ළමයින්ට උගන්වන්නේ ගුරුවරුද? දෙයියොද?

rathnapura maha rohala
ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්
August 29, 2017
student
කරදරේ ඉවරයි… ඒත්…
August 29, 2017
Show all

ළමයින්ට උගන්වන්නේ ගුරුවරුද? දෙයියොද?

grade 5 scoolership

දෙදහස්දාහත වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය සතියේ අවසන් වුණා. සෑම වර්ෂයකම පාහේ අගෝස්තුවේ දිනෙක පවත්වනු ලබන මෙම පහේ ශිෂ්‍යත්වය එකී විභාගයට වාඩි වන සිසු සිසුවියන්ටත්, එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ටත්, පහ වසර ගුරුවරුන්ටත්, විදුහල්පතිවරුන්ටත් ඉමහත් පීඩනයක් හා අනවශ්‍ය තරගකාරී බවක් ඇති කර තිඛෙන බව පොදුවේ අද සමාජයේ පිළිගත් මතයක්. ඒ වාගේම ආන්දෝලනාත්මක පුවත් මවමින්, උසස් පෙළ විභාගයත් මේ වන විට පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ මහගු ප්‍රතිඵල අපේ රටේ දුවා දරුවන්ට ලබා දෙන්නට ක්‍රියාත්මක වන මේ විභාග ක්‍රමය ඇතුළේ තවත් සංවර්ධනය විය යුතු අංශ බොහොමයක් තිඛෙන නිසා ම පසුගාමී ඒ වාගේම අසාධාරණයට පත් පාර්ශ්වයන් ඇති කරවන තත්ත්වයන් ඇති බවයි මගේ අදහස.
හේතුව මෙහෙමයි. පහ වසර ශිෂ්‍යත්වය ගැන ගත්තොත්, මට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා.
දරුවන්ට හොඳ ඉස්කෝලයක් වෙනුවෙන් නම් මේ තරම් වෙහෙසෙන්නේ, අනෙක් පාසල් ඒ තරම්ම නරකයිද?
අවුරුදු දහයක දරුවකුට විභාගයක් වෙනුවෙන් ඇති කරවන අසාමාන්‍ය පීඩනය ඒ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට හොඳයිද?අවුරුද්දක් වෙනුවෙන් හදන විෂය නිර්දේශය විභාගයට කලින් ඒ කියන්නේ වාරයකට කලින් අවසන් කරන්නට බල කරන්නේ කාගේ වුවමනාවටද? මට තියෙන ප්‍රශ්න නම් තව මහ ගොඩක් තියෙනවා. පළමුවැනි ප්‍රශ්නය ගැන නම් මට හිතෙන්නේ තාමත් අපේ ළඟම පාසල හොඳම පාසල නොවන හින්දාම අනාගත රැකියාවකට හොඳ ‘නමක්’ තියෙන ඉස්කෝලෙකට දාන්න දෙමව්පියන් වෙහෙසෙනවා. කවුරු මොන දේ කිව්වත්, භෞතික සම්පත් ඛෙදී යාමේ ඉඳලා මානව සම්පත් ඛෙදී යාමත් ඉතාම අසාධාරණ විදියටයි පාසල් අතර සිද්ධ වෙන්නේ. හොඳට පරීක්ෂා කරලා බැලුවොත්, හැම වතාවකම ලබා දෙන ගුරු පත්වීම්වලින් අලුත් ගුරුවරුන් පරිධියේ පාසල් ඒ කියන්නේ අඩු පහසුකම් ඇති පාසල්වලට තමයි, වැඩිපුර පත් කරන්නේ. ඒ කියන්නේ ඉතින්, අත්දැකීම් බහුල ගුරුවරුන් අර හොඳ යැයි සම්මත පාසල්වලට වැඩිපුර ගොඩ ගහගෙන ඉන්නවා කියන එක නේද? මට මුණගැහුණු
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරිණියක් මෙහෙම කිව්වා. ”ශිෂ්‍යත්වය අම්මලාගේ. ඕ ලෙවල් ගුරුවරුන්ගේ. ඒ ලෙවල් ළමයින්ගේ විභාගේ… අනික් විභාග දෙකටම වඩා අපට ශිෂ්‍යත්ව විභාගයට වැඩ වැඩියි. ඒ වැඩ පටන් ගන්නේ අවුරුද්දකට කලින්. පහුගිය
ටිකේම රෑත් එක්ක විභාග මධ්‍යස්ථාන පරීක්ෂා කරනවා. ඒ ලෙවල්වලදී නම් අම්මලාට ගාණක්වත් නෑ. ශිෂ්‍යත්ව විභාගය නරකයි කියලා හැමෝම පිළිගත්තත්, ඒක නවත්වන්න කාටවත් පුළුවන්කමක් නෑ.” ඒ මහත්මිය එහෙම කිව්වේ ඇයි? අර ඉස්කෝලෙක විභාගයේ
ලියන ළමයින්ට වෙලාව අඩුවෙන් දුන්නා කියන ප්‍රශ්නයේදී අම්මා කෙනෙකු කතා කරපු දෙයක් ප්‍රවෘත්තිවලින් දැක්කා.
