නැගෙනහිර වෙරළ බිඳ අඳෝනා නගන රළ…

ggjk
EPF කොල්ලයට එරෙහිව වෘත්තීය සමිති සටනට
September 20, 2017
ද්ෆ්ඝ්ඛ්ව්
හරි අත කියා වැරදි අතට යාම
September 20, 2017
Show all

නැගෙනහිර වෙරළ බිඳ අඳෝනා නගන රළ…

ghj,l

දිනපතා පළ වන මුද්‍රිත මාධ්‍ය මගින් ද, විද්‍යුත් මාධ්‍ය මගින් ද නිරන්තරව අසන්නට ලැඛෙන්නේ විනාශයන්ය. එය කලාවේද, සාහිත්‍යයේද, ආගම ධර්මයේද, පරිසරයේද, මානව සබඳතාද කියා වෙනසක් ඇත්තේ නැත.
සෑම ක්ෂේත්‍රයකම ඇත්තේ, සෝදාපාළුවට ලක් වීම්ය; නාය යාම්ය. එකෙකු අනෙකාට ගරු නොකරන, මානව සබඳතා තම පටු වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් පමණක් පවත්වන සමාජයක මානව ගුණධර්ම මත මුදල් පිනුම් ගසන ක්‍රමයක් තුළ විවේක බුද්ධියෙන් යුතු මිනිසෙකු බිහි වන්නේ නැත. එවන් මිනිසකුගේ බිහි වීම වෙනුවෙන් ඉඩක් නිර්මාණය කරන්නේ ද නැත. ඒ හේතුවෙන්ම ඔද්දල් වූ මනසකින් යුත් ජනතාවක් වසර හැත්තෑවක් පුරා ගනු ලැබූ තීරණ නිවැරදි නොවන බව ඉහතින් සඳහන් කළ සෑම ක්ෂේත්‍රයකම සිදුව ඇති ගරාවැටීම් සාක්ෂි දරන්නේය.
එවැනි වැරදි ජනතා තීන්දුවක අනිටු ඵල දැකබලා ගැනීමේ අරමුණින් අපි මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ, ඔළුවිල්හි සංචාරය කිරීමට තීරණය කළෙමු.
‘ජීවයේ අයිතිය සංවිධානය’ විසින් සැලසුම් කර තිබූ මෙම සංචාරය පසුගිය 04 වැනි දින අලූයම 3.00ට කොට්ටාවෙන් ආරම්භ කළ අප වැල්ලවායට ළඟා වන විට හිමිදිරිය පහන් වෙමින් තිබිණ. එහිදී ‘ජීවයේ අයිතිය සංවිධානයේ’ කැඳවුම්කරු, සමන්ත විද්‍යාරත්න ද ගමනට එක් වූ අතර, එතැන් සිට මොණරාගල හරහා සියඹලාණ්ඩුවටත්, එයින් අනතුරුව බහුජාතික සමාගම් යක්ෂයන් මිහි මවගේ රුහිරු උරා බිවූ තවත් එක් බිම් කඩක් වන හිගුරාන හරහා ගමන් කළෙමු.
ගමන ආරම්භයේ සිට කිලෝ මීටර් 400ක් පමණ වන දුරක් තුළ වෙනස් දේශගුණික තත්ත්වයක්, පාරිසරික විවිධත්වයන් හා භූ විෂමතාවයෙන් අනූන ගමනකින් අනතුරුව ඊනියා සංවර්ධනයේ ගොදුරක් වූ වර්ග කිලෝ මීටර් 65,525ක් වූ මේ මනරම් මව්බිමේ කොටසක් මහ මුහුද විසින් ගිල දමන අයුරු දැකබලා ගැනීමට පෙරවරු 10.30 පමණ වන විට අපි අපේ ගමනාන්තය වන ඔළුවිල් වෙත පැමිණියෙමු.
මෙතැන් සිට සටහන් කරනුයේ, මුලින් ද සඳහන් කළ ඔද්දල් වූ මනසකින් යුතු දේශපාලනික වහල් භාවයෙන් මිඳී ගත නුහුණු ජනතාවකගේ එක් ඒකාධිපති නායකයකු මෙන්ම ඊනියා රජකු ලෙස තමන් විසින්ම බෞතීස්ම කර ගත් මහින්ද රාජපක්ෂගේ කෙරුවාවක ඵලය පිළිබඳවය.
අතිශයෝක්තියට නංවන ලද මහින්ද රාජපක්ෂගේ ඊනියා පෞරුෂය පිළිබඳ පම්පෝරිය පරිද්දෙන්ම ‘අග්නිදිග ආසියාවේ සේද මාවතේ, නාවික කේන්ද්‍රස්ථානය’ යන පම්පෝරිය ගසමින්, ඔළුවිල් වරාය විවෘත කරන ලද්දේ රාජපක්ෂගේම චක්ගෝලයකු වන රෝහිත අබේගුණවර්ධනගේ ආරාධනයෙන් මහින්ද රාජපක්ෂ විසින්මය. ඒ ඔළුවිල්හි ධීවරයන් සඳහා වෙන ම ධීවර වරායක් ද සමගින්ය. ඒ 2015 සැප්තැම්බර් 01 දිනයි. එදින ඔළුවිල්හි ජනතාව මහින්දට හුරේ දමන්නට ඇත. එයින් අනතුරුව රුපියල් මිලියන 7,000ක් වියදම් කර ගතව ඇත්තේ, වසර හතරක් වැනි සුළු කාලසීමාවක් පමණි. ආසියාවේ සේද මාවත නම්, සළුව ලිහී මහින්දගේ ඊනියා සංවර්ධනයේ නිරුවත විවෘත වී ඇත්තේ, ඔළුවිල් වෙරළ තීරය ද නිරුවත් කරමින්ය.
තම මව්බිමට යාන්තමින් හෝ ළෙන්ගතුකමක් ඇතියකුට සිදුව ඇති විනාශයෙන් ඇති කරන කම්පනය යකුළු පහරක් සේ තම ළයට දැනෙනු නියතය.  මෙම අවිධිමත් ඉදි කිරීම් හේතුවෙන් වසර හතරක් වැනි කාලයක් තුළ නැගෙනහිර වෙරළ තීරයට සිදු වී ඇති අතිමහත් හානිය හේතුවෙන් මේ වන විට උතුරට කිලෝ මීටර් පහක් ඉක්මවන දුරක් පළලින් මීටර් 300 සිට 500ක් වැනි ප්‍රමාණයක් රට මුහුදු ඛාදනයට ලක්ව අවසන්ය.
උමාඔය ඊනියා සංවර්ධන ව්‍යාපෘතිය කි්‍රයාත්මක කර මිහි මවගේ ළය සිදුරු කර රුධිරය ගලා යාමට සැලැස් වූ මහිින්දගේ සංවර්ධනය ඇගේ කොඳු නාරටිය බඳු නැගෙනහිර වෙරළ තීරය ද මුහුදට දිය කර හරිමින් සිටින්නේය.
මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට ධීවර පවුල් 2,500ක් ඉක්මවා අර්බුදයට පත්ව සිටින අතර, බහුදින යාත්‍රා 130ක්, එක්දින යාත්‍රා 150කට ආසන්න සංඛ්‍යාවක් හා බෝට්ටු 500කට අධික සංඛ්‍යාවක ධීවර ජනතාවගේ ජීවනෝපාය මාර්ග අවදානමකට ලක්ව තිඛෙන්නේය.
අග්නිදිග ආසියාවේ සේද මාවතේ කේන්ද්‍රස්ථානය යන පම්පෝරියෙන් ආරම්භ කළ ද, ඔළුවිල් වරායට මේ වන තෙක් කිසිදු නෞකාවක් හෝ පැමිණ ඇත්තේ නැත.
අධිකව සිදු වන වෙරළ ඛාදනය හේතුවෙන් මුහුදට ගසාගෙන ගොස් ඇති පොල් ගස් සංඛ්‍යාව පමණක් 3,500 ඉක්මවන අතර, වෙරළ ආසන්නයේ ධීවර ගම්මාන ගණනාවක ජනතාවකට මේ වන විටද උන්හිටි තැන් අහිමි වී අවසන්ය. ඒ අතර, ධීවර වාඩි හා කුඹුරු ඉඩම් ද අයත්ය.
වෙරළ ඛාදනයේ ශීඝ්‍රතාව කොතෙක් ද යත්, මෙයට මාස තුනකට පමණ ඉහත දී අග්නිදිග සරසවියේ සිසුන් එක්ව වැඩමුළුවක් ද පැවැත් වූ වෙරළ තීරයෙහි පැවති ගල් තලාව මේ වන විට පවතිනුයේ, වෙරළේ සිට මීටර් 300ක් පමණ මුහුද මැදය.
වෙරළ තීරයේ සිට මීටර් 600ක පමණ දුරකින් නිර්මාණය කර තිබූ ඔළුවිල් සංචාරක බංගලාව හා මහ මුහුද අතර පරතරය මේ වන විට ඇත්තේ මීටර් 30ක් පමණය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර
හා මුහුදු තීරය අතර පරතරය මීටර් කීපයක් පමණි. ඒ අනුව මෙම ගොඩනැගිලි පවතිනුයේ, මුහුදුබත් වීමේ මුවවිට ආසන්නයේය.
ඛාදනය වෙමින් මුහුදට සෝදාගෙන යන වෙරළ තීරය හේතුවෙන් මේ වන විට ඔළුවිල් ධීවර වරාය ධීවර යාත්‍රා ඇතුළු කිරීමට නොහැකි තරමට ම ගොඩ වී අවසන්ය. ඒ කොතෙක් බරපතළව ඇද්ද යත්, වරායට ඇතුළු කළ ධීවර යාත්‍රා මුහුදට දියත් කර ගත නොහැකිව වරාය තුළ සිර වී තිබේ.
