පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ

ranil
රනිල්ගේ දෙදෙනෙක් බිලි
August 29, 2017
manpower
නූතන මිනිස් ජාවාරමට එරෙහිව වැඩබිමෙන් නැගෙන හඩ
August 29, 2017
Show all

පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ

vidwath 01

තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්,  පියදාස රණසිංහ

තොරතුරු දැනගැනීමේ අයිතිය කියන යෙදුම පැහැදිලි කර ගනිමින්, අපේ සාකච්ඡාවට මුල පුරමු.

වර්තමාන මිනිහා ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයක බව කියනවා නේ. මේ කතාව පදනම් වෙන්නේ සන්නිවේදන තාක්ෂණය මත. එහෙම නම්, සන්නිවේදනය කරන්න දෙයක් තියෙන්න එපායැ. එතකොට තමයි, ‘තොරතුරු’ කියන දේ වැදගත් වෙන්නේ. විශ්ව ගම්මානයේ මිනිසාට තොරතුරු දැනගැනීම ප්‍රධාන අයිතිවාසිකමක් බවට අර්ථ දැක්වෙන්න පටන් ගත්තා. එතකොට පැහැදිලියි, විශ්ව ගම්මානය එක්ක අත්වැල් බැඳගෙන යන දෙයක් තමයි, තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නේ. ඉතින්, ‘අයිතිය’ කියන කොටම තවත් දෙයක් මතු වෙනවා. මිනිස් ශිෂ්ටාචාරයේ මේ පැමිණි ගමන තුළ ‘අයිතීන්’ කියන දේවල් නිකම්ම ලැබිලා නෑ. ඉල්ලීම් කරලා, සාකච්ඡා, සංවාද කරලා, සටන් කරලා තමයි, ලබාගෙන තියෙන්නේ.

අපේ රට ගැන සලකා බැලූවාම ඒ වගේ ලොකු සංවාදයක් හෝ සටනක් ඇති වුණේ නෑ නේද මේ වෙනුවෙන්?

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ පනත පුරවැසි උද්ඝෝෂණයකින් පැනනැගුණු එකක් නොවෙයි. ඉන්දියාවේ නම්, මහජනයා සංවිධානය වෙලා උද්ඝෝෂණය කරලා දිනාගත්ත එකක්. පළාත් පාලන ආයතනවල, අනෙකුත් ආණ්ඩුවේ ආයතනවල යොදවන අපේ සල්ලි ගැන අපට තොරතුරු (Our money, Our Information) කියන සංකල්පය යටතේ දිනාගනු ලැබූ දෙයක්. මහජනයාගෙන් පැනනැගුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක්. ලංකාවේ මහජනතාවගෙන් පැනනැගුණේ නැති වුණාට ජනමාධ්‍යවේදීන්, විද්වත් සංවිධාන, සිවිල් සංවිධාන මෙබඳු එකක් ඉල්ලා කළ උද්ඝෝෂණවලින් ලැබුණු ප්‍රතිඵලයක්. මා ඔය කියපු කණ්ඩායම්වලින් 1994 ඉඳලාම මේ ඉල්ලීම දිගටම කරගෙන ආවා. මේ නිසාම දේශපාලන පක්ෂ අතරටත් ඔය සංවාදය ආවා. 1994 ඉඳලා වරින්වර තොරතුරු පනතක් ගේන්න උත්සාහ කළත් හරිගියේ නෑ. අන්තිමට තමයි, 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරලා ඉන් පසුව ප්‍රායෝගික තත්ත්වයට ගෙනත් තියෙන්නේ.

අපේ රටේ ජනතාවට මෙයින් තිඛෙන වැදගත්කම මොන වගේද?

