දෙවියන්ට උදේ කෑමත් අහිමි කළ ගෝලයන්ගේ රණකෙළිය

venizulla
වෙනිසියුලාව නව ව්‍යවස්ථාවේ වැඩ අරඹයි
August 28, 2017
ilectric card
ඉල්ලමක් කර ගත් විද්‍යුත් හැඳුනුම්පත
August 29, 2017
Show all

දෙවියන්ට උදේ කෑමත් අහිමි කළ ගෝලයන්ගේ රණකෙළිය

katharagama

”ඒයි, මේ බලපං… ලෝකේ ලොකුම වාහන අයිතිකාරයාට කෙළවෙන්ඩයි යන්නේ”
”ඇයි මොකක්ද බං? කවුද ලොකුම වාහන අයිතිකාරයා?” දෙවැන්නා විමසීය.
”ඇයි උඹ දන්නැද්ද වැඩිම වාහන අයිතිකාරයා දෙවි පිහිටයි මුදලාලිනේ” පළමුවැන්නාගේ පැහැදිලි කිරීමෙන් දෙවැන්නා බඩ බදාගෙන සිනාසෙන අතර ”ඉතිං මුදලාලිට කෙළවෙන්නෙ ඇයි?” දෙවැන්නා නැවත විමසීය.
”මුදලාලිගේ ගෝලයෝ දෙන්නෙක් අම්බානක ඇරගෙන. දෙවිපිහිටයි මුදලාලිගේ වස්තුව ඛෙදා ගන්ඩ බැරුව…” පළමුවැන්නා අතේ වූ ස්මාට් ෆෝන් එක දෙස බලාගෙන පැහැදිලි කළේය. දෙදෙනාම බඩ බදාගෙන සිනාසෙන අතර පැමිණි බම්බලපිටිය බස් රථයට ගොඩවීමට සිදු විය.
සවස රූපවාහිනී ප්‍රවෘත්ති බැලීමේ වුවමනාවක් නොවූවද අහම්ඛෙන් අවස්ථාව සැලසිණි. එහි ප්‍රවෘත්තියකින් කියවුණේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ සහ කපුවන් අතර ගැටීමක් ඇති වී තිඛෙන බවය. එක්වරම සිහිවූයේ අද (22 වෙනි අගහරුවාදා) දහවල් ටොරිංටන් බස් නැවතුම්පොළේදී අවුරුදු විස්සට නොවැඩි තරුණයන් දෙදෙනා අතර ඇතිවූ සංවාදය සහ දෙදෙනා බඩ බදාගෙන සිනාසුණු අයුරුය. අපේ රටේ වැඩිම වාහන අයිතිකාරයා ‘දෙවි පිහිටයි මුදලාලි’ බව ඔවුන් සඳහන් කළේ කතරගම දේවාලයේ බස්නායක සහ ප්‍රධාන කපුවා අතර මේ අවි අමෝරා ගැනීම බව පැහැදිලි වූයේය.
ඊට පසු දින (23 වෙනි බදාදා) පුවත්පත්වල එම ප්‍රවෘත්තිය විස්තර සහිතව පළ වී තිබීමෙන් තත්ත්වය තවත් හොඳින් පැහැදිලි වූයේය. ‘ලංකාදීප’ පුවත්පතේ සිද්ධිය පළ කර තිබුණේ ‘කතරගම බස්නායක නිලමේ දේවාලයේ යතුර බලෙන් අරන් ගිහින් – තේවාව පමාවෙයි. අලූයම පූජාවත් නවතී’ යනුවෙන්ය. ‘අලූයම පූජාවත් නවතී’ යන්න අර තරුණයන් දෙදෙනාගේ නෙත ගැටිණි නම් ඔවුන් කුමක් කියනු ඇත්දැයි කල්පනා විය. අලූයම පූජාව නැවතී තිබීම යනු දෙවියන්ට බඩගින්නේ ඉඳීමට සිදු වීමය. වාහනවල ‘දෙවි පිහිටයි’ යනුවෙන් පච්ච කොටා තිබීමේ සිට වාහන හිිමියන් කතරගමට කරන පුද පූජා කොතරම් සම්භාරයක්ද? දරුවකු විභාගයට ලියන්නේ නම්, දක්කාගෙන ගොස් බාරහාර වන්නේ තමන්ගේ කෑම වේලවත් බේරා ගැනීමට බැරි දෙවියන් ළ`ගට නොවේද? ආදී ප්‍රශ්න වැලක් පැනනගී. ඒ පිළිබඳව වෙනම කතා කළ යුතුය.
