රනිල්ගේ දෙදෙනෙක් බිලි

protests
හයිබ්‍රිඩ් දෙබෑයන්ගේ අසම්මත වසර දෙක
August 29, 2017
vidwath 01
පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ
August 29, 2017
Show all

රනිල්ගේ දෙදෙනෙක් බිලි

ranil

මේ සතිය ආරම්භ වූයේ හවුල් ආණ්ඩුවට වර්ෂ දෙකක් පිරෙමින්ය. නමුත්, එය සැමරීමට හෝ කිසිම ඉඩක් හවුල් ආණ්ඩුවේ රනිල් – මෛත්‍රී දෙපාර්ශ්වයටම නොවූයේය. දේශපාලනය කියන්නේ කටගැස්මක් යනුවෙන් තේරුම් ගත් අයට මේ දවස්වල ඕනෑ තරම් එය ලැඛෙන්නේය. සමස්ත මාධ්‍ය ජාලයම ක්‍රියාත්මකව තිඛෙන්නේද වොයිස්කට් දේශපාලනයෙන් කටගැස්ම විකුණාගෙන කෑමටය. පවතින තත්ත්වය හමුවේ සිහිබුද්ධියෙන් දේශපාලනය තේරුම් ගැනීමේ අභියෝගය ජනතාවට එල්ල වී තිඛෙන බව සඳහන් නොකරම බැරිය.

ඔළු තුනම මඤ්ඤං

 

සතිය ආරම්භ වූයේ රනිල්ගේ ඩීල් දේශපාලනයට තවත් දරුණු පහරක් එල්ල කෙරෙමින්ය. ඔහුගේ දෙවැනි ඇමතිවරයාටත් දෙසතියක් තුළ ඇමතිකම අහිමි කරමින්ය. අනෙක් පැත්තෙන් රනිල්ගේ ගජමිතුරා මෙන්ම දේශපාලනයේ ඩීල් මිතුරා ද වන මහින්ද රාජපක්ෂ මඤ්ඤං කෙළීමේ උපරිමයට පැමිණ සිටින්නේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගැන නන්දොඩවමින්ය. රනිල් – මහින්ද දෙදෙනාම සමග සසඳා බලන විට මෛත්‍රී යම් තරමකින් අඩුම මඤ්ඤං කෙළීමක් පෙන්නුම් කර තිබුණද, කොයි මොහොතකදී කුමකින් කුමක් කියාවිද? කුමකින් කුමක් කරාවි ද කියා ඔහුම නොදත්තේය. දේශපාලනය යනු කටගැස්ම වශයෙන් කල්පනා කරමින් සිටින අයට සිදුවීම්වල හේතු සම්බන්ධය තේරුම් නොයන්නේය. මේ අද මතු වී තිඛෙන්නේ පුද්ගලයන්ගේ මඤ්ඤං කෙළීමක් නොව හැත්තෑ වසරක ධනපති පාලනයේ අසාර්ථකත්වය පුපුරා යාම බව තේරුම් ගත යුත්තේය.

රනිල් මත කඩාවැටීම

ගෙවී ගිය හැත්තෑ අවුරුද්දක මඤ්ඤං කෙළීමේ වගකීම මූලික වශයෙන් කඩාවැටී ඇත්තේ, රනිල්ගේ හිස මතටය. මෙයට පෙර ද මෙම තීරුවේ සටහන් කළ පරිදි ’77 පෙරළිය’ යනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර වැටී සිටින වළෙන් ගොඩ ඒමට රනිල් කර තිබූ සියලූ සැලසුම් දැන් සුනුවිසුණු වී අවසන්ය. තමන් දේශපාලනයේ පරිණත නායකයෙකු බවට පෙන්වීමට දේශපාලන දිවියේ 40 වැනි සැමරුමට පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වුවද, කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී සියල්ල නිමා වී ඇත්තේය. මහින්ද සමග ඩීල් දේශපාලනයේ යෙදෙන විට දැනුණු සුව සහනය දැන් අති වේදනාකාරී ලෙස ආපිට කැරකී අත්විඳිමින් සිටින්නේය. දැන් රනිල්ගේ ගුණ වැනීමට සිටින්නේ චන්ද්‍රිකා පමණි.

