කරදරේ ඉවරයි… ඒත්…

grade 5 scoolership
ළමයින්ට උගන්වන්නේ ගුරුවරුද? දෙයියොද?
August 29, 2017
shiranthi rajaapaksha
නීතිය නැති රටක හොරු නටන නාටක
August 29, 2017
Show all

කරදරේ ඉවරයි… ඒත්…

student

‘හිතට වද දුන්නු කරදරේ නම් ඉවරයි’ ඒ ශිෂ්‍යත්ව විභාගයයි. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, හදි හූනියම්, කැපිලි, කෙටිලි යනාදී නොයෙකුත් දේවලින් සැදුම්ලත් ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ විගස විශේෂයෙන් බහුතරයක් මව්වරුන්ගේ සිතට නැගෙන සිතුවිල්ලකි ඒ. ලංකාවේ පවතින වඩාත්ම මනසට වද දෙන විභාගයක් ලෙස මෙම ශිෂ්‍යත්වය වර්තමානයේදී පත් වී අවසන්ය. එය මාධ්‍ය මගින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදීද සඳහන් කරනුයේ ‘පාසල් දිවියේ පළමු කඩයිම් විභාගය’ ලෙසයි.
පරිසර සුුන්දරත්වය විඳිමින් කෙළිදෙළින් ගත කිරීමට නැඹුරු වන පුංචි දරුවන් ඔවුන්ගේ ලෝකවල තනිවී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමට පුරුදු වන්නේ කාගේ හෝ අනුදැනුමකින් නම් නොවේ. ඔවුන් කිසිදු අලසකමකින් තොරව දවස ගෙවන්නේ මහත් ක්‍රියාශීලී කඩිසර විලසිනි. ඒ අතරට අධ්‍යාපනය යන්න එකතු වන්නේ ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් සිතුවිලි සඳහා අරමුණක් ලබාදීමටය. නැතහොත් යම් කාර්යයක් සිදුකිරීමේ පිළිවෙළ සාදා ගනිමින් තම ජීවිතය සාදා ගැනීමටය. මෙසේ එකතු වන අධ්‍යාපනය අද සමාජයේ බොහෝ පිරිසක් සලකනුයේ අනවශ්‍ය බරක් ලෙසටය. මෙම මනෝභාවය හේතුවෙන් පෙර සිටියා මෙන් කඩිසරකමින්, මනා ක්‍රියාශීලිත්වයකින් හෙබි දරුවා පොතපතට සීමාවීම තුළින් නිවස තුළට කොටු වෙයි. එනිසා මෙම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ශාරීරික මෙන්ම මානසිකවද මහත් පීඩාවකට
ලක්වීමට ලක් වේ.
ශිෂ්‍යත්ව විභාගය ලංවන විට බොහෝ මිථ්‍යා විශ්වාස පිටුපස දිව යන්නේ අවුරුදු කාලයට තරගයට මෙන් රතිඤ්ඤා පත්තු කරන්නා සේය. දෙමාපියන් මිථ්‍යාව පසුපස දුවමින් මුදල් නාස්තිය සිදු කරන්නේ තම දරුවාගේ පාඩම් වැඩ සිදු කිරීමට පවා යොදා ගන්නා කාලය කා දමමිනි. නමුත් මේ පිළිබඳ කිසිදු වැටහීමක් නොමැති දරුවන්ද දෙමාපියන් පසුපස මහත් වුවමනාවෙන් යන්නේ පොතපතටම සීමා වීම හෝ නිතර දෙවේලේ අමතර පන්ති සඳහා යොමු වීමේ මාර්ගය මින් හරස් වන නිසාය. මෙසේ දෙමාපියන් සමග ඇදහීම් ස්ථාන වෙත යන කුඩා දරුවන් තම වයසේ පසුවන තවත් සහෝදරියක හෝ සහෝදරයෙකු සමග සෙල්ලම් කිරීමට පෙළඹෙයි. නමුත් දෙමාපියන් එයට ඉඩ නොතබමින් කිසිදු වැඩකට නොමැති මිථ්‍යා මතයන්ට ඇහුම්කන් දීමට යොමු කරන්නේ බලහත්කාරයෙනි.
අදෘශ්‍යමාන බලවේගයන් මගින් විභාග සමත් කරවීමට තරගයක් එසේ පවතිද්දී දරුවන්ගේ ඉගැනීම් අඩුපාඩුකම් වල සුළු සුළු අඩුපාඩුුකම් මත දෙමාපියන් පිම්බීමටද පටන්ගෙන ඇත. උදාහරණයක් ලෙස සම වයසේ පසුවන දරුවන් සිටින බොහෝ අසල්වැසියන් දරුවාගේ ඉගෙනුම මත පදනම්ව නොයෙකුත් හිත් අමනාපකම් ඇති කර ගනියි. අසල්වැසි නිවසේ දරුවා තම දරුවාට වඩා ඉගෙනීමට දක්ෂ නම් අදාළ දරුවා සමග කතා බස් කිරීමට පවා ඉඩ ලබා නොදෙයි. සමහර විට එම දක්ෂ දරුවාගේ ඉගෙනීම කඩා කප්පල් කිරීම සඳහා සුළු වැරැද්දක් පදනම් කර ගනිමින් නිතර නිතර රණ්ඩු සරුවල් වීමටද පෙළඹෙයි. නමුත් පුංචි දරුවන් දෙමාපියන්ගේ මේ හැසිරීම් වලට පිටින් යමින් මග තොටේදී හෝ හමු වූ විට කිසිදු පැකිළීමකින් තොරව කතා බස් කරමින් සතුට ඛෙදා ගනු ලබයි. ඒ දරුවන්ගේ හැසිරීමය.
