අපරාධ රකින මූලිකම තැන වෙලා තිඛෙන්නේ පාර්ලිමේන්තුව

dgfmj
විදුලි පුටුව
September 20, 2017
ggjk
EPF කොල්ලයට එරෙහිව වෘත්තීය සමිති සටනට
September 20, 2017
Show all

අපරාධ රකින මූලිකම තැන වෙලා තිඛෙන්නේ පාර්ලිමේන්තුව

HYHYJ

මහචාර්ය ජිනදාස කටුපොත

ළමයින්ට හා කාන්තාවන්ට සිදු කරන අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවය ලංකාවේ සමාජය දැඩි ලෙස පුපුරා යාමක් විදියට සලකන්න පුළුවන්ද?

වර්තමානය දිහා බලන කොට ළමයින් හා කාන්තාවන්ට සිදු කරන අපරාධ ඉතාම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. සංඛ්‍යාලේඛන මතම යැපෙන කෙනෙකු ‘ජනගහනයට සාපේක්ෂව එහෙම වැඩි වීමක් නෑ. මාධ්‍යවලින් වාර්තාකරණය වැඩි වීමයි වෙලා තියෙන්නේ’ වගේ දේවල් කියයි. නමුත්, ඒක යථාර්ථය නොවෙයි. අතීතය බැලුවාම අවුරුදු විස්සකදී සිදු වූ අපරාධවලට වඩා ඊළඟ අවුරුදු දහය තුළ අපරාධ වැඩියි. ඊළඟ අවුරුදු දහයට වඩා පසුගිය අවුරුදු හතර පහ තුළ වැඩියි. මේ වගේ චක්‍රයකටයි ඉහළ ගිහින් තියෙන්නේ. පසුගිය සති දෙක තුළ වුණත්, පාසල් ශිෂ්‍යාවන් දූෂණය කරලා මරා දාපු අවස්ථා තියෙනවා. අනෙක් පැත්තෙන් ෆේස්බුක් පිටුව හරහා කාන්තාවන්ට අපරාධ, ළමා අපරාධ අති විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඇත්තටම මේ අපරාධ රැල්ල ඉහළ පහළ යන බවක් පෙනෙමින් විශාල වශයෙන් ඉහළ යාමයි වෙලා තියෙන්නේ.

අපරාධ සහ මත්ද්‍රව්‍ය එක පැත්තකින්. අනෙක් පැත්තෙන් අපරාධ හා සංචාරක ව්‍යාපාරයේ අපචාර අතර සම්බන්ධතා තිඛෙනවාද?

අපි කතා කළේ කාන්තා හා ළමා අපරාධ ගැන වුණත් රටේ පොදුවේ අපරාධ අතිමහත් විදියට ඉහළ ගිහින් තියෙන්නේ. සංචාරක ව්‍යාපාරය නිසා අපචාර සහ මත්ද්‍රව්‍ය එකට බැඳිලා තියෙන්නේ. මට මතකයි, මීට අවුරුදු හතළිහකට විතර ඉස්සර බරපතළම මත්ද්‍රව්‍යය හැටියට තිබුණේ කසිප්පු, ගංජා, අබින් කියන දේවල්. තවත් ලේගියම් කියලා තහනම් උත්තේජකයක් තිබුණා. ඉතා සුළු වශයෙන් මේ මත්ද්‍රව්‍ය පැතිරිලා තිබුණේ. ළමයින් මේ වායේ ගොදුරක් කියලා අහන්න ලැබුණේ නෑ, මෑතක් වෙන කොට අති විශාල මත්ද්‍රව්‍ය වර්ග ප්‍රමාණයක් හඳුනා ගන්න ලැඛෙනවා. මේවායේ ගොදුරක් බවට ළමයින් පත් වීමත් දකින්නට ලැඛෙනවා. ටොෆි වර්ග, පෙති වර්ග, දියර වර්ග, එන්නත් වර්ග වගේ නොයෙකුත් ආකාරයෙන් පැතිරිලා. පිරිමි ළමයින් විතරක් නොවෙයි ගැහැනු ළමයිනුත් ඇබ්බැහි වෙලා. ජීවිත අහිමි වෙන මට්ටමට වර්ධනය වෙලයි තියෙන්නේ. මේවාට ලොකු ම රුකුලක් ලැබී තිඛෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. පිරිමි ළමයින් ලිංගික ශ්‍රමිකයන් වශයෙන් විශාල පිරිසක් යොදා ගන්න තත්ත්වයකට වර්ධනය වෙලා. ආණ්ඩුවලින් සංචාරකයන් ලක්ෂ විසිපහක්, තිහක්, හතළිහක් ගෙන්වා ගන්න ඉලක්ක හදන්නේ. නමුත්, සිදු කෙරෙන මේ විනාශයන් ගැන කිසිම තක්්සේරුවක් නැතුව. මේ ගැන පරීක්ෂණයක් කළොත්, ඩොලර් ටිකක් හමුවේ රටට සිදු කර තියෙන විනාශය තේරුම් ගන්න පුළුවන්. නමුත්, වගකිව යුත්තන් මේවා ගැන විමර්ශනය කරන්නේ නෑ.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ යාම සහ නීතිය කි්‍රයාත්මක නොවීම අතර සම්බන්ධයක් තියෙන බවට චෝදනාවක් තිඛෙනවා. ඔබ ඒ ගැන දකින්නේ කොහොමද?

