ටොමියට ගිය සෞඛ්‍ය සේවය

vote 3
මැතිවරණ පනත සහ කොමසාරිස්ගේ දින හැත්තෑපහ
September 8, 2017
weds
ග්‍රීස් යකාට පණ දෙන අලුත් බදු පනත
September 8, 2017
Show all

ටොමියට ගිය සෞඛ්‍ය සේවය

tomi

එක පැත්තකින් බලන විට රට පාලනය කිරීමේ දී එක දෙයක් හැර ආණ්ඩුවට මොන කෙහෙල්මලක්වත් කිරීමට නැති තරම්ය. කිරීමට ඉතිරිව ඇත්තේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඩලීමට පොලිසිය මඳි නම්, එස්.ටී.එෆ්. එක හෝ හමුදාව හෝ යෙදවීම පමණය. අනෙක් කටයුතු මොකුත් නැති තරම්ය. ගංවතුර ගැලීමක් හෝ නාය යාමක් වැනි ව්‍යසනයක දී මාධ්‍ය ආයතන තරගයට එම කටයුතු භාර ගනී. ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්න විසඳීම එෆ්.එම්. චැනල්කාරයන් භාරගෙනය. ජනතාව රෝගී වීමට උත්තරය ලොතරැයිවලට
භාර දී අවසන්ය. ඉතින් නම් රට පාලනය කිරීමට මොන කෙහෙල්මලක්වත් අමුතුවෙන් ඉතිරි වී නැති තරම්ය.
නමුත්, ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකරුවන් වැඩි වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රගතව සිටින බවක් පෙනෙන්නට තිබේ. එයට ද උත්තරයක් ආණ්ඩුව සොයාගෙන ඇත. ‘සෞඛ්‍ය ක්ෂේත්‍රය ටොමියට භාර දීම’ය. ටොමියාට සෞඛ්‍ය ක්ෂේත්‍රය හැර නිතර ම අනෙක් සියලූ ක්ෂේත්‍ර ගැන සොයා බැලීමට සිදු වීම නිසා දෝ මේ වන විට එහි බරපතළ ගැටලූ රැසක් ඇතිව තිඛෙන බව මහ බැංකු වාර්තා මෙන්ම ‘හැන්සාඩ්’ වාර්තාවලින්ම හෙළි වී තිබේ. ‘අපේ රටේ අනාගතේ පුංචි පුතේ ඔබේ අතේ’ යනුවෙන් නිතර ජප කරන්නේය. නමුත්, රටේ ළමා ජනගහනයෙන් 36% පිරිසක් කවර හෝ බරපතළ මන්දපෝෂණයකින් පෙළෙන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවට අනුව මේ බව හෙළි කරන්නේ සෞඛ්‍යය භාර ටොමියාමය.
මන්දපෝෂණයෙන් පෙළීම යනු ඉතා ඉක්මනින් රෝගවලට ගොදුරු වීමට ඉඩකඩ විවෘත වීමක්ය. ශරීරයේ ප්‍රතිශක්තිකරණය මන්දපෝෂණය නිසා අන්තිම අඩියට වැටේ. එවිට ඉතා ම ඉක්මනින් ඕනෑම රෝගයකට ගොදුරු වීමේ සහ අසාධ්‍ය වීමේ හැකියාව පවතී. මන්දපෝෂණයට ප්‍රධානම හේතුව එදා වේල සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්නය සමග ගැටගැසී පවතී. ලෝක බැංකුව මූලාශ්‍ර කර ගනිමින්, මහ බැංකු වාර්තාව රටේ මුළු ජනතාවගේ දුගී බව සම්බන්ධ ඉතා වැදගත් තොරතුරු හෙළි කර තිබේ.
මෙරට අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනතාව යැයි සලකන්නේ දිනකට රුපියල් 290.00 (ඇමෙරිකානු ඩොලර් 1.9)කට අඩුවෙන් ආදායම් උපයන්නන්ය. නමුත්, දිනක අත්‍යවශ්‍ය වියදම් සඳහා අවම වශයෙන් රුපියල් 465.00ක් අවශ්‍ය බව දක්වා තිබේ. මෙම ආදායම් මට්ටම අහිමි ජනතාව රටේ මුළු ජනගහනයෙන් සියයට 14.6ක් බව මහ බැංකුව හෙළි කර තිබේ. මෙම ජනතාව පිළිබඳව තවත් ලෙසකින් හඳුන්වන්නේ ‘ඉහළ ආර්ථීක අනාරක්ෂිත තත්ත්වයක ජීවත් වන අය’ යනුවෙන්ය. මෙන්න මේ රෝග නිධානය තුළින් රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් බරපතළ සෞඛ්‍ය තර්ජනයකට ලක්ව සිටිති.
