හරි අත කියා වැරදි අතට යාම

ghj,l
නැගෙනහිර වෙරළ බිඳ අඳෝනා නගන රළ…
September 20, 2017
hjk
හැම දරුවෙකුම විශේෂයි…
September 20, 2017
Show all

හරි අත කියා වැරදි අතට යාම

ද්ෆ්ඝ්ඛ්ව්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 66 වන සංවත්සරය පසුගියදා සැමරූයේ කොළඹදීය. එදා 2015 දී ශ්‍රීලනිපයේ මහලේකම් පදවියෙන් ඉල්ලා අස් වී, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට තරග කළේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන. ඔහු ඡන්ද ලක්ෂ 62ක් පමණ ලබා ගනිමින් මේ රටේ ජනපති පදවියට පත් වුණා.
පසුගිය දෙවතාවේදීත්, මෙවරත් පක්ෂ සංවත්සර සැමරුනේ එහි සභාපති ලෙස පත්කරගත් මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ බහුතර ජනතාව නිර්පාක්ෂික අයෙකුට, නිර්පාක්ෂික ලෙස රට පාලනය කරන බව කියා සිටි අයෙකුට ඡන්දය දුන්නේ ජනපති ධුරය ලබා ගත් පසු ශ්‍රීලනිපයේ සභාපති තනතුර බදා ගන්නට නම් නොවෙයි.
ඒ වන විට මහින්ද රාජපක්ෂ යටතේ පාලනය වූ ශ්‍රීලනිපය හොර, දූෂිත, පාදඩ, අශීලාචාර පක්ෂයක් වී තිබුණ බව කවුරුත් පිළිගන්නා දෙයක්. 1994 චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ බලය ලබා ගනිමින් සිය දූෂිත හා අපරාධකාරී පාලනය ආරම්භ කරන ශ්‍රීලනිපය එතෙක් රට විනාශය කරා ගෙන ගිය එජාපයේ පාලනයට වඩා ලොකු වෙනසක් පෙන්වූයේ නම් නැහැ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනපති තනතුරට පත් වූ පසු මේ තත්ත්වය වෙනස් වුණා.
මහින්දගේ පාලනය යටතේ පක්ෂය ඇතුළේ ක්‍රියාවට නැංවුණේ රාජපක්ෂවාදී එහෙයියන්ගේ ක්‍රියාදාමයන් පමණයි. රාජපක්ෂවරු ශ්‍රීලනිපය සිය බූදලයක් බව සිතාගෙන හිතුවක්කාර විදිහට ක්‍රියා කළා. මැති – ඇමතිවරුන්ට පවා ශ්‍රීලනිපය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තිබුනේ නැහැ. බණ්ඩාරනායක ඇතුළු කිහිප දෙනෙකු ඇරඹූ පක්ෂය රාජපක්ෂවරුන් විසින් ඇරඹූවක් බවට ඉතිහාසය පවා වෙනස් කෙරෙමින් තිබුණා. ඒ තිබුණු සංවත්සරවලදී බණ්ඩාරනායක නාමය හැකි උපරිමයෙන් දියකර හැරියා. මහින්දගේ ඒකාධිපති විධානයන්ට අනුව එහෙයියන් ඒ කාලයේ සංවත්සර පැවැත්වූ ආකාරය හා අනෙකුත් පක්ෂයේ කටයුතු මෙහෙයවූ ආකාරය අද ශ්‍රීලනිපයෙ කිසිවකුට මතක් කළ යුතු නැහැ.
ශ්‍රීලනිපයෙ ව්‍යවස්ථාවෙන්ම ජනාධිපති පදවියට පත්වන සිය පක්ෂයේ අයෙක් සභාපති වෙන බව කියවෙනවා. එදා මෛත්‍රී ජනපති වූ පසු මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාවේ සදහන් පරිදි සභාපතිකම මෛත්‍රීට දුන්නා. කතාව ඒ වුණත් මේ සභාපතිකම දුන්නේ තමුන්ට විරුද්ධව ඇති චෝදනාවලින් ගැලවීමේ අරමුණින් බව ප්‍රසිද්ධ කරුණක්. දැන් මේ කාටත් තියෙන අමතක වීමේ ලෙඩේ වැළදී ඇති නිසාදෝ මහින්ද අවුරුදු දෙකකට පස්සේ තමා තවමත් පක්ෂයේ සභාපති බව කියමින් යනවා. කොහොමටත් රාජපක්ෂලා තවමත් පරාජය පිළිඅරගෙන නැහැ. ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් තමුන්ව පැරද වූ බවත්, තමා වටා බහුතර ජනතාව තවමත් සිටින බවත්, තමුන් කවදා හෝ, කොයි ක්‍රමයකින් හෝ නැවතත් ජනපතිවන බවටත් අන්ධ විශ්වාසයකින් සිටින මහින්දලාට ඒ කාලයේ හොරකම් කරගත් මුදල්, දේපල කොතරම් තිබුණත් බලය නැතිව ජීවත් වීම අසීරු බව පෙනෙන්නට තිඛෙනවා.
