මිහි මවගේ කිරිදියට විස හලන දරුවෝ

awd
විසඳුමක් සඳහා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හඩ
September 8, 2017
yaha
විශ්වාසභංග හා යහපාලනයේ අනාගතය
September 8, 2017
Show all

මිහි මවගේ කිරිදියට විස හලන දරුවෝ

kelani

ඔබගේත්, මගේත්, සතා සීපාවාගේත්, ගස්වැල්හිත් ජීවිතය ආරම්භ වී ඇත්තේ, අප මිහි මවගේ ගර්භාෂය වන් සාගර ජලයෙහිය. එදා මෙදාතුර මිහි මවගේ රුධිර නාළ බඳු දහස් සංඛ්‍යාත ජල ධාරාවන් ගණනක් තවත් ලක්ෂ සංඛ්‍යාත ජීවිත ගණනකට උපත හා රැකවරණය සලසමින්, එම ගැබ පෝෂණය කරමින් සිටින්නේය.
එහෙත්, අද වන විට කටයුතු සිදු වෙමින් පවතිනුයේ, යහපත් ආකාරයකින් නොවේ. ඒ අනෙකකු නිසා ද නොවේ. මේ මිහි මවගේ ගැබින් උපන් අසමසම ජීවියා වන මිනිසා හේතුවෙන්මය.
තම පැවැත්ම වෙනුවෙන් අනෙකුත් සහෝදර ජීවීන් ගලකින් හෝ මුගුරකින් ගසා ඝාතනය කිරීම ඇරඹූ හෙතෙම අද එක් අතක ගිනි අවියත්, අනෙකෙහි න්‍යෂ්ටික බෝම්බයක් දරා සිටිමින්, තම සහෝදරයාවද, ඥාතියාවද ඝාතනය කරන තැනට පත්ව හිඳින්නේය.
තවදුරටත් මිහි මව පිළිබඳ හැඟීමක් ඔහුට ඇත්තේ නැත. මේ වන විට ඇය සෑම අතින්ම වධබන්ධනයට ලක්ව හිඳින්නීය. ඇයගේ හිස මතට බෝම්බ හෙළන මිනිසා තම සහෝදරයන් ඝාතනය කරමින් හිඳින්නේය. ධනය අරමුණ කර ගනිමින්, තමාටද ජීවය දුන් ඇයගේ ක්ෂීර ධාරාවන්ට වස මුසු කරමින් සිටින්නේය.
මෙවර සංචාරක සටහන එම නරුම පුත්‍රයන් පිළිබඳව තොරතුරු සොයන්නට ගිය ගමනක් පිළිබඳවය.
මිහි මවගේ දියණියක බඳු ලක් මවගේ ක්ෂීර ධාරාවන් වන ගංගා සියයකට අධික ගණනකින් එකක් වන කැලණි ගං දිය මේ වන විට මුහුණ දී සිටින ව්‍යසනය හා ඒ හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ අල්පයක් සඳහන් කරන්නට මෙවර සංචාරක සටහන ඉඩහසර වෙන් කළෙමු.
මුලින්ද සඳහන් කළ පරිදි වස්තු තණ්හාවෙන් ඉහවහා ගිය මිනිසා තම මිනීවළ හාරා ගනිමින්, පරිසරයට වින කටිමින් තම සහෝදරයන්ට ද වස පොවමින් හිඳින්නේය.
කැලණි ගංගාව වාර්ෂිකව සාගරයට මුදා හරින ජල ප්‍රමාණය සැලකූ කල අත් කර ගනුයේ, තුන්වැනි ස්ථානයය. මහවැලි ගංගාව හා කළු ගඟ පිළිවෙළින් පළමුවැනි හා දෙවැනි ස්ථාන හිමි කර ගත්ත ද, වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් හා දූෂිත ජලස්කන්ධයක් මහා සාගරයට මුදාහැරීම සැලකූ විට එහි ප්‍රථම ස්ථානය හිමි වනුයේ, කැලණි ගංගාවටය.