නීතිය ක්‍රියාත්මක කිරීමේ මූලිකම ආයතනය පොලිසිය නේ. මේවා නතර කිරීමේ මූලික පියවර හැටියට පොලිසියට අණපනත්, නීතිරීති ඕනෑවටත් වැඩිය අපේ රටේ තියෙනවා. අලුතින් නීතිරීති පනවන්න අවශ්‍යතාවයක් නෑ, විශේෂයෙන් මත්ද්‍රව්‍ය පරිභෝජනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් නීතියට කොටු වන්නේ ළමයින් නැත්නම්, මැදි වියේ අය සහ කාන්තාවන්. අනෙක් පැත්තෙන් මහා පරිමාණ ජාවාරම්කරුවන් නොවෙයි, බිම් මට්ටමේ ජාවාරම්කරුවන්. උසාවිවල නඩු ගැන බැලුවොත්, තහවුරු වන්නේ ඇත්ත අපරාධකාරයන් ගැන නොවෙයි. පාවිච්චි කිරීම නැත්නම්, තැනකින් තැනකට ගෙන යාමේ යෙදී සිටි අය. නමුත්, ජාවාරමේ මූලිකම පුද්ගලයන්ට දේශපාලන රැකවරණ තියෙනවා. හැම තිස්සේම පාතාලය කියන වචනය පාවිච්චි කරලා නේ කතා කරන්නේ.
මේවාට සම්බන්ධකම් ඉහළින් ම තියෙන්නේ කාටද? පොලිසියේ ඉහළ ම නිලධාරීන් බව පැහැදිලියි. ඊටත් ඉහළින් ඉන්නේ දේශපාලන බලය දරන ඇමතිවරුන්. එතකොට අපිට පැහැදිලි වෙන්නේ අපරාධ රකින මූලිකවම තැන වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව. ඒ ගොල්ලන් ඉන්නේ නීති හදන තැන. මේ ක්‍රමය වෙනස් නොකර අපරාධ මර්දනය කරන්නේ කොහොමද? අන්න ඒකයි, අපි ගැඹුරින් කල්පනා කළ යුතුව තිඛෙන්නේ. එහෙම නොකර කොයි තරම් පිරිසක් නීතිය මගින් එල්ලුම් ගහකට නියම කළත් වැඩක් නෑ, පහුගිය අවුරුදු පහළොව විස්ස තුළ කී දෙනෙකුට එල්ලුම් ගහ නියම කරලා ඇතිද? ඒ මොන දඩුවම් නියම කළත්, වැඩක් නෑ. එල්ලුම් ගහට නියම කරනවා විතරයි. ක්‍රියාත්මක කරන්නේත් නැති නීතියක් නේ තියෙන්නේ. ඉතාමත් කිට්ටු බැඳීමකින් ක්‍රියාත්මක වන ඉතාමත් ශක්තිමත් ජාලයක් තියෙනවා. මේ ජාලයට පොදු ජනතාව අයත් වෙන්නේ නෑ. මේ ජාලයෙන් ඉතාම බරපතළ ලෙස බැටකන්නේ පොදු ජනතාව. කඩාවැටෙන්නේ පොදු ජනතාවගේ සමාජ ජීවිත. මේ ආණ්ඩුවේ ඇමතිවරයකුගේ වාහනයකින් මත්ද්‍රව්‍ය ඇල්ලුව බව මෑතක දී වාර්තා වුණා. නමුත්. කෝ… නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා යහපාලනය ඔප්පු කර නෑ නේ.

