විප්ලවය වැඩි ඡන්ද ලැඛෙන තුරු බලා ඉන්නේ නැත!

cuba interview
ඕනෑම අවස්ථාවක සේවයට සූදානම් සෞඛ්‍ය බළකායක් ඔවුන්ට ඉන්නවා
August 29, 2017
bolivia
බොලිවියාවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු
August 29, 2017
Show all

විප්ලවය වැඩි ඡන්ද ලැඛෙන තුරු බලා ඉන්නේ නැත!

15 page

සෝවියට් නායකයන්ට යම් දෙයක් ශේෂ වී තිබිණි නම්, ඒද ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් පසු ක්ෂය වී යන්නට විය. මේ පිළිබඳ සංඥා නිකුත් කරමින් සැප්තැම්බර් මැද පැවති සමස්ත පෙත්‍රොග්‍රාද් මෙන්ෂෙවික් සම්මේලනය ගණපූරණය නොමැතිව අත්හිටුවන්නට සිදුවිය.
සහභාගී සෝවියට් ආණ්ඩුවක් පිහිටුවීමේ කමනෙව්ගේ ප්‍රයත්නය ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව විසින් දුර්මුඛ කරන ලදී. ඒ වහාම පින්ලන්තයේ සිටි ලෙනින් විසින් ‘බොල්ෂෙවික් පක්ෂයට රාජ්‍ය බලය ලබා ගත හැකිය’, ‘බොල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ලබා ගත යුතුය’. යන ලියුම් දෙක පක්ෂය වෙත යොමු කරන ලදී. මුල් ලිපියට අනුව රාජ්‍ය බලය ලබා ගත හැකි බවට (මින් අදහස් කෙළේ රාජ්‍ය බලය පවරා ගැනීම මෙන්ම පවත්වා ගෙන යාමේ හැකියාවය.) හේතු මෙලෙස විය: පෙත්‍රොග්‍රාද් හා මොස්කව් සෝවියට් සභාවල බහුතරය මේ වන විට ලබා ඇත. ඒ අනුව අවශ්‍ය වුවහොත්, සිවිල් යුද්ධයකට පවා මුහුණ දීමේ හැකියාව පවතී. බලය ලබා ගත හොත් වහාම යුද සමාදානයක් සඳහා යොමු වීමෙන් ද, ගොවීන්ට ඉඩම් අයිතිය පවරා දීම මගින් ද එය පවත්වාගෙන යා හැකිය.
‘පක්ෂය විසින් බලය වහා පවරා ගත යුතු වීමේ’ හේතු මෙලෙස විය: ව්‍යවස්ථා සභාව එළඹෙන තුරු බලය පවරා නොගෙන බලා සිටියහොත්, පෙත්‍රොග්‍රාදය ජර්මානුන් අතට පත් වීමට ඉඩ හැරීමෙන් (ඒ වන විටත් ජර්මානුවෝ එස්ටෝනියාවේ අගනුවර වූ රීගා අත්පත් කරගෙන පෙත්‍රොග්‍රාද් වෙත ආසන්නව සිටියහ.) හෝ ව්‍යවස්ථාදායක සභාව කල් යාමට සැලැස්වීමෙන් ආණ්ඩුවට එය වැළැක්වීමට ඉඩ සලසා ගත හැකිය. ලෙනින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ජනතාවගෙන් වැඩි පිරිස දැන් අපේ පැත්තේ බවය. විධිමත් (නීත්‍යානුකූල) වැඩි ඡන්දයක් ලැඛෙන තුරු බලා සිටීම බොළඳකමක් බවය. විප්ලවයක් කිසිදිනක වැඩි ඡන්දයක් එනතුරු බලා සිටින්නේ නැති බවය. අප දැන් බලය පවරා නොගතහොත්, ඉතිහාසය අපට කවදාවත් සමාව නොදෙනු ඇති බවය. එහෙත්, පෙත්‍රොග්‍රාද් නුවර බොල්ෂෙවික් නායකයන් ඒ ලියුම් ප්‍රසිද්ධ නොකළ අතර නිහඩව සිටියහ.