ඉහළ කඳුකරයේ සිට ගංගාව දෙපස ඉදි කර ඇති හෝටල සහ කර්මාන්ත ශාලා බොහොමයක අපද්‍රව්‍ය බැහැර කරනුයේ, කැලණි ගං දියටය. ගං ඉවුර දෙපස ගඟ රක්ෂිතයෙහි බොහෝ විට ගං දිය ද ඇතුළත් වන පරිදි කොන්කී්‍රට් කණු මත ඉදි කරන ලද ගොඩනැගිලි සංඛ්‍යාව කොතෙක් ද යන්න මෙතෙක් නිවැරදිව ගණනය කර නැතිවාට සැක නැත. ගං දෑල රක්ෂිතයෙහි ඉදි කිරීම් සඳහා අදාළ රාජ්‍ය ආයතනවලින් නිසි අවසරය ලබා ඇත්තේ කෙසේද යන්න එම ඉදි කිරීම් පිළිබඳව සලකා බැලීමේ දී ඇති වන ගැටලූවකි. මන්ද, එම ඉදි කිරීම් බොහොමයක් ගං ඉවුරට හා ගඟ දියට සිදු කරන හානිය එතරම්ම බරපතළ වන බැවිනි.
කිසිදු සැකයකින් තොරවම එම සෑම ව්‍යාපාරික ස්ථානයක්ම පැවති හා පවතින පාලකයන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය ලබන ඒවාය. ඒ වර්තමානයේදී දේශපාලනය යනු ආදායම් උපයන මාර්ගයක් නැතිනම්, ව්‍යාපාරයක් වී ඇති බැවිනි.
ලාභය අපේක්ෂා කර ගත් පටු පරමාර්ථ පෙරදැරි කර ගත් නරුම පුත්‍රයන්ට මාතෘ භූමිය මාතාවක් ලෙස පෙනෙන්නේ නැත. තමා හා තම මව්බිමෙහි ඇළ, දොළ, ගංගා, සතා සීපාවා අතර ඇති සබැඳියාව පෙනෙන්නේ නැත. එවන් නරුම පුතුන්ට මව්බිම යනු එකිනෙකාට විකුණා ලාභ ඉපයිය හැකි අභිසාරිකාවක් පමණි.
ගඟ දෙපස රක්ෂිත බිමෙහි ඉදි කිරීම් සිදු වනුයේ, එවන් නරුම පුත්‍රයන් අතිනි. ගඟ දියට බැර ලෝහ සහිත විෂ රසායනිකයන් එක් කරනුයේ, එවැනි නරුම පුත්‍රයන් විසිනි. වැසිකිළි අපද්‍රව්‍ය පවා ගඟ දියට මුසු කරනුයේ, එවැනි නරුම පුත්‍රයන් විසිනි.
ඔහු ලොව මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම පරිසර හිතකාමියකු වන ගෞතම බුදුන්ගේ මග යන්නේ යැයි කියමින්, වැසිකිළි නළය ගං දියට හරවන බෞද්ධ පින්වතෙකු විය හැකිය. ගලන ජලය හෝ නිකරුණේ නාස්ති නොකරන්නේ ජලයට කෙළ ගැසීම හෝ පාපයක් බව ඉගැන් වූ නබි නායකතුමාගේ මග යන ඉස්ලාම් භක්තිකයකු විය හැකිය. ලෝකයටම සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසුතුමන්ගේ මග යන්නකු ද විය හැකිය.
ඔවුහු අති දැවැන්ත ප්‍රාග්ධනයක් විසින් මෙහෙයවෙන සමාගම් ගඟ දියට විෂ රසායනික මිශ්‍ර අපද්‍රව්‍ය මුදාහරින විට තම ආගමික නායකයන්ගේ ඉගැන්වීම් සලකන්නේ නැත. එයට එරෙහි වන්නේ ද නැත. එම ගං දියෙහිම ගිලී නාති. කැත කුණු සෝදති.
අවිස්සාවේල්ලෙන් මෙපිට කැලණි ගං දෑල රක්ෂිතයෙහි ඉදි කර ඇති හෝටල සහ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා හා හෝමාගම ආයෝජන කලාපය, බියගම ආයෝජන කලාපය ඇතුළුව සැලකූ විට කර්මාන්ත ශාලා ගණන දසදහස ඉක්මවන බවට පරිසර සංවිධාන විසින් පෙන්වා දෙනු ලබන අතර, එම කර්මාන්ත ශාලා බොහොමයක අපජලය ප්‍රතිචකී්‍රයකරණ යාන්ත්‍රණයක්ද කි්‍රයාත්මක වන බව බැලුබැල්මට පෙනෙන්නට තිබේ.
