නීතිය නැති රටක හොරු නටන නාටක

student
කරදරේ ඉවරයි… ඒත්…
August 29, 2017
cuba interview
ඕනෑම අවස්ථාවක සේවයට සූදානම් සෞඛ්‍ය බළකායක් ඔවුන්ට ඉන්නවා
August 29, 2017
Show all

නීතිය නැති රටක හොරු නටන නාටක

shiranthi rajaapaksha

කාගෙ කාගේත් කිල්ලෝටවල හුනු ඩිංග, ඩිංග ඇතිවා මෙන් අද රටේ සියලූම දේශපාලනඥයන් දූෂණ, වංචා හා බලය අයුතු ලෙස යෙදවීම්වලට හවුල් බව පැහැදිලි කරුණක්. එදා යහපාලන ආණ්ඩුව පත් වූ මුල් කාලයේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ, වංචා හා අපරාධ ආදිය ගැන නිතර කියවුණා. ඒත් ක්‍රම ක්‍රමයෙන් ඒවා යට ගියා. යට ගියා නෙවෙයි. ඇත්තටම යටපත් කළා. අර දූෂිතයන්ට ආයෙමත් ජනතාව ඉදිරියේ උපාසක වේශයෙන් පෙනී ඉන්න, ජනතාවගේ ගැලවුම්කරුවන් විදිහට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ යහපාලනයේ හොරු හා දූෂිතයන් වැඩ පටන් ගත්තා. දෛවයේ සරදමකට වගේ ඒ සමහර හොරකම් එළිදරව් වුණා. අර හොරුන්ට දඩුවම් දෙන්න කලින් මේ යහපාලන හොරුන් එකා දෙන්නාට ඇතුළෙන්ම දඩුවම් ලැබුණා. ඒවා ආණ්ඩුවේ ඇග බේරා ගැනීමට සමාජය රවටන දේවල් වුණත් ආණ්ඩුවට එහෙමවත් නොකර ඉන්න බැරි වුණා. ඒ අල්ලපනල්ලෙම ආයෙත් රාජපක්ෂලාගේ දූෂණ, වංචා, අපරාධ ගැන කතා කරළියට එමින් තිඛෙනවා. සුපුරුදු පරිදි යහපාලනය තමුන්ගේ දුර්වලකම් වහගන්න ආයෙමත් රාජපක්ෂලාගේ වැරදි අපට මතක් කරලා දෙන්න පටන් අරන්. මේ දේවල් ආණ්ඩුවේ ලොක්කන්ට අමතක වුණා වගේ හිටියාට අපට නම් අමතක නැහැ. ඒ අයට දඩුවම් දෙන්න කියන ඉල්ලීම යහපාලනයෙන් ජනතාව බලාපොරොත්තු වුණේ ජනවාරි අටවැනිදා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කළ දවසේ ඉඳලාමයි. ඉතින් බස්වලින් තමුන්ගේ බත්බැලයන් ගෙන්වලා කොච්චර විරෝධතා කළත් සාධාරණව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සහ ජනපතිවරයා කටයුතු කළ යුතුයි. යුක්තිය ඉටු වීම මදක් හෝ පමා වීම කියන්නේ යුක්තිය ඉටු නොවීම හා සමානම අපරාධයක්.
කාලයක් ‘රජ බිසවක්’ විදිහට හැසිරුණු ශිරන්ති රාජපක්ෂව කටඋත්තර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවලා තිබුණා. ශිරන්ති ඒ දවස්වල පවත්වාගෙන ගිය සිරිලිය කියන රාජ්‍ය නොවන සංවිධානයට ලැබුණු ජීප් රථයක් තාජුඩීන් ඝාතනයට යොදාගත්තාද කියන සැකය මතයි ඇයගෙන් මේ ප්‍රශ්න කළේ. හොරකම් කරගත් සල්ලි වියදම් කරලා, බස්වලින් කුලියට සෙනග අද්දලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ මහා ගාලගෝට්ටියක් කරන්න මේ කල්ලිය ක්‍රියා කළා. මහා වීරකම් කළ ලීලාවෙන් එතන යකා නැටූ රාජපක්ෂගේ රාජපාක්ෂිකයෝ ආයෙමත් සුපුරුදු විදිහට නීතිය බාල්දු කරමින් රටට නරක පූර්වාදර්ශයක් දුන්නා. ආණ්ඩුවේ මාධ්‍ය ශිරන්තිව ඉමෙල්ඩා මාකෝස්ට සමාන කළා. මහින්දගේ කාලයේ ශිරන්ති ඇතුළු රාජපක්ෂ පුතුන් කළේ මේ කියන වැරදි කිහිපය විතරද?