මෙහිදී විමසා බැලීමට තිඛෙන්නේ වෙනත් දෙයක්ය. ලංකාවේ හතර දිග්බාගේ තිඛෙන දේවාල පමණක් නොව තෝරා ගත් සීමිත ගස්, ගල් පවා සල්ලි උපයන ආකර බවට මේ තරම් හොඳින් පත් කර ගන්නා ලද යුගයක් ඉතිහාසයේ කිසි කලෙකවත් තිඛෙන්නට නැති තරම්ය. මේ සියල්ල අතුරින් කතරගම දේවාලය විශේෂිතය. මේ පාලන බලය ගන්නට හීන දකින අය සහ බලය ලබා ගත් පසු එය රැක ගැනීමට කතරගමගේ අනුහස් මඳි වීමෙන් දෝ ඉන්දියාවේ තිරුපති කෝවිලට ද යාමට පටන්ගෙන තිබේ. මේ සියලූම තැන්වලට සල්ලි වැටෙන්නේ රුපියල් සිය දහස් ගණනින් නොවේ. මසකට රුපියල් කෝටි සිය ගණනින්ය.
මෙරටදී වැටෙන සල්ලි ගෙඩි පිටින් ගිල ගැනීමට දේශපාලන බලය යෙදීම ආරම්භ කරන ලද්දේ රාජපක්ෂ පවුල් පාලන සමයේදීය. කතරගම දේවාලය ඒ අතුරින් විශේෂිතය. මන්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමග 2007 මුල දී කතරගම බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණයට ශෂීන්ද්‍ර රාජපක්ෂ යෙදවීය. ඔහු කළේ නිලවරණයට ඡන්දය දීමේ සුදුසුකම් තිඛෙන සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන් හමු වී එවක දී ඉහළම මිල ගණන්වලට තිබූ ජංගම දුරකථනයක් බැගින් තෑගි දීමය. කෝටි ගණනින් ගැරිල්ල ඇරඹුණේ එතනින්ය. රාජපක්ෂ පවුලට එහි රසය කොතරම් දැනී ඇත් දැයි කිවහොත් ශෂීන්ද්‍ර රාජපක්ෂ දෙවැනි වර බස්නායක නිලමේ කිරීමට නිලවරණය පවා නොපැවැත්වීය.
ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ කළේ ජනාධිපති බලතල යොදවා කතරගම දේවාලයට පමණක් බලපාන පරිදි දේවාල ගම් පනත සංශෝධනය කිරීමය. ඊට යටත්ව ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිලමේ ධුර කාලය ජනාධිපති විසින් දීර්ඝ කරනු ලැබීය. තමන්ට හිතවත් කපුවන් යොදවා දිගට හරහට ගැරීය. පාරම්පරික උරුමයෙන් කපුකම හිමිව තිබූ අයෙකුට එය ලබා නොදී හරස් කැපීය. ලංකාවේ ලොකුම වාහන අයිතිකාරයාගේ කපුකමේ පාරම්පරික අයිතිය ඉල්ලා අධිකරණයට යාමට පවා සිදුවිය.
මේ ආදී සියලූ දේ සිදු වුවද, මෙරට මිනිසුන් මේ වගේ ‘නෂ්ඨකාමී දෙවියෙක් මොකටද?’ කියා කල්පනා කළේ නැත. ඒ වෙනුවට දශලක්ෂ ගණන් ගාල කඩාගෙන ඔහේ දිව ගිය අවස්ථා ඕනෑතරම් විය. එය කොතරම් ඉහළම තලයකට පැමිණ තිබුණේ ද යන්න මනාව තේරුම් ගත හැකි සිද්ධියක් තිබේ. ‘කතරගම දෙවියන් ජීවමානව පෙනී සිටිනවා.’ යනුවෙන් දිනයක් නම් කිරීමය. දශලක්ෂ ගණනක් ඇදී ගිය අයුරු කාටත් අමතක විය නොහැකිය. මිනිසුන්ගේ පසුම්බිය පමණක් නොව අත කනකරද සුද්ද කර ගැනීමේ ජාවාරම් දේශපාලන අනුහසින් මේ තරම් පැතිරී තිබේ.