රනිල්ගේ දෙදෙනෙක් බිලි

ඩීල්වල ප්‍රතිවිපාක කැරකී එමින් තිඛෙන්නේ හවුල් ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන විටමය. 2015 අගෝස්තු 22 වැනි දින රනිල් – මෛත්‍රී දෙදෙනා අවුරුදු දෙකක් සඳහා හවුල් ආණ්ඩුවක් ගෙන යාමට අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබූහ. ඒ අනුව හවුල් ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වූ අතර, රනිල්ට පක්ෂය තුළ සිටි අතිජාතම දේශපාලන හිතමිතුරා වූ රවී කරුණානායක බිලි දීමට සිදු වී තිබුණේය. එයින් නොනැවතී විජේදාස රාජපක්ෂ ද ඇමතිකමෙන් ඉවත් කිරීමට සිදු වී තිබුණේය. රවී තවදුරටත් රනිල්ට දේශපාලන හිතෛෂීකම් ඇතිව නිහඩව සිටිය ද, විජේදාස රාජපක්ෂ ඇමතිකමෙන් ඉවත්ව ගියේ ලොකු පහරක් ද එල්ල කරමින්ය. නීතිපතිවරයා අරලියගහ මන්දිරයට කැඳවා හීලෑ කරමින්, ඉදිරි දේශපාලන ඩීල්වලට සූදානම් වන බව ප්‍රකාශ කිරීම එම ප්‍රහාරය වන්නේය.

ගාමිණී ජයවික්‍රම අලුත් වැඩක

ප්‍රශ්නය එයින් නිමා වී නැත්තේය. සැලසුම් කර තිඛෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු බිලි දීමට සිදු වන්නේ දැයි දෙලොවක් අතර සිටීමට රනිල්ට සිදු වී ඇත්තේය. ගාමිණී ජයවික්‍රම පෙරේරා ජ්‍යෙෂ්ඨම ඇමතිවරයාද දැන් සටනක් පටන්ගෙන සිටින්නේය. පක්ෂයේ දූෂිතයන් ඉවත් කළ යුතු බව කියමින්ය. එසේ දියත් කර තිඛෙන සටනේ දිග පළල කොතරම් දැයි තවමත් නිශ්චය කිරීමට නොහැකිව ඇත්තේය. අනෙක් පැත්තෙන් දයා ගමගේ ද අලුත් වැඩකට අරඅඳින බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලි වී ඇත්තේය. මණ්ඩලයේ සියලු දෙනා විජේදාස රාජපක්ෂට විරුද්ධ වෙද්දී ඔහු වෙනුවෙන් දයා ගමගේ පමණක් පෙනී සිටීම තුළින් මේ ප්‍රශ්නය මතු වී ඇත්තේය. කෙසේ වෙතත්. ‘රට කන හොරුන් දූෂිතයන් රැකගෙන ආණ්ඩුවේ සාමුහික තීරණ කඩ කිරීමට’ දඩුවම් කිරීම පිළිබඳ අලුත් චෝදනාවක් රනිල්ට එල්ල වෙමින් තිඛෙන්නේය.

රනිල් මෙන්ම මහින්දත්

රනිල්ගේ මෙන්ම දෙකොන ගිනිගෙන තිඛෙන්නේ මහින්දගේය. රාජපක්ෂ පවුලේ යට ගැසී තිබූ වංචා, දූෂණ යම් ප්‍රමාණයකට එළියට ඇදෙමින් තිඛෙන්නේය. රාජපක්ෂ පවුලේ අයට අනතුරු ඇඟවීමට දෝ ප්‍රසන්න රණතුංග සම්බන්ධ මිලියන 64ක වංචාව පිළිබඳ නඩුව එක දිගට විභාග කිරීමට නියම වී ඇත්තේය. මහින්ද පිලේ කට්ටිය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රමිකව හැලෙමින් යන්නේය. ඒ වැඩි දෙනෙක් මෛත්‍රී සමග එක් වන්නේය. ගෝඨාගේ නිහඩ බව කුණාටුවක පෙරනිමිත්තක් ලෙසින් ද මහින්දටම පෙනෙන බව පැහැදිලි වන්නේය. පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පාලනය කර ගත නොහැකි තරමට වර්ධනය වීමෙන් මුල් පුටුවේ මහින්දටම වාඩි වීමට සිදුව ඇත්තේය. මේ හැමදේම හමුවේ මහින්ද ඉහළින්ම මඤ්ඤං කෙළින්නේ සභාපතිකමක් බදාගෙනය. ශ්‍රී ලංකා එකේ සභාපතිකමෙන් තමන් අස් කළේත් නැත්නම්, අස් වූයේත් නැත් නම් තවමත් සභාපති තමන් බව කියා ගන්නේය.

මෛත්‍රීගේ උපදේශක

මේ මොහොතේදී මෛත්‍රීගේ හෙමින් සීරුවේ ලකුණු ටිකක් එක් කරගෙන ඇති බව පෙනෙන්නේය. විජේදාස ඉවත් කිරීමේ අත්සන යෙදීම, එජාපයෙන් මෛත්‍රීට පවරා අත සෝදාගෙන තිබුණේය. විජේදාස මෛත්‍රීගේ නීති උපදේශක කෙනෙකු වශයෙන් ද සිටියේය. නමුත්, මෛත්‍රී ඉවත් කිරීම කළේය. මෛත්‍රීට අවශ්‍යව තිබූ ජාතික ආර්ථීක සභාව ද පිහිටුවා ගත්තේය. හොරුන්ට, දූෂිතයන්ට දඩුවම් කිරීමට පසුබට නොවන බවට අවම නැඹුරුවක් ලබා ගැනීමට සමත් වී සිටියේය. එය පවතින්නේ එජාපයෙන් ප්‍රහාර එල්ල නොවන තාක් පමණක් වන්නේය. ශ්‍රීලනිපය තුළ සිටින හොරුන් මෛත්‍රීගේ මැදිහත් වීමෙන් ආරක්ෂා කරන බවට ප්‍රහාර එල්ල වූ විට මෛත්‍රී කුමක් කරනු ඇද්දැයි යම් අනුමානයක් කළ හැකිය. ‘හොරු එළවන්න කියලා එකතු කර ගත්ත අය කම්බ හොරුන් වෙන කොට මට ඒ කම්බ හොරුන්ට විරුද්ධව මුලින් ක්‍රියා කරන්න සිද්ධ වුණා’ යනුවෙන් කියනු නො අනුමානය. රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය යෙදී තිබුණේ මේ වැනි මඤ්ඤං තුළය.

විජේදාස මුවහමටම තඩි බෑම

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභා රැස්වීමක් පසුගිය විසිතුන්වෙනිදා පස්වරුවේ කොළඹදී පැවැත්විණි. එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයෝ සහභාගි වී සිටියහ. මෙහිදී රටේ ඇති වී තිඛෙන දේශපාලන අර්බුදයන් පිළිබඳවත් ඉදිරි මැතිවරණය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් විය. විජේදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳවද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වී තිබිණි.
‘රවීගේ මුදල් ගනුදෙනු එක්ක තමයි මේ වංචා දූෂණ ගැන කතාව ආපහු උඩට ආවේ. නැත්නම් මේ ආණ්ඩුව දිගටම හොරු ගැන කතා කරන එක නවත්වලා තිබුණේ. ඒකයි අපිට කියන්න සිදුවුණේ පාර්ලිමේන්තුවේදී මූණටම හොරු කිව්වාම, හිනා වෙලා ඉන්න ඇමතිලා එක්ක වංචා දූෂණ මාතෘකාව තවදුරටත් කතා කරලා වැඩක් නැහැ කියලා. කොහොම වුණත් දැන් රවීගේ හොරකම අමතක වෙලා විජේදාස මාතෘකාව වෙලා’ අනුර දිසානායක කියා සිටියේය. ‘මුල ඉඳලම හොරු රැක්කේ කවුද කියලා රටම දන්නවා. වික්‍රමසිංහ අගමැතිවරයා රාජපක්ෂලා ආරක්ෂා කළා ශ්‍රීලනිපය දෙකට කඩන්න. ජනාධිපතිතුමා තමන් ළඟට ආපු ඇමතිවරුන්ගේ වංචා දූෂණ යට ගැහුව්වා. අන්තිමට රවීගෙ හොරකම නිසා රවීට ගෙදර යන්න වුණාම එජාප මන්ත්‍රීන්ට හොරු ගැන කතා නොකර බැරිවුණා. ඒකයි ඇත්ත කතාව. විජේදාසත් හොරු රකින්න ඇති. ඒත් එකම චූදිතයා එයා නෙවෙයි. අන්තිමට බිලිබෝයි වුණේ විජේදාස.’ටිල්වින් සිල්වා කියා සිටියේය. ‘දැන් හැමෝම එකතුවෙලා විජේදාස මුව හමට තඩිබානවා. අවුරුදු දෙකක් වංචා දූෂණ ගැන මොකුත් නොකර ඉඳලා දැන් බොරු කයිවාරු ගහනවා. ඒ අස්සේ රාජිතලා පෞද්ගලික වෛර පිරිමහගන්නවා. රවී කරුණානායකටත් මේකෙන් පොඩි වාසියක් ඇවිත් එයාගේ වැඩේ යටගිහින් නිසා. විජේදාස කියලා තිබුණා කැබිනට් එකේ ඉන්න වුණු එක ලැජ්ජයි කියලා. ජනතාවම ලැජ්ජ වෙනවා, මෙහෙම ආණ්ඩුවක් රටේ තියන එක ගැන. කොහොමත් විජේදාස ඉවත් කළා කියලා පරණ හොරුන්ටවත් අලූත් හොරුන්ටවත් දඩුවම් දෙයි කියලා ජනතාවට විශ්වාසයක් නැහැ.’ විජිත හේරත් කීවේය.
‘පරණ ඇමතිවරු මේ ඇමතිවරුන්ට හොරු කියනවා. දැන් ඇමතිවරු පරණ ඇමතිවරුන්ට හොරු කියනවා. දැන් තරගේ තියෙන්නේ ලොකුම හොරා තෝරන්න. රාජිත කියලා තිබුණා රටේ කාන්තාවෝ තමයි හොරු අල්ලන්න කියලා කෑගහන්නේ කියලා. එහෙම කියන රාජිතත් හොරකම් කළානේ. කොහොම වුණත් අපි හොරුන්ට එරෙහි කාන්තා බලය කියලා සම්මන්ත්‍රණ මාලාවක් තියලා ජනතාව දැනුවත් කරනවා.’ සමන්මලී ගුණසිංහ කියා සිටියාය.

ආණ්ඩුව තවත් අඩියක් පස්සට

පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමුවී තිබිණි. ‘ආණ්ඩුව කලින් කිව්වා පළාත්පාලන මැතිවරණය දෙසැම්බර් මාසේ සා/පෙල විභාගයට කලින් තියලා අවසන් කරනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව අඩියක් පස්සට තියලා තියෙන්නේ. දෙසැම්බර් ඡන්දෙ, ජනවාරිවලට කල්දාන්න යනවා. අවුරුදු ගාණක් කල්දාලා තවත් පස්සට ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. පනත සම්මත කරපු ගමන් ඡන්දය පවත්වන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙනවා’ අනුර දිසානායක කියා සිටියේය. ‘රවීගේ ප්‍රශ්නෙනුත් විජේදාසගේ ප්‍රශ්නෙනුත් ආණ්ඩුව හිතපු නැති විදියට තවත් අප්‍රසාදයට පත්වුණා. මීට කලින් ඡන්දය ගැන කතා කරන වෙලාවේ ඒ ප්‍රශ්න ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුව දැන් අයවැයෙන් පස්සේ ඡන්දය පවත්වන්න උත්සාහයක ඉන්න බවයි පේන්න තියෙන්නේ. අයවැයෙන් සීනිබෝල ටිකක් දීලා ඡන්දය ගන්න.’ බිමල් රත්නායක කියා සිටියේය. ‘කොහොමත් ආණ්ඩුව ඡන්දෙට බයයි. ඒ නිසයි මේ තරම් කාලයක් කල් දමමින් ආවේ. නමුත් තවදුරටත් ඒ වැඩේට ඉඩදෙන්න බැහැ.’ ලාල්කාන්ත කියා සිටියේය.

