ආණ්ඩුව අපේ රට යුද කොලනියක් කරනවා (බිමල් රත්නායක)

sajaith
සජිත්ට කැපිල්ලක්!
September 1, 2017
dgsddsd
විජේදාස නිසා තවත් අර්බුදයක්!
September 1, 2017
Show all

ආණ්ඩුව අපේ රට යුද කොලනියක් කරනවා (බිමල් රත්නායක)

bimal

2007 වර්ෂයේ මාර්තු 05 වැනි දින අත්සන් කරන ලද ඇමෙරිකාව හා ශ්‍ර්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම අදාළ කාලසීමාව මෙම වර්ෂයේ මාර්තු මස 05 වැනි දිනෙන් අවසන්ව ඇතත්, තවත් දසවසරක කාලයක් සඳහා එම ගිවිසුම අලුත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
‘ඊනියා ආරක්ෂක ගිවිසුම එපා!’ යනුවෙන් ජාතික පුස්තකාලයේ දී පසුගිය 28 වැනි දින පැවැත්වූ සම්මන්ත්‍රණයේ දී මෙම තොරතුරු අනාවරණය විය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමක දී මේ බව හෙළිදරව් කෙරිණි.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ඇමෙරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකානු තානාපති, රොබට් ඕ’බ්ලේක් යන ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනා මෙම ආරක්ෂක ගිවිසුමට අත්සන් කර ඇති බවත්, එවකට පැවති කැබිනට් මණ්ඩලය පවා මෙම ගිවිසුම පිළිබඳව නොදැන සිටි බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
පසුගිය මාර්තු මස 05 වැනි දින අවසන් වුණු එම ගිවිසුමෙහි කාලසීමාව නැවත වරක් වසර දහයක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව වත්මන් අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බව ද තොරතුරු වාර්තා වේ.
රටට කිසිදු ප්‍රයෝජනයක් නැති මෙම ගිවිසුම මඟින් අප රට ඇමෙරිකානු යුද කොලනියක් වීම නොවැළැක්විය හැකි බවත්, එමෙන් ම අප රට යුද ඉලක්කයක් බවට පත් වීම ද වැළැක්විය නොහැකි බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා විසින් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසීය.
ඇමෙරිකාව විසින් ලෝකයේ රටවල් තම ආධිපත්‍යයට ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන එක් ක්‍රියාදාමයක් වනුයේ මෙලෙස ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීම බවත්, දෙපාර්ශ්වයේ ම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළ ද, තමන් සමඟ ගිවිසුම්ගත වූ කිසිදු රටක් ඇමෙරිකාව විසින් මෙතෙක් ආරක්ෂා කර නොමැති බවත් ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබී ය.
මෙම ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වීම මඟින් ඇමෙරිකානු විරෝධී අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධානවල ඉලක්කයක් වීමට අප රටට සිදු වනු ඇති බවත්, කලාපයේ අනෙකුත් රටවල් සමඟ ද ප්‍රතිවිරෝධතා ඇති වීම නොවැළැක්විය හැකි බවත්, රටට කොහෙත්ම වැදගත්කමක් නැති මෙම ඊනියා ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් වැළැකී සිටීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු විසින් අවධාරණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්, ප්‍රවීණ මාධ්‍යවේදී, විදෙස් විචාරක, මහින්ද හත්තක යන අය සහභාගී වී සිටියහ.


කිත්සිිරි කොඩිතුවක්කු