අන්න ඒක දැනගැනීම මහජනතාවට වැදගත්. තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් රජය කරන්නේ මොනවාද? බලයේ සිටින ආණ්ඩු කරන්නේ මොනවාද කියලා දැනගන්න නීතිමය වශයෙන් අවස්ථාවක් තියෙන්න ඕනෑ. ඒ වාගේම තමන්ගේ දුක්ගැනවිලිවලට උත්තර ලැඛෙන්න ප්‍රමාද වෙන්නේ ඇයි කියලා දැනගන්නත් අවස්ථාවක් තියෙන්න ඕනෑ. ඒ අඩුව පුරවන්නයි ක්‍රියා කර තිඛෙන්නේ. මහජනතාවට තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියක් පත් කර ඉන්නවා. ඒ වාගේම රාජ්‍ය ආයතනවල තොරතුරු නිලධාරීන් පත් කර ඉන්නවා. මීට අමතරව තොරතුරු කොමිෂන් සභාව පත් කර තිඛෙනවා. හැබැයි, තොරතුරු කොමිෂන් සභාව කරන්නේ මහජනයාට තොරතුරු ලබා දීම නොවෙයි. මහජනයාට තොරතුරු ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමයි. පහසුකම් සැලසීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් තමයි, මහජනතාවගෙන් ලැඛෙන අභියාචනා සලකා බැලීම. අදාළ දෙපාර්ශ්වය කැඳවලා කටයුතු විභාග කරලා අවශ්‍ය තොරතුරු ලබා දීමට මැදිහත්කරුවකු වශයෙන් නියෝග දීමයි කරන්නේ.

තොරතුරු කොමිෂන් සභාවට අභියාචන එන්නේ කොහොමද?

අදාළ තොරතුරු නිලධාරියාගෙන් ලිඛිතව, වාචිකව සහ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීම් කළ හැකියි. වාචිකව ඉල්ලා සිටින අවස්ථාවක හෝ විධිමත්ව අයදුම් පත පුරවා නැති අවස්ථාවක ගාස්තු අය කිරීමකින් තොරව තොරතුරු නිලධාරියා අයදුම් පත පුරවා ගත යුතුයි. පුරවැසියා ඉල්ලන තොරතුරු ලබා දිය හැකි ඒවා ද යන්න දින 14ක් ඇතුළත දැන්විය යුතුයි. ලබා දිය හැකි තොරතුරු නම්, ඊළඟ දින 14ක් හෝ 21ක් ඇතුළත ලබා දීම හෝ නොදීම ගැන දැන්විය යුතුයි. තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළොත්, ඊළඟ දින 21ක් ඇතුළත පුරවැසියා තොරතුරු කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන්න ඕනෑ.

එතකොට ජනාධිපතිවරයාගේ සිට ගමේ ග්‍රාම නිලධාරී දක්වා හැම දෙනාගේම තොරතුරු දැනගන්න හැකියාව තියෙනවාද?

පෞද්ගලිකව අදාළ තොරතුරු ඉල්ලන්න බෑ. ඔවුන් රාජකාරී කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වාගේම මහජන මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න පුළුවන්. හැබැයි, අදාළ ආයතනවලින් ඉල්ලන්න ඕනෑ. අනෙක් අතට මතක තියා ගන්න ඕනෑ ඇතැම් ආයතනවලින් ඇතැම් තොරතුරු ඉල්ලන්න බෑ. උදාහරණයක් හැටියට විභාගයට පෙර විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පත්තර ඉල්ලන්න බෑ. ඒ වාගේම හමුදාවට ආයුධ කොච්චර තිඛෙනවාද කියලා තොරතුරු ඉල්ලන්න බෑ. ජාතික ආරක්ෂාවට බලපාන කිසිම තොරතුරක් ඉල්ලන්න බෑ. අනෙක් අතින් රජයේ වියදම් වුණත්, පොදු කටයුතු සඳහා හෝ පොදු කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන නිලධාරියෙකුගේ වියදම් ඉල්ලන්න පුළුවන්.

අපේ රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් තිඛෙන අවබෝධය අඩුයි නේද?

