අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුව පරාජයට

war
ළමුන් යොදාගෙන කරන ත්‍රස්ත ප්‍රහාර දස ගුණයකින් ඉහළට
September 9, 2017
ahvi
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ‘හාවි’ වනසයි
September 9, 2017
Show all

අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුව පරාජයට

indd

ඉන්දියානු අධිකරණය විසින් පුරවැසියන් සතු පෞද්ගලිකත්වය මූලික මිනිස් අයිතිවාසිකමක් බව තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔවුන් මෙසේ තීන්දු කර ඇත්තේ එරට දැනට ක්‍රියාත්මක වන පුරවැසි ජෛවමිතිය අන්තර්ගත කෙරෙන හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළව බව පැවසේ.
‘ආධාර්’ යනුවෙන් නම් කරනු ලැබ ඇති එම ජෛවමිතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට සමස්ත ඉන්දියාවේ බහුතර ප්‍රජාව දැනටමත් ඇතුළත්ව සිටිති. එයින් සුභ සාධන පහසුකම් අයදීම, බදු මුදල් ආපසු ලබා ගැනීම සහ බැංකු ගිණුමක් විවෘත කර ගැනීම වැනි අවශ්‍යතාවන්හිදී එම හැඳුනුම්පත් ක්‍රමය මගින් පුද්ගල අනන්‍යතාව සහතික කිරීම අනිවාර්ය කරනු ලැබ ඇත.
එහෙත් එය දෝෂ දර්ශනයට ලක් කරන සංවිධාන, මහජනයාගේ සියලූ පෞද්ගලික ජෛවමිතික තොරතුරු අනුන් අතට පත්ව ඒවා අපචාර සඳහා යොදා ගැනීමට ඉඩකඩ ඇති බව පවසමින් එම ව්‍යාපෘතියේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළහ.
අදාළ පෙත්සම විභාග කළ නව දෙනකුගෙන් සැදුම්ලත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිශ්චය මණ්ඩලය ‘පෞද්ගලිකත්වය’ මූලික අයිතිවාසිකමක් නොවන බවට කලින් දී තිබුණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් බල රහිත කරමින් ‘පෞද්ගලිකත්වය ජීවිතය සහ නිදහස සුරක්ෂිත කෙරෙන 21 වගන්තියේ නෛසර්ගික කොටසක් වන බව’ තීන්දු කළේය.
නමුත් ආණ්ඩුවේ තර්කය වන්නේ ‘පෞද්ගලිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරනු ලැබ ඇති අහිමි කළ නොහැකි මූලික අයිතිවාසිකම් ගණයට ඇතුළත් නොවන්නේය’ යන්නයි.
මෙම විභාගයේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පුරවැසියන්ට ඔවුන්ගේ ශරීරය සම්බන්ධයෙන් පරම අයිතියක් නොමැති බැවින් ඔවුන්ගේ ජෛවමිතික තොරතුරු ඉදිරිපත් කරන මෙන් බල කිරීමට සිදුවිය හැකි බවට තර්ක කළහ. එහෙත් එම තර්කය නිශේධ කරමින් ඉන්දියාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු 24දා දුන් තීන්දුව මගින් සිය ශරීරයේ සහ මනසේ හිමිකාරත්වය පුරවැසියා සතු අයිතිවාසිකමක් බව පිළිගැනීම නිසා රටේ පුරවැසියන්ට දැන් නිදහසේ හුස්ම ගත හැකිව ඇතැයි එක් නීති විශාරදයෙක් ප්‍රකාශ කළේය.


ධනංජය සූරියබණ්ඩාර