ඔළුවිල්හිදී මුහුදට වැටෙන ගල ඔය මෝය කට ද අවහිරව තිඛෙන අතර, මේ වන විට ඔළුවිල් හි ධීවර ජනතාව තම ධීවර යාත්‍රා නතර කරනුයේ, මහා පරිමාණ නැව්තොට වූ වසර හතරක් පුරා එකම නැවක් හෝ නොපැමිණි ඔළුවිල් වරාය තුළය.
මෙම සංචාරයට එක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත මහතාට අනුව මෙම කිසිදු ඉදි කිරීමක් සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත්තේ ද නැත. ඒ අනුව මෙම අවිධිමත් වරාය ඉදිකිරීම හේතුවෙන් මුහුදු රළ නැගීමේ රටාව වෙනස් වීම මෙම දැවැන්ත වෙරළ ඛාදනයට හේතු වී ඇති බවට අනුමාන කළ හැක.
ඉදිරියේදී ඔළුවිල් වරාය ප්‍රතිසංස්කරණය කිරීම ද මැතිවරණ පොරොන්දුවක්ව කරළියට පැමිණ ඔළුවිල් ජනතාවගේ ඡන්දය කොල්ලකා ගැනීමට මෙරට දේශපාලකයන් විසින් භාවිත කිරීමේ නොහැකියාවක් ඇත්තේ ද නැත. ඒ මෙරට දේශපාලනයේ ස්වරූපයය.
හිරු අවරට යමින් තිඛෙන්නේය. මුහුද ගොඩබිමට විත් උන්හිටි තැන් අහිමි කරන ලද පොල් ගස් මුහුදු ජලය මත ඉලිප්පෙමින්, යට යමින්, මියැදෙමින් තිඛෙන්නේය.
සරැලි නගාගෙන විත් ඛාදනය වෙමින් පවතින ඉවුරෙහි හැපෙන මුහුදු දිය මව්බිම දිය කර හරිමින් සිටින්නේය. ධීවර වෘත්තියෙහි නියුතු ජමිල් තුන්වැනි වතාවට ද තම ධීවර වාඩිය ගලවා ගොඩබිම වෙතට ගෙනවිත් සවි කරමින් සිටින්නේ, දෙතොලතරින් මොන මොනවාදෝ මුමුණමින්ය. අප ගමන් ගත් මගෙහි මුණගැසුණු සෑම මුහුණකම ඇත්තේ අවිනිශ්චිත භාවයෙන් පිරි හිස් හැඟීමක් පමණි.
සම්පත් සාගරයකින් වට වූ සියලු සම්පතින් අනූන දිවයිනක වෙසෙන ජනතාවකට මෙම කටුක බව උරුම කර දුන්නේ කවුරුන් ද යන්න ඔවුන් අවබෝධ කර ගනුයේ කවදාද? ඔවුන් මෙම කටුක බවෙන් නිදහස් වීමට එළඹි සිහියෙන් යුතුව කටයුතු කරන්නේ කවදා ද?
සියලු දෙනා නැග ගත් පසුව අප පැමිණි වාහනය සුළඟ කපාගෙන ඉදිරියට ඇදෙන්නට වුවද වාහනය තුළ පැවතියේ, නිහඩතාවයම පමණකි. එහෙත්, රටත්, ජනතාවත් මුහුණ දෙමින් සිටින මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අප විසින් එම නිහඩතාවය බිඳිය යුතු නොවන්නේද? ඒ වෙනුවෙන් අවදි විය යුතු නොවන්නේද? ඒ කවදාද?
ගමනට එක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ජිනදාස කටුපොත, පරිසරවේදී මැද්දේවෙල රාහුල හිමි, ආචාර්ය අශෝක රන්වල, ‘ජීවයේ අයිතිය’ සංවිධානයේ අසිත නිරෝෂණ, එම සංවිධානයේ කැඳවුම්කරු, සමන්ත විද්‍යාරත්න, අනුරාධපුර කුමුදු ප්‍රියන්ත හා දිගාමඩුල්ල දිස්ත්‍රික් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වසන්ත පියතිස්ස යන අයට ස්තූතිය හිමි වෙයි.


සටහන
කිත්සිරි කොඩිතුවක්කු