මහින්ද ජනාධිපති වුණු මුල් කාලේ ශිරන්ති පොදු වැඩවලට වැඩිය එළියට ගියේ නැහැ. අනුරාධපුරයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කිරලෝගම දිනමිණ පුවත්පත මුල් වී හදපු නිවසකට මුල්ගල තියන්න තමයි ශිරන්ති හා පුරා කියලා එළියට බැස්සේ. ඒකට මුල් වෙලා කටයුතු කළෙත් මේ ලියුම්කරුමයි. ඒ වගේ පොදු රැස්වීම්වල ඇයට කතාව තහනම් වුණා. හොදට හිටපු ඇය රාජපක්ෂ යුද්ධය දිනලා රජ වුණාට පස්සෙ තමයි පිස්සු කෙළින්න පටන් ගත්තේ. ඇය වටේ අරුම පුදුම යෙහෙළියෝ එක් වුණා. ඇය වෙනුවෙන් සුපිරි ආරක්ෂාව, යාන වාහන වෙන් වුණා. මේ රටේ ධනවත් ව්‍යාපාරික ප්‍රජාව එක්ක ඇය හාදකම් පැවැත්වුවා. සමහරු රත්තරං ගෙනැල්ලා රේගුවට අහුවුණාම රාජ්‍ය බලය යොදලා ඒවා යට ගැහුවා. අර කාල්ටන් පෙර පාසල් පද්ධතිය මහා ජාවාරමක් කර ගත්තා. සිරිලිය කියලා තවත් ජාවාරම් ව්‍යාපෘතියක් ආරම්භ වුණා. ඒ මේ ලෝකේවත් නැති හැදුනුම්පත් අංකයක් යටතේ ගිණුමක් පවත්වා ගනිමින්. සමහර ජාවාරම්කාරයෝ, කොන්ත්‍රාත්කාරයෝ, ව්‍යාපාරිකයෝ ඇයට ලොකු ලොකු තෑගි බෝග දෙමින්, මුදල් හදල් දෙමින් ඇය ලවා විවිධ උපකාර ලබා ගත්තා. කෝටි ගණන් ධනය ඉපයුවා.
මහින්දගේ පාලනය යටතේ ඔහුගේ දරුවන්ටත් අත් වුණේ මේ වගේම ඉරණමක්. ඒ කාලේ රටේ විවිධ දේශපාලකයන්ගේ දරුවන් පිස්සු නටද්දී මහින්දගේ දරුවෝ රටට ආදර්ශයක් බව සමහර මාධ්‍යවල පවා කතා වුණා. තාත්තා ඇමති, අගමැති කාලයේ එළියටවත් නොආපු මේ දරුවන්ට අද වෙනකොට මහා අපරාධ චෝදනා එල්ල වෙනවා. ඒකත් වුණේ මහින්ද රජා වුණාට පස්සෙයි. සාමාන්‍ය පෙළවත් හරි හැටි සමත් නැති මේ රාජපක්ෂ පුත්තු එකපාරටම වෙනස් වෙනවා. පිටරට පවා ගිහින් නීති අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තු නාමල් නීති විභාගෙන් ලකුණු 99 අරන් නීතිඥයෙක් වෙනවා. ඊළගට මන්ත්‍රී කෙනෙකුත් වෙනවා. සුදුසුකම් නැතිව දෙවන ලූතිනන් තනතුරට පත්වෙන යෝෂිත නාවික හමුදාවේ උසස් විදේශ උපාධි කිහිපයකටම සහභාගී වෙනවා. ආකාශගාමියෙක් වෙන රෝහිත රොකට් එකක් යවනවා. ඒ විතරක් නෙවෙයි. නාවික හමුදාවේ රගර් පිලේ විතරක් නෙමෙයි ලංකාවේ ජාතික රගර් පිලේත් නායකත්වය ලබා ගන්න රාජපක්ෂ පුත්තු සමත් වෙන්නේ ක්‍රීඩා හැකියාව නිසා නම් නොවන බව පැහැදිලි සත්‍යයක්.