දැන් මෙකී දෙවියන්ගේ උදේ කෑම වේලක් අහිමි වන තරමට වස්තුව ඛෙදා ගැනීම සඳහා වූ ගෝලයන්ගේ රණකෙළි ඉහළ ගොස් තිබේ. මෙය අරුම පුදුම දෙයක් නොවේ. 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව ලක්ෂ 62ක් ඡන්දය දී පරාද කළ ප්‍රධාන කරුණු දෙකක් තිබූ බව පැහැදිලිය. එකක් නම් මහින්ද ප්‍රමුඛ කල්ලිය ගෝත්‍රික යුගයේ මිථ්‍යාව තුළ ගාල් වී රටම මිථ්‍යාවෙන් වෙළා දමමින් ගෙන ගිය ක්‍රියාදාමය පැරදවීමය. අනික වන්නේ රටේ සම්පත් කොල්ලකෑම සහ මහජන ධනය කොල්ලකෑම නැවැත්වීමය. එම අපරාධකාරයන්ට ද`ඩුවම් කිරීමය. ජනවරමින් පසු බලය පිහිටවූ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව මේ කරුණු දෙකම රාජපක්ෂ පාලනය නැවැත්වූ තැන් සිට ඉතා හොඳින් ඉදිරියට කරගෙන එමින් සිටී.
මෙම ගෝත්‍රික මිථ්‍යා අන්ධකාරයට දක්කන අයුරු රාහු කාලය පන්නා විභාග තැබීමට නියම කිරීම සහ විභාගවලට බෝධි පූජා හා පිරිත් නූල් ගැට ගැසීම රාජ්‍ය අනුග්‍රහයෙන් කිරීම ආදිය තුළින් පැහැදිලි වේ. එසේම අගමැති රනිල්ගේ දේශපාලන ජීවිතයට අවුරුදු 40ක් පිරීම නිමිත්තෙන් බෝධි පූජා පැවැත්වීමට නිල චක්‍රලේඛ නිකුත් කිරීම තුළින් සනාථ වන්නේ ද එයමය. අනික් පැත්තෙන් පසුගිය පාලනයේ හොරු රකින අතර, මේ ආණ්ඩුවෙන් හොරුන්ට ඉතා විශාල ඉඩක් ලබා දී අවසන්ය. බැඳුම්කර කොල්ලය, ගල් අගුරු ටෙන්ඩර්, ඖෂධ මිල දී ගැනීම්, අධිවේගී මාර්ග ආදී පැතිරුණු පරාසයක මහජන මුදල් මංකොල්ල කන කල්ලියක් රජ වී සිටිති.
කතරගම දේවාලයේ වස්තුව මූලික කර ගත් ගැටීම් ඇතිව තිඛෙන්නේ මෙම පුළුල් පසුබිම තුළය. දෙවියන්ගේ උදේ කෑම වේල ලබා දීමට නොහැකි වීමෙන් බැතිමතුන් කිපී ඇති බව මාධ්‍ය වාර්තා අනුව පැහැදිලි වේ. බස්නායක නිලමේගේ නිල වාසස්ථානය වටලන්නේ එසේ කිපුණු භික්ෂූන් ඇතුළු මිනිසුන්ය. දැන් මේ රණකෙළියට පොලිසිය මැදිහත් වී අවසන්ය. ඊළගට අධිකරණයට ද මැදිහත් වීමට සිදු වනු ඇත. තම ගෝලයන් විනයෙහි පිහිටුවා පාලනය කර ගත නොහැකි දෙවියන් තවත් කෙනෙකුට පිහිට වෙන්නේ කෙසේ දැයි දැන් හෝ මිනිසුන් කල්පනා කරන්නේ දැයි ප්‍රශ්නයකි. එවැනි මිනිසුන් රැළක් සිටින රටක ටොරිංටන් බස් නැවතුම්පොළේ සිටි තරුණයන් දෙදෙනා කොතරම් උදාර දැයි කල්පනා කළ යුතු නොවේද? ”දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න. සීසර්ගේ දේ සිසර්ට දෙන්න” යන ප්‍රකාශය අදාළ වන්නේ පැරණි රෝමයටය. එදා එහි සිටි බලවත්ම අධිරාජයා සීසර්ය. අද ලංකාවේ සිටින්නේ අධිරාජයන් නොවුවත් සීසර් මෙන් නොව දෙවියන් පවා කොල්ලකෑමට තරම් බලවන්තයන්ය. ඔවුන් හෙළන කටු ටිකක් ලබා ගැනීමට බස්නායක නිලමේ සහ කපු උන්නැහේ රණකෙළි පටන් ගෙන තිඛෙන බව තේරුම් ගැනීම ඉදිරිවැඩ තකා වැදගත්ය.


ලංකා මාරසිංහ