මැතිවරණ පනත සහ කොමසාරිස්ගේ දින හැත්තෑපහ

snusha
ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි
September 7, 2017
tomi
ටොමියට ගිය සෞඛ්‍ය සේවය
September 8, 2017
Show all

මැතිවරණ පනත සහ කොමසාරිස්ගේ දින හැත්තෑපහ

vote 3

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ රට තුළ මේ වන විට සංවාදයක් ගොඩනැගී ඇත. ආණ්ඩුව පසුගිය කාලය පුරාම විවිධ හේතු ඉදිරිපත් කරමින් මැතිවරණය කල් දැම්මේය. සීමා නිර්ණය පිළිබඳ ගැටලූවක් නිසා එය සකස් කරන තුරු මැතිවරණය නොපවත්වන බව ආණ්ඩුව රටට කීවේය. ඉන් පසුව පළාත් පාලන පනත සංශෝධනය කළ යුතු බවත්, ඉන් පසුව මැතිවරණය පැවැත්විය හැකි බවත් ආණ්ඩුව පුන පුනා කීවේය. පසුගියදා පළාත් පාලන පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී. දැන් සියල්ල සිදු වී අවසානය. තව දුරටත් මැතිවරණය කල් දැමීමට දැන් ආණ්ඩුවට හැකියාවක් නැත. මේ වසර තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට දැන් කිසිදු බාධාවක් නැත. තව දුරටත් මැතිවරණය කල් දැමීම යනු ආණ්ඩුවේ අර්බුදයකි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද්දේ 2012 වසරේ ඉදිරිපත් කොට තිබූ පළාත් පාලන මැතිවරණ පනතයි. එවකට මෙම පනත පළාත් පාලන අමාත්‍ය අතාවුල්ලා විසින් ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් කරන ලද්දේ අතාවුල්ලා වුවද පනත සකස් කරන ලද්දේ බැසිල් රාජපක්ෂ විසිනි. ඔහු පනත සකස් කළේ ඔහුගේ දේශපාලන අරමුණු මුල් කර ගනිමිනි. ඒ නිසාම පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ මහා විකෘතියක් නිර්මාණය වී තිබිණි. බැසිල් රාජපක්ෂගේ ප්‍රධාන අරමුණ වූයේ ද්වි පක්ෂ ක්‍රමයකට ඉඩකඩ විවර කිරීමයි. රටක පවත්වන ඕනෑම මැතිවරණයකින් සිදු විය යුත්තේ ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු වීමයි. නමුත් 2012 බැසිල් රාජපක්ෂලා විසින් සකස් කරන ලද පනත හරහා මැතිවරණයක මූලික හරය විනාශ වී තිබිණ. ප්‍රකාශිත වලංගු සෑම ඡන්දයකටම සමාන බලයක් හිමි වනවා වෙනුවට දිනන පක්ෂයට දෙගුණයක් හිමි වන සුවිශේෂී බලයක් හිමි කර දී තිබිණ. දිනන පක්ෂයේ ඡන්ද 2, 4, 6 ලෙස ගණන් කරන විට පරාජයට පත් වන පක්ෂවල ඡන්ද ගණන් කරන්නේ 1, 2, 3 ආකාරයටයි. එවැනි විකෘතියක් බැසිල්ලාගේ පනතේ විය. මෙවර සම්මත වූ පනතේ දී ඒ ක්‍රමය වෙනස් කර සාධාරණ තත්ත්වයක් ගෙන ඒමට අදාළ සංශෝධන ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කොට තිබිණ.
පැවති ඡන්ද ක්‍රමය, සීමා නිර්ණය මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම සකස් කොට තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවට වාසිදායක ආකාරයටයි. ඒ නිසාම සෑම දේශපාලන පක්ෂයකටම සාධාරණ නියෝජනයක් ලබා ගත හැකි වන ආකාරයට පනත සංශෝධනය කළ යුතුව තිබිණ. එය මෙවර පනත හරහා සිදු වී තිඛෙනවා. එහෙත් මෙය සර්ව සම්පූර්ණ එකක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම තහවුරු වන පනතක් ද නොවේ. කෙසේ වුවද, පැවති පනතට සාපේක්ෂව ගත් කල්හි යම් සාධනීය බවක් තිඛෙන බව පැහැදිලි වී පෙනේ.
නව පනත හරහා යම් පළාත් පාලන ආයතනයක මන්තී්‍ර ධුර සංඛ්‍යාව පක්ෂයක් ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට සමානුපාතික වේ. එය අතිශයින්ම වැදගත්ය. ජනතාවගේ කැමැත්ත විකෘති කොට තිබූ පැරණි පනතේ වැරදි කරුණු මෙම නව පනතින් නිවැරදි කර තිබීම වැදගත් වේ. අනෙක් වැදගත්ම කාරණය මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කොට තිඛෙනවා. මනාප ක්‍රමය සම්බන්ධයෙන් රට තුළ පැවතියේ දැඩි විරෝධයක් මේ නව පනත හරහා ඒ ජනතා බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකියාව ලැබී තිඛෙනවා. අනෙක් වැදගත්ම කාරණය වන්නේ නව පනත මගින් කොට්ඨාසයට නිශ්චිත මන්තී්‍රවරයෙකු හිමි වෙනවා. එසේම පැවති ඡන්ද ක්‍රමයට අනුව තරග වැදීම, නොවැදීම නොසලකා ලැයිස්තුවේ ඉන්න සෑම අපේක්ෂකයෙකුටම රුපියල් 5,000.00ක ඇප මුදලක් තැන්පත් කළ යුතුව තිබිණ. පැවති පනතට අනුව මන්තී්‍රවරුන් 5,000ක් පමණ තේරී පත් විය යුතුව තිබුණු අතර, එක පක්ෂයක් රුපියල් ලක්ෂ 250කට ආසන්න ඇප මුදලක් තැන්පත් කළ යුතුව තිබිණ. නමුත් නව පනත හරහා එම මුදල සාධාරණ ලෙස අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