පොදුවේ ගත්තාම ආණ්ඩුවම අපරාධවලට අනුබල දෙන බවද ඔබ කියන්නේ ?

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මේවාට විරුද්ධව ක්‍රියා නොකරනවා කියන්නේම අනුබල දීමක් නේ. අධිකරණ ඇමතිවරයා ක්‍රියාත්මක වුණේ නෑ. අනෙකුත් නීතිය හා සාමය භාර ඇමතිවරුන් ක්‍රියාත්මක වුණෙත් නෑ. අගමැතිවරයා කොහොමත් කි්‍රයාත්මක වෙන්නේ නෑ. ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මොකක්ද ආණ්ඩුවකින් තියෙන තේරුම? මත්ද්‍රව්‍ය අපරාධ, අනෙකුත් අපරාධ තියාගෙන කොහොමද මේ රට හදන්නේ ? බලය ගන්න නොයෙක් බොරු පොරොන්දු දෙන, බලයට ආවාට පස්සේ ඔක්කෝම අමතක කරන ‘යහපාලනය’ කියන වචනයත් උපහාසයට ලක් කරන විදියට ක්‍රියා කරන පිළිවෙත නවත්වන්නේ කවදාද? මහජනතාව මේවාත් කල්පනා කළ යුතුයි.

එල්ලූම් ගහ ක්‍රියාත්මක නොකිරීම ගැන ඔබ චෝදනා කළා. බරපතළ ආර්ථීක ඛෙදීම් තිඛෙන සමාජයක් තුළ දඩුවම්වලින්ම අපරාධ නවත්වන්න පුළුවන්ද?

ඔය ගැන මම දකින්නේ මෙහෙමයි. ඇති නැති පරතරය ගැන කතා කරන කොට උදාහරණයක් හැටියට ගණිකා මඩම් කොච්චර තිඛෙනවාද? මේවාට ගෙනවිත් ඉන්න ගැහැනු ළමයින් මිනිස් ජාවාරමක ගොදුරු නේ. අනුරාධපුර, කුරුණෑගල, අම්පාර, බදුල්ල, මොනරාගල වගේ ප්‍රදේශවල ගැහැනු ළමයින්. ඇඟලුම් කර්මාන්තවල වැඩට ආව අයයි වැඩි දෙනෙක්. විවිධ අඩන්තේට්ටම්වලට ගොදුරු වෙලා, රැකියා අහිමි වෙලා වෙන කරන්න දෙයක් නැතුව මෙතැනට ගොදුරු වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට ගොදුරු වෙනවා. ජීවත් වෙන්න මොකක් හෝ කරන්න ඕනෑ නිසා ජාවාරම්කාරයන්ට නැත්නම්, පාතාලයට ගොදුරු වෙනවා. ඔය ගණිකා මඩම් හරි මත්ද්‍රව්‍ය ජාවාරම හරි පවත්වාගෙන යන්නේ දේශපාලකයන් නැත්නම්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, ඉහළින් සම්බන්ධ වෙලා. එහෙමත් නැත්නම්, බලයලත් වෙනත් අය වෙන්න පුළුවන්. ළමා අපචාර, දූෂණය කිරීම්, මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම්, සමාජ කඩාවැටීමේ ප්‍රකාශනයන් තමයි. නමුත්, මෙහි මුල ඉන්නේ අර කියූ දේශපාලකයන්, දේශපාලක බිරින්දෑවරුන්, නැත්නම් බලයලත් වෙනත් අය. දඩුවම්වලින් මේ අයට අද දක්වාම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. උසාවිවලින් වැරදිකරුවන් හැටියට තීන්දු වෙන්නේ වෙනත් පිරිසක්. නමුත්, ඒ අපරාධකාරයන් බන්ධනාගාරගත කළාම නඩත්තු කරන්න වැය වෙන්නෙත් මේ රටේ මහජනතාවගේ බදු මුදල්. අපි දැක්කා මෑත කාලයේ අපරාධකාරයන් හය හත් දෙනා වගේ පිරිසක් එල්ලුම් ගහට නියම කරනවා. ඊට පස්සේ ඔවුන්ව නඩත්තු කිරීමත් මහජනතාවට භාර දෙනවා.

එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතු බවද ඔබ කියන්නේ?

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සුභද? අසුභද? කියලා බලා ගන්න බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ කි්‍රයාත්මක කළේ නෑ නේ. කාලයක් එල්ලුම් ගහේ ලණුවක්වත් හොයා ගන්න බැරිව තිබුණා. ඒ කාලයේ අපරාධ අඩුවෙන් තිබුණේ. නමුත්, 1977න් පස්සේ බලයට පත් වුණු ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ආදර්ශ පාඨය වුණේ ‘ධර්මිෂ්ඨ සමාජයක්’ පිහිටුවන බවයි. එහෙම කියලා බලය අරගෙන කළේ ධර්මචක්‍රයෙන් භාගයක් දාලා මුද්දරයක් ගහපු එක. අපේ සමාජය හොඳ පැත්තට යම් ප්‍රමාණයකින් ගෙනවිත් තිබුණා නම්, ඒ ඔක්කෝම ආපහු හැරෙව්වා. මම නම් කියන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සාධාරණයි කියලා. මම එහෙම කිව්වාම බොහොම දෙනෙක් කියන්නේ ‘මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්’ කියලයි. මට තියෙන ප්‍රශ්නය වෙන්නේ අපරාධකාරයන් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කියන්නේ මොකක්ද? අපරාධවලට ගොදුරු වන අයගේ මානව හිමිකම්වලට වග කියන්නේ කවුරුන්ද? පාසල් ශිෂ්‍යාවක් දූෂණය කරලා මරනවා කියන්නේ සමාව දෙන්න පුළුවන් අපරාධයක්ද? කියලයි. සේයා දැරිය ඝාතනය කිරීමත් එක්ක විශාල රැල්ලක් ගියා. දවස් දෙක තුනක් යන කොට මිනිසුන් පාරට බැස්සා. අද ඔවුන්ටවත් ඒ අපරාධය මතක නෑ, අනෙක් පැත්තෙන් මුලින්ම අල්ලපු ළමයාට දඩුවම් දුන්නා නම්, මොකද වෙන්නේ ? ඒ තත්ත්වය ගැන නොවෙයි, මම කියන්නේ. අපරාධකාරයා හරියට හඳුනා ගන්න ඕනෑ, සංවිධානාත්මක අපරාධවලට මුල් වන අපරාධකාරයන්ව එල්ලුම් ගහට නියම කිරීම ගැනයි මම කියන්නේ. සේයා සන්දීපනී දැරියගේ මිනීමරුවා පස්සේදී අල්ලා ගත්තා නේ. අද ඔහුව නඩත්තු කරන්නේ මේ දැරියගේ මාපියන් ඇතුළු සමාජයේ ධනය වියදම් කිරීමෙන්. කොහොම නමුත්, අන්තිමේදී අපරාධකාරයන්ට කන්න දෙන්නේ අපි. මේ අපරාධවලට උදවු කරපු මැති ඇමතිවරුන් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නෑ, පාර්ලිමේන්තුවේදී අපරාධ ගැන කතා කරන අය අපරාධවලට ගොදුරු වෙන්නේ නෑ. ඔය අපරාධ ඇමෙරිකාවේදී, චීනයේ දී හරි එංගලන්තයේදී හරි කළා නම්, මොකද වෙන්නේ ? මේ ජනාධිපතිතුමා පත් වෙලා, ලණු ගෙනැල්ලා, අලුගෝසුවන් පත් කළා. සේයා දැරියගේ ඝාතනයත් එක්ක. දැන් අපරාධ අඩු වෙලා ද කියලයි අහන්න තියෙන්නේ. අර අලුගෝසුවෝ නැති වුණාට පාර්ලිමේන්තුවේ ඇති තරමට ඉන්නවා. දූෂණ, අපරාධවලට ඉඩ දෙන්නේ ඔවුන්. ඒ නිසා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ පියවරක් වශයෙන් එල්ලුම් ගහ අවශ්‍යයි.