එහෙත්, පෙනෙන සියලු දෙය සත්‍යය නොවන බව තහවුරු වනුයේ, වඩාත් නිරීක්ෂණාත්මකව බැලීමෙන් පමණි. අපජලය හෝ වෙනත් රසායනිකයන් ප්‍රතිචක්‍රීයකරණය යනු ලෙහෙසිපහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශාල පිරිවැයක් දැරිය යුතුය. එක් එක් කාර්යයන්හිදී බැහැර වන අපද්‍රව්‍යයන්හි අඩංගු වන රසායනිකයන් ප්‍රතිචක්‍රීයකරණය ද එම අපද්‍රව්‍යයෙහි අඩංගු රසායනික ප්‍රතිශතය අනුව ඉහළ යයි.
ඒ අනුව ලාභාපේක්ෂාවෙන් කටයුතු කරනු ලබන කිසිදු ආයතනයක් තම ලාභ රේට්ටුව තම බැංකු ගිණුම ඉහළ නැංවීමට ඉවහල් නොවන කිසිදු කටයුත්තක් වෙනුවෙන් පහළ දමා ගන්නේ නැත.
ඒ අනුව මතුපිටින් පෙනෙන අපජලය ප්‍රතිචක්‍රීයකරණය සැබැවින්ම මායාවක් පමණි. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 10ක් පමණ වේ නම්, ඉතිරි සියයට 90 අපද්‍රව්‍යවලට සිදු වනුයේ කුමක්ද? ඇඟ ලොමුදැහැගැන්වෙන කරුණ වනුයේ, එයය.
කැලණි ගං තෙර ඉදි කර ඇති බොහෝ කර්මාන්ත ශාලාවල රසායනික මිශ්‍ර අපජලය ප්‍රතිචකී්‍රයකරණයෙන් තොරවම ගං දියට මුදාහරිනු ලබන්නේය. එය බොහෝ විට සිදු වනුයේ, රාතී්‍ර කාලයේදීය. බියගම ආශ්‍රිතව පිහිටා ඇති කෝලා සමාගම් දෙකක අපජලය කැලණි ගං දියට මුසු වන අවස්ථා ගංතෙර අවට ජනතාවට සාමාන්‍ය දසුනක් බවට පත්ව තිබේ.
කිසිදු ආකාරයකින් ප්‍රතිචකී්‍රයකරණය නොකරන ලද උග්‍ර විෂ සහිත අපජලය රහසිගතවම බැහැර කිරීම සඳහා ඇතැම් කර්මාන්ත ශාලා හිමියන් භූගතව නළ පද්ධතීන් සකස් කර ඇති අතර, රාති්‍රයේ ගණ අඳුරෙහි විෂ රසායනිකයන් මිශ්‍ර කළු පැහැති අපජලය ගඟ දියට රහසේම මුසු වෙමින් තිඛෙන්නේය.
2007 වසරේදී ජලසම්පාදන මණ්ඩලය විසින් පවිත්‍ර ගංගා වැඩපිළිවෙළ යටතේ කරන ලද සමීක්ෂණයක තොරතුරු ඔස්සේ කළ සොයාබැලීමක දී හෙළි වී ඇති කරුණු අනුව වර්තමානය වන විට කැලණි ගං දියෙහි බැර ලෝහ සංයුතිය සිය ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, ඇලුමිනියම් සාන්ද්‍රණය පමණක් සියයට 1,000කින් ඉහළ ගොස් ඇති බවත් හෙළි වී තිබේ.
මෙම විනාශය පිළිබඳව කරන ලද ගවේෂණයකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් කරන ලද ගවේෂණයක පිටු 2,000කින් පමණ සමන්විත වාර්තාව ද මේ වන විට බස්නාහිර පළාත් සභාවට භාර දී ඇති අතර, මෙම තත්ත්වයට වගකිව යුතු කර්මාන්ත ශාලා රාශියක් ද හඳුනාගෙන ඇතත්, පාලකයන් මේ වන තෙක් අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.