ඒ අතරම තවත් පිරිසක් ඔවුන්ට ළං වෙනවා. ඒ අර ජාවාරම්කාර දේශපාලුවන් හා ව්‍යාපාරිකයන් පිරිස. එදා සමහරු නාමල්ගෙන් විශාල ප්‍රයෝජන ගත්තා. නාමල්ව චීනයට, සිංගප්පූරුවට එක්ක ගිහින්, රෙඩ් ස්ට්‍රීට්වලට ගෙනිහිල්ලා කම් සැප දුන්නා. සමහරු යෝෂිතට, රෝහිතට 1200 සී.සී. කයිට්ස් වර්ගයේ නවීනතම මෝටර් සයිකල් දුන්නා. ඒවා ලංකාවේම තිබුණේ දෙකයි. නාමල්ට ඩිස්කවරි වර්ගයේ නවීන ජීප් රථයක් ලබා දුන්නේ කවුද? ඔවුන්ට වටිනා රොලෙක්ස් අත් ඔරලෝසු ලබා දුන්නේ කවුද? යෝෂිතට කොල්ලුපිටියේ ලක්ෂ ගණනක් වටිනා නිවසක් ලබා දුන්නේ කවුද? ඒ වගේම පාතාල සබදතා. 2005දී නාමල්ගේ ආරක්ෂාවට ආ සුරේක පාතාලයෙක්. අද ඔහු කෝටිපතියෙක්.
මේ කියන්න හදන්නේ මේ දේවල්වලට රාජපක්ෂ පුත්තු හෝ බිරිද නිර්දෝෂියි කියන එක නෙමෙයි. ඔවුන් මේ සෑම දෙයකටම ඍජුව වගකිව යුතුයි. ඒවාට ඔවුන් නිසි දඩුවම් ලැබිය යුතුයි. ඒත් රාජපක්ෂ පවුලට දඩුවම් දුන්නු පළියට මේවා නිවැරදි කරන්න බැහැ. ඔවුන්ව මේ තත්ත්වයට පොළඹවපු සාධක අපට අමතක කරන්නත් බැහැ. ඒ වගේම ඉදිරියට මේ වගේ තවත් පවුලක් මේ රටේ බිහි වීම වළක්වන්න නම් ඒ සාධක නැති කරන්නම ඕනෑ. පහුගියදාක ‘ලංකා’ පුවත්පත හෙළිදරව් කළේ ජනාධිපති මෛත්‍රීගේ දියණියට පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් උපාධියක් ලබා දුන් බවත්, ඒ සමාගමේ අධ්‍යක්ෂ තනතුරකට ඇයව පත් කරන්න යන බවත්. මෙයට පෙරත් ජනාධිපතිගේ දුව සහ පුතා සම්බන්ධ විවිධ ගැටළු මතුවුණා. මේ ආරම්භයක් විතරයි. හෙට අනිද්දා වෙද්දී ආයෙමත් රජ දරුවන්ගෙ කෙළි බලන්න ජනතාවට සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
තාරුණ්‍යයට හෙටක් කියන සංවිධානය නාමල් හදාගත්තේ එයාගේ පුද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන්මයි. විවිධ ව්‍යාපාර, වැඩසටහන්, ආදියෙන් කෝටි ගණන් හම්බ කරන්න, තමුන්ගේ දේශපාලන ගමනට හෙංචයියෝ බිහි කරගන්න විතරක් නෙමෙයි. මේ හරහා තරුණියන් පවා තමුන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න භාවිතා කරපු බවයි අද වෙද්දි කියවෙන්නේ. නාමල් තරුණියන් කී දෙනෙකුට
රැකියා දීලා තියෙනවාද? ඒ මොන විදිහෙ සබදතා උඩද? ලක්ෂ 1,000ක් වටිනා වාහන විතරක් නෙමෙයි. රටේ නොයෙක් තැන්වල ඔහුට අයත් හෝටල්, ඉඩම් හා ව්‍යාපාර ගණනාවක් තියෙන බව රහසක් නෙමෙයි. ඔහුගේ ගෝලයෙක් වුණු ලොතරැයි මණ්ඩලේ අධ්‍යක්ෂකම් දරපු ජානක ශ්‍රී වර්ණසිංහ වගේ අය අද කෝටිපතියන් බවට පත් වුණේ කොහොමද? වටිනා රූපවාහිනී තරංග ලබා ගනිමින්, රජයේ නාළිකාවල උපකරණ පවා යොදා ගනිමින්, යෝෂිතට අයත් බව කියන සී.එස්.එන්. නාළිකාව පවත්වාගෙන ගිය ආකාරය අපට තාමත් මතකයි. ලක්ෂ ගණන් ආදායම් උපයන්න පුළුවන් ක්‍රිකට් තරග ඒකාධිකාරය එම නාළිකාවට දුන්නු නිශාන්ත රණතුංග ක්‍රිකට් බෝඩ් එකේ විතරක් නෙමෙයි. ඒ සමාගමෙත් තනතුරක් දැරුවෙ කිසිම සදාචාරයක් නැතිවයි. මොවුන් මේ හිතේ හැටියට පාවිච්චි කළේ තමුන්ගේ පරම්පරා බූදලය නම් නෙවෙයි. රටේ ජනතාවගේ සල්ලි.
