ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්

manpower
නූතන මිනිස් ජාවාරමට එරෙහිව වැඩබිමෙන් නැගෙන හඩ
August 29, 2017
grade 5 scoolership
ළමයින්ට උගන්වන්නේ ගුරුවරුද? දෙයියොද?
August 29, 2017
Show all

ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්

rathnapura maha rohala

අප දිවි ගෙවමින් සිටිනුයේ, පරිහාණියට පත් වෙමින් තිඛෙන සමාජ ක්‍රමයක අවසාන අදියරේය. එනම්, ධනේශ්වර සමාජ ක්‍රමයෙහි අති අමානුෂික අවධියෙහිය. එමෙන්ම සූරාකෑම හා ආත්මාර්ථය ඉහවහා ගිය මිනිසුන්ගෙන් පිරි සමාජයකය. මානව ගුණධර්ම බිඳක් පමණ හෝ ඉතිරිව ඇත්නම්, එයද, ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින සමාජයකය.
එහිදී වාණිජ අරමුණු මත මෙහෙයවුණු සිත් තුළ ක්ෂණයෙන් දැල් වී නිවී යන පරාර්ථාකාමී සිතුවිල්ලක් හැරුණු කොට දීර්ඝකාලීනව එවැනි හැඟීම් පවතින්නේ නැත. ගුණධර්ම පවතින්නේ ද නැත.
පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා සියල්ල මිල වන සමාජ ක්‍රමයක මිනිස් ජීවිතද තවත් එක් වෙළඳ භාණ්ඩයක්, ආදායම් මාර්ගයක් බවට පත්ව තිඛෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි මෙවර ‘සංචාරක සටහන’ ඉඩහසර වෙන් කළෙමු.
මාතෘකාව නීරස වුවද, ඒ පිළිබඳව කතා කිරීම මගහැර යා නොහැකිය. මාරාන්තික වකුගඩු රෝගය ප්‍රස්තූත මාතෘකාව වන්නේය. මේ වන තුරුත් හඳුනා නොගත් හේතුවකින් දිවයිනේ ජනතාව ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටින මාරාන්තික වකුගඩු රෝගයට බලපා ඇති ප්‍රධාන කරුණ කුමක්ද?
නොයෙක් ජනමාධ්‍ය හා විද්වතුන්ගේ ප්‍රකාශ අනුව කෘෂි රසායන භාවිතය හේතුවක්ව ඇති බවට වන අදහස ප්‍රමුඛ ස්ථානයක් ගනී. 90 දශකයෙහි අනුරාධපුර දිස්ති්‍රක්කයෙන් ප්‍රථම වකුගඩු රෝගියා වාර්තා වී ඇති අතර, එයින් අනතුරුව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට වූ මෙම රෝගය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීමත්, ආණ්ඩුවේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අනෙක් ප්‍රදේශ කරා ද මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුව තිබේ.
කෙසේ වුවද, රෝගයට හේතුව වශයෙන් ග්ලයිෆොසේට් අඩංගු කෘෂි රසායනය භාවිතය බව මේ වන විට ඇති පොදු පිළිගැනීම බවට පත්ව තිබේ. මෙම රසායනිකය විශාල වශයෙන් භාවිත වන වී ගොවිතැන ව්‍යාප්ත රජරට ප්‍රදේශය වකුගඩු රෝගීන් බහුල වශයෙන් හමු වන ප්‍රමුඛ භූමිය බවට පත්ව ඇති අතර, මුල දී එම ප්‍රදේශයෙහි ජලයෙහි ලවණ සහිත බව මෙයට ප්‍රධාන හේතුව බවට අනුමාන කළ ද, පිරිසිදු ජල මූලාශ්‍ර සහිත කඳුකර ප්‍රදේශයන්හිද මේ වන විට රෝගීන් වාර්තා වෙමින් තිබේ. එසේ නම්, රජරට ජලයෙහි ලවණ සහිත බව එම ප්‍රදේශයෙහි ජනතාව වකුගඩු රෝගීන් බවට පත් වීමේ ප්‍රධාන හේතුව නොවන බවට අනුමාන කළ හැකිය.
