යකඩ වලට විකිණෙන කන්තලේ සීනි කම්හල

hkl
කාටූන්
September 15, 2017
mannny
වාණිජ දෙපාර්තමේන්තුවේ සල්ලි ගිලින බහිරවයෝ
September 16, 2017
Show all

යකඩ වලට විකිණෙන කන්තලේ සීනි කම්හල

kanthalee

දේශීය කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කළ උක් වගාව තුළින් මෙරට සීනි නිෂ්පාදනය ආරම්භ කෙරිණ. ඒ හරියටම අදින් වසර හැටකට පෙර 1957 වසරේදීය. 1957 වර්ෂයේ දී චෙකොස්ලෝවැකියා රජයෙන් ලබා දුන් ප්‍රදානයක් ලෙස ආරම්භ කරන ලද කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද්දේ 1960 වර්ෂයේ ඔක්තෝබර් මස 02 වැනිදාය. එතැන් සිට වසර 26ක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වී ඇති කන්තලේ සීනි කර්මාන්තායතනය විවිධ හේතූන් මත 1986 වර්ෂයේදී අභාවයට පත් වන්නේය.
ඉන් වසර දෙකකට පසුව නැවතත් 1989 වසරේ දී පමණ ඉඩම් අක්කර 21,223කින් යුත් කන්තලේ සීනි කර්මාන්තශාලාව සීමාසහිත ශ්‍රී ලංකා සීනි සමාගම ලෙසට නාමකරණය විය. ටික කලකින් පසුව නැවතත් එය කන්තලේ සීනි කර්මාන්ත ආයතනය ලෙස නම් කර ඇති අතර, අවසන් වශයෙන් 1993 වසරේ දී එය පෞද්ගලික සමාගමක් වෙත පවරනු ලැබීය. වසර ගණනක් පුරා බෝඩ් ලෑල්ල පමණක් වෙනස් කරමින් පවත්වාගෙන ගොස් ඇති මේ කර්මාන්තය 1997.01.28 දිනැති 960/11 අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නැවතත් රජයට පවරාගෙන ඇති අතර, එතැන් සිට එහි කිසිදු නිෂ්පාදන කටයුත්තක් නොකිරීම හේතුවෙන් කර්මාන්තය සතුව පැවති යන්ත්‍රසූත්‍ර මළ කෑ අතර ගොඩනැගිලි ඇතුළු අනෙකුත් දේපළ ආදිය වල් වැදෙන්නට හැර ඇත. තළා ඉවත දමන ලද උක් රොඩු ගොඩක් බවට පත්වන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ කෝටි ගණනක වටිනා ගොඩනැගිලි දේපළ වල් වැදෙන්නට ගන්නා අතර, කර්මාන්තය තුළින් ජීවත් වූ දහස් සංඛ්‍යාත පිරිසකට එතැන් සිට අකමැත්තෙන් වුවද ජීවිතයේ තිත්ත රස අත්විඳින්නට සිදු විය. එවැනි තත්ත්වයක් තුළ මේ කියන්නට යන්නේ පැණි රස සීනි තිත්ත කරන කන්තලේ සීනි කම්හලේ යකඩ මගඩිය පිළිබඳවය. කතාව දිගහැරෙන්නේ මෙසේය.
හවුල් ආණ්ඩුව බලයට පත් වී දින කීපයකින් අනතුරුව 2015.01.18 වැනි දින අංක 1897/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා විසින් කන්තලේ සීනි කර්මාන්තායතනයේ කටයුතු ඉඩම් කටයුතු අමාත්‍යාංශයට පවරන ලදී. ඉන් අනතුරුව 2015.02.14 වැනි දින එවකට ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා විසින් කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් කර්මාන්තය සඳහා නව ආයෝජකයකු යෝජනා කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් භාර දෙනු ලැබීය.