ලෝකයේ සෑම රටකම පාහේ මේ වන විට කතාබහක් නිර්මාණය වී ඇත්තේ, නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධවයි. නව පනත හරහා කාන්තා නියෝජනයට වැඩි ඉඩක් හිමිව තිබේ. ප්‍රාදේශීය සභාවක් සඳහා තරග වඳින ලැයිස්තුවෙන් 10%ක් ද තරග නොවදින ලැයිස්තුවට තිදෙනෙකු එකතු කොට එම අගයෙන් හරි අඩක් කාන්තා නියෝජනයට අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව සම්පූර්ණ ලැයිස්තුවේ 30%කට ආසන්න කාන්තා නියෝජනයකට අවස්ථාව හිමිවේ. කොට්ඨාසයකට තරග වැදී ජයග්‍රහණය කිරීමට කාන්තාවකට නොහැකි වුවත්, සභාවකට පත් වන මන්තී්‍ර සංඛ්‍යාවෙන් 25%කට ආසන්න හෝ 25%ක් ඉක්මවා යන මන්තී්‍ර සංඛ්‍යාවක් සභාව නියෝජනය කිරීමට අවස්ථාව මේ පනතින් උදා කර ඇත. අඩුපාඩු පැවැතිය ද, පැවැති පනතට සාපේක්ෂව කාන්තාවන්ගේ පැත්තෙන් ගත් කල්හි මෙය ප්‍රගතිගාමී පනතකි.
සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය හා බැඳුණු රාජකාරී ඉටු කර ගන්නා සමීපතම ආයතන වන්නේ පළාත් පාලන ආයතනයි. මේ වන විට මැතිවරණය නොපවත්වා එම ආයතන අකී්‍රය වී තිඛෙනවා. තව දුරටත් මැතිවරණය පමා කිරීමට ආණ්ඩුවට කිසිසේත්ම හැකියාවක් තිබිය නොහැකියි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා
පසුගිය කාලයේ ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණ පනත සම්මත වී දින 75කින් පසුව මැතිවරණය පැවැත්විය හැකි බවයි. දැන් ආණ්ඩුව කළ යුත්තේ මෙතෙක් කල් ඉදිරිපත් කළ තර්ක තව දුරටත් ඉදිරිපත් නොකොට වහාම මැතිවරණය පැවැත්වීමයි.
මේ පනත සම්මත වීමත් සමඟ රාජපක්ෂ කණ්ඩායමේ අපේක්ෂා බිඳවැටී තිඛෙන බව පෙනේ. රාජපක්ෂ කණ්ඩායම තමන්ගේ ආණ්ඩුව පැවති සමයේ තමන්ගේ බලය යොදා ගනිමින් තමන්ට අවශ්‍ය ලෙස සකස් කර ගත් පනත නැවත සංශෝධනය වීම නිසා අපේක්ෂා භංගත්වයට පත් වී තිබේ. ඒ අනුව ඔවුන් තර්කයක් ඉදිරිපත් කරයි. ඒ රාජ්‍ය සේවකයන්ට ඡන්ද බලය අහිමි කළා ය යන්නයි. අපේ රටේ නීතිය අනුව ඡන්ද ඉල්ලීමට සීමාකම් තිබේ. එම සීමාකම් මෙම නව පනත මගින් පුළුල් කොට තිබේ. මේ යෝජනාව ස්වාධීන මැතිවරණ කොමිසමෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවකි. පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස කුඩා වී තිබේ. කොට්ඨාසයක් යනු ග්‍රාමසේවා වසම් එකක් හෝ දෙකක් විය හැකියි. ඒ අනුව ග්‍රාම නිලධාරීවරයෙකු මැතිවරණයට ඉදිරිපත් වුවහොත්, එල්ල විය හැකි බලපෑම අවතක්සේරු කළ නොහැකිය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් ජන ජීවිතය හා සෘජුව බැඳුණු රාජකාරීවල නිරත වේ. එවන් නිලධාරියෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වුවහොත්, එම ප්‍රදේශයේ ජනතාවට බලපෑම් එල්ල කළ හැකිය. ඒ අනුව යම් යම් සීමා පනවා ඇත. නමුත් මහා මැතිවරණයක දී එය අදාළ නොවේ. රාජපක්ෂ කණ්ඩායම රටට බොරු වපුරමින් රාජ්‍ය සේවකයන්ට ඡන්ද බලය අහිමි කළා ය යනුවෙන් නාහෙන් හඩා වැටෙන්නේ මේ යථාර්ථය වසන් කරමිනි.
කෙසේ වුවද, මේ පනත හොඳම පනත යැයි කිසිවෙකුටවත් කිව නොහැකිය. මෙය හොඳ වන්නේ රාජපක්ෂලා ඉදිරිපත් කළ පනතට සාපේක්ෂවය. මෙහි මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉහළ දැමීම නොවිය යුත්තක්ව තිබිණ. මන්දයත්, රටට ඔරොත්තු නොදෙන මට්ටමේ ජනතා නියෝජිතයන් පිරිසක් මේ වන විටද සිටින බැවිනි. කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ගත් කල්හි මේ පනත සාධනීය පනතකි.


එස්. කේ. ගමගේ