නූතන මිනිස් ජාවාරමට එරෙහිව වැඩබිමෙන් නැගෙන හඩ

vidwath 01
පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ
August 29, 2017
rathnapura maha rohala
ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්
August 29, 2017
Show all

නූතන මිනිස් ජාවාරමට එරෙහිව වැඩබිමෙන් නැගෙන හඩ

manpower

මෑන්පවර් සේවය හෙවත් නූතන වහල් සේවය මේ වන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනයන්හිද මේ වන විට සේවකයන් සපයා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් බවට පත් වෙමින් තිබේ. මේ වෙනුවෙන්ම සූදානම් කරන ලද මෑන් පවර් ආයතන දැන් බහුලව දක්නට ලැබේ. එම ආයතනවල ප්‍රමුඛ අරමුණ වන්නේ මිනිස් ශ්‍රමය විකිණීමයි. එසේ නොමැතිනම් ශ්‍රමිකයන් විකිණීමයි.
මෙය ප්‍රාථමික මිනිස් ජාවාරම වූ වහල් වෙළඳාමේම නූතන රූපාකාරය බව ඕනෑම කෙනෙකුට පැහැදිලිය. මෙම ක්‍රමය මුලින්ම ලංකාවේ දකින්නට හැකි වූයේ මීට වසර ගණනාවකට පෙර ව්‍යාපාරික ස්ථානවලට ආරක්ෂක සේවාව ලබා දීමේ දීය. එමගින් සිදු වූයේ අදාළ ආයතන ඔවුන්ගේ ආරක්ෂක කටයුතු සඳහා එතෙක් සෘජුවම සිදු කළ බඳවා ගැනීම් නවතා දමා එම කටයුතු ඒ වෙනුවෙන් පමණක් ඇති කරනු ලැබූ ආරක්ෂක සේවා ආයතනවලට පමණක් පැවරීමය. මෙය තවදුරටත් වර්ධනය වෙමින් ඉන් පසු කාලයේ සිදු වූයේ එම ආයතනවල පිරිසිදු කිරීමේ කටයුතුද බාහිරකරණයට ලක් වෙමින් එම පිරිසිදු කිරීමේ ශ්‍රමිකයන් සපයන ආයතන වලට පැවරීමය. මෙහිදී සිදු වූයේ යම් ආයතනයකට අදාළ කටයුතු එම ආයතනයට සෘජු සම්බන්ධයක් නැති වෙනත් පිරිසක් අතින් සිදු කර ගැනීමයි. සරලව ගතහොත් අවුට් සෝස් හෙවත් සේවා බාහිරකරණය යනු එම තත්ත්වයයි. එහෙත් ආරක්ෂක, පිරිසිදු කිරීම වැනි සේවාවන් බාහිරින් ලබා ගැනීමේදී ඒ සඳහා විරුද්ධතාවයක් පැන නොනැගුණ අතර ඊට හේතු වූයේ යම් ආයතනයක ප්‍රධාන කටයුතු වලට එවැනි සේවාවන් අයත් නොවීමය.
වර්තමානයේ සිදු වී ඇත්තේ එක් එක් ආයතනය බාහිරකරණයට ලක් කරන සේවා ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබීමත් එම සේවාවන් සැපයීම සඳහා මෑන් පවර් ආයතන බිහි වීමත්ය. මෙම මෑන්පවර් ආයතන පිරිසිදු කිරීම, ආරක්ෂක සේවා වැනි එක් විෂයකට අයත් නොවන අතර අද එම ආයතන පිරිසිදු කිරීමේ සිට ලිපිකරුවන් පමණක් නොව ඉංජිනේරුවන්, ගිණුම් නිලධාරීන් මෙන්ම විධායක නිලධාරීන් සැපයීම දක්වා පුළුල් කර තිබේ. එසේ වීමට එම ආයතන පෙළඹී ඇත්තේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනද ආරක්ෂක හා පිරිසිදු කිරීම් කටයුතු වලින් ඔබ්බට ගොස් එම ආයතන වලට අවශ්‍ය කාර්යාල කාර්ය සහායකයන්, ලිපිකරුවන් ආදීන්ද බාහිර ආයතන මගින් සපුරා ගන්නට කටයුතු කිරීමය.
මේ මගින් සිදු වන්නේ ප්‍රධාන ආයතනය, ඔවුන්ගේ ආයතනයේ සේවය කරන බාහිර ආයතන වලින් ලබා ගත් සේවකයන්ගේ වගකීමෙන් මිදීමට උත්සාහ කිරීමයි. එහිදී බාහිර සේවකයන්ට සිදු වන්නේ අඩු වැටුපට, වරප්‍රසාද රහිතව, අයිතිවාසිකම් නොමැතිව සිය ශ්‍රමය වැය කරන්නටය. උදාහරණයක් ලෙස මෑන්පවර් ආයතනයක සේවකයෙකු ලිපිකරුවෙකු ලෙස බැංකුවක සේවය කරන බව සැලකුවහොත් එම බැංකුවේ ස්ථීර කාර්යමණ්ඩලයේ ලිපිකරුවාත් මෑන්පවර් ලිපිකරුවාත් සේවාදායකයන් සම්බන්ධයෙන් එකම කාර්යයක නිරත වුවත් බැංකු සේවකයාට සාපේක්ෂව මෑන්පවර් සේවකයාට ලැඛෙන්නේ අඩු වැටුපකි. බැංකු සේවකයාට දීමනා ඇතුළු අනිකුත් වරප්‍රසාද හා අයිතිවාසිකම් ලැබුණත් මෑන්පවර් සේවකයාට ඒ කිසිවක් ලැඛෙන්නේ නැත. මෙමගින් සේවක වගකීමෙන් මිදී විශාල ලාභ ලබා ගැනීමට බැංකු ඇතුළු ඒ ආකාරයට තම ප්‍රධාන කටයුතු බාහිරකරණයට ලක් කරන ආයතන වලට හැකියාව ලැබී ඇත.