ඒ අනුව කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීම ලෙස හැඳින්වූ මෙම යෝජනාව පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යැම පිණිස 2015.06.17 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විණි. ඒ අනුව සීනි නිෂ්පාදනය පිණිස ආසියාවේ නම් දරා ඇති ඉන්දියානු පෞද්ගලික සමාගමක් සහ රජය අතර ගිවිසුම 2016.08.11 වැනි දින අත්සන් තබන අතර ඒ සඳහා රජයේ පාර්ශ්වයෙන් භාණ්ඩාගාර ලේකම් සහ ඉන්දියානු සමාගම වෙනුවෙන් එහි සභාපතිවරයා විසින් අත්සන් තබන ලදී.
කෙසේ වෙතත් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අදාළ ආයෝජනය කළ සමාගම වන M.G. Sugars Lanka Ltd. වෙත අවශ්‍ය වටපිටාව සකස් වීම දිනෙන් දිනම කල් යාම සමාගම් කළමනාකාරිත්වයට ගැටලු සහගත තත්ත්වයක් ඇති කරන අතර, ඔවුන් ඒ පිළිබඳ වරින්වර අදාළ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමට පෙළඹෙන්නේ ඒ වන විටද ආයෝජකයා විසින් නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස දැවැන්ත මුදලක් වැය කොට තිබීම හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් මාර්තු 31 වැනිදා ඉඩම් කොමසාරිස්වරයා විසින් සිතියම් මගින් ආයෝජකයන් වෙත භූමිය භාර කරනු ලබන අතර, අවුරුදු 30ක බදු ගිවිසුමක් යටතේ හෙක්ටයාර් 202ක භූමි ප්‍රදේශයක් ඊට ඇතුළත් කරනු ලැබීය.
එම ගිවිසුමට අනුව භූමියෙන් හෙක්ටයාර් 202ක් වෙන් කර ඇත්තේ ඉන් හෙක්ටයාර් 167ක ප්‍රමාණයක් බීජ තවාන් සැකසීම පිණිසය. ඉතිරි හෙක්ටයාර් 34 තුළ පැරණි සීනි කර්මාන්තශාලාව, ස්කාගාරය, කාර්යාලයීය ගොඩනැගිලි, නිවාස 300කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර, ඊට අමතරව රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍රසූත්‍ර විශාල ප්‍රමාණයක් ද ඊට අයත් වේ.
පුවත්පත් දැන්වීමක් පළ කරමින් කන්තලේ සීනි සමාගම සතු දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමක් පිළිබඳ තොරතුරු රටට අනාවරණය වන්නේ මේ අතරය. එය සනාථ කරමින් කන්තලේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසූත්‍ර හා චංචල දේපළ මිලියන 540කට විකුණා ඇති බව දැන් හෙළි වී තිබේ. ඒ අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසූත්‍ර හා චංචල දේපළ ඉඩම් අමාත්‍යාංශයේ දී ඉකුත් ජූලි 07 වන දින පස්වරු 02.30ට විවෘත කරන ලද ටෙන්ඩරයක් මඟින් මිලියන 540කට විකුණා දැමීමට තීරණය කර තිබේ. එහි වැඩිම ලංසුව වන මිලියන 540 තබා ඇත්තේ මීරිගම ලංකා සමාගම විසින්ය.
ඒ සමගින් එතෙක් ආණ්ඩුවත්, පෞද්ගලික සමාගමත් එක්ව කන්තලේ සීනි සමාගමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ තුළ තිබූ එකඟතාවයන් පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු ද පසුගියදා සිදු වූ ටෙන්ඩර් ගනුදෙනුවේ ඇත්ත කතාව ද කරළියට පැමිණ තිබේ.
