විදුලි පුටුව

wddwwegf
උපවාස ලෙඩේ දිනේෂ්ටත්
September 20, 2017
HYHYJ
අපරාධ රකින මූලිකම තැන වෙලා තිඛෙන්නේ පාර්ලිමේන්තුව
September 20, 2017
Show all

විදුලි පුටුව

dgfmj

කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කර ගන්නා බවට අපේ ජනවහරේ කියමනක් තිබේ. දේශපාලන කරළියේ වරින්වර මතු වන ‘විදුලි පුටු’ කතාව ද එවැන්නකි. මේ දිනවල යළිත් ‘රණවිරුවන් විදුලි පුටුවට දැක්කීමේ’ කතා පුවතක් ලැව්ගින්නක් බවට පත් කිරීමට උත්සාහ දරනු පෙනේ. මෙම සාකච්ඡාව මතු වූයේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හිටපු හමුදාපතිවරයකු වූ ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සත්‍යය හා සාධාරණ ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය විසින් චෝදනා එල්ල කළ බවට වාර්තා පළ වීමත් සමගය.
ජගත් ජයසූරියට එරෙහිව විදෙස් අධිකරණ කිහිපයක එම සංවිධානය විසින් නඩු පවරා ඇති බව වාර්තා කළේ සමාජ ජාල වෙබ් අඩවි විසින්ය. තවත් සමාජ ජාල වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ අදාළ සංවිධානය නඩු පවරා ඇත්තේ, ජගත් ජයසූරියට නොව චෝදනා ඇති නිලධාරියකු තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රසීල රජයට එරෙහිව බවය. කෙසේ නමුත්, ජගත් ජයසූරිය පවසා ඇත්තේ, නඩු පැවරිය යුත්තේ, තමාට නොව සියල්ලටම අණ දුන් සරත් ෆොන්සේකාට බවය.
ජගත් ජයසූරිය ලංකාවට පැමිණියේ මෙම ප්‍රශ්නය නිසා බවද මාධ්‍යවල පළ වූ අතර, එහෙත්, විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඔහුගේ ධුර කාලය අවසන් නිසා ඔහු ලංකාවට පැමිණි බවය. ජනාධිපතිවරයා ද ඒ බව සනාථ කර තිබිණි. අමාත්‍ය සරත් ෆොන්සේකා මේ සම්බන්ධව සිදු කළ ප්‍රකාශයක් නිසා මෙය ආන්දෝලනයකට ලක් විය. එනම්, ජගත් ජයසූරිය සම්බන්ධ පරීක්ෂණයක් සිදු කරන්නේ නම්, ඔහුට අදාළ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි දීමට තමා සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමගය. එම ප්‍රකාශය කිරීමේදී විදේශීය පරීක්ෂණ අවශ්‍ය නොවන බවත්, දේශීය අධිකරණයක පවතින නීතිරීති ඒ සඳහා ප්‍රමාණවත් බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය 03 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ තමා සිටින තුරු කිසිදු හමුදාපතිවරයකු හෝ රණවිරුවකු ජාත්‍යන්තර යුද අධිකරණවලට ගෙන යාමට ඉඩ නොදෙන බවය.
මේ ප්‍රශ්නයත් සමග වඩාත්ම උද්දාමයට පත්ව ඇත්තේ, මහින්ද රාජපක්ෂ කණ්ඩායම බව කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. සුපුරුදු විදුලි පුටු මන්ත්‍රය තව තවත් උස් හඩින් ගායනා කිරීමට ඔවුන් සෑම මාධ්‍යයක් ඉදිරියේම පොරකන බව පෙනේ. සරත් ෆොන්සේකා ඇමතිවරයා ද තමාගේ සුපුරුදු හමුදා භාෂාවෙන් මාධ්‍ය ඉදිරියේ ජනතාවට විහිළු සැපයීමට පටන්ගෙන තිබේ.
කෙසේ නමුත්, මෙය අවසානයේ පෙර මෙන්ම ජනතාවාදී ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් නැති දේශපාලකයන්ට එදාවේල පිරිමසා ගැනීමේ කටගැස්මක් පමණක් වන බව නම් පැහැදිලිය. වසර 30ක් තිස්සේ පැවති යුද්ධය නිම වී මේ වන විට වසර අටක් ගෙවී අවසන්ය. එහෙත්, මෙවැනි සිදුවීම්වලින් පෙනී යන්නේ ඒ බිහිසුණු යුද්ධයේ තුවාල තවමත් සුව වී නැති බව නොවේද?
යුද්ධයක් යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවන බව සියලු දෙනා දනිති. එහෙත්, ඒ අතර යුද්ධ මුවාවෙන් විවිධ ජාවාරම්, අපරාධ, කප්පම් ගැනීම් කළ දේශපාලකයන් ද, නිලධාරීන් ද, එන්.ජී.ඕ. සංවිධාන ද ආදී බොහෝ පාර්ශ්වයන් සිටි බවද ප්‍රසිද්ධ කරුණකි.
යුද්ධය නිම වූ පසු සාධාරණ පරීක්ෂණ ක්‍රියාවලියක්, සත්‍යය සෙවීමේ කොමිසමක් දේශීය වශයෙන් ක්‍රියාත්මක වූයේ නම්, මේ බොහෝ ගැටලු සමනය වන්නට ඉඩ තිබිණි. එනම්, හිංසනයන්ට ලක් වූවන්ට තම වේදනාවන් පිට කර ගැනීමට අවස්ථාවක් ලැබේ. සැබෑ ජාවාරම් හෙළිදරවු වන්නට තිබිණි. සැබෑ අපරාධ හෙළි වන්නට ඉඩ තිබුණි. ජනතාව අතර සංහිඳියාව, විශ්වාසය ඇති වන්නට ඉඩ තිබිණි. යුද්ධය නිමවූ වහාම බොහෝ ප්‍රගතිශීලී බලවේග මේ සඳහා බල කළ නමුත්. යුද ජයෙන් ආතුර වී සිටි ආණ්ඩුවට ඒ ගැන වගේවගක් තිබුණේ නැත.
දැන් යළි යළිත් තමන් ඇති කළ අර්බුදයෙන්ම තමන්ගේ පැවැත්ම සාදා ගැනීමට මේ තකතිරු දේශපාලනඥයෝ කල්පනා කරති. කන්න ඕනෑ වූ විට කබරගොයත් කලගොයා කර ගැනීම ඔවුන්ට කජු කනවා වගේ වැඩකි. එවැනි රැවටිලි වදන්වලට හසුවන ජනකොටසක් සිටින බව ඔවුන්ගේ අදහසයි. එහෙත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා සමගිය පතන සියලු දෙනාම මේ ගැන සිහියෙන් කල්පනා කළ යුතු බව අපේ අදහසයි.