කෙසේ වුවද, පෙර දී බීමට ජලය වැවකින් රැගෙන ගිය ජනතාවක් ඉදිරියේ මේ වන විට බෝතල් කළ පානීය ජලය රැගත් සමාගම් කුලුපගව සිටියි. ජල පෙරණ අලෙවි කරන සමාගම් ඔවුන්ගේ ජීවිත බේරා දෙන්නට සුහදශීලීව ඉදිරිපත් වී සිටිති. තම ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කළ යුතුව ඇත්තේ, ඔවුන්ගේ ජල බෝතල මිලට ගෙන පානය කිරීම හෝ රුපියල් දහස් ගණනක මිල ගෙවා පෙරණයක් සවි කර ගැනීම බව ඔවුහු උවදුරට ලක්ව සිටින ජනතාවට සිනාමුසු මුහුණින් ප්‍රකාශ කර සිටිති.
ඒ ජීවත් වීම සඳහා වන කැමැත්ත සමාගම් විසින් තම ලාභාංශ වැඩි කර ගැනීම වෙනුවෙන් ඛෙදා ගන්නා ආකාරය පැහැදිලි කිරීම වෙනුවෙන් සරල නිදසුනක් පමණි.
මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන ලෝකයේ දැවැන්ත කෘෂි රසායන සමාගම්හි මෙරට නියෝජිතයන් ද මෙම උවදුර සම්බන්ධයෙන් දරන දායකත්වය සුළුපටු නොවන අතර, ඒ සඳහා මෙරට ගොවි ජනතාවද දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හවුල් කර ගනිමින් සිටිති.
බහුලව එළවළු වගා කරන කඳුකර ප්‍රදේශවල ජනතාව තම වගාවන් වෙනුවෙන් භාවිත කරන අති විශාල කෘෂි රසායන ප්‍රමාණය මධ්‍ය කඳුකරයේ ද ජල මූලාශ්‍රවලට එක් වීමත්, එම රසායන පහළ භූමිය කරා ගලා ඒමත් නොවැළැක්විය හැක්කක්ව තිබේ. එමෙන්ම තේ වගාව සඳහා ද වල් නාශකයක් වශයෙන් භාවිත කරන බැර ලෝහ අඩංගු කෘෂි රසායන හේතුවෙන් මධ්‍ය කඳුකරයේද වර්තමානය වන විට සබරගමුව සහ පහත රට ප්‍රදේශවල ද වකුගඩු රෝගීන් බහුල වීමට ප්‍රධාන හේතුවක්ව තිබේ.
ක්‍රමවත් ආරක්ෂණ වැඩපිළිවෙළක් මගින් මෙම තත්්ත්වයන් පාලනය කිරීමට ආණ්ඩුවට මැදිහත් විය හැකි වුවද, ඒ සඳහා මෙතෙක් පියවර ගෙන නොමැත්තේ මන් ද යන්න සැලකිල්ලට ලක් කළ යුතු කරුණකි.
වකුගඩු රෝගයට ගොදුරුව ජීවිතයත්, මරණයත් අතර දිවි ගෙවන මෙම අසරණ මිනිසුන් මේ වන විටද තම ජීවිතය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් සිටිති. වකුගඩු රෝගයට ගොදුරු වූවකු වෙනුවෙන් සිදු කරනු ලබන රුධිරය මාරු කිරීමේ ඩයලයිසිස් ප්‍රතිකාරය වෙනුවෙන් රජයේ රෝහල් තුළ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර කරා යොමු වන
රෝගියකුගෙන් එක් අවස්ථාවක් සඳහා අය කරනු ලබන අවම මුදල රුපියල් 8,500.00කි. මේ වන විටද රාජ්‍ය මැදිහත් වීමක් සහිත ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි එම ප්‍රතිකාරය වෙනුවෙන් අය කරන මුදල රුපියල් 6,500.00කි. එක් එක් රෝගියාගේ රෝගී තත්ත්වය අනුව එම ප්‍රතිකර්මය සිදු කළ යුතු අවස්ථා ගණන තීරණය වෙයි.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව මෙරට පවතින්නේ ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ සෞඛ්‍ය සේවාවකි. එසේ වුවද, මෙරට සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රතිකාර ගනුයේ, සිංගප්පූරු රෝහල්වලිනි. ඒ සඳහා ඔහු මිලියන ගණනින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගනී. ඇමතිවරුන් සම්බන්ධයෙන් තත්ත්වය එසේ වුවද, වකුගඩු රෝගයට ලක් වූවකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙනුයේ, රුපියල් ලක්ෂ එකහමාරක් වැනි මුදලක් පමණි. ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ලබා ගත හැකි වනුයේද, බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් වන සෙන්ට්‍රල් රෝහලෙන් පමණි.
අදාළ ඉල්ලුම් පත්‍රය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගෙන් අඩු ආදායම්ලාභියකු යන නිර්දේශය මත නැවත ජනාධිපති අරමුදලට යොමු කර දීර්ඝ කාලයකින් අනතුරුව මුදල නිදහස් කරනුයේද, රෝගියා ප්‍රතිකාර ගන්නා පෞද්ගලික රෝහලක් වෙතය. එයද මුලින් ලබා දෙනුයේ, රුපියල් පනස්දහසක මුදලක් පමණි.
දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එක් මහ රෝහලක් හෝ පවතින තත්ත්වයක් තුළ ඉහත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික්කයක එක් මහ රෝහලකට පහසුකම් සැලසීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ මන්ද යන පැනය ද මේ අතරම පැනනගී.
මෙම සටහනට විශේෂයෙන් පාදක වන රත්නපුර මහ රෝහලෙහිද වකුගඩු රෝගය සඳහා රුධිර ප්‍රතිකර්මය කිරීමට අවශ්‍ය යන්ත්‍ර ගෙන්වා මාස හයක් ඉක්මවන තරම් කාලයක් එම යන්ත්‍ර සවි කිරීමට කටයුතු කර නොතිබිණි. ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයෙහි රෝගීන් මොණරාගල හෝ කොළඹ, මාලිගාවත්ත රෝහල වෙත පැමිණිය යුතුව තිබිණි. කෙසේ වුවද, ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම මත අදාළ උපකරණ සවි කර 2017 මැයි මස 01 වැනි දින වකුගඩු රෝගී ප්‍රතිකාර අංශය විවෘත කර ඇතත්, ඉන් ප්‍රතිකාර ලබා ගත හැකිව ඇත්තේ, එම රෝහලෙහි නේවාසික රෝගීන්ට පමණකි. එමෙන්ම රත්නපුර රෝහලෙහි වකුගඩු රෝගී අංශයෙහි ප්‍රතිකාර කටයුතු කරනුයේ සතියේ දින 4ක් පමණක් බවත් එයට හේතු වශයෙන් රෝහල් බලධාරීන් ප්‍රකාශ කරනුයේ, බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බවය. රත්නපුර රෝහලෙහි ස්ථාපිත කර ඇති රුධිරය මාරු කිරීමේ යන්ත්‍ර ගණන තුනක් වන අතර, මොණරාගල රෝහලෙහි ඇත්තේ ද යන්ත්‍ර හතරක් පමණක් බව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීහු ප්‍රකාශ කර සිටිති.
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීම වෙනුවෙන් හා පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට උපදෙස් සපයනුයේද රත්නපුර රජයේ රෝහලෙන්ම බවද එම ප්‍රදේශයේ රෝගීහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිති.
මොණරාගල රෝහල වෙත යන රෝගීන්ගෙන් සමහර දෙනෙකු අවම වශයෙන් දින හතරකට වරක් හෝ එහි යා යුතුය. බොහෝ විට රාත්‍රී ගමන් කරන ඔවුහු රැය පහන් වන තුරු තමන් කුලියට ගත් වාහනය තුළම රැඳී සිට ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතුය. බස් රථයකින් පැමිණෙන්නේ නම්, කඩපිලක හෝ වෙනත් ස්ථානයක කාලය ගත කළ යුතුය. දින හතරකට වරක් රත්නපුර සිට මොණරාගලට පැමිණීම සඳහා වන වියදම සුළුපටු නොවන බව නොකිවමනාය.