කන්තලේ සීනි කර්මාන්ත ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කිරීමේ දී අදාළ එකඟතාවයන්ට පටහැණිව සීනි කර්මාන්තායතනයේ ඉඩම පමණක් නොව කර්මාන්ත ශාලා භූමියේ ඇති සියලුම දේපොළ අදාළ ආයෝජකයාගේ අභිමතය පරිදි භාවිත කිරීමට හෝ විකුණා දැමීමට අවසරය ලබා දී තිබේ. එහෙත් ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතාවයක් නිර්මාණය වූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසීමක් කරන ලදී. එම කරුණු විමසීමට අනුව නීතිපතිවරයා විසින් 2017.03.20 දින මේ පිළිබඳව කරුණු දැනුම් දෙන ලදී. එමගින් භූමිය හැර ඉතිරි වත්කම් ටෙන්ඩර් කැඳවා විකිණීම සිදු කළ යුතු බව දැනුම් දී තිබේ. අදාළ ටෙන්ඩර් කැඳවීම සඳහා අමාත්‍යාංශය යොමු වන්නේ ඒ අනුවය. එසේ ටෙන්ඩර් කැඳවීමෙන් පසුව ලැඛෙන ටෙන්ඩර් පත් හයක් සලකා බැලෙන අතර ඒවා අතර රුපියල් මිලියන 540ක් සහ රුපියල් මිලියන 440ක් ලෙස වැඩිම මිල ගණන් සඳහන්ව තිබිණි.
මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා නැවතත් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන අතර, 2017.07.06 දිනැතිව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන ලද ලිපියෙහි පිටපතක් ද සහිතව අදාළ ටෙන්ඩර් කැඳවීම අත්හිටුවන ලෙස ලිපියක් 2017.07.11 වන දින නීතිපතිවරයා විසින් දැනුම් දෙන්නේ අදාළ ටෙන්ඩර් කැඳවීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙසයි.
මේ නිසා එතෙක් තිරය පිටුපස සිදු වෙමින් තිබුණු ජවනිකාවක් එළිපිටට එන්නේ කිසිවෙක් බලාපොරොත්තු නොවුණු පරිද්දෙනි. එම ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවෙන අතර ආර්ථීක කළමනාකරණ අනුකාරක සභාවේ සාකච්ඡා වුණු කරුණු ද ඇතුළත් කර 2017.08.03 වන දින ලිපියක් සැකසෙන්නේ ඒ අනුවය. එය 2017.08.05 වන දින නීතිපතිවරයා වෙත යොමු කර ඇත.
දැන් සියල්ල පැහැදිලිය. කන්තලේ සීනි සමාගම නැවත ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර වසර දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබේ. එහෙත් වැඩකටයුතු කිසිවක් ආරම්භ වූයේ නැත. ඒ කාලය තුළම උත්සාහ දරා ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් සීනි සමාගමේ ඇති යන්ත්‍රසූත්‍ර හා අනෙකුත් ද්‍රව්‍ය යකඩවලට විකුණා ගැනීමටය. එය ලෙහෙසියෙන් කර ගත නොහැකි වූ තැන අඩු මුදලකට ටෙන්ඩර් දමා ඒවා ලබා ගන්නට උත්සාහ දැරීය. නීතිපති උපදෙස් අනුව එය ද නතර විය. අවසානයේ ලොකු තැනින්ම මැදිහත් වූයේ වෙන කරන්නට දෙයක් නැති නිසාය.
ඒ නිසා නුදුරු දිනයක දීම කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සියල්ල රුපියල් මිලියන 540කට විකුණා දැමෙනු ඇත. එතනින් පසු සීනි කර්මාන්තශාලාවක් නැත. ඉතිරි වන්නේ ගොඩනැගිලි ටිකක් සහ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 21,223කි. ගොඩනැගිලි කඩා ඉවත් කර ගත හැකිය. සීනි සමාගම නැවත ඇති කිරීමට මීට වසර දෙකකට පෙර ගැසූ ගිවිසුමද එසේම තිඛෙනු ඇත. කර්මාන්තශාලාව ඇරඹීම වෙනුවට යකඩ විකිණීම කරළියට පැමිණියා සේම මෙහි දෙවෙනි අදියර ලෙස ඉඩම් විකිණීම ඉදිරියට පැමිණෙනු ඇත. දැනටමත් ඒ සඳහා පිඹුරු පත් සකසා අවසන් වී ඇත. එසේ කියන්නේ නිකම්ම නොවේ. සාක්ෂි සහිත තොරතුරු ද සහිතවය.


චතුර දිසානායක