අධිකරණයෙන් විෂබීජ ඉවත් කරන්න ඕනෑ

saitm
ඇත්ත කියන්නේ කවුද?
September 8, 2017
awd
විසඳුමක් සඳහා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හඩ
September 8, 2017
Show all

අධිකරණයෙන් විෂබීජ ඉවත් කරන්න ඕනෑ

widwath

ශ්‍රී ලංකා නීතිිඥ සංගමයේ හිටපු සභාපති, උපුල් ජයසූරිය

නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට දේශපාලන බලපෑම් සිදු කරන බවට මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ට චෝදනා නැගී තිඛෙනවා. නමුත්, වර්තමාන ආණ්ඩුව බලයට පත් වූයේ අධිකරණයේ සහ අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට පොරොන්දු දෙමින්. මේ පරස්පරය පිළිබඳව විමසා බැලීමට මෙවර විද්වත් සංවාදය වෙන් කෙරේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, නීතිඥ උපුල් ජයසූරිය මහතාට යොමු කළ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය:

නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දවස්වල විශාල වශයෙන් සාකච්ඡා කෙරෙනවා. මේ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරගෙන සාකච්ඡාවට මුලපුරමු.

නීතිපති දෙපාර්තමේන්තුව රට ඉදිරියේ ප්‍රකාශයට පත් වන්නේ නීතිපතිවරයා මගින්. මෑත කාලයේදී නීතිපතිවරයා හැඳින්වූයේ රජයේ සිටින නීති උපදේශක හැටියට. ඇත්ත වශයෙන්ම මේ තනතුර ඊටත් වඩා ගැඹුරු අර්ථයක් සහිත එකක්. නීතිපතිතුමා හඳුන්වන නාමයක් තමයි. ‘යුක්තියේ උල්පත’ කියලා. නීතිපතිවරයා රජය වෙනුවෙන් පෙනී සිටීමක් නොවෙයි කරන්නේ. ඇත්ත, යුක්තිය, සාධාරණත්වය ඉටු කිරීමේ මූලික කාර්යභාරය. සමහර වෙලාවට නීතිපති දෙපාර්තමේන්තුවේ තරුණ නීතිඥවරුන්ගෙන් මේ සිද්ධාන්තය ගිලිහී ගිය බවක් පෙනිලා තියෙනවා. නමුත්. නීතිපතිවරයාගේ කැපවීම තියෙන්නේ ‘යුක්තියේ උල්පත’ සිද්ධාන්තය ඔස්සේ ඉදිරියට යාම. රජය වෙනුවෙන් නීති උපදෙස් ලබා දෙන්නේ මේ මූලික වගකීමේ කොටසක් හැටියට. අපරාධමය නඩුවක් පවත්වාගෙන යාමේ දී පවා නීතිපතිවරයාට ‘මේක අසාධාරණ චෝදනාවක්’ බව තේරෙනවා නම්, සාක්ෂි අනුව එහිදී මේ නඩුව තවත් ඉදිරියට පවත්වාගෙන නොයන බව විනිශ්චයකාරතුමාට කියන්න ඕනෑ. නීතිපතිවරයා පෙනී සිටින අපරාධ නඩුවක අභිප්‍රාය කෙසේ හෝ පුද්ගලයකු වරදකරු කරන එක නොවෙයි. සාධාරණත්වයක් ඉටු විය යුතුව තියෙනවා.

නීතිපතිවරයා රජයේ නීතිඥවරයා වශයෙන් හඳුන්වා දීම මෑත කාලයේ ඇති වූවක් බව ඔබ කීවා. එහෙම නම් ඉතිහාසය මොකක්ද?

නීතිපති දෙපාර්තමේන්තුවට අවුරුදු 128ක් විතර වෙනවා. රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ කිසිම කෙනෙකුට හිස නොනමන සාක්ෂි මත හරි දේ පමණක් කළ යුතු වගකීමක් පැවරී තිඛෙන්නේ. නමුත්, නොයෙක් අවස්ථාවන්හිදී අතීතයේදී පවා දේශපාලනමය බලපෑම් තිබුණා. සමහර විට දේශපාලනමය පසුබිමක් දරන අධිචෝදනා පත්‍ර රෑ එළි වෙන කොට සකස් කළ අවස්ථා තිඛෙනවා. එවැනි දේශපාලන බලපෑම් නිසා තමයි, නීතිපති දෙපාර්තමේන්තුවට යම් කිසි කැළලක් ඇති වුණේ. බලයේ සිටි දේශපාලන පක්ෂ හැම එකක් යටතේම සිද්ධ වෙලා තියෙන දෙයක්. ඒක එසේ නොකළ යුත්තක්.

නොකළ යුත්තක් කරන්නේ ඇයි?

දේශපාලන බලය අනිසි ලෙස යොදවමින්, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සම්බන්ධයෙන් කි්‍රයාත්මක වී තිඛෙනවා. උදාහරණයක් හැටියට රාජපක්ෂ පාලන සමයේදී ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තාට පස්සේ තමයි, ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළේ. අත්අඩංගුවට ගෙන කරුණු හොයාගෙන ගිහිල්ලා, ‘දේශපාලනය කළා’ය කියන චෝදනාව ගෙනාවා. නමුත්, අත්අඩංගුවට ගත්තේ එහෙම චෝදනාවක් අනුව නෙමෙයිනේ. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර පුද්ගලයන්ට බලපෑම් ඇති වුණා. සමහර මිනීමැරීම්වලදී පවා නීතිපතිවරයා ‘අධි චෝදනා’ ඉදිරිපත් කරලා නෑ, ඒ තත්ත්වය නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් නොවෙයි, අධිකරණයටත් බලපෑවා. ඉහළ අධිකරණයට විනිසුරුවන් පත් කිරීමේ බලය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාව විසින් කළ යුතුව තිබුණා. මේ ව්‍යවස්ථා සංශෝධනය ඓතිහාසික එකක් නේ.

ඓතිහාසික සංශෝධනයක් කියන්නේ මොන හේතු නිසාද?

පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරුන් 224 දෙනාම එකතුව සම්මත කළ සංශෝධනයක් නේ. එහෙම වෙන්නේ 17 වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව පිහිටුවූවා. ඒ යටතේ කටයුතු ආරම්භ කරන කොට රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත්, අකර්මණ්‍ය කළා. ව්‍යවස්ථාව තුළ ජනාධිපති වියරුවක් ඇති කිරීමෙන් අධිකරණයටත් විශාල බලපෑම් එල්ල කරන්න පසුබිම හදා ගත්තා. එතනදී තමයි, නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලනමය කටයුත්තක් කරන්න සිද්ධ වුණේ. ස්වාධීන යුක්තිසහගත තීරණයක් ගැනීමේ හැකියාවක් ඒ ගොල්ලන්ට තිබුණේ නෑ. රාජපක්ෂ මහත්තයට විරුද්ධව ‘හෙල්පින් හම්බන්තොට’ නඩුව පිළිබඳ චෝදනා ඉදිරිපත් වෙලා තිබුණා. සාක්ෂි තිබුණා. නමුත්, නඩුව පවත්වාගෙන ගියේ නෑ. කරුණු නැති නිසා නොවෙයි, එදා හිටිය අගවිනිසුරුතුමාම කියනවා නේ, ‘හිරගෙදරට යවන්න ඕනෑ කෙනාම තමයි, මම රජගෙදරට යැව්වේ…’ කියලා. අපට පැහැදිලි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නිවැරදිව කටයුතු කළත්, අධිකරණය ඊට විරුද්ධව ක්‍රියා කර තිඛෙන ආකාරයයි. ඒ වාගේ පුද්ගලයන්ට තමයි, පසුගිය කාලයේදී ආණ්ඩුවලින් ධෛර්යය දුන්නේ.

නමුත්, ඒ තත්ත්වය වෙනස් කිරීමේ බලයක් නේ දැන් දීලා තියෙන්නේ.

වර්තමාන ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්මයා ඇවිල්ලා ‘ඔබතුමාට ඕනෑ විදිය කියන්න. මම නඩු තීන්දු දෙන්නම්. මට දිගටම තනතුරේ ඉන්න ඉඩ දෙන්න’ කියලා ඉල්ලීමක් කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.
මේ යථාර්ථය තමයි, වෙනස් කළ යුතු වන්නේ. මේ වගේ පුද්ගලයන් පත් කළාම වෙන්නේ යුක්තිය පසිඳලීම පැත්තක තියලා යුක්තිය විනාශ කිරීමක්. ඒ වාගේ පුද්ගලයන්ට ගෞරවනීයත්වයක්, කිසිම උත්තරීතර භාවයක් තිබුණේ නෑ, මේ තත්ත්වය තුළ 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාදායක සභාව නැවත වරක් කි්‍රයාත්මක කළා. ඊට පස්සේ ඉතාමත් විශිෂ්ට විනිශ්චයකාරතුමන්ලා පත් කර තිඛෙනවා. උදාහරණයක් විදියට ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා හඳුන්වා දෙන්න පුළුවන්. කිසිම පක්ෂපාතීත්වයකින් තොරව කටයුතු කරනවා.
එවැනි විනිසුරුවරුන් අධිකරණ පද්ධතියට ඇතුළත් කළ යුතුයි. උපාලි අබේරත්න, ලෙනින් රත්නායක වගේ අයගෙන් අධිකරණය අපකීර්තියට පත් වුණා. ඒ තත්ත්වය වෙනස් කිරීමයි, ජනතාවගේ අපේක්ෂාව. නීතිඥවරුන් වශයෙන් අපේ අපේක්ෂාවත් ඒක. විනිශ්චයකරුවන් අතරත් නීතිඥ ප්‍රජාව අතරත් ඉතාම සුළු පිරිසක් ඉන්නවා දූෂිත අය. මේ සුළුතරයේ කි්‍රයාවන් නිසා අති මහත් බහුතරයක් කරන විශිෂ්ට සේවය හෑල්ලු වෙනවා. මේ පුද්ගලයන් කවුරුන්ද කියලා හොයලා අධිකරණයෙන් ඒ වගේ විෂබීජ අයින් කරන්න ඕනෑ.

විෂබීජ යනුවෙන් නම් කිරීම අධිකරණයට අපහාසයක් කියලා නිර්වචනය කරන්න බැරිද?

‘ස්පයිකැචර්’ කියලා බ්‍රිතාන්‍යයේ යුද රහස් අඩංගු පොතක් මුද්‍රණයෙන් නිකුත් කරන්න ලෑස්ති වුණු වෙලාවේදී රජය මැදිහත් වී තහනම් නියෝගයක් ගත්තා. තහනම් නියෝගයට විරුද්ධව මාධ්‍ය සියල්ල එකට හිඳිමින්, අභියාචන කළා. සාමි මණ්ඩලයේ හිටි නිශ්චයකාරවරුන් පස් දෙනාම තහනම අනුමත කරන තීන්දුවක් දුන්නා. මුද්‍රිත මාධ්‍යයෙන් මේ පස්දෙනාව ඔළුවෙන් හිටවලා පින්තූර පළ කරලා ‘මෝඩයෝ’ කියලා ජනතාව අතරට ගෙනිච්චා. එතකොට කෙනෙක් සභාපති විනිශ්චයකාරතුමාගෙන් ඇහුවා, ‘මෝඩයෝ කියලා තීන්දුව විවේචනය කරලා තියෙන එකෙන් අධිකරණයට අපහාසයක් වෙනවා නේද?’ කියලා. එතුමා දුන්නු උත්තරේ ‘අනෙකුත් කරුණු පැත්තක තියලා, නඩු විභාගයේදී දැක් වූ කරුණු මත පමණක් සලකා බලා තීන්දුව ප්‍රකාශ කළා. අපේ රාජකාරිය එතනින් අවසානයි. දැන් රාජකාරිය තියෙන්නේ ජනතාවට. ජනතාවගේ රාජකාරිය ඉටු කිරීමේදී ඒ අය දකින විදිය පිළිබඳව තමයි, ඔය කියන්නේ. අපේ තීරණය අපි දුන්නා. ඒ ගොල්ලන්ගේ තීරණය ඔය දෙන්නේ. අපට ඒක අදාළ වෙන්නේ නෑ’ කියලා. එතරම් උසස් නීතිමය සිද්ධාන්තයක් තියෙන්නේ. මේ රටේ අධිකරණ පද්ධතියත්, විනිශ්චයකාරතුමාලාත් ඒ වගේ උසස් තැනකට යන්න ඕනෑ. විෂබීජ එක්ක ඔය දේ කරන්න බෑ. අධිකරණයේ ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරන්න ජනතාවට අයිතියක් තියෙනවා.

ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම හෝ නියෝග දීම ගැන චෝදනා ඔබ දකින්නේ කොහොමද?

මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. 2015ට ඉස්සෙල්ලා රජයට සම්බන්ධ කිසිම ආයතනයකට විරුද්ධව ඔය වගේ චෝදනා ඉදිරිපත් කළා ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඔය කියන ආකාරයේ බලපෑම් නීතිපති දෙපාර්තමේන්තුවට සිද්ධ වෙනවා නම්, ඒ අතර ඇමතිවරුන්ට අධි චෝදනා පවා එල්ල වෙලා තියෙනවා නේ. අපට පෙනන ගුණාත්මක යම් කිසි වෙනසක් ඇති වෙලා තියෙනවා. එහෙම වුණා කියලා සුදු වෑන් එවීම වැනි කිසි ම දෙයක් වෙලත් නෑ. මේ නිසා ආයතනවල ගෞරවය ආරක්ෂා කරන්න ඕනෑ. ඒ අතරම ආයතනවල ඉන්න පුද්ගලයන් ආයතනවල ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරනවාද? කියලයි බලන්න ඕනෑ. කටයුතු නොකරනවා නම්, ඒ අයට විරුද්ධව කි්‍රයා කිරීම අපේ යුතුකම විය යුතුව තිඛෙනවා. මම ඉන්නේ එතන.

නීතිපති දෙපාර්තමේන්තුවේ බරපතළ ප්‍රමාදයක් සාධාරණීයකරණය කළ හැකිද?

අපි එහෙම නම්, සලකා බලන්න ඕනෑ ඔවුන්ට ලබා දී තිඛෙන පහසුකම් මොනවාද කියලයි. කාර්යක්ෂම කරන්න නම්, දැනට ඉන්න රජයේ නීතිඥවරුන් සංඛ්‍යාව සියයට පනහකින් විතර වැඩි කරන්න ඕනෑ. දක්ෂ, උගත්කම තිඛෙන තීක්ෂණ ඥානය තියෙන නීතිඥවරුන් රාශියක් දෙපාර්තමේන්තුවට ඉන්නවා. නමුත්, බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන හිඟයක් තියෙන්නේ. මේක සම්පූර්ණ කිරීමයි අධිකරණ අමාත්‍යාංශයේ යුතුකම. අධිකරණ ශාලා හදලා දෙන්න හෝ කුලියට ගන්න ඕනෑ. අවශ්‍ය අනෙකුත් සියලුම පහසුකම් දෙන්න ඕනෑ. එතකොටයි, මේ දේවල් හරියට කරන්න පුළුවන් වෙන්නේ. අද විභාග කරන නඩුවකට ඊළඟ දිනය එන්නේ මාස හයකින් විතර කියලා බරපතළ විවේචනයක් තියෙනවා. හැම දිනයේදීම විනිශ්චයකාරතුමන්ලාට නඩු හතක් අටක් අහන්න වෙලා තියෙන්නේ. එහෙම නම්, තාවකාලික නඩුකාරවරුන් පවා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් ප්‍රතිපාදන දීලා තියෙන්නේ. ආයේ අමුතුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනෑ නෑ, විශ්‍රාම ගිය විනිශ්චයකාරවරුන් පත් කළ හැකියි. ඉල්ලීමක් කළොත්, ඒ කට්ටිය නැවත වරක් ඒවි. මේ අවස්ථාව අගවිනිසුරුතුමාට සකස් කර දීමයි කළ යුත්තේ. අවශ්‍ය සියලුම කටයුතු සකස් කර දීමයි අධිකරණ අමාත්‍යාංශයෙන් කරන්න තියෙන්නේ. හැම දේකටම නීති සම්මත කරන්න ඕනෑ නෑ. තියෙන නීති යටතේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ජනතාව බලාගෙන ඉන්නේ මේ නඩු ඉවර කරන්නේ කවදා ද කියලයි.

ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොකරන්නේ කවුරුන්ද?

නව අධිකරණ ඇමතිතුමිය මේ පිළිබඳව සතියක් ඇතුළත කැබිනට් පති්‍රකාවක් ඉදිරිපත් කරලා ප්‍රවේශයක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. කොළඹ දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පැවරුවොත්, සිතාසි යවන්න මාස අටක් විතර ගත වෙනවා. හේතුව බයින්ඩර් කෙනෙක් නෑ. නඩුවක සහතික පිටපතක් ඉල්ලුවොත්, ඒක ගන්න මාසයක් විතර යනවා. හේතුව කොළඹ දිසා අධිකරණ නවයකට තියෙන්නේ ෆොටෝ කොපිමැෂින් එකයි. ඉතින්, කොහොමද කරන්නේ? මෙන්න මේවා තමයි, විෂය භාර අමාත්‍යවරයාගේ කාර්යයන්. නීිතිපති දෙපාර්තමේන්තුවේ තියෙන්නෙත් මේ තත්ත්වයමයි. සමහර නීතිඥ මහත්වරුන් ළඟ ෆයිල් එකසිය පනහක්, දෙසීයක් තිබිලා තියෙනවා. මේවා කර ගන්න බැරිව ඒ මහත්වරුන් මහේස්ත්‍රාත්වරුන් හැටියට පත්වීමක් ලබලා ගිහිල්ලා තියෙනවා. මහේස්ත්‍රාත්වරයෙක් විදියට යන්නේ නියමිත වූ වැඩ ඉවර කරලා ද කියලා බලන්න ක්‍රමවේදයක් නෑ. බැටකන්නේ ජනතාව. යුක්තිය පසිඳලීම ගැන විශාල කාර්යභාරයක් තියෙන්නේ අධිකරණ අමාත්‍යවරයාට. අනෙක් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවට. ඇවන්ට්ගාර්ඩ් නඩුවේ දී නියෝජ්‍ය සෙලිසිටර් ජනරාල්වරුන් තුන් දෙනෙක් තීරණය කළා ගිනි අවි ආඥා පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු අය අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට සාක්ෂි තිඛෙන බව. මේ තුන්දෙනාම අපරාධ නීතිය පිළිබඳ ඉතාම ඉහළ ප්‍රවීණයෝ. නමුත්, සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහත්මයා, අත්අඩංගුවට ගෙන නඩු පැවරීම වැළැක්වුවා. එතනදී කොහෙන් හරි බලපෑමක් සිද්ධ වෙන්ඩ ඇති. ප්‍රශ්නය කොහෙද තියෙන්නේ කියලා බලලා විසඳුම මොකක්ද කියලා බලන්න ඕනෑ. මෙහිදී මාධ්‍යයට බරපතළ වගකීමක් තියෙන්නේ කරුණු පෙන්වලා දෙන්න. නීතිඥවරුන් හැටියට ඉතුරු ටික අපි බලා ගන්නම්.


සංවාදය සහ සටහන
ප්‍රියදර්ශන දයාරත්න