මේ විතරක් නෙවෙයි. අද වෙද්දී යෝෂිතට අයිති වටිනා නිවාස දේපළක් ගැන පරීක්ෂණ පැවැත්වෙනවා. ඒක ඔහුට දීලා තියෙන්නේ ඔහුගේ ආච්චිලූ. ආච්චිට ඒක ගන්න සල්ලි ලැබුණු ආකාරය තමා අරුම පුදුම සිද්ධිය. කවුදෝ නාදුනන කෙනෙක් මැණික් මල්ලක් ගේ දොර ඉදිරිපිට දාලා ගිහින්ලු. රගර් ක්‍රීඩාව පෙන්නලා ආයතනවලින් ගත්තු මුදල්, රගර් සැණකෙළියක් පවත්වලා හම්බ කරපු මුදල්, දළදා මාළිගාව වටේ කාර් රේස් ගිහින් හම්බ කරපුවා, මේ බොහොම පුංචි දේවල් කීපයක් විතරයි. ඒ අතර ලංකාවේ පළමු අජටාකාශගාමියා වුණු රෝහිත ‘සුප්‍රීම් සැට්’ කියලා චන්ද්‍රිකාවකුත් යැව්වේ රටේ සල්ලි කෝටි ගාණක් වියදම් කරමින් විතරක් නෙමෙයි. මහා විශාල පම්පෝරි ගොඩකුත් එක්කයි. අද ඒ සුප්‍රීම් සැට් එක හොයන්න ලංකාවේ පොලිසියට අජටාකාශෙ පීරන්න වෙලා තියෙනවා. මේ සේරම අතරේ අබිරහස් විදිහට මිය ගියපු තාජුඩීන් කියන රගර් ක්‍රීඩකයාගේ මරණයත් තියෙනවා. එදා වාහන අනතුරක් කියලා සනාථ වෙලා සේරම හමාර වුණු මේ මරණය අද වන විට ඝාතනයක් බව පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. දැන් හොයමින් තියෙන්නේ ඝාතකයා කවුද කියන එකයි.
හැබැයි මේ ආණ්ඩුව මේ පරීක්ෂණ ගැන කතා කරන්න පටන් ගන්නේ ආණ්ඩුවට මොකක් හරි ගැටළුවක් මහින්දලාගෙන් මතුවෙනකොට විතරයි. තමුන්ට අවශ්‍ය වෙලාවට ඇදලා අරගෙන වාසිය ලබාගෙන ආයෙත් යට යන්න අරිනවා. යහපාලනයේ පරීක්ෂණ ගැන ජනතාවට කිසිම විශ්වාසයක් නැති තැනට වැඩ සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසයි.
