හයිබ්‍රිඩ් දෙබෑයන්ගේ අසම්මත වසර දෙක

air port
විදෙස් ගත ශ්‍රමිකයන් දෙවරක් හම ගැසීම
August 29, 2017
ranil
රනිල්ගේ දෙදෙනෙක් බිලි
August 29, 2017
Show all

හයිබ්‍රිඩ් දෙබෑයන්ගේ අසම්මත වසර දෙක

protests

යහපාලන ආණ්ඩුවට අගෝස්තු මාසයේදී වසර දෙකක් සම්පූර්ණ විය. මේ වසර දෙක ලංකා ඉතිහාසයේ දුර්වලම වසර දෙක වශයෙන් ද ඇතමුන් හඳුන්වන්නේ නිකන්ම නොවේ. මෙරට ජනතාව දුටු දෙමුහුන් ආණ්ඩුව යහපාලන ආණ්ඩුවයි. මේ ආණ්ඩුව එළ හරකයි මී හරකයි නගුලක බැන්දා වගේ යැයි ජවිපෙ ලාල් කාන්ත මහතා කියා ඇත්තේ ද නිකන්ම නොවේ. එළ හරකා අදින්නේ ගොඩටමය. මී හරකා අදින්නේ මඩටමය. මේ නිසා කුඹුර මඩ කළ නොහැකි වන්නා සේ මේ දෙමුහුන් ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න විසදිය නොහැකි බව ගෙවුණු වසර දෙක තුළ මැනවින් පැහැදිලි කර ඇත. ඒ රනිල් කරන්නේ එකකි. මෛත්‍රී කරන්නේ තව එකකි. ඒ අනුව දෙන්නාම කරන දෙයක් නැත. කරන්නේ රාජපක්ෂලා නැවැත් වූ තැන සිට ඉදිරියට යාම මිස වෙනකක් නොවේ.
රාජපක්ෂ පාලනය විසින් රටට උරුම කර තිබූ වංචා, දූෂණ, ඝාතන, සුදුවෑන් සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ආදී නහුතයක් වැරැදි නිවැරදි කරන පාලනයක් ජනතාවට අවශ්‍යව තිබිණි. ඒ නිසාම විවිධ සමාජ බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ බලවේග, භික්ෂු සංවිධාන, පුරවැසි සංවිධාන එකී නරුම පාලනයට එරෙහිව සටන් මගට පිවිස සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන කරළිගත කොට රාජපක්ෂ දුර්දාන්ත පාලනය පෙරළා දැමීමට පියවර ගත්හ. එහිදී ජනතාවට දුන් පොරොන්දු අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීම ආදී ප්‍රධාන කරුණු ගණනාවක් විය. ජනාධිපතිවරණයෙන් පසුව මේ කටයුතු යථාර්ථයක් කර ගැනීමට ආණ්ඩුවක් ද අවශ්‍ය බව කියා සිටි නිසා ජනතාව ආණ්ඩුවක් ද නිර්මාණය කර දුන්නේය. හැට දෙලක්ෂයේ ජන වරම යනු එය මිස අනෙකක් නොවේ.
රාජපක්ෂ දුර්දාන්ත පාලනය විසින් ඒ වන විට ජනතාව මත මුදාහැර තිබුණේ පීඩනයයි. එක් පැත්තකින් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත අධික බදු බරක් පනවා තිබුණේය. තවත් පැත්තකින් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු දැවැන්ත ජනතා ධනයක් විනාශ කරමින් සිටියෝය. රාජපක්ෂ පවුල රට තමන්ගේ බූදලයක් යැයි සිතා කටයුතු කරමින් සිටියේය. ගෝඨාභය රාජපක්ෂ ජාතිවාදී බලවේග පෝෂණය කරමින් ආණ්ඩු විරෝධී බලවේග අමානුෂික ලෙස මර්දනය කරමින් සිටියේය. එම පාලනය අවසන් කර රටට වඩාත් යහපත් හෙටක් උදා කරන බව රනිල් මෛත්‍රී හවුල ජනතාවට පොරොන්දු විය. රාජපක්ෂ පාලනයේ දූෂිතයන්ට දඩුවම් කරන බවත්, අවභාවිත කරන ලද ජනතා මුදල් නැවත අය කර ගන්නා බවත් කී යහපාලන ආණ්ඩුව තවදුරටත් තම රජයක් යටතේ දූෂණ හෝ වංචා නොපවතින බවට දිවුරා පොරොන්දු විය. රාජපක්ෂ පාලනය රටට කළ විනාශය වෙනුවට රටට යහපත ළං කරන බව කී යහපාලන ආණ්ඩුවට දැන් හරියටම වසර දෙකක් සම්පූර්ණය. ඒ වසර දෙක තුළ පොරොන්දු ඉටු කළේ ද යන්න ජනතා බලවේග ප්‍රශ්න කරමින් සිටින්නේ මෙවන් පසුබිමකය.