අපරාධ රැල්ල අඩු කරන්න ඔබට තියෙන යෝජනාව එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම විතරද?

මේ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයාට ඉල්ලා අස් වෙන්න වුණා. අලුත් ඇමතිවරයෙක් ආවා. අධිකරණ ඇමතිවරයා අයින් කළා. අලුත් ඇමතිවරියක් පත් කළා. අනෙක් පැත්තෙන් බුද්ධශාසන ඇමති ධුරය දුන්නේ වනජීවී ඇමතිවරයාටම. හොඳ ගැලපීමක් ඒක. වනජීවී ඇමතිවරයාටම බුද්ධ ශාසන ඇමතිකමත් දුන්නාම අලි ඇතුන් ටික හීලෑ කරගෙන පෙරහැරවල් පවත්වන්න අපහසු වෙන එකක් නෑ. අනෙක් පැත්තෙන් විදේශ රැකියා ඇමතිවරියටම අධිකරණ ඇමති ධුරයත් දුන්නා. මේ අය මේ තනතුරුවලට ගැලපෙනවාද නැද් ද කියන එක මම දන්නේ නෑ, කොහොම නමුත්, තලතා අතුකෝරල ඇමතිවරිය අධිකරණ ඇමති ධුරයට පත් කළ දවසේම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙක් දූෂණය කර මරා දැම්ම බව මට මතකයි. කවුද ඒ ගැන කතා කළේ ? අධිකරණය ඇමතිවරිය අම්මා කෙනෙක් හැටියට තමන්ගේ දරුවන් වගේ ම දැරියක් මරා දැමීම ගැන කතා කළාද? මේ ගැන අධිකරණ ඇමතිවරිය කිසිම ප්‍රකාශයක් කරලා තියෙනවා මම දැක්කෙ නෑ. ඉතින්, එහෙම තියාගෙනයි එල්ලූම් ගහ එපා කියන්නේ.
අලුතෙන්ම එකතු වෙලා තියෙන්නේ ෆේස්බුක් හරහා අපරාධ කිරීම. ලංකාවේ දැනට පාසල් දැරියන් හත් අටසීයක් වසරකට ගැබ් ගන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඔවුන් වැඩි දෙනෙක් ගබ්සා කර ගන්නවා. පාසල් දැරියන් ගැබ් ගැනීම කොතරම් අපරාධයක්ද? ඒ අපරාධ පසුපස ෆේස්බුක් සමාජ ජාලය කොතරම් හේතු වෙලා තියෙනවාද? අම්මලා, තාත්තලා දැනුම්වත්ව නේ මාධ්‍ය ජාලය අවිචාරීව භාවිත කරලා අපරාධ කරන්නේ. ‘ශ්‍රී දළදාගමනය’ චිත්‍රපටය බලන්න ගිය දැරියක් සිනමා ශාලාව තුළම දූෂණය කරලා තිබුණා. එල්ලුම් ගහට ලණු ගෙනවිත්, අලුගෝසුවන් පත් කර බලා ඉන්නේ මේ අපරාධවලට ඉඩ දෙන්න නේද? අධිකරණ ඇමතිවරියට මේවා පේන්නේ නැද්ද? අපරාධවල පිටිපස්සේ දේශපාලනය සෘජුව හරි වක්‍රව හරි කි්‍රයාත්මක වෙන එක නවත්වන්න මහජන පෙළගැස්මක් ඕනෑ, එහෙම නැතුව මේ සමාජය සුවපත් කරන්න බෑ.


සංවාදය සහ සටහන
ප්‍රියදර්ශන දයාරත්න