මේ වෙනකොට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට එරෙහිව එජාපය ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුවෙලා. රාජපක්ෂලාට විරුද්ධව තියෙන අධිකරණ කටයුතු ප්‍රමාද කිරීම, විවිධ ඩීල් දමමින් දූෂිතයන් එක්ක ගජ මිතුරු සබදතා පැවැත්වීම, ජාතිවාදී මැර භික්ෂුන් ආරක්ෂා කිරීම වගේ කරුණු රැසක් ඔහුට එරෙහිව මතුවෙනවා. ඒ වගේම රවී කරුණානායකට එරෙහිව සිදු කෙරුණු කොමිසමේ ප්‍රශ්න කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමය එජාපයේ දැඩි විරෝධයට ලක් වෙලා තියෙන බව පැහැදිලියි. ආණ්ඩුවේ අයට එරෙහි චෝදනා ඉක්මනින් විභාග කෙරෙන බවත්, රාජපක්ෂලාට එරෙහි චෝදනා යටයන බවත් එහිදී නැගුණු චෝදනාවක්. ඉතින් මේ කාරණයත් පැහැදිලිවම විෙජ්දාසට එරෙහිව මතුවෙනවා. මහින්දට එරෙහිව ආණ්ඩුවෙන් ඉල්ලා අස්වුණු ප්‍රමුඛයෙක් වගේම මේ යහපාලන ආණ්ඩුවේ චෝදනාවලට ලක් වුණු ප්‍රමුඛතමයෙක් විදිහටත් විජේදාස නම් කරන්න පුළුවන්. කුප්‍රකට ඇවන්ට්ගාර්ඩ් ආයතනය සමග නීති සබදතාවක් තිබීමත්, ඒ ආයතනයට පක්ෂව කතා කිරීමත් නිසා තිලක් මාරපනට ඇමතිකමෙන් ඉල්ලා අස් වෙන්න වුණා. ඒ වෙලාවේ එම චෝදනාවම එල්ල වුණු අනෙකා තමා විෙජ්දාස. ඔහු කිසිම ලැජ්ජාවක් නැතිව කීවේ තමුන්ට ඒ ආයතනය එක්ක කිසිම සබදතාවක් නැහැ කියලා. ඒත් ඔහු හා ඇවන්ට්ගාර්ඩ් හිමිකරු විදේශයක විනෝද වෙන ඡායාරූප සාක්ෂි සහිතව හෙළිදරව් වුණා. ඒ වෙලාවේ ලොකුවට බෞද්ධකම ගැන කතා කරන විජේදාස ඇමතිට සදාචාරයක් ගෑවිලාවත් තිබුණා නම් ඇමතිකමෙන් ඉල්ලා අස් වෙනවා. ඒත් ඔහුට එහෙම ලැජ්ජා බයක් නැති බව පැහැදිලියි. මේ වතාවෙත් ඔහුට ඉල්ලා අස් වෙන්නැයි එජාපයේ නායකයා හැර අනෙක් සියළු දෙනාම ඒකමතිකව දන්වා තිඛෙනවා. ඒත් මහින්දලාගේ උපදෙස් මත ඔහු ඉල්ලා අස් නොවන බවත් ආරංචියි. මේ දවස්වල මහින්දලා විජේදාස වෙනුවෙන් දැඩිව පෙනී ඉන්නවා. විජේදාස රාජපක්ෂත් වහාම ජාතිය, ආගම හා රට පෙරට දාලා දේශප්‍රේමීත්වය නිසා තමුන්ව එළවන්න හදන බව කියන්න පටන් අරන්.
බොහෝ දුරට විජේදාසගේ අධිකරණ ඇමතිකම ඉවත් කරන්න ඉඩ තිඛෙනවා. එජාපයේ බහුතරයකගේ අදහස නම් ඔහුව සම්පූර්ණයෙන් ඇමති තනතුරුවලින් ඉවත් කළ යුතු බවයි. එහෙම ඇමතිකම් ඉවත් කිරීමක් සිදුවුණොත් ඔහු රාජපක්ෂලා ළගට යන්නත් ඉඩ තිඛෙනවා. මහින්ද වරක් කීව ‘වක්කඩේ හකුරු හංගපු’ කතාව දන්න අයට නම් මේවාට හිනා. මේ වෙනකොට මහින්ද පාර්ශ්වයට විජේදාස වීරයා වෙලා. ඒකෙන්ම තේරෙනවා මේ අය අතර තියෙන සම්බන්ධය කොතරම්ද කියන එක.


ඩී. බී. ඇල්කඩුව