ඒ හේතුවෙන් බොර දියෙහි මාළු බෑම ආරම්භ වී තිබේ. මේ වන විටද රත්නපුර නගරයේ පවතින පෞද්ගලික රෝහල් දෙකක් වකුගඩු රෝගීනට අවශ්‍ය ඩයලයිසිස් ප්‍රතිකාරය කිරීම වෙනුවෙන් අවශ්‍ය යන්ත්‍ර ස්ථාපිත කිරීමට කටයුතු කරමින් පවතී. රත්නපුර රෝහලේ වකුගඩු
ප්‍රතිකාර සම්බන්ධ වෛද්‍යවරිය ද ප්‍රකාශ කර ඇත්තේ, රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම බාහිර රෝගීන්ට අපහසු බැවින්, තමාද පෞද්ගලික සේවයෙහි යෙදෙන ඉහත පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන ලෙසය. ඇය විසින් සිදු කළ යුතුව ඇත්තේ, රජයේ රෝහලෙහි ඇති අඩුපාඩු සම්පූර්ණ කර රටේ ජනතාවට සේවය සැලසීමට අවශ්‍ය වටාපිටාව සකස් කර ගැනීම වුවද, ඇය ද පෞද්ගලික සේවයෙහි යෙදෙමින්, ලාභාංශ ගරා ගැනීමට කැසකවන බව මේ අනුව පැහැදිලි වේ.
ඉහතින් සඳහන් කරන ලද ‘ආර්යා’ පෞද්ගලික රෝහලෙහි හිමිකරු ද, ‘ලක්මාල්’ තේ කර්මාන්ත ශාලාවේ හිමිකරු, බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති. වකුගඩු රෝගයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති වල් නාශකය සබරගමුව හා කඳුකර ප්‍රදේශයන්හි විශාල වශයෙන් භාවිත කරනු ලබනුයේද, තේ වතු හිමියන්ය. වල් නෙළීම වෙනුවෙන් කම්කරුවන් යෙදවීම වෙනුවට වල් නාශක භාවිතය ලාභදායක වන බැවින්, එම රසායනිකය භාවිත කිරීමට ඉල්ලා අරගල කරනුයේ ද ඔවුන්මය. රෝගයට හේතු නිර්මාණය කරන්නන්ම රෝගයට ප්‍රතිකාර කිරීමද තම ආදායම් මාර්ගයන් බවට පත් කරගෙන තිඛෙනුයේ, ඒ අයුරිනි.
රත්නපුර රෝහලේ වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරියද තමන් පෞද්ගලික සේවයේ නිරත වන රෝහල් වෙත රෝගීන් ගෙන්වා ගැනීමට උත්සාහ දරනුයේ, එයින් තමන්ගේද මඩිය තර වන බැවින් විය යුතුය.
මුල දී සඳහන් කළ පරිදි මිනිස් ජීවිත මුහුණ දෙන ව්‍යසනයන් තම ආදායම් මාර්ග තර කර ගැනීමේ මාර්ග බවට පවතින ක්‍රමය නියෝජනය කරන ෂයිලොක්ලා විසින් පත් කරගෙන ඇත්තේ එලෙසය. මෙරට ඊනියා ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටින දේශපාලකයන් ද පෙනී සිටිනුයේ, ෂයිලොක්ලා වෙනුවෙන්ය. ජනතාව විසින් තේරුම් ගත යුතුව ඇත්තේ, තමන් මෙම තත්ත්වයෙන් අත්මිඳීමට කටයුතු කළ යුතු බවය. නැතහොත්, දිගින්දිගටම මෙම ම්ලේච්ඡ සූරාකෑමට ලක් වීම හැරුණු කොට වෙනත් යමක් ඔවුනට ඉතිරි නොවනු ඇත.
‘ධනපති පන්තිය ආධිපත්‍යය ලැබූ සෑම තැනකම මිනිසකු හා මිනිසකු අතර, නග්න ස්වාර්ථකාමය හැරුණු කොට අනුකම්පා විරහිත මුදල් ගෙවීම හැරුණු කොට වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකළේය.’ යනුවෙන් මාක්ස් ප්‍රකාශ කර ඇත්තේ, මෙයට වසර 170කට පෙරය.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු