ඇත්ත කියන්නේ කවුද?

mahi
මහින්දගේ සිහිමඳ ගතිය ප්‍රශ්නයක්!
September 8, 2017
widwath
අධිකරණයෙන් විෂබීජ ඉවත් කරන්න ඕනෑ
September 8, 2017
Show all

ඇත්ත කියන්නේ කවුද?

saitm

සයිටම් අර්බුදයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මස 25 වැනිදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු බව බොහෝ දෙනා දන්නා කරුණකි. මෙය තීරණාත්මක සාකච්ඡාවක් බවට සටහන් කළේ ප්‍රශ්නයට අදාළ ප්‍රධාන පාර්ශ්වයන් බොහොමයක් මෙයට සහභාගී වීමත්, ජනාධිපතිවරයා එයට සහභාගී වීමත් නිසාය. එසේම නීතිපතිවරයා ද, සෞඛ්‍ය ඇමතිවරයා ද, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ද, රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ද, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, දෙමව්පිය සංගම් ද මේ සාකච්ඡාවට සහභාගී වීමත් නිසාය.
එහිදී සයිිටම් අර්බුදයට විසඳුම් වශයෙන් දැනට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ. ප්‍රධාන කරුණු හතරක් වශයෙන් ඉදිරිපත්ව තිඛෙන මෙම යෝජනා මාලාව මෙම ප්‍රශ්නය විසඳීම ආරම්භ කිරීම සඳහා වැදගත් ප්‍රවේශයක් වන බව බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ. 25 වැනිදා පැවති සාකච්ඡාවේදී සයිටම් ආයතනයට විරුද්ධව කරුණු දක්වන සියලූම පාර්ශ්වයන් එම යෝජනා මත පදනම්ව විසඳුමකට යා යුතු බවට ඒකමතික එකඟතාවයක සිට සාකච්ඡා කර තිබීමද මෙහිදී වැදගත් කරුණකි.
එදින සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳුදා එනම්, අගෝස්තු 28 වැනිදා ප්‍රකාශයක් කරන බව පවසා ඇත. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරන බව එහිදී ප්‍රකාශ කළ බව සාකච්ඡාවේ සිටි පාර්ශ්ව කීපයක් අප වෙත ද ප්‍රකාශ කළේ මේ පිළිබඳව අප කළ විමසීමකදීය.
එහෙත්, 28 වැනි සඳුදා එවැනි ප්‍රකාශයක් සිදු වූයේ නැත. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගෝස්තු මස 29 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්,
‘සයිටම් අර්බුදය – අවසන් විසඳුම ප්‍රකාශයට පත් වීම වළක්වන්නේ කවුරුන්ද?’ යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබීය. එම නිවේදනය තුළින් ප්‍රශ්නයේ බරපතළකමත්. 25 වැනිදා පැවති සාකච්ඡාව ගැනත්, රජයේ විසඳුම ප්‍රකාශයට පත් කිරීමට බාධා කරන්නේ යැයි ඔවුන් නිරීක්ෂණය කරන පාර්ශ්ව තුනක් ගැනත් කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීනුත් පිළිබඳව කරුණු සහිතව දක්වා තිබේ.
ඉන් පසුව ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 30 වැනිදා පුවත්පත් කතුවරුන් කිහිප දෙනෙකු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, 25 වැනිදා පැවති සාකච්ඡාවේදී රජයේ විසඳුම් ඉදිරිපත් කරන බව ප්‍රකාශ නොකළ බවය. ඒ පිළිබඳව ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් සභාපතිගෙන්
විමසූ බවද එහිදී කියා තිබේ.
ජනාධිපතිවරයා එසේ පැවසීමත් සමග ගැටලූ කිහිපයක් පැනනඟී. සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අදහස් කළේ ‘විසඳුම් පිළිබඳ ප්‍රකාශයක්’ යන්න නොවේ නම්, කුමන හෝ ආකාරයක ප්‍රකාශයක් කරන්න යැයි කී බව නම් තහවුරුය. එබැවින්, පළමු කාරණය නම්, කරන්නේ යැයි කී එම ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බදාදා යන දින තුනෙහිදීම සිදු නොවූ බවය. අප පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් එවැන්නක් ගැන වාර්තා වූයේ නැත. 30 වැනිදා රාතී්‍ර සයිටම් විරෝධී ජන පවුර මගින් රට පුරා නගර ගණනාවක ‘ගිනි ගත් රාති්‍රය’ නමින් විරෝධතා පැවතියේය.
දෙවැනි ප්‍රශ්නය වන්නේ සයිටම් ප්‍රශ්නය පිළිබඳව දැන් ජනාධිපතිවරයාට විසඳුම් යෝජනා හැර වෙනත් කිරීමට ඇති ප්‍රකාශය කුමක්ද යන්නයි. දින 600ක් ඉක්මවා පන්ති වර්ජනයේ යෙදී සිටින – සටන් වැද සිටින – දහස් ගණනක් වූ වෛද්‍ය පීඨවල සිසු සිසුවියන් ද, අනෙකුත් සරසවි සිසු සිසුවියන් ද, වෛද්‍ය පීඨ සිසු දෙමව්පියන් ද, වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ද, රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ හා අනෙකුත් වෛද්‍ය සංගම් ද, වෘත්තීය සමිති හා පිළිගත් බහුජන සංවිධාන ද, සිවිල් බුද්ධිමතුන් ද, දේශපාලන පක්ෂ ගණනාවක් ද අද ඉල්ලා සිටින්නේ ප්‍රශ්නයට විසඳුමකි. ඒ නිසා අවශ්‍ය වන්නේ විසඳුමක් මිස හුදු ප්‍රකාශ නොවේ.
ඒ නිසා සයිටම් ගැන විසඳුමක් 28 වැනි සඳුදා ප්‍රකාශ කරන බව පිළිනොගන්නේ නම්, එය ප්‍රකාශ කරන්නේ කවදා දැයි ජනාධිපතිවරයා රටට වහාම කිව යුතුව තිබේ.