රාජපක්ෂ පාලනයේ වංචනිකයන්ට, දූෂිතයන්ට දඩුවම් කරන බව කී ආණ්ඩුව දඩුවම් කළ කිසිවෙකුත් නැත. යහපාලන ආණ්ඩුව විසින් එකී වංචනිකයන්, දූෂිතයන් වීරයන් බවට පත් කරනවා විනා කළ අන් දෙයක් නැත. රාජපක්ෂලා අද නිදැල්ලේය. බැසිල් රාජපක්ෂගේ වංචා, දූෂණ සියල්ල ආණ්ඩුව සතුව පැවතියද අද ඔහු නිදැල්ලේය. ‘හෙල්පින් හම්බන්තොට’ මුදල් මහ දවාලේ කොල්ල කා ගත් රාජපක්ෂලා අද නිදැල්ලේය. එහි රහ වැටුණු රාජපක්ෂ බිරිඳ අටවා ගත් ‘සිරිලිය සවිය’ පිළිබඳව පරීක්ෂණ අයාලේ යමින් ඇත. සිරිලිය ගිණුමට දෙකේ ඒවා නමයක් අඩංගු ජාතික හැඳුනුම්පත් අංකයක්දී බොරු කළ ශිරන්ති විහාර මහා දේවියගේ භූමිකාවට පණ දෙමින් වීරවරියක් වන්නට උත්සාහ ගනී. පසුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කථානායක නිල නිවසට ගෙන්වා කාටත් හොරෙන් සාක්ෂි දුන් ශිරන්ති අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නේ හොරු පිරිවරාගෙනය.
ඒ ආණ්ඩුවේ නීතිය කි්‍රයාත්මක වීමේ සැබෑවය. තාජුඩීන් ඝාතනයට අදාළ ඩිෆෙන්ඩර් රථයක තොරතුරු හෙළි වී තිබියදී ශිරන්තිත්, යෝෂිතත් ඉන්නේ නිදැල්ලේය. ඝාතන චෝදනා සහ ජාතිවාදී බලවේග පෝෂණය කළ බවට සාක්ෂි හෙළි වී ඇති ගෝඨාභය නිදැල්ලේය. හොර පාස්පෝට් හදා අතේ මාට්ටු වූ සහ සිය ඥාති ගණයාට වාහන සංග්‍රහ කළ බව ඔප්පු වූ විමල් වීරවංශ නිදැල්ලේය. චෝදනා එල්ල වූ රාජපක්ෂ ආණ්ඩුවේ සියල්ලන් අද සිටින්නේ යහපාලන රෙද්දපල්ලේ සැඟවීය. ඒ අනුව වංචනිකයන්ට, දූෂිතයන්ට දඩුවම් කරන බවත්, ඔවුන් නීතිය ඉදිරියට ගෙනෙන බවත් කී යහපාලන රජය මේ කරමින් ඉන්නේ තමන්ගේ පංතිය රැකීම මිස අනෙකක් නොවන බව දැන් හොඳින්ම වැටහේ.
පසුගිය මහා මැතිවරණ සමයේ විවිධ දැන්වීම් හරහා ජනතාවට විවිධ බලාපොරොත්තු ඇති කළේය. පයින් යන අයට බයිසිකල් සහ බයිසිකලයෙන් යන අයට කාර් දෙන බව කී රනිල් – මෛත්‍රී හවුල රටේ නව ආර්ථීක ක්‍රියාවලියක් නිර්මාණය කරන බවට පොරොන්දු වූවේය. තුන්කල් දකින ආර්ථීක දැක්මක් තමන් සතුව පවතින බව කී යහපාලන ආණ්ඩුව රට තුළ දැවැන්ත කර්මාන්ත ශාලා ඉදි කරමින්
රැකියා දස ලක්ෂයක් නිර්මාණය කරන බවට පොරොන්දු විය. ඒ අනුව කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ශාඛාවක් හදන බවත්, හොරණ කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කී ආණ්ඩුව ඒ සඳහා මුල්ගල් ද තැබුවේය. එහෙත්, මේ කර ඇත්තේ ජනතාව රවටා බොරුවක් ය යන ඇත්ත තත්ත්වය තේරුම් ගන්නට වැඩි කලක් ගත නොවීය. මේවා නිකන්ම නිකන් බොරු නොව මහා පරිමාණ බොරුය. හොර බොරු නැති රටක් හදන බව කී මේ යහපාලන නඩය රට පාලනය කරන්නේම හොරකමින් සහ බොරුවෙන් බව ඕනෑවටත් වඩා හොදින් දැන් ඔප්පු කර ඇත.
පසුගිය රාජපක්ෂ රජයේ හෝ බිහි වන කවර රජයක හෝ හොරුන් කොටු කර ගැනීමට අවශ්‍ය නීතිමය පදනම දමා ගත හැක්කේ විගණන පනත බලාත්මක කිරීමෙනි. ආණ්ඩුව පොරොන්දු වූයේ විගණන පනත හැකි ඉක්මනින් රැගෙන එන බවයි. එහෙත් අද වන තුරු විගණන පනත ක්‍රියාත්මක නැත. එය පොරොන්දුවක් බවට පමණක් පත් වී ඇත. ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් ද පෙනෙන්නට නැත. තොරතුරු දැනගැනීමේ පනත ආණ්ඩුව විසින් රැගෙන ආවේ ද අදාළ කොන්දේසි සියල්ල ඇතුව නොවේ. එපමණක් නොව එය රැගෙන ආවේ ද සමාජ බලවේගවල දැඩි බල කිරීම හේතුවෙනි. එය ද ගෙන ආවේ හැකි තරම් පමා කරමිනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව කීවද, මේ වන තුරුත් ආණ්ඩුවට එය ඉටු කිරීමට හැකියාවක් ලැබී නැත. මේ කරමින් පවතින්නේද ජනතාව මුළාවට පත් කිරීමකි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව අවංක උත්සාහයක් ගන්නා බවක් නොපෙනේ.
ආණ්ඩුව උතුරේ ජනතාවගේ ඡන්ද කොල්ලකෑවේ දැවැන්ත බොරු කන්දක් වපුරමිනි. උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ජනතාවට ලබා දෙන බව කීවද, එය සම්පූර්ණ කර ගැනීමට යහපාලන රජය අසමත් වී ඇත. උතුරේ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට මෙතෙක් සාධාරණ විසඳුමක් දීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැති බව උතුරේ ජනතාවගේ හඩින්ම මේ වන විට අසන්නට ලැබී ඇත. සංහිඳියාව යන වචනයට මුවා වී උතුරේ දෙමළ ජනයා බරපතළ ලෙස රවටමින් සිටී. උතුරේ ජනතාවගේ ආදායම් මාර්ග ගැන ආණ්ඩුවට වගේ වගක් නැත. ප්‍රමුඛතම කාරණය වන ජාතික සමගිය ගොඩනැගීමේ දිශාවට ළගා වන්නටවත් ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත. අවම වශයෙන් ජනතාවගේ මූලිකම ප්‍රශ්න ටිකවත් වසඳීමට අසමත් ආණ්ඩුව දෙමළ ජනතාව දිගින් දිගටම රවටමින් සිටී.
දෙමුහුන් ආණ්ඩුවේ ප්‍රධානම කරුණ වූ වංචා, දූෂණ නැවැත්වීම බොරුවක් වූවා පමණක් නොව තිබුණාටත් වඩා වේගයෙන් ඒවා වර්ධනය විය. හොඳම උදාහරණය මහ බැංකු බැඳුම්කර වංචාවයි. රවී කරුණානායක බිලිබෝයි වී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ ජනතා විරෝධයේ ප්‍රබලතාවය නිසාමය. එසේ නොවන්නට ඔහු තවමත් අමාත්‍ය ධුරයේය. අගමැතිවරයා පෙනී සිටියේ වංචාවෙන්, දූෂණයෙන් තොර සුදු චරිතයක් වශයෙනි. එහෙත්, ඔහුත් මෙතෙක් පහළ වූ අනෙක් පාලකයන් මෙන්ම කළු චරිතයක් බව හොඳින්ම හෙළිදරවු විය. රවී වෙනුවෙන් මාරාන්තික සටනක් කළ රනිල් ද මේ බැඳුම්කර හොරකමේ සාමාජිකයෙකු බව අමුතුවෙන් පහදන්නට අවශ්‍යතාවයක් නැත. මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමත් සමගම මේ හොරකමට ඔහු ද හවුල්ය.
මේ වන විට රට තුළ මහා දැවැන්ත ණය කන්දක් ගොඩගසා ඇත. ඊටත් වඩා භයානකකම වන්නේ රටේ ජාතික සම්පත් සියල්ල එකින් එක බහුජාතික කොම්පැනිකරුවන්ට බදු දෙමින්, විකුණා දමමින් සිටීමයි. හම්බන්තොට වරාය චීනයට දෙන අතර, මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට දීමට සූදානම් වේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙන අතර, ති්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණා දමමින් සිටී. රටේ ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් විදේශීය බහුජාතික කොම්පැනිකරුවන්ට විකුණා දමමින් ඇත. මීට අමතරව රටේ ජාතික සම්පත් බොහොමයක් විදේශයන්ට බදු දෙමින් හෝ විකුණා දමමින් ඇත. ආණ්ඩුව ජාතික ආර්ථීකයක් ගොඩනගන බව කීවද, අද ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය වී ඇත්තේ විකිණීම සහ බදු දීමයි. සරලවම කියන්නේ නම් ආණ්ඩුව රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් සිටී.
ආණ්ඩුව වසර දෙකක් ගෙවා දැමුවේ ජනතා අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට ඒවාට පයින් ගසමිනි. කොමිෂන් සභා ටික ස්ථාපිත කර ගත්තේ ඉතාමත් අසීරුවෙනි. එසේ ස්ථාපිත වුවද, ඒවාට නිසි බලතල ලැබුණු බවක් පෙනෙන්නට නැත. එයට කදිම උදාහරණය වන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පත් වී ඇති අසරණකමයි. යම් සංශෝධන ප්‍රමාණයක් මේ ආණ්ඩුව යටතේ සිදු වුවද, ඒවා සිදු කරන ලද්දේ ආණ්ඩුවේ තනි කැමැත්තට නොවේ. මේ සඳහා වූ සමාජ බලපෑම විසින් ආණ්ඩුව ඒ තත්ත්වයට පත් වූවා යැයි පැහැදිලිය.
එතෙක් මෙතෙක් පහළ වූ තනි ආණ්ඩු හා මෙවර බිහි කර ගත් දෙමුහුන් ආණ්ඩුව ඇතුළු ආණ්ඩු සියල්ල ජනතා අභිලාෂයන් ඉටු කිරීමට සමත් ආණ්ඩු නොවන බව ඕනෑවටත් වඩා හොඳින් ඔප්පු කර ඇත. හැමදාම සිදු වන්නා සේ මෙවර ද ජනතාවට සිදුවූයේ රැවටීමටය. මෙය වඩාත් හොඳින් ජවිපෙ මැතිවරණ වේදිකාවේදී ජනතාවට කීවේය. ඒ මෛත්‍රීපාලගේ කඩේ බඩු ෂුවර් නැති බවයි. 2015 මහා මැතිවරණයෙන් පසු බිහි කර ගත් මෛත්‍රී – රනිල් යහපාලන නඩය එය අද වඩාත් හොඳින් ඔප්පු කර ඇත. ජනතාව මේ රැවටිල්ලට තිත තැබිය යුතුමය. 2020 මැතිවරණයේදී ද මෙවන් මහා පරිමාණ ධනපති පංතියේ බොරුවකට රැවටෙනවාද? ජනතාවාදී පාලන දිශාවකට රට යොමු කරනවාද? යන්න දැන් ජනතාව කල්පනා කළ යුතුය. මේ චෞර, දුර්දාන්ත, අශීලාචාර, අශිෂ්ට, ජනතා ද්‍රෝහී පාලකයන් වෙනුවට සත්‍යවාදී, ජනතාවාදී, ප්‍රගතිශීලී දැක්මක් සහිත වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමකට රට භාර දීමකින් මෙපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමක් නොමැති බව ගත වූ යහපාලන දෙවසර මේ සමාජයට වඩාත් හොඳින් ඔප්පු කර ඇත.


එස්. කේ. ගමගේ