මහ බැංකු වාර්තාව වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ රට මුහුණ දී සිටින ස්වාභාවික විපත් හමුවේ අන්ත දුගී ජනතාව තවත් දුගී බවේ ඉහළම මට්ටමකට පත් වීමේ අනතුර තිඛෙන බවය. මේ වන විටත් රටේ විශාල ජනගහනයක් නියඟයෙන් බරපතළ ලෙස බැටකමින් සිටිති. එනිසාම ඔවුන් හමුවේ බරපතළ සෞඛ්‍ය ගැටලූ රාශියක් වර්ධනය වී පවතී, වකුගඩු රෝගය, ඩෙංගු, පිළිකා, හෘද රෝග ආදී බරපතළ ගණයේ ලා සැලකෙන රෝගවලින් පීඩා විඳින්නන් දශලක්ෂ සංඛ්‍යාත පිරිසකි. නියඟයෙන් බැට කන ජනතාව අතුරින් වකුගඩු රෝගය වැළඳී ජීවිතයත් මරණයත් අතර සිටින්නන් ලක්ෂ ගණනකි.
මෙම රෝගීන්ට ලබා දෙන දීමනාව ඉහළ දැමීමට යෝජනාවක් ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කරුණු දැක්වීය. එයට බාධා කරමින්, සෞඛ්‍යය භාර ටොමියා වියරු ලෙස හැසිරුණු අයුරු සජීවීව රටට දැක ගත හැකි විය. ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ටොමියත් වග කියන්නේ කෙසේ දැයි හෙළි වූයේය. විශේෂයෙන්ම වකුගඩු රෝගය සම්බන්ධයෙන් මහ බැංකු වාර්ෂික වාර්තාවේ (2016 පිටුව 117) සඳහන් කර තිඛෙන්නේ මෙබන්දක්ය.
‘අවිනිශ්චිත සම්භවයක් සහිත නිධන්ගත වකුගඩු රෝගය ශී්‍ර ලංකාවට අඛණ්ඩව බලපාන බරපතළ පොදු සෞඛ්‍ය ගැටලූවක්ව පවතී.’ වැඩි දුරටත් එහි විස්තර කරන්නේ
‘රෝගයේ ගෝලීය ව්‍යාප්තිය තුළින් පෙන්නුම් කරන පරිදි අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලූම ප්‍රදේශ, වයඹ පළාතේ පොල්පිතිගම සහ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය හා පදවිය ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ඌව පළාතේ මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, උතුරු පළාතේ වැලිඔය, වවුනියාව, වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මධ්‍යම පළාතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අවිනිශ්චිත සම්භවයක් සහිත නිධන්ගත වකුගඩු රෝගය පැතිරීමට ඉහළ අවදානමක් සහිත ප්‍රදේශ වේ.’ යනුවෙන්ය.
මහ බැංකුව මෙම තොරතුරු ලබාගෙන ඇත්තේ, ටොමියාට ගිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ය. එනිසාම බරපතළ ලෙස රෝගය පැතිරී තිඛෙන තවත් ප්‍රදේශ අත්හැරී ඇත. සූරියවැව, තණමල්විල ආදී ප්‍රදේශ මෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය නිදර්ශන වේ. මීට අමතරව ඩෙංගු රෝගය ඉතා බියකරු ලෙස පැතිරී තිබිණි. වැස්සට වඳුරන් ගෙවල් හදන්නාක් මෙන් ඩෙංගු රෝගය බිහිසුණු ලෙස පැතිරී යන කාලවලදී මර්දන කටයුතු කිරීමට අමුඩ ගැසීමත් ටොමියාට ගිය සෞඛ්‍ය ප්‍රතිපත්තියේ ආනිශංස වී පවතී. පිළිකාව, හෘද රෝග ආදිය සම්බන්ධ තත්ත්වය ද එකිනෙකට නොදෙවෙනිය. රටේම ජනතාව බිලි ගනිමින් සිටින්නේ මෙවැනි බියකරු සෞඛ්‍ය අනතුරු රැසකින්ය.
