟින් සිදු කරන ගෙවීම් හෝ පියවීම් විද්‍යුත් ක්‍රමවේදයක් මඟින් සිදු කිරීමට සියලූම වාණිජ බැංකු සම්බන්ධ කරන්නේ පරිගණකගත තොරතුරු හුවමාරු ක්‍රමවේදයක් මඟිනි. මෙම ක්‍රියාවලිය මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පිහිටුවා තිඛෙන එහි වැඩි හිමිකාරිත්වයක් මහ බැංකුවටත් අනෙකුත් වාණිජ බැංකුවලට ද කොටස් හිමිකාරිත්වයක් ඇති ලංකා ක්ලියර් සමාගම මඟින් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඕනෑම ගෙවීමක් හෝ පියවීම් පද්ධතියක් ස්ථාපනය කිරීමට ගෙවීම් පියවීම් පනත හා මුදල් පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වන සේ ස්ථාපනය කළ යුතුය. දැනට මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුව ද, මෙම අයිතිය මහ බැංකුවේ පූර්ණ අධීක‍ෂණය යටතේ තිඛෙන ලංකා ක්ලියර් සමාගමෙන් ඉවත් කර සැකකටයුතු පෞද්ගලික සමාගමක් අතට පත් කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සම්බන්ධ තොරතුරු පළමු වරට අනාවරණය වන්නේ 2015 වසරේ දී ය. ඒ ශ්‍රී ලංකාවටම බලපාන පරිදි ජාතික ගෙවීමේ වේදිකාවක් (National Payment Platform) ස්ථාපනය කිරීම පිළිබඳව හෙළි වීමත් සමඟය. ඒ අනුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හෙවත් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා යෝජිත නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රමවේදය ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික ආයතන 3ක් අවසාන වශයෙන් යෝජනා වී ඇති බව ප්‍රකාශ කරනු ලැබීය. මේ කරනු ලබන්නේ බැඳුම්කර වංචාව මෙන්ම තවත් අත යට ගැහිල්ලක් බවට මුල්ම සැකය පහළ වන්නේ එවැන්නක් සඳහා ඒ වන විටත් කැබිනට් අනුමැතියක් ලබාගෙන නොතිබීම නිසාය. එවැනි ක්‍රමවේදයක් ජාතික මට්ටමින් ස්ථාපිත කිරීම සදහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කෙරී තිබුණේ 2016 වසරේ දීය. මෙවැනි තත්ත්වයක් තිබියදී 2016 මැයි මස 13 වන දින ICTA ආයතනය විසින් මෙම ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ ගැන සලකා බැලු මහ බැංකුව එම යෝජනාවේ පද්ධති දියුණු කිරීම, මෙහෙයුම් අත්පොත, පද්ධති සුරක්ෂිතභාවය, පද්ධති ප්‍රමිතීන් සම්බන්ධ අනුගතවීම් සහ බාහිර පද්ධති විගණන රාමුව පිළිිබඳ දැනගැනීම සඳහා වැඩිදුර විස්තරICTA ආයතනයෙන් ඉල්ලා ඇත. එහෙත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් ICTA ආයතනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
කෙසේ වුවද දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ සඳහා තෝරාගෙන ඇත්තේ ටෝටල් පේ නමැති සමාගමකි. එම සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2016 මාර්තු පළමුවැනිදාය. මෙය සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පැහැදිලි වන්නේ 2015 වසරේ දී අවසන් ආයතන තුනක් යෝජනා වී ඇති බව කියා තිබියදී 2016 ලියාපදිංචි කරන සමාගමක් තෝරාගනු ලැබ තිබීම නිසාය. එසේ වන්නේ කෙසේද? අනාගතයේ ලියාපදිංචි කිරීමට නියමිත සමාගමකට 2015 වසරේ දී  අනුමැතිය ලබා දීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ බලධාරීන්ට දිව්‍යඥානය තිබුණේ ද? එහෙම එකක් නැති බව පවසා අත පිස දා ගන්නට දැන් මොවුන්ට නොහැකිය. ටෝටල් පේ සමාගම මේ වන විට පුවත්පත් දැන්වීම් මඟින් තමාට මෙම ජාතික ගෙවුම් පද්ධතියේ ඩිජිටල් මෙහෙයුම් බලය හිමි වී ඇති බවත්, ඒ සඳහා තමන්ට තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හෙවත් ICTA ආයතනය විසින් බලය ලබා දී ඇති බවත් ප්‍රකාශ කර තිබේ. බළලා මල්ලෙන් එළියට පැන අවසන්ය.
මෙහි ඇති බරපතළ ම ගැටලූව වන්නේ මෙවන් මෙහෙයුමක් සඳහා කිසිදු අත්දැකීමක් හෝ පළපුරුද්දක් නැති ටෝටල් පේ ආයතනයට මෙම බලය පැවරුණේ කෙසේ ද යන්නයි. එසේම මේ වන විට මහ බැංකුවේ අධීක්ෂණයට යටත් සහ එහි වැඩි හිමිකාරීත්වය ඇති යෝජිත සේවාව හා සමාන සේවාවක් ලංකා ක්ලියර් සමාගම විසින් පවත්වාගෙන යමින් තිබිය දී සැකකටයුතු නව ආයතනයක් වෙතට මෙම බලය හිමි වූයේ කෙසේ ද යන්නයි. මෙමඟින් අනාගතයේ සියලූ ගනුදෙනුවලදී බැංකු නොවන තුන්වන පාර්ශ්වයක් අතට මුදල් බලය හිමිවීමත්, රටේ සියලූ මුදල් ගනුදෙනුවල වගකීම මහ බැංකුවෙන් ගිලිහී ගොස් පෞද්ගලික සමාගමක් අතට පත් වීමටත් ඉඩ ලැඛෙන බව විචාර බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට ඉතා හොඳින් පැහැදිලිි වේ. මේ මඟින් කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශ=ද්ධිකරණයටත් ඉඩ සැලසිය හැකි ය. එසේම ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල සුරක්ෂිතභාවය පවා අවදානමට ලක් විය හැකිය.
