යහපාලන සංදර්ශනය

asea
ගංවතුරින් දකුණු ආසියාව යට වෙයි
August 28, 2017
diyatha
ඉන්දු ඇමෙරිකා සහයෝගය තුළ සැඟවුණු ගිනි පුපුරු
August 28, 2017
Show all

යහපාලන සංදර්ශනය

Untitled-1

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ සහ බුද්ධ ශාසන ඇමති ධුරවලින් ඉවත් කර තිබේ. රවී කරුණානායක ඇමතිවරයා ඇමති තනතුරින් ඉල්ලා අස් වීමත්, විෙජ්දාස රාජපක්ෂ ඇමතිවරයා ඇමති තනතුරුවලින් ඉවත් කිරීමත් ආණ්ඩුවේ ‘සුපිරි යහපාලනය’ ප්‍රදර්ශනය කිරීමක් බව ආණ්ඩුව පැත්තෙන් පුන පුනා කියවෙයි.
රවී කරුණානායක මහතා ඉල්ලා අස් වූයේ පාර්ලිමේන්තුවේ කතාවක් ද පවත්වමිනි. එහෙත්, විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික යෝජනාවක් සම්මත කර තිබිණි. එය ජනාධිපතිවරයාට දැනුම්දී ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමති කණ්ඩායම රැස් කර මේ පිළිබඳ කතා කර පසුදා විජේදාස මහතාට එය දැනුම්දී තිබේ. රවී කරුණානායක මහතා ඉල්ලා අස් වන විට ඔහු වෙනුවෙන් කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙක් සිටියහ. එහෙත්, විජේදාස මහතා ඉවත් කිරීමේ සිදු වීමේදී ඔහු වෙනුවෙන් ආණ්ඩුවේ කිසිවකු පෙනී සිටියේ නැත.
බැලුබැල්මට පෙනෙන්නේ රවී කරුණානායක මහතා කැමැත්තෙන් ඉවත් වූ බවත්, විජේදාස රාජපක්ෂ මහතා අකමැත්තෙන් ඉවත් වූ බවත්ය. නමුත්, සත්‍ය කරුණ නම්, මේ දෙදෙනාම ඉවත් වීමට කැමති නොවූ බවය. රවී කරුණානායක මහතාට බැඳුම්කර මගඩිය සම්බන්ධ චෝදනාව එල්ල වූයේ හවුල් ආණ්ඩුව පත් වූදා සිටය. මුදල් ඇමතිකමින් ඔහුව ඉවත් කිරීමට වසර එකහමාරකට වඩා ගත විය. ඔහු විදේශ අමාත්‍යාංශය භාර ගන්නා විට මුදල් අමාත්‍යාංශයේ කොටස්ද තමා වෙත පවරා ගත්තේ රටම හිනස්සමිනි. අවසානයේ ඇමති තනතුර අත්හැරියේ සොරමුලේ අනෙකුත් අය හෙළි වීම වැළැක්වීමට මිස යහපාලන ප්‍රතිපත්ති රැකීමට නොවේ.
විජේදාස රාජපක්ෂ මහතාද පසුගිය ආණ්ඩුවේ සොරුන්ව ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වන්නේ අද ඊයේ සිට නොවේ. ඇවන්ට්ගාඩ්
සමාගමේ නීති විරෝධී අවි ගනුදෙනුවලට අදාළව අධිකරණය භාරයට ගත් එහි අධිපති නිශ්ශංක සේනාධිපතිගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ බවට විජේදාස මහතාට බරපතළ චෝදනා එල්ල විය. එහෙත්, ඒ අවස්ථාවේදී තිලක් මාරපන මහතා ඉල්ලා අස් වී විජේදාස මහතා ‘නොකර සද්ද’ව සිටියේය.
පසුගිය ආණ්ඩුවේ බලධාරීන් සිදු කළ වංචා, දූෂණ සම්බන්ධ නීති ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සම්බන්ධ විශාල විවේචනයක් සමාජය තුළින් මතු වූ අතර, වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ දූෂිතයන්ට, අපරාධකරුවන්ට දඩුවම් පමුණුවා යහපාලනය ඇති කරනවා යන පොරොන්දුව සහිතවය. එය ඉටු කිරීමට නොහැකි වූ තැන සියලූ ‘පව්’ විජේදාස මහතා පිටින් යැවීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව පෙනේ. එසේනම්, ආණ්ඩුව නීති ක්‍රියාමාර්ග කඩිනම් කර පෙන්විය යුතුය. එසේම එය පසුගිය ආණ්ඩුවේ හොරුන්ට හා අපරාධකරුවන්ට පමණක් සීමා වන්නේ නම්, එය යහපාලන ප්‍රතිපත්තියක් වන්නේ නැත.
මෙම අස්වීම් හා ඉවත් කිරීම් තුළින් පෙන්නුම් කරන්නේ අප රටේ දේශපාලන සංස්කෘතියේ පවතින දුප්පත්කමය. රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ නම් මිනීමැරුම් චෝදනා එල්ල වූ මැති ඇමතිවරුන් තබා ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පවා තව තවත් වරප්‍රසාද භුක්ති වින්ද බව සියලූ දෙනා දන්නා කරුණකි. ඊට සාපේක‍ෂව බලන කල වත්මන් ආණ්ඩුවේ වෙනසක් තිඛෙන බව සැබෑය. එහෙත්, එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය නොව පවතින ප්‍රතිවිරෝධතා මත ඇති වූ ‘නොකර බැරි’ තත්ත්වයකි. සැබැවින්ම විය යුතුව තිබුණේ චෝදනා එල්ල වන විටම අදාළ ඇමතිවරුන් සම්බන්ධව එම පක්ෂ තීන්දු ගැනීමය. එම ඇමතිවරුන් එම තීන්දු ගැනීමට පෙර ඉල්ලා අස් වීමය. තමන්ට චෝදනාවක් ඇත් නම්, එය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටීමත්, ඒවාට සහාය දීමත්ය.
එහෙත්, මහජන දේපළ ගසා කෑම ජම්ම ප්‍රතිපත්තිය වූ අප රටේ ධනපති දේශපාලන සංස්කෘතියෙන් එවැනි දේ බලාපොරොත්තු විය නොහැකිය. රවී කරුණානායක මහතා ඇමතිකමින් ඉවත් වුවද, ඔහුත්, බැඳුම්කර හොරුත් තවමත් යෙහෙන් වැජඹෙන්නේ ඒ නිසාය. විජේදාස මහතා ඉවත් කිරීමේ ප්‍රතිඵලය ද ඊට වෙනස් නොවන බව අපට කැට තබා පැවසිය හැකිය.
ඒ නිසා හවුල් ආණ්ඩුවේ සංදර්ශනවලින් චූන් වීම තේරුමක් ඇති වැඩක් වන්නේ නැත. හොරු සහ අපරාධකරුවන් දෙපිලක සිිටින බව පෙනුණත්, ඔවුන් අයත් වන්නේ එක් පන්තියකටය. එදත්, අදත් බලය හොබවන්නේ ඒ පන්තියය. එවිට, හොරුන්ගේ පන්තිය හොරුන්ව රකිනු හැර වෙන යමක් බලාපොරොත්තු විය නොහැකිය.