තම මතය අවධාරණය කිරීමට පෙත්‍රොග්‍රාදය කරා පැමිණිය නොහැකි තැන (ලෙනින් අත්අඩංගුවට ගැනීමේ නියෝගය කෙරෙන්ස්කි විසින් ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවේදී නැවත ප්‍රකාශයට පත් කරන ලදී.) අගනුවරට මඳක් ආසන්න (කි:මී:130ක්) වයිබෝර්ග් කරා පැමිණ පෙත්‍රොග්‍රාද් නායකයන් වෙත නැවත බලපෑම් කරමින් ලියා එවන ලද්දේ බලය පවරා ගැනීම මේ මොහොතේ සිදු නොකළහොත්, 1849 ප්‍රංශයේදී මෙන් සුළු ධනේශ්වර ප්‍රතිවිප්ලවයක් මගින් සියල්ල අහිමි වී යා හැකි බවය. ලෝක විප්ලවයක් ආසන්නයේ සිටින අප මේ අවස්ථාව පැහැර හැරියොත්, එය නිර්දය ද්‍රෝහිකමක් වනු ඇති බවය. ලෙනින්ගේ ලිපි ලද සෙසු නායකයන්ද බොල්ෂෙවික් පක්ෂය එයට ඒ වන විට පැවති වාසිදායක තත්ත්වයන් පිළිගත්තද, බලය පවරා ගැනීමේ ප්‍රශ්නය පිළිබඳ ඔවුන්ගේ අදහස වූයේ එය ඔක්තෝබර් 20දා පවත්වන්නට නියමිතව තිබූ සමස්ත සෝවියට් සභා සම්මේලනය දක්වා කල් දැමීම සුදුසු බවය. නැගීසිටීමකදී ප්‍රධාන භූමිකාවන් ඉටු කිරීමට නියමිතව සිටියා වූ ඔවුන්ගේ බලපෑම පක්ෂය තුළ බලවත් විය. ඔවුන්ගේ මේ අදහස පෝෂණය වූයේ සභාග සෝවියට් රජයක් පිළිබඳ කමනෙව් පාර්ශ්වයේ යෝජනා මගිනි. පක්ෂය විසින් කැඳවන සන්නද්ධ නැගිටීමකට ජනතා සහය නොලැබේය යන අනුමානය ද ඔවුහු මෙහිදී ගෙනහැර දැක්වූහ. එවර ද තම යෝජනා නොසලකා හැරීම හේතුකොටගෙන ලියුම් එවීමෙන් පලක් නොවන බව දුටු ලෙනින් රහසේ පෙත්‍රොග්‍රාදයට පැමිණ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට සැලසුම් කෙළේය. ඔක්තෝබර් මස 10 දින රාත්‍රියේදී යොදාගෙන තිබූ මේ රැස්වීම පවත්වන ලද්දේ මෙන්ෂෙවිකයෙකු වූ නිකොලායි සුකනොව්ගේ නිවසෙහිය. (කලෙක ඔහු ස.වි. පාක්ෂිකයෙකුවද සිටියේය.) ඔක්: 10 දින උදෑසන සිට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාත්‍රියේ නිවසට නොපැමිණ ස්මොල්නියේ පිහිටි ඔහුගේ කාර්යාලයේම නවතින ලෙස බොල්ෂෙවික්වාදිනියක වූ සුකනොව්ගේ බිරිඳ ගැලිනා ප්ලැක්සර්මන් ඔහුට අවධාරණය කර තිබුණාය. (වැසි සහිත රාත්‍රීවල ගෙදර නොයාමේ පුරුද්දක්ද සුකනොව් තුළ විය.) බොල්ෂෙවික් ආයුධ සන්නද්ධ නැගීසිටීමක් පිළිබඳ ඓතිහාසික තීරණයට එළඹෙන ලද්දේ මෙන්ෂෙවිකයකුගේ නිවසේ පවත්වන ලද මේ රැස්වීමේ දීය. එම රැස්වීමට පැමිණ සිටියේ මධ්‍යම කාරක සභිකයන් 21 දෙනෙකුගෙන් 13 දෙනෙක් පමණ පක්ෂය විසින් මෙහෙයවන ආයුධ සන්නද්ධ නැගිටීමකින් බලය අල්ලා ගැනීම පිළිබඳ ලෙනින් ඉදිරිපත් කළ යෝජනාව එහිදී 12 – 2 වශයෙන් ඡන්ද ලැබ ජයග්‍රහණය ලැබීය. විරුද්ධව ඡන්දය දුන්නෝ කමනෙව් හා සිනෝවියෙව් වූහ. ට්‍රොට්ස්කි ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඉවත ලා තිබුණු කොළ කැබැල්ලක ලෙනින් විසින් හදිසියේ පැන්සලෙන් ලියන ලද ඒ යෝජනාව මෙසේ විය. ‘පවතින වාතාවරණය යටතේ සන්නද්ධ නැගීසිටීමක් අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා ඉතා සුදුසු අවස්ථාව පැමිණ ඇත. මෙතැන් සිට දවසේ කාර්යය වශයෙන් ඒ අනුව මෙහෙයවෙන ලෙසත්, ඒ පිළිබඳ ප්‍රායෝගික කරුණු සාකච්ඡා කර තීරණවලට එළඹෙන ලෙසත් මධ්‍යම කාරක සභාව විසින් පක්ෂ සංවිධායකයන්ට උපදෙස් දෙනු ලැබේ.’