සටහන ආරම්භයේ දී සඳහන් කළ ආර්ථීක පදනම රෝගවලට පහසුවෙන් බිලි වීමට බලපෑමෙන් නතර වන්නේ නැත. ප්‍රතිකාර ගැනීමේ දී ඊට වඩා ඉතාම බියකරු ලෙස දුගී බව විසින් ජීවිත තීරණය කිරීමට බලපෑම් කරමින් සිටී. සෞඛ්‍යය යනු මහජන සේවයක් නොව කළු සල්ලි ජාවාරමක් බවට පත් කර දී තිබීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ. ඖෂධ ජාවාරම එක පැත්තකය. රසායනාගාර ජාවාරම තවත් පැත්තකය. වෛද්‍ය චැනල් ජාවාරම තවත් පැත්තකය. මේ සමස්තය ගත් විට කෙටියෙන් හැඳින්විය හැක්කේ ‘ටොමියාට ගිය සෞඛ්‍ය සේවය’ යනුවෙන්ය.
ජාවාරම්කාරී පාතාල ආර්ථීකයට අවශ්‍ය පරිදි සෞඛ්‍ය සේවය ගැලපීමට ආණ්ඩුව කෙතරම් කැමැත්තක් දක්වන්නේ ද යන්න සනාථ කෙරෙන ප්‍රබල නිදසුනක් හමුවේ. 2015දී රජයේ මුළු රෝහල් සංඛ්‍යාව 610ක්ව තිබී ඇති අතර, 2016දී එය 598ක් දක්වා පහත හෙළා තිබීමය. කොට්ඨාස රෝහල් 12ක්, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක තත්ත්වයට පහත හෙළා තිබීම එයට හේතුව බව සඳහන්ය. සිදු විය යුත්තේ පවතින ප්‍රාථමික වෛද්‍ය ඒකක ඉහළ තත්ත්වයට පත් කිරීම වුවද, ආණ්ඩුව කරන්නේ එහි අනික් පැත්තය. ලංකාව පුරා විවිධ රෝගීන්ගේ විශාල වැඩි වීමක් තිඛෙන තත්ත්වයක මෙසේ කළ විට එතන ජාවාරම්කාරයන්ට ඉබේම ඉඩ සැලසේ.
අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල ගණන් අඩු කරන බවට ඇමති රාජිත සේනාරත්න පත්තර පිටු පුරවා දැන්වීම් පළ කළ බව දැන් කාටත් අමතකව ගොසින්ය. එයින් සිදු වී තිඛෙන්නේ ඉන්දීය බාල ඖෂධ ජාවාරම තව තවත් රට තුළ ශක්තිමත් වීමය. ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ නොලැබීමය. මේ නිසාම මිය යන රෝගීන් සංඛ්‍යාව කොපමණ දැයි ගණන් නැත.
ඩෙංගු රෝගය බරපතළ ලෙස පැතිරී යන විට ඇමති මැදිහත් වී ලේ සාම්පල් පරීක්ෂා කිරීමේ උපරිම ගාස්තුව පෞද්ගලික අංශයට නියම කළේය. රජයේ රෝහල්වල රසායනාගාර පහසුකම් ඉතාම අල්ප තත්ත්වයක් යටතේ එය කරනු ලැබීය.
සෞඛ්‍ය නිර්ණායක මඟින් වෛද්‍යවරයකුට සිටින රෝගීන් ගණනින්, රෝහල්වල තිඛෙන ඇඳන් ගණන සහ රෝගීන් අනුපාතය, හෙද හෙදියන් සංඛ්‍යාව ආදී නිර්ණායකවලින් සෞඛ්‍යය හා බැඳී තිඛෙන පාතාල ආර්ථීකය මැනිය නොහැකිය. ටොමියාට ගිය සෞඛ්‍ය සේවයේ තරම මැනීමට වෙනම නිර්ණායක අලූතෙන් සකස් කළ යුතුව තිබේ. එවැනි තත්ත්වයක දී ටොමියා තවත් පිස්සු වැටෙන බව නො අනුමානය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර