විසඳුමක් සඳහා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හඩ

widwath
අධිකරණයෙන් විෂබීජ ඉවත් කරන්න ඕනෑ
September 8, 2017
kelani
මිහි මවගේ කිරිදියට විස හලන දරුවෝ
September 8, 2017
Show all

විසඳුමක් සඳහා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හඩ

awd

‘සයිටම් අර්බුදය : සැමට සාධාරණ විසඳුමක්’ මැයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් පසුගිය අගෝස්තු මස 28 වැනි දින කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයේදී සිදු කළ දේශන ඇසුරින් සකස් කරන ලද සටහනකි.

එක් ව්‍යාපාරිකයකුගේ අත්හදා බැලීමක් නිසා මුළු රටක් ගිනි අරගෙන
මහාචාර්ය ආර්. මුදියන්සේ (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

‘එක් ව්‍යාපාරිකයකුගේ අත්හදා බැලීමක් නිසා මුළු රටක් ගිනි අරගෙන තියෙනවා. මෙවන් මොහොතක විවිධ පාර්ශ්ව විසින් ඒ පිළිබඳව තම තමන්ගේ මතය, අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරනවා. එය අප බලාපොරොත්තු විය යුතුයි. නමුත්, වෛද්‍ය අධ්‍යාපනයම විෂයය කර ගත්, ඒ පිළිබඳ අත්දැකීම් ඇති පිරිසක් වශයෙන් මේවා සමාලෝචනය කිරීම අපේ මෙහෙවරේම තවත් කොටසක් සේ අප දකිනවා.’
‘රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නේ අපේම හරිමඟ ගිය දරුවන්ය. අඥාන යැයි කිව නොහැකි බුද්ධිමතුන්ය. ඔවුන්ගේ ප්‍රකාශයන් ක්‍රමයෙන් අභියෝගාත්මක වී ඇත. ඒ සඳහා අවධානය ද අවශ්‍යව ඇත. මෙවන් අවස්ථාවක මේ දරුවන් ගර්හාවට පත් කරමින්, තාඩන, පීඩන සිදු කිරීම ප්‍රාථමික හැසිරීම් බව අපේ හැඟීමයි. අප වැනි ශිෂ්ඨසම්පන්න සමාජයක යුතුකම වන්නේ මෙය නිවැරදිව අවබෝධ කර ගැනීමයි. මේ නිවැරදි අවබෝධය අපගේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය තීරණය කරනවා. එයම අපගේ අනාගත සෞඛ්‍ය සේවයත්, අපේ අනාගතයත් තීන්දු කරනු ඇත.’

රජය සයිටම් හිමිකාරීත්වයේ අවශ්‍යතාවන් තෘප්ත කරමින් සිටිනවා
වෛද්‍ය ජගත් හේවාවසම් (රුහුණු විශ්වවිද්‍යාලය)

‘සයිටම් අර්බුදයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ට එකඟ විය හැකි සාධාරණ විසඳුමක් ලබා දීමට නිසි විසඳුමක් ලබා දීමට නිසි වගකිව යුත්තන් දක්වන ප්‍රමාදය නිසා රට දිනෙන් දිනම අගාධයට යයි. සයිටම් සිසු සිසුවියන් සඳහා හෝමාගම, අවිස්සාවේල්ල රෝහල්වල සායනික පුහුණුව ලබා දීමටත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට මෙම සිසුන් සහභාගී වීම අනිවාර්ය කිරීමටත්, නිසි වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතීන් නීතිගත කිරීමටත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරගෙන ශික්ෂණ රෝහලක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම යන යෝජනා රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වී තිඛෙනවා. නමුත්, මේ යෝජනා තුළින් තහවුරු කෙරෙන කරුණු කීපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්.
1. සයිටම් සිසුන් දැනට ලබා ඇති සායනික පුහුණුව ප්‍රමාණවත් නොවන බව.
2. සයිටම් ආයතනයේ ඇගයීම් හා විභාග ක්‍රමය විශ්වාස කටයුතු නොවන බව.
3. නෙවිල් ප්‍රනාන්දු රෝහල මෙතෙක් වෛද්‍යවරුන් පුහුණු කළ හැකි ශික්ෂණ රෝහලක් නොවන බව මේ අනුව පැහැදිලි වනවා. ඒ වාගේම පසුගිය ජුනි මස 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා. ‘රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සාධනය කරන තෙක් සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම හා උපාධි පිරිනැමීම නතර කිරීම.’
‘එහෙත්, තවමත් මෙය ක්‍රියාත්මක වී නැහැ. එසේම සයිටම් අර්බුදයේ පාර්ශ්වකරුවන් සියලූ දෙනාම පාහේ මෙම යෝජනාවට එකඟ නොවන අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නිත්‍ය ලෙසම නතර කර දමන ලෙසයි.’
‘එසේම වෛද්‍ය විද්‍යාවේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීමට තවමත් කටයුතු කොට නැහැ. එසේම රජයේ මුදල් නිසි නෛතික ගිවිසුමකින් තොරව පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් යෙදවීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. ඒ වාගේම මීට අමතරව රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය තුළ සයිටම් අර්බුදයේ පාර්ශ්වකරුවන් වන රජයේ වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ට සහ සැමට පිළිගත හැකි පොදු විසඳුම් නොමැති බව අපගේ විශ්වාසයයි. රජයේ එම යෝජනා සයිටම් ආයතනයේ හිමිකාරීත්වය එක්ක කරන ව්‍යාජ විසඳුම් බවට පත්ව ඇත.’

ආරම්භයේ පටන්ම වංචාවක
මහාචාර්ය සුනෙත් අගම්පොඩි (රජරට විශ්වවිද්‍යාලය)

‘මේ සයිටම් කියන ව්‍යාපාරික මොඩලය අපට ආචාර්යවරුන් හැටියට අනුමත කළ නොහැකි ඇයි කියලා කරුණු දැක්වීමයි, අපේ අරමුණ. රටක වෛද්‍ය අධ්‍යාපනය පිහිටුවීම පිළිබඳව සලකා බැලු විට ලෝකය පුරා වැඩිම නීතිරීති ප්‍රමාණයක්, පාලනයක් තිඛෙන්නේ වෛද්‍ය අධ්‍යාපන ආයතන පිහිටුවීම සඳහායි. එහෙම වෙලා තියෙන්නේ ජීවයේ මූලික අවශ්‍යතා වන පැවැත්ම යන කාරණය මත මෙය රඳා පැවැතීම නිසායි. ඇමෙරිකාව වගේ රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේදී කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරලා තිඛෙනවා. බ්‍රිතාන්‍යය වගේ අනෙක් රටවලත් එහෙමයි.
‘නමුත්, සයිටම් ආයතනය ආරම්භයේ පටන්ම අපේ රටේ නෛතික රාමුව කඩාබිඳ දමලා. 2008දී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) තුළ ලියාපදිංචි කිරීමට අයදුම් පතක් ඉදිරිපත් කරන්නේ AITM නමිනුයි. එහි කිසිදු අයුරකින් වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ සඳහනක් කර නැහැ. ඒ වාගේම කිසිදු විදේශීය විශ්වවිද්‍යාලයක් සමග අනුබද්ධ වීමක් නැහැ. කිසිදු අනුමැතියකින් තොරවයි SAITM ලෙස පසුව නම පවා වෙනස් කොට ඇත්තේ. ඒ නිසා ආරම්භයේ පටන්ම බී.ඕ.අයි. එකට පවා පළමු ලියුමේ පටන්ම වංචාවක්. ඒ වාගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතිය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිසි අනුමැතිය ලැබූ බව පවසා සිටියා. එහෙත්, සයිටම් ආයතනය සම්බන්ධයෙන් බී.ඕ.අයි. එකට, මහජනතාවට වාගේම උසාවියට පවා වංචා කරලා, බොරු කියලා තිඛෙන්නේ. ඒ වාගේම විශ්වවිද්‍යාල පනත තුළ පැහැදිලිව සඳහන් කරලා තිඛෙනවා, මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක් බව. එහෙත්, උපාධි ලබා දෙන මෙම පෞද්ගලික ආයතනය නීති විරෝධීව පිහිටුවීම සම්බන්ධයෙන් කි්‍රයා කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපත් නොවීම ගැටලුවක්.
‘ඒ වාගේම දිගින්දිගටම ලබා දෙන සාවද්‍ය තොරතුරු පිළිබඳ කිසිම වගවිභාගයකින් තොරව බී.ඕ.අයි. එක මේ ව්‍යාපෘතිය අනුමත කිරීම ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමසනවා. එහිදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට අවසර ලබා දී තිබේ ද යන්න හා රුසියානු විශ්වවිද්‍යාලයක් සමග අනුබද්ධ වූ ආයතනයක් ද යන වගත්, මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමට පෙර අධ්‍යාපනවේදීන්ගේ විමර්ශනයක් සිදු කළේ ද යන්න පිළිබඳවත් විමසා සිටියා. මේ සියලූම දේ සඳහා ලැබුණු පිළිතුර ‘නැහැ’ යන්නයි. එහෙත්, පුදුමයකට වගේ ආයෝජන මණ්ඩලය මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. සයිටම් ආයතනයේ ක්‍රියාකලාපය ඉතාම විහිළුසහගත හා බරපතළ එකක්. ජනාධිපතිතුමාත් සෞඛ්‍ය අමාත්‍යවරයාව හිටපු කාලයේදී පත් කළ කමිටුවක් මගිනුත් මේ ආයතනය පිළිබඳ නිර්දේශ හතරක් ඉදිරිපත් කරනවා.’
‘නමුත්, ඒ සියලූ කරුණු තහවුරු වී තිබියදීත් මේ ආයතනය තවමත් නීති විරෝධී ලෙස පැවතීම ප්‍රශ්නයක්.’

වෛද්‍ය අධ්‍යාපනයේ දී ලාභ ලබා ගැනීම සහ ප්‍රමිතිය කිසිසේත්ම එකට පෑහෙන්නේ නැහැ
මහාචාර්ය ඉන්දික කරුණාතිලක  (කොළඹ විශ්වවිද්‍යාලය)

‘ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය විකාශනය වී තිඛෙන්නේ රෝහල් පද්ධති හරහායි. විලියම් ඔස්ලර් කියන වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියකු පවසනවා, සායනික පුහුණුවකින් තොරව වෛද්‍ය විද්‍යාව හැදෑරීම ගොඩබිම සිට නාවික ශිල්පය හැදෑරීම හා සමාන බව. ඒ නිසා සායනික පුහුණුව වෛද්‍ය අධ්‍යාපනයේදී ඉතාම වැදගත්. වෛද්‍ය විද්‍යාව තමයි, රෝගීන්ගේ ජීවිත පිළිබඳ තීරණ ගන්නේ. ඒ නිසා. වෛද්‍ය අධ්‍යාපනය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. එහිදී බලාපොරොත්තු වන ප්‍රමිතිය ඉතාම ඉහළයි. ඒ ප්‍රමිතිය ලබාගන්න කළ යුතු ආයෝජනය අති විශාලයි. එබැවින්, වෛද්‍ය අධ්‍යාපනයේදී ලාබ ලබා ගැනීම හා ප්‍රමිතිය කිසිසේත්ම එකට පෑහෙන්නේ නැහැ. අවසානයේ ප්‍රමිතිය රඳවා ගැනීමේ අතිශය හැකියාවක් පවතින්නේ රාජ්‍ය අංශයටයි. ඉන්දීය සෞඛ්‍ය ලේකම්වරිය පවා වරක දී ප්‍රකාශ කර සිටියා, නිදහස් ඉන්දියාව කළ බරපතළ වරද නම්, නිදහස් සෞඛ්‍ය සේවය වාණිජකරණයට ලක් කිරීම බව.’
‘අනෙක් අතට රටක වෛද්‍ය අධ්‍යාපනය එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් අනුව ප්‍රතිබද්ධ විය යුතුයි. එහිදී ප්‍රමිතිය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය වෛද්‍ය ආඥා පනත මගින්ම තීන්දු කරන්නේ වෛද්‍ය සභාවයි. ඒ වාගේම වෛද්‍ය පීඨ පටන් අරගෙන පසුව රෝහල් පටන් අර ගත් ඉතිහාසයක් නැහැ. කොහොම වුණත්, විවිධ කරුණු අනුව සලකා බැලීමේ දී සයිටම් ආයතනය මගින් ලබා දෙන වෛද්‍ය උපාධිය කිසිසේත්ම පිළිගත නොහැකි මට්ටමකයි තිඛෙන්නේ.’

මේ අර්බුදයට ඉක්මනින්ම නැවතීමේ තිත තැබිය යුතුයි
වෛද්‍ය මනූජ වීරසිංහ (කොළඹ විශ්වවිද්‍යාලය)

‘මේ අර්බුදයට ඉක්මනින්ම නැවතීමේ තිත තැබිය යුතුයි. දැනටමත් අප ඉතා ප්‍රමාදයි. මේ මගින් මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජන ජීවිතය, සිසු සිසුවියන්, දෙමව්පියන් විශාල අර්බුදයකට පත් වී තිඛෙනවා. ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල දරුවන් වසර ගණනාවක් පුරා කළ කැපකිරීම්වලට සරිලන නිවැරදි විසඳුමක් ලබා දිය යුතුයි. වසර 150කට ආසන්න කාලයක් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය තබා ගැනීමට හැකි වන ආකාරයේ විසඳුමක් ලැබිය යුතුයි. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව රකිමින් හා දියුණු කරමින් යා හැකි විසඳුමක් විය යුතුයි. එසේම සයිටම් ආයතනය තුළ ජීවිත කාලයෙන් බොහෝ ප්‍රමාණයක් නාස්ති වූ ඒ දරුවන්ටත් සාධාරණයක් ඉටු විය යුතුයි. ‘
‘ඒ වාගේම රජයේ වෛද්‍ය පීඨ අටේම ආචාර්ය මණ්ඩලවල පූර්ණ දායකත්වයෙන් ඉදිරිපත් කළ විසඳුමක් තිඛෙනවා. එය උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත්, ජනාධිපතිවරයාටත් භාර දී තිඛෙනවා. එහිදී අපි ප්‍රධාන කරුණු හතරක් ගැන අවධානය යොමු කළා.’
1. සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම ස්ථීර ලෙසම නතර කළ යුතුයි. එසේම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම නීතිමය වලංගු භාවයක් හෝ විනිවිද භාවයක් තුළ කි්‍රයාත්මක කර නොමැති බව හා එම රෝහල තව දුරටත් ශික්ෂණ රෝහලක් නොවන බව සනාථ වීම දැකිය හැකියි.
2. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් නියම කොට ඇති අවම සුදුසුකම් සපුරා ඇති 2016 වසරට පෙර බඳවා ගන්නා ලද සයිටම් සිසුන්ට පාඨමාලාව අවසන් කිරීමට ඉඩ ලබා දිය යුතු බව අප යෝජනා කරනවා. එහෙත්, ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් නියම කරනු ලබන අතිරේක පුහුණු වීම් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන විභාගවලින් සමත් වීම අනිවාර්යය කළ යුතුයි.
3. 2016ට පෙර ඇතුළත් වූ සිසුන්ගේ අධ්‍යයන පාඨමාලාව හා විභාග කටයුතු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට යටත්ව අන්තර්කාලීන අධිකාරියක් පිහිටුවීම සිදු කළ යුතුයි.
4. මෙම යෝජනාවලිය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කර විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ යුතුයි,
‘එවැනි තත්ත්වයක් තුළ අපට දැඩි විශ්වාසයක් තිඛෙනවා මෙම ගැටලූවට පිළිතුරක් නිසැක ලෙසම ලැඛෙන බව. ඒ තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු වෙනවා. ඒ වාගේම මෙම අර්බුදයෙන් අසාධාරණයට පත් වූ සියලූ පාර්ශ්ව වෙත සාධාරණයක් ඉටු වෙනවා කියා අප තරයේ විශ්වාස කරනවා.’


නිපුණා සාරංගි