බදුපනතට විරෝධතා මාලාවක්

‘ආණ්ඩුව තමන්ගේ ආර්ථීක අර්බුදය වහගන්න අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නේ රටයි ජනතාවයි පාවලා දීලා. රටේ හැම පුරවැසියටම බදු ෆයිල් එකක් දීලා උපයන හැම රුපියලකටම බදු ගහන්නයි දැන් ආණ්ඩුව හදන්නේ. බදු ගහන්න පුළුවන් හැම ක්ෂේත්‍රයක්ම ආණ්ඩුව බදුවලට යටත් කරලා. රුපියල් පනස්දාහක් උපයන සෑම කෙනාම ආදායම් බදුවලට යටත් කරලා. රටේ ආදායම වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට වක්‍ර බදු, සෘජු බදු දෙකම එකවිදියට ගහනවා. ඒත් රටේ ජනතාවට මේ බදු පනත ගැන හොඳම අවබෝධයක් නැහැ. මේ පනත සම්මත කරගන්න දෙන්න බැහැ. වෘත්තීය සමිති විදියට මේකට වැඩවර්ජනයක් කරන්න සූදානමක් තියෙනවා.’ ලාල්කාන්ත නව බදු පනත පිළිබඳව මධ්‍යමකාරක සභිකයන්ගේ අවධානය යොමු කළේය. ‘ඔව්, මේ බදු පනත සම්මත කරගත්තොත් ජනතාවට ලේසි වෙන්නේ නැහැ. ඒ නිසාම ජනතාව දැනුවත් කරලා මේ පනතට ලොකු විරෝධයක් හදන්න වෙනවා. අපි මේ ගැන අත්පත්‍රිකාවක් සකස් කරලා ජනතාවට ඛෙදමු. මුලින්ම මේ ගැන දැනුවත් කරන එක වැදගත්. ඒ වගේම පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමු’ විජිත හේරත් යෝජනා කළේය. ‘ඒ විතරක් නෙවෙයි මේ ගැන සම්මන්ත්‍රණ මාලාවක් තියලා ජනතාව අතර සංවාදයක් හදන එක හොඳයි.’ සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය.

දෙයියොත් දන්නේ නැහැ

සරත් කුලාංග කලාකරුවාගේ ‘දෙයියෝත් දන්නේ නැහැ’ නාට්‍යයට වසර හයක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද නාට්‍ය දිගහැරුම සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයාටද ආරාධනා ලැබ තිබිණි. එමෙන්ම මේ අවස්ථාවට එම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟ පෑ විජය නන්දසිරි මහතාගේ ආදරණීය බිරිඳත්, නිහාල් නෙල්සන්, ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, දීපානි සිල්වා, අජිත් මෙන්ඩිස් ඇතුළු කලාකරුවෝ පිරිසක්ද සහභාගි වූහ. මෙහිදී නාට්‍ය පිළිබඳව අජිත් මෙන්ඩිස් විසින් ලියන ලද පොත විජිත හේරත් මන්ත්‍රීවරයාට
පිළිගැන්විණි. උත්සව මොහොතෙන් අනතුරුව කලාකරුවෝ නව බදු පනත ගැන මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියෝය. ‘ආණ්ඩුව දැන් අපේ නිර්මාණවලටත් බදු ගහන්න යන්නේ. ආණ්ඩුවට නිර්මාණවලට බදු ගහන්න කවුද දන්නේ නැහැ කිව්වේ.’ දිපානී සිල්වා කියා සිටියෝය. ‘දෙයියොත් දන්නේ නැහැ’ තවත් කලාකරුවෙක් සිනා වෙමින් කීවේ නාට්‍යයේ නමත් එයම නිසාය. ‘මේ ආණ්ඩුව බදු ගහන්න පුළුවන් හැම එකක්ම මේ පනතට දාලා තියෙන්නේ. ඒ නිසා එකතු වෙලා මේකට විරෝධයක් දැක්වුවහොත් මේක නතර කරගන්න පුළුවන්.’ මන්ත්‍රීවරයා කියා සිටියේය. ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා විසින් විජිත හේරත් සංස්කෘතික ඇමතිවරයාව සිටියදී කලාකරුවන් වෙනුවෙන් කළ කාර්යභාරය පිළිබඳවද සිහිපත් කරමින් කතාබක යෙදිණි. ජවිපෙ ආණ්ඩුවේ සිටියදී කළ කටයුතු මතක තබාගැනීම පිළිබඳව විජිත හේරත් කලාකරුවන්ට ස්තූති කිරීමටද අමතක කළේ නැත.