සේවකයන්ගේ ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් වූ මෙම තත්ත්වය තවදුරටත් අපට වටහා ගත හැක්කේ රාජ්‍ය බැංකුවක සේවය කරන මෑන්පවර් කාර්යාල කාර්ය සහායකයෙකුගේ හා එම බැංකුවේම ස්ථීර කාර්ය මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකයෙකුගේ මාසික වැටුප් විස්තරය සැසඳීමෙන්ය. මෑන්පවර් සේවකයාට එක් දිනක් සඳහා මෑන්පවර් ආයතනය ගෙවන වැටුප රුපියල් 700.00කි. දින 19ක් සේවය කළ මාසයක්නම් ඔහුගේ මූලික වැටුප රුපියල් 13,300.00කි. එයට හේතුව එම සේවකයාට වැටුප් ලැඛෙන්නේ වැඩ කරන දින ගණනට වන නිසාය. ඔහුගේ ඊ.පී.එෆ්. සඳහා මුදල් කපා ගන්නා බව හා අදාළ මෑන්පවර් ආයතනය ඊ.පී.එෆ්. හා ඊ.ටී.එෆ්. සඳහා එම ආයතනයේ දායකත්වය ලබා දෙන බව වැටුප් පත්‍රිකාවේ සඳහන් වුවත් සේවකයාගෙන් කපා ගන්නා මුදල් හා ආයතනයෙන් බැර කළ යුතු මුදල් නිසි ආකාරයෙන් අදාළ අරමුදල් වලට බැර කරනවාද යන්න වෙනමම සොයා බැලිය යුතුය. කෙසේ වෙතත් අදාළ මෑන්පවර් සේවකයාට මූලික වැටුප යයි සඳහන් එම මුදලට අමතරව කිසිවක් නොලැඛෙන අතර බැංකුවේ ස්ථීර සේවයේ නිරත කාර්යාල කාර්ය සහායකයාගේ මූලික වැටුප පමණක් රුපියල් 19,725.00කි. එයට වාර්ෂිකව වැටුප් වර්ධකයද එකතු වේ. අමතරව ජීවන අංක දීමනාවක්ද රුපියල් 3,945.00ක් හා රුපියල් 5,071.00ක් වශයෙන් වූ දීමනාද අතිකාල සේවය වෙනුවෙන් වූ අතිරේක වැටුප් ද ඔහුට ලැඛෙන්නේය. ඊට අමතරව එම බැංකු සේවකයාට වෛද්‍ය ආධාර ඇතුළු ඉතා හොඳ රක්ෂණයක් ද ලැබේ.
එකම ආයතනයක එකම කාර්යයේ යෙදෙන සේවකයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් වූ වෙනස එයයි. ව්‍යාපාර ආයතනයක සමාජ වගකීම පිළිබඳ විශාල වශයෙන් ඝෝෂා කරමින් සුළු සුළු සමාජ සේවා කටයුතු වල නිරත වුවද ඔවුන්ගේ ව්‍යාපාරික කටයුත්තේ ප්‍රධාන කාර්යයන් ඉටු කරන සේවකයක් බාහිරින් සපයාගෙන සිදු කරන්නේ වගකීමෙන් මිදීම හා අධික ලාභ ඉපයීම බව ඉතාම පැහැදිලිය.
මෙම ක්‍රියාවලියේදී අවශ්‍ය සේවකයන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවා සිදු කරන්නේ මෑන්පවර් ආයතන නොව සේවකයාව උවමනා කරන අදාළ ආයතනය විසින්මය. ඒ නිසාම මේ ආකාරයේ මෑන්පවර් ආයතන විසින් සපයනු ලබන සේවකයන්ගේ සැබෑ හාම්පුතා කවුරුන්ද යන්න ගැටළු සහිතය.
කෙසේ වුවද මෙසේ බඳවා ගන්නා සේවකයන් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමට සේවාව ලබා ගන්නා ආයතනයට හැකියාව තිබේ. මෙහි ඇති වඩාත් කනගාටුදායකම කාරණය වන්නේ පෞද්ගලික අංශයට අමතරව සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සම්බන්ධයෙන් බැඳී ඇති රජයද රාජ්‍ය ආයතන හරහා එම ක්‍රියාවලියට සම්මාදම් වී සිටීමය. පක්ෂ පාට බේදයෙන් තොරව වෘත්තීය සමිති ඒකරාශී විය යුත්තේ නීතියට පටහැනි මෙවැනි තත්ත්වයන් පරාජය කිරීම සඳහාය.


නිපුණා සාරංගි