හෝමාගම ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි අපද්‍රව්‍ය හෙට්ටිගේ ඔය හරහා කැලණි ගං දියට එක් වන අතර, බියගම ආයෝජන කලාපයේ අපද්‍රව්‍ය එක් වනුයේද කැලණි ගං දියටමය. ඒ රග්ගහවත්ත ඇළ මාර්ගය ඔස්සේය. එහි ඇති භයානක කරුණ වනුයේ, පට්ටිවිල පානීය ජල පවිත්‍රාගාරයේ පොම්පාගාරය සවි කර ඇත්තේ ද එම අපජලය ගඟ දියට එක් වන ස්ථානයේම වීමය. පොම්පාගාරය විසින් පිරිපහදුව සඳහා යොදා ගනුයේ, මෙම බැර ලෝහ මිශ්‍ර කැලණි ගං දියමය. මෙරට පවතින කිසිදු ජල පවිත්‍රාගාරයක බැර ලෝහ ඉවත් කිරීමේ තාක්ෂණයක් ඇත්තේ නැත. තවමත් අප රටෙහි ජල පිරිපහදුව කෙරෙනුයේ, ඉතාමත් සරල ක්‍රමවේදයකට අනුව වන අතර, එයින් බැර ලෝහ ඉවත් වීමක් කිසිසේත්ම සිදු වන්නේ නැත. එහෙයින්ම පට්ටිවිල සහ අඹතලේ ජල පිරිපහදුව ආසන්නයේම බෝතල් කළ පානීය ජලය භාවිත කරන ජනතාවක් එම ප්‍රදේශයෙහි දැක ගත හැකිය.
මෙම සටහන මුලින් සඳහන් කළ ලක් මවගේ නරුම පුතුන්ගේ කතා වස්තුවෙන් ශේෂයක් පමණි. සියල්ලටම දේශපාලකයන්ට දෙස් දෙවොල් තැබීමෙන් ආවේග සමනය කර ගැනීමට මෙරට ජනතාව පුරුදු වී සිටිති. මෙරට ධනපති දේශපාලකයන් ක්‍රියාත්මක වනුයේ, ඔවුන්ගේ අරමුණු වෙනුුවෙන් මිස පොදු ජනතාවගේ අරමුණු වෙනුවෙන් නොවන බව අප රටෙහි අසංවේදී ජනතාවට අවබෝධයක් ඇත්තේ නැත. අවබෝධ කර ගැනීමේ වුවමනාවක් ඇද්ද යන්නත් සැකසහිතය. එහෙයින්, මෙතෙක් තමන් විසින් කරන ලද දේශපාලන වරදවල්වලට ඔවුනටම ද~ුවම් විඳීමට සිදුව තිබේ.
මේ වන විට කැලණි ගං දිය බීමට තබා දිය නෑමටවත් නුසුදුසු බව විද්‍යාත්මකව තහවුරු වී අවසන්ය. ඉතින්, ඔබත්, ඔබේ කිරිකැටියාගේත්, වකුගඩුවල ආරක්ෂාව පානීය ජල බෝතල සමාගමකට භාර දී එම සමාගමෙහි ලාභ රේට්ටුව ඉහළ දැමීමට දායක වන්න. නැතිනම්, ජීවිතයෙන් සමු ගැනීමට සූදානම් වන්න.

ඇලුමිනියම් ප්‍රතිශතය 1000% ඉක්මවලා
අසිත නිරෝෂන ; – සභාපති, කැළණි ගං දියවර සුරැකීමේ ජනතා පදනම

කැළණි ගං දියට විෂ අපජලය මුසුකරන ආයතන හා පුද්ගලයන් මේ වනවිට හඳුනාගෙන ඇතත් මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ වගකිව යුතු කිසිඳු ආයතනයක් ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ.
මෙම ක්‍රියාවන් නවත්වන්න ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොලිසියෙත් පරිසර ඒකකයක් තියෙන නිසා ආරක්ෂ බෝට්ටු සේවාවක් කි්‍රයාත්මක කරන්න පුළුවන්. රාත්‍රී මුර සංචාරක සේවාවක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපද්‍රව්‍ය මුසුකරන කර්මාන්ත ශාලා තුළට හදිසියේ ඇතුලත්වීමෙන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය කි්‍රයාත්මක කරනවාද කියන එක සොයාබලන්න පුළුවන්. නමුත් මේ දේවල් කරන්න බලධාරීන්ට උවමනාවක් ඇත්තේ නැහැ.
ගගට මුසුවන රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් බැර ලෝහ ප්‍රතිශතය බරපතළ ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඇලුමිනියම් ප්‍රතිශතය පමණක් 1000% ඉක්මවලා තියෙනවා. අපේ ජල පවිත්‍රාගාරවල බැර ලෝහ ඉවත් කිරීමේ තාක්ෂණයක් ඇත්තේ නැහැ. ඒ නිසා ජනතාව විෂ ජලය පානය කරන්නේ තමන් නොදැනුවත්මයි.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු