ඉල්ලමක් කර ගත් විද්‍යුත් හැඳුනුම්පත

katharagama
දෙවියන්ට උදේ කෑමත් අහිමි කළ ගෝලයන්ගේ රණකෙළිය
August 29, 2017
air port
විදෙස් ගත ශ්‍රමිකයන් දෙවරක් හම ගැසීම
August 29, 2017
Show all

ඉල්ලමක් කර ගත් විද්‍යුත් හැඳුනුම්පත

ilectric card

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස පත් වූ ඉක්මනින් රටේ වැදගත් ආයතන සියල්ල ඔහු යටතට පත් කර ගත් බව සියලූ දෙනා දන්නා කරුණකි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද ඔහු යටතට ගැනුණු වැදගත් ආයතනයක්ය. මෙම දෙපාර්තමේන්තුවේ දැනට නිකුත් කරන හැඳුනුම්පත වෙනුවට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් 2007දී ඇරඹීය. එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 1,400ක්ය. ඒ සා අති විශාල වියදමක් දැරෙන ව්‍යාපෘතියේ කටයුතු 2009දී අතරමග නවතා දැමිණ. 2012 ජුලි මස 01 වැනි දින නැවත ඇරඹීය.
විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය හඳුන්වා දී මේ වන විට වසර දහයක් ගෙවී අවසන්ය. මේ කාලය තුළ මහජන මුදල් කාබාසිනියා කර තිඛෙන අන්දම විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. බත්තරමුල්ල, කැප්පෙටිපොළ මාවතේ, අංක සී. 45 දරන ස්ථානයේ අලූතින් ගොඩනැගිල්ලක් ඉදි කර තිඛෙන්නේ මෙම ව්‍යාපෘතියටමය. ඒ සඳහා රුපියල් මිලියන 283 (රු. මිලියන 283,507,805)ක් වැය කර තිබේ. රුපියල් කෝටියක් වටිනා වාහනද, කාර්යාලයීය ලී බඩු උපකරණ ආදිය මිල දීගෙන තිබිණි. රුපියල් ලක්ෂ 84කට ආසන්න මුදලක් කාර්ය මණ්ඩලයේ පඩිනඩි සඳහා ගෙවා තිබිණි. 2007 අවසන් කාර්තුවේ ඇරඹූ ව්‍යාපෘතියට 2008 දෙසැම්බර් මස 31 වැනි දින වන විට රුපියල් මිලියන 340ක් (රු. මිලියන 303,990,161)ක් වියදම් කර තිබිණි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව 2014 මාර්තු මස 05 වැනි දින සකස් කළ විගණන විමසුම අනුව එම වියදම ගැන අපූරු සටහනක් ද යොදා තිබිණි. ‘සකස් කර තිබුණු ගිණුම් අනුව’ යන්නය. එයින් අදහස් කෙරෙන්නේ ගිනුම්ගත නොකළ වියදම් ද තිඛෙන බවට ඉඟියක්ය. මෙම ව්‍යාපෘතියෙන් ගෝඨා ඉහගෙන කා ඇත්තේ සුළුපටු ධනස්කන්ධයක් නොවන බව පැහැදිලි වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක ග්‍රාම නිලධාරීන් විද්‍යුත් හැඳුනුම්පත් දීම වෙනුවෙන් පුහුණු කිරීම සඳහා බව පවසමින්, 2013දී රුපියල් එක්කෝටි එකොළොස් ලක්ෂ හැට දෙදහස් හත්සියය (රු. 11,62,700.00)ක් වියදම් කර ඇත. නමුත්, 2014 මාර්තු වන විටත් ග්‍රාම නිලධාරී පුහුණු කිරීම සිදු කර නොතිබිණි.
විවිධ ව්‍යාපෘති හඳුන්වාදී ඉහළින්ම කොල්ලකන ආකාරයක් වන්නේ උපදේශක සේවා තුළින්ය. 2013 ජුනි මස 28 වැනි දින නිකුත් කර ඇති විගණන විමසීමකින් උපදේශක ගාස්තු දරා තිබූ අන්දම හෙළි වේ. මෙහි විශේෂයෙන් අවධානයට ගත යුතු කරුණක් තිබේ. එනම්, 2007 ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2009දී නවතා දමා යළි 2012දී ඇරඹීම යන කාල පරාසය තිබියදී ද උපදේශක ගාස්තු දරා තිබීමය. උපදේශක සමාගම වශයෙන් තෝරාගෙන තිබී ඇත්තේ, සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් නම් සමාගමය.
2012 දෙසැම්බර් 31 වන විට ගෙවා තිබූ උපදේශක ගාස්තුව රුපියල් පන්කෝටි දහසය ලක්ෂ හතළිස්නව දහස් හතළිස්හතර
(රු. 5,16,49,044.00)ක්ය.
මේ සම්බන්ධයෙන් විගණන විමසුමේ තිඛෙන සටහන ඉතා වැදගත්ය. ‘විද්‍යුත් හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳ ප්‍රධානතම වගකීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබුණු අතර, ඊට අමතරව විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘති කාර්යාලයක් පිහිටුවා එහි කටයුතු වෙනුවෙන් අධ්‍යක්ෂවරයකු හා නිලධාරී මණ්ඩලයක් පත් කර ඒ වෙනුවෙන් ගෙවීම් සිදු කරන බැවින්, තවත් උපදේශක කාර්යාලයක් වෙනුවෙන් අනවශ්‍ය පරිදි රජයේ මුදල් වැය කිරීම අනර්ථකාරී බව හා අදාළ ඉන්වොයිසියේ සඳහන් කර තිඛෙන පහත සඳහන් මිල ගණන් මතභේදාත්මක ස්වරූපයේ ඒවා බව තවදුරටත් විගණනයේදී නිරීක්ෂණය විය.’

මතභේදකාරී වියදම් කීපයකි. අදාළ නියැදි කාඩ්පත් (Concept  Paper) ජනපති මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරීම සහ අනුමැතිය ලබා ගැනීම සඳහා රුපියල් හැට හත් ලක්ෂ විසිපන් දහස් එකසියතිස්හය (රු. 67,25,136.00)ක් වැය තිබීම එකක්ය. හරිම අපූරු වියදමක්ය. අදාළ නියැදි කාඩ්පත් ඉදිරිපත් කරන්නේ ජනාධිපති මෙහෙයුම් කමිටුව වෙතය. එයට අය කරන ලද මුදල හරිම පුංචි ගාණක් බව සමහරුන්ට පෙනෙන්නට හැකිය. නමුත්, ලක්ෂ 67ක් යනු කජුඇට කොස්ඇට නොවේය. ගෝඨාගේ ජුන්ටාව විද්‍යුත් හැඳුනුම්පත් පෙන්වා ක්‍රියා කර ඇත්තේ මේ ලෙසටය.
මතභේදකාරී වියදම් අතරට එක් වී තිඛෙන තවත් එක් අංශයක් වන්නේ ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය අය-වැය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 27 (රු. 26,90,054.00)ක් වැය කර තිබීමය. තවත් හරි අපූරු වියදමක් වන්නේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමටද එම මුදලම වැය කර තිබීමය. තාක්ෂණික ඇගයුම් කමිටුවට ටෙන්ඩර් කෙටුම්පත ඉදිරිපත් කිරීමට රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂය (1,34,50,272.00)ක් වැය කර තිබිණි. එයම දෙවැනි තාක්ෂණික ඇගයුම් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 (රු. 50,43,852.00)ක්ද, ව්‍යාපෘති වාර්තාව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 27 (රු. 26,90,054.00)ක් සහ නියැදි කාඩ් සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට රුපියල් පන්ලක්ෂය (රු. 5,43,852.00)ක් වශයෙන් මතභේදාත්මක වියදම් දරා තිබිණි.
මෙලෙස වැය කර තිබුණු මුළු මුදල රුපියල් තුන්කෝටි පනස්නව ලක්ෂ තුන්දහස් දෙසිය හැත්තෑ හතර (රු. 3,59,03,274.00)ක් වී ඇත. ජනාධිපති මෙහෙයුම් කමිටුවට, ජාතික අය-වැය දෙපාර්තමේන්තුවට, තාක්ෂණික ඇගයීම් කමිටුවට, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට අදාළ ලියකියවිලි භාර දීම සඳහා රුපියල් තුන්කෝටි පනස්නව ලක්ෂයක මෙම මුදල වැය කර තිඛෙන බව මෙහි තේරුමය.
විගණන විමසුමෙන් හෙළි කර තිඛෙන ලෙස විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙනම අධ්‍යක්ෂවරයකු යටතේ නිලධාරී කණ්ඩායමක් යෙදවීමෙන් කර තිඛෙන්නේ ඉහත කී මතභේදාත්මක වියදම් දරන ලද ලිපි ගොනු පිටත් කර හැරීම, එහාට මෙහාට කිරීම බව පැහැදිලිය. රුපියල් කෝටි 1,400ක මහා ධනස්කන්ධයක් වැය කරන ව්‍යාපෘතියක දස වසරක කොල්ලකෑම් දිගහැරී තිඛෙන්නේ මෙවැනි ක්‍රම ඔස්සේය. අවුරුදු දහයකට එක විද්‍යුත් හැඳුනුම්පතක් හෝ නිකුත් නොකර රුපියල් කෝටි 1,400ක් වැය කෙරෙන ව්‍යාපෘතියක් පෙන්වා ඇත. නමුත්, ගෝඨාභය රාජපක්ෂගේ සිට මේ දක්වා මහජන ධනය කොල්ලකා තිඛෙන මුලූ මුදල කොපමණ දැයි මෙතෙක් හෙළි වී නැත.
රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව යටතේ මෙයට යළිත් පණ දෙන්නේ මෙවැනි වටාපිටාවකදීය. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවරා තිබේ. එම ඇමති, එස්. බී. නාවින්නය. 2015 දෙසැම්බර් 18 වැනි දින පාර්ලිමේන්තු විවාදයකදී ඔහු විද්‍යුත් හැඳුනුම්පත් මහා ව්‍යාපෘතිය පිළිබඳව කරුණු දක්වා තිබිණි. ‘පසුගිය කාලය තුළ විවිධ හේතු නිසා විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ප්‍රමාද වී තිඛෙනවා. මේ පිළිබඳව මාගේ විශේෂ අවධානය යොමු කර මෙම ව්‍යාපෘතිය ප්‍රතිනිර්මාණය කර ඉතාම කෙටි කාලයකදී විද්‍යුත් හැඳුනුම්පත් ලබා දීමට කටයුතු කරනවා. එලෙසම ප්‍රතිනිර්මාණය කිරීම මගින් බිලියන 14.5ක් වූ ව්‍යාපෘති වියදම බිලියන 8කට අඩු කිරීමට හැකි වීම ජයග්‍රහණයක් ලෙස කියන්න පුළුවන්’ (2015 දෙසැම්බර් 18 හැන්සාඩ්).
හවුල් ආණ්ඩුවේ විෂයය භාර ඇමති පම්පෝරි ගසන්නේ ව්‍යාපෘතියේ වියදම රුපියල් කෝටි 650කින් අඩු කළ බවටය. මෙයින් මූලික බරපතළ ප්‍රශ්නයක් මතු වේ. රුපියල් කෝටි 800කින් කළ හැකි ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් කෝටි 1,450ක් (නාවින්න කියන මුදල) ඇස්තමේන්තු කළේ මන්දැයි සොයා බැලිය යුතුය. එය නොකර බොරු කයිවාරු ගැසීම හොරු රැකීමටය. මෙයට පෙර සඳහන් කළ ලෙස මේ දක්වා කෝටි සිය ගණනක් ගෙඟ් මුහුදේ දැම්මා සේ කර තිඛෙන මූල්‍ය අපරාධය සොයා බැලිය යුතු නොවේද? එවැනි කිසිවක් ගැන කතා නොකර කයිවාරු ගැසීමෙන් පවුල් පාලනයේ හොරුන් රැක හවුල් පාලනයේ හොරුන්ට ඉඩ ලබා දී ඇති අයුරු ඉතා හොඳින් පැහැදිලි වේ.


ප්‍රියදර්ශන දයාරත්න