ඕනෑම දෙයක් අලුතින් පටන් ගන්න කොට ඔය ප්‍රශ්නය මතු වෙනවා. උදාහරණයක් වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ගන්නකෝ. මුල් කාලයේ මුළු අවුරුද්දටම හතර පස් දෙනෙකුට වැඩිය මානව හිමිකම් කොමිසමට ගියේ නෑ. හැබැයි, අද දහස් ගණනක් යනවා. යමක් ගැන මහජනතාව තුළ අවබෝධයක් ඇති වෙන්න එක්තරා කාලයක් ගත වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම කරන්නේ කවුරුන්ද? මහජනතාව දැනුම්වත් කිරීමේ කාර්යභාරය ජනමාධ්‍යවලට සහ සිවිල් සංවිධානවලට පැවරී තිඛෙනවා. ඔවුන් මැදිහත් වී ප්‍රජාව දැනුම්වත් කරන්න ඕනෑ. අනෙක් පැත්තෙන් මේ පනත ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් විශාල කොටසක් පැවරී තිඛෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිඛෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනටත් විවිධ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. ගුවන් විදුලි වැඩසටහන් කරනවා. පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. මේවායෙන් දැනුම්වත් වී ප්‍රයෝජන ගන්න එක්තරා කාලයක් ගත වෙනවා. ඉන්දියාවේ කෝටි එකසියතිහක් ඉන්න රටේ තොරතුරු ඉල්ලූම් පත්‍ර පනස්දාහයි පළමුවැනි අවුරුද්දේ ලැබුණේ. අපේ ජන සංඛ්‍යාව එක්ක සංසන්දනය කරලා බැලූවාම ඊට වැඩිය ඉල්ලූම් පත්‍ර ප්‍රමාණයක් රජයේ ආයතනවලට ලැඛෙනවා.

තොරතුරු දැනගැනීමට තමන්ට අයිතියක් තියෙන බවවත් ජනතාව දන්නේ නෑ නේ. තමන්ගේ අයිතීන් ගැන නොදැන සිටීම තුළ ලැඛෙන ප්‍රතිඵලය ඉතාම අල්පයි නේද?

මහජනතාවට දැනුම ලබා දෙන්න කියලා රැස් කරවලා පන්ති පවත්වන්න, දේශන තියන්න විධිවිධානයන් අපට නෑ. අපේ හතර දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් තියාගෙන එහෙම වැඩපිළිවෙළක් අපට කරන්න අමාරුයි. මේ කොමිෂන් සභාවෙන් කරන්නේ අභියාචන විභාග කිිරීම. කාගෙන් හරි අභියාචනයක් ආවොත්, දෙගොල්ලන් කැඳවලා විභාග කරලා දෙන්න පුළුවන් තොරතුරක් නම්, ලබා දෙන්න කියලා අදාළ නිලධාරියාට නියෝග කරනවා. එච්චරයි.

නමුත්, මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලටත් නිසි අවබෝධයක් නොතිබීමේ ප්‍රශ්නයක් තියෙනවා නේද?

අන්න ඒක තමයි. ඔය කටයුත්ත කරන්නේ කොමිෂන් සභාව නොවෙයි, ජනමාධ්‍ය අමාත්‍යාංශය. සියලුම රජයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ  ක්‍රියාවලිය ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනටමත් කරගෙන යනවා. ඒ වාගේම පළාත් නවයේම වැඩමුළු පවත්වා සියලුම විධායක නිලධාරීන්ටත්, දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන්ටත් වැඩමුළු පවත්වා තියෙනවා. අමාත්‍යාංශ මට්ටමේ වැඩමුළු වාගේම
තොරතුරු නිලධාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළු කර අත් පොතකුත් නිකුත් කර තියෙනවා. තොරතුරු නිලධාරීන් පුහුණු කිරීමේ මගපෙන්වීම් කර තිඛෙනවා.
ඉතාම පැහැදිලිව කියන්න තියෙන්නේ මේ පනත සක්‍රීය තලයට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු කටයුතු කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වගකීමයි. ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනම ඒකකයක් පිහිටුවාගෙන ඒ කටයුතු කරගෙන යනවා. ඒක හඳුන්වන්නේ ‘තොරතුරු අයිතිවාසිකම් ඒකකය’ කියලා. එතන නිලධාරීන් තමයි, ඒ සියලුම වැඩකටයුතු කරන්නේ. තොරතුරු කොමිෂන් සභාවේ අපි එතනට අවශ්‍ය සහයෝගයත්, ‘මේ මේ දේවල් කරන්න’ කියලා මගපෙන්වීමක් කරනවා. සක්‍රීය මට්ටමට ගෙන ඒමේ කාර්යභාරයේ විශාල වගකීමක් තොරතුරු කොමිෂන් සභාවට නෑ. නමුත්, දෙගොල්ලෝ ඒකාබද්ධ වෙලා කරගෙන යන වැඩ කොටස් තියෙනවා.

පුරවැසියන්ට ලබා නොදෙන තොරතුරු හැර වෙනත් වර්ගීකරණයක් තිඛෙනවාද?

තොරතුරු සම්බන්ධ වර්ගීකරණය කියලා සීමා පනවලා නෑ. පුරවැසියාට තියෙන්නේ තමන්ට වුවමනා කරන තොරතුර මොකක්ද කියලා තෝරාගෙන අදාළ ආයතනයෙන් ඉල්ලා සිටීම. උදාහරණයක් හැටියට දරුවෙක් පාසලට ඇතුළත් කරන්න ඉල්ලුම් පත්‍රයක් දැම්මාම මොකද වුණේ? ගහක් කපන්න පර්මිට් එකක් ප්‍රදේශීය ලේකම්ගෙන් ඉල්ලුවා. ඒකට මොකද වුණේ? බලපත්‍රය නොලැබුණේ ඇයි? රජයෙන් ඉඩමක් ඉල්ලුවා. ඉඩම් කච්චේරියටත් ගියා. ඉන් එහාට මොකද වුණේ? වගේ පුරවැසියන්ට බලපාන කරුණු තියෙනවා නේ. මේවා ගැන ප්‍රශ්න කිරීම නොවෙයි කරන්න ඕනෑ. තොරතුරු ඉල්ලීමයි කරන්න ඕනෑ. උදාහරණයක් හැටියට ‘ඉඩම් කච්චේරියේදී සුදුස්සන් තෝරා ගත් නිර්ණායක ලබා දෙන්න’ කියලා පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ.

පුරවැසියන්ට පෞද්ගලිකව බලපාන කරුණු ගැන තොරතුරු විතර ද ඉල්ලන්න අයිතිය තියෙන්නේ?

අපෝ නෑ. පොදුවේ සමාජයට බලපාන කරුණු ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන්. ගමේ පාලමට හරි පාරට හරි වියදම් වූ මුදල් ගැන විස්තර, කොපමණ දුරකට ඉදි කරනවාද කියන විස්තර වගේ තොරතුරු පොදුයි නේ. ඒවත් ඉල්ලන්න පුළුවන්. කොටින්ම රජයේ මුදල්වලින් කරන සංවර්ධන කටයුතු ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන්. තවත් ඉදිරියට ගිහින් රජයේ ප්‍රතිපත්ති ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන්. රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන්. දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමේ ප්‍රතිපත්තිය ගැන ඉල්ලන්න පුළුවන්. දුප්පත් මිනිසුන්ට ඉඩම් ඛෙදා දීමේ රජයේ ප්‍රතිපත්තිය ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන්. හැබැයි, කෙනෙකුට ගිහිල්ලා, ‘ලබන අය-වැය ලේඛනයෙන් අරක්කුවල මිල කීයක් වැඩි කරනවාද?’ කියලා අහන්න බෑ, ‘රුපියල අවප්‍රමාණය කරන්නේ කීයකින්ද?’ කියලා අහන්න බෑ. ලබා ගන්න බැරි තොරතුරු ගැන සාරාංශ කර කියන එකෙන් වඩාත් පැහැදිලි වෙයි. රජයේ ආර්ථීක සහ මූල්‍ය ප්‍රතිපත්තිවලට බලපාන කරුණු, ජාතික ආරක්ෂාවට බලපාන කරුණු, පෞද්ගලිකත්වයට බලපාන කරුණු අහන්න බෑ. පෞද්ගලිකත්වය ගැන උදාහරණයක්¦ දරුකමට හදා ගන්න දරුවෙක් ගත්තෙ කොහෙන්ද කියලා කාටවත් අහන්න බෑ. එතකොට ඒ දරුවාගේ සහජාතකත්වය, භාරකාරත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වෙනවා. පරිවාස නීතිය යටතේ අධිකරණය මගින් දරුවෙක් හදා ගන්න ගත්තාම ඒක පෞද්ගලික සහජාතකත්වය. ඒ වගේ අහන්න බැරි කරුණු 21ක් පනතේ සඳහන් කරලා තියෙනවා. ලෝකයේ අනෙක් රටවල් එක්ක බැලුවාම අහන්න බැරි දේවල් අතිශයින්ම අඩු දේවල් තියෙන්නේ මේ පනතේ. ලෝකයේ තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන ලෝකයේ හොඳම තුන්වැනි පනත තියෙන්නේ අපේ රටේ. පරිපාලනය සහ මහජන කටයුතුවලට අදාළ තොරතුරු කිසිම විකෘති කිරීමකින් තොරව ලබා ගන්න පුළුවන්.