කෙසේ වෙතත්, නැගිටීම පිළිබඳ දිනයක් යෝජනාවේ සඳහන් නොවීය. යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇතැමුන් පවා කීවේ එය අවුරුද්දකින් පසුව වුවද විය හැකි බවය.
නැගිටීම පිණිස සෝවියට් සම්මේලනය රැස් වන තුරු බලා සිටීම නොඉවසූ ලෙනින්ගේ ඊළඟ අවධානය යොමු වූයේ ඔක්තෝබර් 11 – 13 දිනවල අගනුවර පවත්වන්නට යෙදුණු උතුරු ප්‍රදේශවල සෝවියට් සම්මේලනය වෙතය. ලැට්සිස්, ස්මිල්ගා යනාදී එහි නායකයෝ ලෙනින්ගේ කිට්ටුවරයෝ වූහ. එය පැවැත්වීමට උචිත ස්ථානය වූයේ ලැට්වියාවේ අගනුවර වූ හෙල්සින්ග්පෝර්ස් නගරයේ වූ නමුත් පෙත්‍රොග්‍රාද් නුවර පවත්වන ලද්දේ සන්නද්ධ නැගීසිටීමට දිනයක් තීරණය කර ගැනීමේ අපේක්ෂාවෙනැයි පැවසිණි.
එහෙත්, එහිදී ද සම්මත වූයේ ආණ්ඩුවක් පිහිටුවීම ඔක්තෝබර් 20දා සමස්ත සෝවියට් සභා සම්මේලනය මගින් සිදු කළ යුතු බවය.
ලෙනින්ගේ වෑයම එතෙකින් ද නොනිමියේය. ඔක්තෝබර් 16 වන දින නැවත මධ්‍යම කාරක සභාව රැස්කරන ලදී. බොල්ෂෙවික් මිලිටරි සංවිධානය, පෙත්‍රොග්‍රාද් සෝවියට් සභිකයන්, වෘත්තීය සමිති හා ෆැක්ටරි කොමිටි නියෝජිතයන් එයට කැඳවා තිබුණු අතර, ඔවුන්ගේ අදහස වූයේත් සෝවියට් සභා සම්මේලනයට පෙර බලය පවරා ගැනීමක් සිදු කිරීමට වැයම් කිරීම අවදානම් බවයි. එහෙත් එහිදී ඉතා නුදුරේ දී බලය පවරා ගත යුතුය යන ලෙනින් ඉදිරිපත් කරන ලද යෝජනාව 19 -2 වැඩි ඡන්දයෙන් සම්මත කර ගත හැකි විය. සමස්ත සෝවියට් සම්මේලනයේ බොල්ෂෙවික් නියෝජිතයන්ගේ විමසීමකින් තොරව නැගීසිටීමක් සිදු නොකළ යුතුය යනුවෙන් සිනොවියෙව් ද එහිදී යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය 6 – 15 වශයෙන් පරාජය කිරීමට ලෙනින් හිතවාදීන්ට හැකි විය. එතැන් සිට සම්මේලනයට පැවති දින ගණන තුනක් වන බව සැලකූ කල බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාව තුළ වූ ගැටුම පැවතියේ බලය පවරා ගැනීම පිළිබඳව නොව එය සිදු කළ යුත්තේ, සෝවියට් සභාවෙන්ද, නැතහොත් පක්ෂයෙන්ද යන කරුණ පිළිබඳව බව පෙනේ. තවදුරටත් පවසන්නේ නම් බලය පවරාගෙන පිහිටුවන රජය අප්‍රේල් තිසීසයන්හි සඳහන් නිර්ධන පාන්තික ආඥාදායකත්වයක්ද, නැත්නම් මෙන්ෂෙවික්, ස.වි. පක්ෂ හා එක්ව පිහිටුවන ‘වාමාංශික සභාග ආණ්ඩුවක්ද’ යන්න පිළිබඳ ගැටුම බව පෙනේ.
සම්මත වූ යෝජනාව තමාට පිළිගත නොහැකි බව කියමින් මධ්‍යම කාරක සභා රැස්වීම අවසානයේදී කමනෙව් ඉල්ලා අස් විය. තවද ඔහු කියා සිටියේ ඔක්තෝබර් 17 දින පැවැත්වීමට නියමිතව තිබී කල් දැමූ පක්ෂ සම්මේලනය වහා කැඳවන ලෙසය.
මේ අතර ඔක්තෝබර් 18දා ගෝර්කිගේ නොවායා ෂිං පුවත්පතේ පළ වී තිබූ ලිපියක් කෙරෙහි පෙත්‍රොග්‍රාද් නුවර කාගේත් අවධානය යොමු විය. ඒ ලිපිය ලියා තිබුණේ බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් වූ කමනෙව් හා සිනොවියෙව් විසිනි. එහි කියා තිබුණේ සෝවියට් සම්මේලනයට පෙර මේ අවස්ථාවේ එම සම්මේලනයෙන් ස්වාධීනව සන්නද්ධ නැගිටීමක් පිණිස උසිගැන්වීම නිර්ධන පන්තියට හා විප්ලවයට ඉරණම්කාරී වන්නා වූද, ඉඩ නොහළ යුත්තක් වන්නා වූද එකක් බවය. බොල්ෂෙවික් සන්නද්ධ නැගීසිටීමක් පිළිබඳ ආරංචිය සති ගණනක් තිස්සේ පැතිරෙමින් තිබුණද එය තහවුරු කරන විශ්වාසවන්ත සාක්කියක් මින් පෙර අනාවරණය වී නොතිබිණි. නැගී ආ උණුසුම සමනය කිරීමේ අටියෙන් නොවායා ෂිං ‘කටකතා’ අසත්‍ය බව ට්‍රොට්ස්කි සෝවියට් සභාවේදී ප්‍රකාශ කරන ලද නමුත්, එය විශ්වාස කරන කිසිවෙකු නොවීය. ඉනික්බිති ඊළඟ දෙදින තුළ බොල්ෂෙවික් පුවත්පත් වෙතින් කමනෙව් හා සිනෙවියෙව් වෙත කෝපාන්විත ලිපි ප්‍රහාරයක් එල්ල විය. ලෙනින් විසින් ලියන ලද ඒ ලිපි වල කමනෙව්ගේ හා සිනොවියෙව්ගේ ක්‍රියාවලිය විස්තර කර තිබුණේ ‘පාවා දුන්නවුන්’, ‘හොරිකඩයන්’, ‘බොරු අවලාද’, ‘අපරාධකරුවන්’ වැනි වචන උපයෝගී කර ගනිමිනි. ඇතැම් ලිපියක ඔවුන් දෙදෙන ‘කමනෙව් මහතා’ හා ‘සිනොවියෙව් මහතා’ ලෙස හැඳින් වූ අතර පක්ෂයෙන් පන්නා දැමිය යුතුයයි පවසා තිබිණි.
සන්නද්ධ නැගිටීමේ රහස හෙළිදරවු වීම හේතුවෙන් සෝවියට් සම්මේලනය ඔක්තෝබර් 25 දක්වා කල් දමන ලදී. සෝවියට් නායකයන් එමගින් තම නියෝජිතයන් සෝවියට් සම්මේලනය වෙත වැඩි වැඩියෙන් රැස් කර ගැනීමටද බලාපොරොත්තු විය. එහෙත්, සිදු වූ වඩා වැදගත් දෙය වුයේ සන්නද්ධ නැගිටීම සඳහා දින තුනක් පමණක් අතැතිව සිටි ලෙනින්ට එමගින් දින හතක් ලැබීමය.


චන්ද්‍රසේන බදුගම