මේ අතර මහබැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂවරයා සියලූ වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා රේගුව, ලංකා බැංකුව, මහජන බැංකුව සම්බන්ධ කරමින් ස්ථාපනය කර ඇති ආසිකුඩා නම් වූ ගෙවුම් පද්ධතිය සියලූම පෞද්ගලික බැංකු ජාලයන් වෙත ව්‍යාප්ත කිරීමට නියමිත බවය. ඒ අනුව තාවකාලිකව නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලියෙන් ඉහත ආයතන ගැල වී ඇති බව ද පෙනී යයි.
කෙසේ වුව ද, හිටපු මුදල් අමාත්‍යවරයා වාණිජ බැංකු වෙත දන්වා තිබුණේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය වෙනුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා ඇමතීමට කටයුතු කරන ලෙසයි. එසේම ඔහු විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මගින් යෝජිත නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහබැංකුවේ අධීක්ෂණයට යටත්ව ක්‍රියාත්මක වනු ඇති බව ප්‍රකාශ කර තිබිණි. එහෙත්, මේ වන විට මුහුන්දන් කනකේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
කෙසේ වුවද ICTA ප්‍රධාන විධායක නිලධාරියා විසින් පත් කරන ලද කමිටු වාර්තාවකට අනුව යෝජිත නව ක්‍රමවේදය තුළ අධීක්ෂණ බලය මහ බැංකුවට හිමි නොවන බව පෙනී යන ප්‍රධාන කරුණකි. එසේම එවකට මුදල් අමත්‍යවරයාට ලිපියක් යොමු කරන මහ බැංකු අධිපතිවරයා ද පෙන්වා දී තිබුණේ මේ නව නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොර එකක් බවයි. ඒ අනුව මෙය කැබිනට් මණ්ඩලය පවා නොමඟ යැවීමකි.
සැලැස්ම ගෙන එන්නන්ට මේ හදිස්සියේ මෙවැන්නක් ගෙන ඒමට හැදුණු කඩි කුලප්පුව කුමක් දැයි පැහැදිලිි වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ 2003 දී ස්ථාපනය කරන ලද දළ පියවීම් පද්ධතිය මඟින් කරන ලද කාර්යයන් පිළිබඳ සොයා බැලීමේ දීය. දකුණු ආසියානු කලාපයේ රටවල් අතුරින් එවැන්නක් ක්‍රියාත්මක කළ පළමු රට ශ්‍රී ලංකාව වන අතර, ලෝකයෙන්ම දෙවන රට ද වේ. එසේම මේ වන විට ද සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් එය ක්‍රියාත්මකව පවතියි. මේ නිසා චෙක්පත් නිෂ්කාශනය කිරීම සඳහා එතෙක් සතියකට ආසන්නව ගත වූ කාලය එක් දිනක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ අතර, වර්තමානයේ රුපියල් ටි්‍රලියන 10ක් ඉක්මවන වටිනාකමක් සහිත චෙක්පත් හුවමාරු කිරීම, ඊසි කෑෂ්, මනි බෑන්කිං ආදී ගනුදෙනු මිලියන 52ක් වසරකට සිදු කරනු ලබයි. මේ හුවමාරු වෙනුවෙන් අදාළ ආයතනයට නීත්‍යනුකූල කොමිස් මුදලක් ලැබුණු අතර, බැංකු පද්ධතිය විසින් කොටස් දායකත්වයෙන් ඇති කළ ආයතනික ව්‍යූහයක් නිසා එසේ ලැබුණු කොමිස් මුදල මෙතෙක් බැංකු පද්ධතියෙන් ඉවතට ගමන් කළේ නැත. එහෙත් නව යෝජනාව විසින් එම කොමිස් මුදල කිසිදු බාධාවකින් තොරව බැංකු පද්ධතියෙන් ඉවතට ඇදී යයි. මෙසේ ලැඛෙන කොමිස් මුදල සියයට0.5ක් වන අතර ඒ අනුව බැංකු පද්ධතියෙන් වසරක දී ඉවත් වන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 5000 කි.
දැන් කතාවේ දිග පළල පැහැදිලිය. මේ ජාවාරම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමතිවරයා සෘජුවම මැදිහත් වී ඇති බව දැනටත් පැහැදිලි වී තිබේ. ඔහු ද දැන් ඇමතිකමේ නැත. එහෙත්, ජාවාරම තවමත් ඉදිරියට ඇදෙමින් තිබේ. එසේනම් රවී කරුණානායක පමණක් නොව තවත් වගකිවයුත්තන් රැසක් මේ පිටුපස සිටින බව සිතා ගත හැකිය.
ඒ නිසා අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මේ කරන්නට යන වංචාවට අනුව බැඳුම්කර වංචාව යනු අලගු තැබීමටවත් හැකි එකක් නොවන බවයි.


චතුර දිසානායක