‘නිදහස් අධ්‍යාපනයෙන් අපේ ළමයින්ට තැනක් හදා ගන්න තියෙන්නේ මෙච්චරයි… ඒකත් උදුරා ගන්න ද හදන්නේ…?’
ඒ අම්මා ඇඩූ කඳුළෙන් අහනවා. ඒක තමයි, ප්‍රශ්නේ. ඉතින්, සමහර ගම්බද පාසල් උදේ හයටයි පහේ පන්තිය පටන් ගන්නේ. උදේම ප්‍රශ්න පත්‍රයක් කරලා, සාකච්ඡා කරලා තමයි, දවසේ වැඩ පටන් ගන්නේ. පාසල අවසන් වන්නේ සවස හතරයි තිහට. ඒ තවත් ප්‍රශ්න පත්‍රයක් කරවලා. එතනින් ඉවර නෑ. ගෙදර ගිහින් නාලා, කාලා, පාට ඇඳුම් ඇඳගෙන ආයේ හවස හයට ඉස්කෝලෙට එන්න ඕනෑ. කලාපයෙන් එවන පේපර්ස් කට්ටල, පළාතෙන් එවන පේපර්ස් කට්ටල කරනවා. ඒවා ඉවර වෙන්නේ රෑ නවයහමාරට. ගෙදර යන්නේ ඉන් පස්සේ. අනේ ඒ අවුරුදු දහයේ දරුවෝ මොනවා හිතනවා ඇද්ද?
කොච්චර තරගයක් ද කිව්වොත්, ලකුණක් දෙනවා ද නැද්ද කියලා බලන්න අත්කාච පාවිච්චි කරනවා, අකුරු නිවැරදි ද නැද්ද බලන්න. ඒ තරමටම ලකුණ වටිනවා. ඉහළ මට්ටමේ රැස්වීම්වලදී එක එක ඉස්කෝලෙට අවුරුද්දෙන් අවුරුද්දට දෙන ශිෂ්‍යත්ව ඉලක්ක සපුරන්න විදුහල්පතිවරුනුත්, ගුරුවරුනුත් ඒ තරගෙම පංගුකාරයෝ වෙලා.
ශිෂ්‍යත්ව විභාගයෙන් ඒ ලෙවල් විභාගයට මාරු වෙද්දී ලොකු වෙනසක් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයට වැඩිපුරම වෙහෙසෙන්නේ පාසලේ ඉන්න රජයේ ගුරුවරුන්. බොහෝ වෙලාවට අමතර කිසිදු ගෙවීමක් නැතිව. තනිකරම රාජකාරි වගකීමට. හැඟීමට. රැකියා තෘප්තියට. මේක ඒ ලෙවල්වලට යද්දී පෞද්ගලික උපකාරක ගුරුවරුන් අතට මාරු වෙනවා. එතන දී ලක්ෂ ගණන්වලින් වියදම් කිරීමත්, ලක්ෂ ගණන් මුදල් ඉපයීමත් නිසා ඇති වෙලා තියෙන්නේ, අමුතුම සංස්කෘතියක්.
පසුගිය දිනක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වුණා කියලා රාවයක් පැතිරුණා. පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණේ ප්‍රශ්න පත්‍රය ළමයින්ට ඛෙදුවාට පස්සේ විභාග ශාලාවේ හිටි අයෙක් ඒ ප්‍රශ්න අදාළ ගුරුවරයාට එවා ඇති බවයි. ඒක ඒ වෙලාවේම මුද්‍රණය කරලා විභාගයෙන් පස්සේ යන ළමයින්ට ඛෙදලා. අප විසින් අවසන් සම්මන්ත්‍රණයට ලබා දුන් ප්‍රශ්න පත්‍රය විභාග ප්‍රශ්න පත්‍රය සසඳා බලන්න කියලා ඒ අත් පත්‍රිකාවේ තිබුණා. පේන විදියට ඒ ගුරුවරයා කරලා තියෙන්නේ, අමූලික බොරුවක්. අඩු තරමේ විභාග කටයුතු ගැන, ලංකාවේ පවතින විභාග නීතිය ගැනවත් හාංකවිසියක්වත් නොදන්නා විදියට බොහොම පටු ලාභ අරමුණින් කරපු ක්‍රියාවක් විදියටයි මම දකින්නේ.
මෙතනදී අපේ රටේ හුඟක් අය නොහිතන පැත්තක් තියෙනවා. හැබැයි, දන්නා අයත් ඉන්නවා. අතළොස්සක්. අපේ රටේ වෘත්තීන් අතර ගුරු වෘත්තිය අභ්‍යන්තරිකව සංවර්ධනය වෙන්නේ කොහොමද? ඒක අපේ රටේ අධ්‍යාපනයට අදටත් බලපාන්නේ කොහොමද කියන එක.
අලුතින් පත්වීම් ලබන උපාධිධාරී ගුරුවරයෙකු එක පාර පද්ධතියට මුදාහැරෙන්නේ නැහැ. මාසයකට වැඩි කාලයක් අධ්‍යාපනයට අදාළ චක්‍රලේඛ, පත්වීම් පිළිබඳව, රාජ්‍ය සේවය පිළිබඳව, පාසලේ පන්ති කාමර කළමනාකරණය, ළමා මනස අවබෝධ කර ගැනීම් වාගේ දේවල් ඉගෙන ගත යුතුමයි.
ඉන් පස්සේ කාලෙන් කාලයට මොඩියුල හතක් සම්පූර්ණ කරනවා. එක මොඩියුලයක් දින තුනක් පැවැත්වෙනවා. ගුරු ආචාර ධර්ම වගේ වැදගත් මාතෘකා හතක් ගැඹුරින් සාකච්ඡා කරනවා. ඊට අමතරව වසර අටෙන් අටට පැවැත්වෙන නව විෂය නිර්දේශයන් ගැන දැනුම්වත් වෙන්න පුරා දින හයක් පවත්වන සැසිවලට ගුරුවරුන් කැඳවනවා. හැම පළාතකම ඉන්න ගුරුවරුන්ට සේවා කාලය තුළ දී තවත් දීර්ඝ කාලයක පුහුණුව ලබා දෙනවා. ගුරුවරයකු තමන්ගේ විෂයයට අමතරව පරිපාලන කටයුතු, කළමනාකරණ කටයුතු වාගේම ක්‍රීඩා, සෞන්දර්යය, මානසික යනාදී සෑම පැත්තක් ගැනම යම් දැනුමක් ඇති කෙනෙකු කරනවා.
අර උසස් පෙළ උපකාරක පන්ති උගන්වපු ගුරුවරයා වැනි ගුරුවරුන් අපේ රටේ සාමාන්‍ය ගුරුවරුන් අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඒ තමයි. වගකීම. ආයතනයක උගන්වන දරුවන්ට වගකීම. සල්ලි අරමුණු කරගෙන ඕනෑම ආකාරයක නරක උපදෙස් පන්ති තුළ විකාරරූපී සිහින ලෝක අසභ්‍ය වචනවල සිට ගුරු භූමිකාව පසෙක තබා දරුවන් ඉදිරියේ බාල රංගනවල නිරත වීම් තුළින් පවා ආකර්ෂණය දිනා ගැනීමට පෞද්ගලික උපකාරක ගුරුවරුන් වෙහෙසෙද්දී නිදහස් අධ්‍යාපනයෙන් බිහි කරන රජයේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය සංසන්දනාත්මකව තීරණය කිරීමේ නිදහස මම ඔබට භාර කරනවා.
දැන් හැරෙමු විභාග අපේක‍ෂකයන් දෙසට. පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී කුමන විභාග සඳහා සූදානම් වුවත්, අපේ රටේ බහුතරයක් දරුවන් හා දෙමව්පියන් නොපෙනෙන බලවේගවල පිහිටෙන් විභාග සමත් කර ගැනීමට ගන්නා වෙහෙස ඉස්සරටත් වඩා වැඩියි කියලා මට හිතෙනවා.
මුලින් කිව්වා වගේ පාන්දර ඉඳලා රෑ වෙනකම් ළමයින් සහ ගුරුවරුන් මහන්සි වෙලත් ශක්තිමත් මනසකින් විභාගයට මුහුණ දෙන්න බැරි නම්, ඒ විභාග සූදානම මොකක්ද කියලා මට හිතෙනවා. මොන විභාගයකදී වුණත් කරන්නේ මැන බැලීමක්. එතනදී යන්ත්‍ර, මන්ත්‍ර, බාරහාර, දේව පූජා, බෝධි පූජාවලින් නම් විභාග ජය පතන්නේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම මානසික සංවර්ධන හා පෞරුෂ සංවර්ධන ක්ෂේත්‍රවල අඩුවක් තියෙනවා කියලා මට හිතෙනවා. ඇයි ඉතින් අවුරුදු ගණනක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ විශ්වාසයෙන් ලියන්න තරම් මානසිකත්වයක් නැති නම්, මම කියන්නේ විභාග මූලික සමස්ත අධ්‍යාපනයම අසමත්.
අර පහේ ශිෂ්‍යත්වය ලියන දරුවන් බොහොම තද පීඩනයකට පත් කරලා ඉන්න නිසාත්, ඒ වයසේ දරුවන්ගේ මානසික සංවර්ධනයට එතරම්ම පෞරුෂ සංවර්ධනය වෙලා නැති නිසාත්, මේ නොපෙනෙන බලවේගවල පිහිට පැතීම දෙමව්පියන්ගේ පුරුද්දක් වෙලා.
ඇතැම් දරුවන්ගේ කාමර මා දැක තිඛෙනවා දේවාල වගේ. ගණ දෙවි රූප, සරස්වතී රූප, ගණ දෙවියන්ට අදාළ ඇත් රූප, විභාග ජය පතා සජ්ඣායනා කළ යුතු පිරිත් සූත්‍රවලින් පාඩම් මේස, බිත්ති පිරිලා. ශිෂ්‍යත්ව විභාගයට දිනකට දෙකකට පෙර සෑම ප්‍රාථමික පාසලකම පාහේ විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වූවා. මා දුටු එක්තරා පාසලක දෙමව්පියන් සුදු පිරුවට ඇඳගෙන, මඩ වී ඇති පිට්ටනියක වාඩි වී පිරිත් දේශනයකට සවන් දෙන ආකාරය. ඇතැම් පාසල්වල විවිධාකාර වූ මල් පූජාවන් ද පවත්වා තිඛෙනවා.
පන්සල්වලටත් මේ සංස්කෘතිය අලූත් බලපෑමක් කර තිඛෙනවා. පහුගිය දිනවල හවසට මා මගේ දරුවන් පන්සල් රැගෙන ගිය අවස්ථාවල සිදු වූයේ උසස් පෙළ විභාග හා ශිෂ්‍යත්ව විභාග අරභයා සිදු කෙරෙන බෝධි පූජා, පිච්ච මල් පූජා සහ නෙළුම් මල් පූජාවලට සහභාගී වීමටයි. විභාග ජය වෙනුවෙන් පැළඳිය යුතු යන්ත්‍ර රාජයන්, හිසේ ගැල්විය යුතු තෙල් ආලේපන, විභාග ජය වෙනුවෙන් දැල්විය යුතු පහන්, ඒ වෙනුවෙන්ම නිපදවා ඇති සුවඳ කූරුවලින් ඔබ්බට ගොස් පිරිත් වතුර ඛෙදා දීම, පිරිත් කළ පෑන් පැන්සල් ඛෙදා දීම දක්වාම ඔඩුදුවා ඇති නම්, ඒ අන්ත පරාජිතකමක් මිස අන් කිසිවක් නොවේ. යම් යහපත් කාරණාවකට පෙර ආගම ධර්මය ඇදහීම අප රට වැනි රටකට අලුත් දෙයක් නොවුණත්, අපේ රටේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් ද තමන්ගේ වාණිජ අරමුණ වෙනුවෙන් අමුතු ආකාරයේ සංදර්ශනාත්මක ආගමික වැඩසටහන් පවත්වන බව ප්‍රකට කරුණකි. කුරුණෑගල ප්‍රදේශයේ උසස් පෙළ විද්‍යා ගුරුවරයෙකු විද්‍යාවට වඩා අභිධර්මය උගන්වනවා. නමුත්, ඔහුගේ පන්තිය අනෙක් පන්තිවලට වඩා පිරී ඉතිරී ගිහින්.
ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඇතුළුව අපේ රටේ විභාග නොපෙනෙන බලවේගයක පිහිටෙන් සමත් වෙන්න දඟලන, විභාග අසමත් වූ විට දරුවන්ට අමානුෂික විදියට පහර දෙන, නිවසෙන් එළියට ඇද දමන, දරුවන්ට සිය දිවි නසා ගැනීමට සලස්වන තත්ත්වයක් ඇති කරද්දී ලෝකය ඉන්නේ කොතනකද?
ඔස්ටේ්‍රලියාවත්, තවත් යුරෝපීය රටවල් කිහිපයකුත් ටැබ් පරිගණක ළමා බුද්ධියට ඇති කරන බලපෑම හොඳ එකක් නොවන බව තහවුරු කරගෙන පාසල් ළමයින් ටැබ් පරිගණක භාවිතයෙන් ඉවත් කරගෙන යනවා (තහනම් කර නැහැ. ඔවුන් ළමා මනසට ගැළපෙන ලෙස එය ඉවත් කරමින් යනවා). අපේ රටේ තවමත් ටැබ් ඛෙදන්න සාකච්ඡා කර ලෑස්ති වෙමින් යනවා.
ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය පවතිනවා යැයි සැලකෙන්නේ ෆින්ලන්තයේ. නිදහස් අධ්‍යාපනයක් නම් නොවෙයි. ඒත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඒ නිදහස් පරිසරයේ අධ්‍යාපනය ලබා දෙන ලක්ෂණ ටිකත් එකතු වුණොත්, අපේ රටේ උතුම්ම සම්පතක් වන නිදහස් අධ්‍යාපනයත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘නිදහස් අධ්‍යාපනයක්’ වේවි කියලා මට හිතෙනවා.
ෆින්ලන්තයේ ගුරුවරයකු වීම තරම් අමාරු රැකියාවක් තවත් නැහැ. රටේ ඉහළම සුදුස්සන් තමයි, එහේ ගුරුවරු. මාසික වැටුප ලංකා මුදලින් ලක්ෂ හතර ඉක්මවනවා. මේ ටික තිබුණේ මුහුණු පොතේ. ඊට අමතරව ඕනෑම කෙනෙකුට ෆින්ලන්ඩ් එඩියුකේෂන් (Finland education) සෙවුම් යන්ත්‍රයකින් තොරතුරු හොයා ගන්න පුළුවන්. ඒ පන්ති කාමර ඉතා නම්‍යශීලීයි. ක්ෂණිකව වෙනස් කළ හැකි තත්ත්වයකින් හෙබියි. අවශ්‍ය වූ විට සීට් ද ඉවත් කර මිතුරු මිතුරියන් ලෙස ගුරුවරයා හා සිසුන් බිම වාඩි වී සාකච්ඡා කරනවා. ගුරුවරයාගේ හඩ ළමයින්ගේ හඩ පරයා ඇසීමක් එහි නැහැ. ප්‍රාථමික පන්ති වුවත්, ඝෝෂාවකුත්, පීඩනයකුත් එහි නැහැ. වැඩ කරන්නේ ළමයින්. ගුරුවරයා පසෙකින් හිඳ උදවු කරනවා. විභාග පවත්වන්නේ නැහැ. එම රටේ ගුරුවරුන් කිසිවක් නොකර වෙහෙස නොවී සිටිනවා වගේ පෙනුණත්, අවසන් ප්‍රතිඵලය පෙන්වන්නේ ලෝක මට්ටමින් විභාගවලදී. ෆින්ලන්ත දරුවන් ඉහළින් සිටීමයි. වසර අටෙන් අටට ගෙන එන නව ප්‍රතිසංස්කරණවලදී මේ ගැනත් යම් අවධානයක් යොමු වුවහොත්, අපේ රටේ දරුවන්ගේ පෞරුෂ හා ආකල්ප සංවර්ධනයට හොඳ කලක් උදා වේවී කියලයි මට හිතෙන්නේ.


සුබෝධා කේ. ජයතිලක