නමුත් දෙමාපියන් දරුවන්ගෙන් විවිධ දේ උගත යුතු වුවත් ඔවුන් එසේ සිදු නොකරමින් ඇන කොටා ගනු ලබන්නේ සතුන්ටත් අන්ත ලෙසටය. මේ පිළිබඳව ඔබටද ඕනෑ තරම් උදාහරණ ඇතත්, මේ හා සමාන සිදුවීමක් ඔබටද ප්‍රවෘත්ති මගින් පසුගිය දිනෙක අසා දැන ගැනීමට හැකි විය. ඒ, පාසලක දක්ෂතම ශිෂ්‍යාවක් වශයෙන් ඉගෙනුම ලැබූ කුඩා දියණියකගේ නිවසකට ගිනි ලා තිබීමයි. මෙවැනි මානසිකත්වයන්වල එල්බ සිටින වත්මන් වැඩිමහල් පරම්පරාව අනාගත පරම්පරාව උදෙසා ලබා දෙන ආදර්ශය කුමක්ද? සත්‍ය වශයෙන්ම ලැජ්ජාවට පත් විය යුතුය.
නමුත් ජීවිත විනාශ කරමින් හදි හූනියමින් හෝ ජයග්‍රහණ ලබා ගැනීමට විශාල තරගයක සමස්ත රටේ බහුතරයක් දෙමාපියන් නියැලී සිටියත්, පාලකයන් සිදු කරනුයේ කුමක්ද? යන්න සොයා බැලිය යුතුය. වචන වලින් කිවතොත් ‘ගේමක් දී’ විභාගය සඳහා වාඩි කරවන දරුවාගේ ශිෂ්‍යත්ව විභාගය පාලකයන්ට නිසි ආකාරව පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. පාලකයන් ශිෂ්‍යත්ව විභාගයක්
යැයි වසරකට වරක් පවත්වමින් අගෝස්්තු මාසයේදී හය හතර නොදත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් සමග සෙල්ලම් කරමින් සිටිති. ඔවුන්ගේ මෙම ශිෂ්‍යත්ව විභාගය රටේ සමස්තයක් ලෙස ජනතාවගේ සාමය කඩ කිරීමේ උපාය මාර්ගයක්
වශයෙන් යොදා ගෙන තිබේ. එසේම නිසි ප්‍රමිතියකට අනුකූලවද එය පැවැත්වීමට මේ වන විටත් අපොහොසත් වී හමාරය. එය සනාථ කරමින් මහනුවර ශිෂ්‍යත්ව විභාග ශාලාවකදී සිදු වූ සිදුවීම සිහිපත් කළ යුතුය. එහිදී විභාගය සඳහා යොමු කරනු ලබන්නා වූ ප්‍රශ්න පත්‍රය නිසි වේලාවට වඩා විනාඩි 5ක් ප්‍රමාද වී ලබා දීම හා අදාළ කාලය ඉක්ම යාමට විනාඩි 10ක කාලයකට පෙර ප්‍රශ්න පත්‍රය එකතු කිරීම සිදු කළ බවට සිසුන් චෝදනා කර තිබේ. මෙයින් පෙනී යන්නේ පාලකයාගේ නිසි ප්‍රමිතියක් නොමැතිකමත්, විභාගය පිළිබඳ නොසැලකිලිමත්භාවයත් හා පරිපාලනමය දුර්වලතාවයනුත්ය. ඔවුන් ඔවුන්ගේ ගැලවීම උදෙසා කුමක් කීවත් අවසානයේදී සමස්තයක් වශයෙන් පීඩාවට පත්වන්නේ විශේෂයෙන් පාසල් සිසු සිසුවියන්ය.
එසේ හෙයින් මේ ළමා කාලය දරුවාට අහිමි කරවන, ඔවුන්ගේ ලෝකය ඔවුන්ගෙන් උදුරා ගනිමින් අනාගතයේ ලෙඩ්ඩුන් බිහි කරවන පාලකයන්ගේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ යළි සලකා බැලිය යුතුව තිබේ. මෙවන් කුඩා විභාගයකුදු
ප්‍රමිතියෙන් යුතුව සිදු කිරීමට නොහැකි වීමේ ප්‍රතිඵලය සැබැවින්ම රටේ ආණ්ඩුවත්, අධ්‍යාපන ඇමතිවරයා ඇතුලූ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරවල යෙහෙන් වැජඹෙන පුද්ගලයන් බාර ගත යුතුය. මේ හේතුවෙන් දෙමාපියන් විසින් සැබැවින්ම පොල් ගැසිය යුත්තේ ඔවුන්ටය. දෙහි කැපිය යුත්තේද ඔවුන්ටය. ගෙවල් ගිනි තැබිය යුත්තේද ඔවුන්ගේය.


ධනංජය සූරියබණ්ඩාර