අතීතයට බලපාන තොරතුරු ලබා ගැනීමේදී යම් සීමාවක් තිඛෙනවාද?

කාලසීමාවක් අතීතයට බලපාන්න නියම කර නෑ. හැබැයි, එකී තොරතුරු දිය හැක්කේ අදාළ තොරතුරු අදාළ රජයේ ආයතනය සතුව පවතින්නේ නම්, පමණයි. මේ පනතේ ඉතා ම පැහැදිලිව තියෙන්නේ, ‘පොදු අධිකාරියක සන්තකයේ, පාලනයේ හෝ භාරයේ පවත්නා තොරතුරු ලබා දිය හැක්කේය’ කියලයි. ඒ එක්කම විශේෂයෙන් තියෙනවා, ‘ඇතැම් ලියවිලි රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දීලා තිඛෙනවා. නමුත්, ඒකෙන් පිටපත් කිරීමෙන් හානි වෙනවා නම්, දෙන්න බෑ.’  උදාහරණයක් හැටියට පෘතුගීසි කාලයේ තෝම්බුවක් (මෙය පෘතුගීසි වචනයකි. ඔප්පුව වැනි අදහසක් තිබේ.) ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන්න පුළුවන්. නමුත්, ඒක විවෘත කිරීම ලේඛනයට හානිදායක නම්, පිටපත් ගන්න බෑ. නමුත්, ඒකේ තියෙන තොරතුරු ඉල්ලා සිටින්න බාධාවක් නෑ, ඒ හැර අතීතයට බලපාන කාල නියමයක් නෑ. මහජනතාවට මේ අයිතිය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්න පාසල් අධ්‍යාපනයේ උසස් පෙළ විෂයයක් හැටියට ඇතුළු කරන්න කියලත් ඉල්ලීමක් කර තිඛෙනවා. රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගයට පනත අනිවාර්ය කරනවා, තව අවුරුද්දකින්. එක ගමක එක පුද්ගලයෙක් ඉල්ලූම් පත්‍රයක් දාලා තොරතුරු දැනගත්තාම අනෙක් අයත් පෙළඹෙනවා. ඒක තමයි, අපේ රටේ ස්වභාවය.

මේ ගැන අධ්‍යයනය කරන්න තියෙන ගැසට් පත්‍රය මොකක්ද කියලා අවසාන වශයෙන් කියන්න.

මේ අවුරුද්දේ පෙබරවාරි 03 වැනිදා නිකුත් කළ අංක 2044/66 දරන ගැසට් පත්‍රය බලන්න. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේත් තියෙනවා.


සංවාදය සහ සටහන
ප්‍රියදර්ශන දයාරත්න