එදා ශ්‍රීලනිපයට අත්වී තිබුණු ඉරණම ගැන අනික් හැමදෙනාටම වඩා හොදින් දන්නේ මෛත්‍රීයි. ඇමතිකම් දරන කාලයේ තමුන්ට සිදුවුණු කෙණෙහිලිකම් හා ඒ කාලයේ දූෂණ, වංචා සිදු වූ ආකාරය රටට හෙළිදරව් කරද්දී ජනතාව හිටියේ තුෂ්නිම්භූතව. පක්ෂයේ මහලේකම් වුණු මෛත්‍රීට වඩා විශාල බලයක් මහින්දගේ පවුලේ ලාබාලම මන්ත්‍රී වුණු නාමල්ට තිබුණු බව රහසක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩය පැරදිලා කුජීත වී සිටියදීම පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළ මෛත්‍රී ජනපති මහ මැතිවරණයකට ගියා නම් කුමක් වේද? පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවූ ලක්ෂ 62ක් හා ඒ වටා ජයග්‍රහණයේ ප්‍රතිඵල භුක්ති විදීමට රොක්වන අයගේ ක්‍රියාවලියත් හරහා ශ්‍රීලනිපය කුඩුපට්ටම් වෙනඑක වළක්වන්න කාටවත්ම බැහැ. අද මෛත්‍රී වටා හිදිමින් මහින්දට ආවඩන දෙබිඩ්ඩන් රැළත් ඒ හෝදාපාළුවට අහුවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
එදා රටේ ජනතාවගේ අරමුණ වුණේ රාජපක්ෂ භීතිකාවෙන් රට ගලවාගෙන කාලකණ්ණි විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමයි.
පහුගිය කාලෙ සිදුවුණ මහා පරිමාණ දූෂණ, වංචා, අපරාධ ගැන පරීක්ෂණ පවත්වා, ඒවාට වගකිවයුත්තන්ට දඩුවම් දීමයි. රටේ වල්වැදී තිබුණ නීතිය යළි යහමගට ගැනීමත්, දූෂිත සංවර්ධන ක්‍රියාදාමයෙන් ගැලවී රටට ඔරොත්තු දෙන සංවර්ධනයකට යාමත්, ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි ලෙස අපකීර්තියට පත්ව තිබූ අපේ රටේ ප්‍රතිරූපය යළි නගා සිටුවීමත් කාගේත් බලාපොරොත්තුව වුණා. මානව හිමිකම්වලට ගරු කරන, ජාතිවාදයේ බියෙන් තොරව සිටිය හැකි, යුද්ධයේ නාමයෙන් අපරාධ කළවුන්ට දඩුවම් දෙන ප්‍රතිපත්තියක් ඒ ලක්ෂ 62ක් ඇතුළේ හිටපු මිනිසුන්ට ඕනෑ වුණා. ඒත් සිද්ධ වුණේ ඒ අය බලාපොරොත්තු වුණු දේ නෙමෙයි.
නිර්පාක්ෂික පොරොන්දුවට පයින් ගහමින් ජනපති වුණු වහාම ශ්‍රීලනිපයෙ සහ එ.ජ. සන්ධානයේ සභාපතිකම භාර ගත්තා. ඉන් පස්සේ පක්ෂයේ කිසිම ප්‍රතිසංවිධානයකට නොගිහින් තමන් එක්ක හිටපු දුමින්දව මහලේකම් කළා. ශ්‍රීලනිපයෙන් තමුන්ගෙ පැත්තට පැන්න කල්ලියකට ඇමතිකම් දෙමින්, රනිල්ට අගමැතිකම දෙමින්, දින සීයේ ආණ්ඩුව කියලා එකක් අටවාගෙන කාලෙ මැරුවා. ඒකෙ ප්‍රතිඵලය වුණේ තමුන්ට දුන්නු කිසිම පොරොන්දුවක් ඉටු නොවුණු මෛත්‍රීට ඡන්දය දුන් ජනතාව කලකිරෙන එක විතරයි. ඒ අතර එජාපයේ දූෂිතයන්ගේ බැදුම්කර මගඩිය වගේ දේවල් නිසා මහින්දලාට ආයෙත් රටේ ස්ථාවර වෙන්න හොදින් කාලය ලැබුණා. ඊටත් පස්සේ ශ්‍රීලනිපයෙ හා එජසන්ධානයේ හිටපු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සේරම හොරු, දූෂිතයෝ, පාදඩයෝ, ජාවාරම්කාරයෝ මෛත්‍රී යටතේම මහ මැතිවරණයට තරග වදින්නේ කවුරුත් නොහිතපු විදිහටයි. තමුන් අතින්ම තමුන්ගෙ ඛෙල්ල කපා ගැනීමක් විදිහට සැලකිය හැකි මේ ක්‍රියාව තුළින් හොර නඩය බැලුවේ කොහොම හරි මහින්දව අගමැති කරවලා මෛත්‍රී ජනපතිට යනඑනමං නැති කිරීමටයි.
ඒ අස්සෙම තමයි මෙවර ශ්‍රීලනිපය ‘හරි අතට’ කියලා හිතාගෙන සංවත්සරය පවත්වන්නෙ. හරි අතට කියලා මෙහෙම කිවුවත් මෛත්‍රී පක්ෂය හරි අතට ගන්න මොනවද කළේ කියන ප්‍රශ්නය එනවා. බලය නිසාම තමුන් ළගට ආව අවස්ථාවාදී ජාවාරම්කාරයෝ, පාදඩයෝ, දූෂිතයෝ එකෙක්වත් පක්ෂයෙන් ඉවත් කළාද? නැහැ. පක්ෂය ඇතුළේ දරුණු විදිහට ක්‍රියාත්මක වුණු විනය පිරිහීම, ජාතිවාදය, වගේ දේවල් නිවැරදි කළාද? නැහැ. මහින්ද විසින් පක්ෂයට හදුන්වලා තිබුණු ජාවාරම්කාරයන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කළාද? නැහැ. පක්ෂය ගොඩගන්නවා කියමින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු අවස්ථාවාදී පරාජිතයන් කිහිප දෙනෙකුට ඇමතිකම් දුන්නා. කිසිම ජනතා පදනමක් නැති සංවිධායකවරු ගණනාවක් පත් කළා. මහින්ද ළග හිටපු අයට ඇමතිකම් දීලා තමුන්ගෙ පැත්තට ගත්තා. ශාන්ත බණ්ඩාර වගේ අයට පක්ෂයේ තනතුරු දීලා ඉදිරියට ගෙනාවා. එදා දරුණු විදිහට මහින්දට දර දිය ඇද්ද එරික් වීරවර්ධන වගේ තරුණ සංවිධානයේ අයට ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තනතුරු දුන්නා. පක්ෂය නොකඩා ඉන්නවාය කියමින් මහින්දලාට පක්ෂයේ සම්පත් රිසිසේ පාවිච්චි කරමින් අලුත් පක්ෂයක් හදන්න උදව් කළා. කොටින්ම මහින්දත් එක්ක පක්ෂය ඇතුළේ බලය තහවුරු කරගන්න යුද්ධයක් කරමින්, දිනෙන් දිනම ජනතා අප්‍රසාදයට පත් වෙන තීන්දු තීරණ රැසක් ගත්තා.
පක්ෂය මෙහෙම ඉබාගාතේ යද්දි මහින්ද රාජපක්ෂලා ගෝලබාලයන් ලවා පොහොට්ටු පක්ෂයක් හදාගෙන රටපුරා බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයන් එයට බදවා ගනිමින් සිටිනවා. ඒ වෙනුවෙන් පාවිච්චි කෙරෙන්නේ පක්ෂයට අයත් මන්ත්‍රී තනතුරු හා සම්පත් බව රහසක් නෙමෙයි. තමා තවමත් පක්ෂයෙන් අස්වෙලා හෝ අස්කරලා නැති බව කියනවා. ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති රකින්නේ තමුන් බව කියනවා. ශ්‍රීලනිපයේ ඡන්ද පදනමට මුවා වෙලා මන්ත්‍රීකම් ගත්තු, කවදාවත් තමුන්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු එන්න බැරි වීරවංශ, ගම්මන්පිල, වාසුදේව වගේ මහින්දගේ රූකඩ දැන් ශ්‍රීලනිප ප්‍රතිපත්ති ගැන කියනවා. කරලා තියෙන දහජරා වැඩවල හැටියට, අපරාධ, හොරකම්, වල හැටියට ප්‍රජා අයිතිය පවා අහෝසි කර හිරේ දැමිය යුතු අය නිදැල්ලේ තබාගෙන, පක්ෂය දෙකඩ කරවා ගන්නවා.
එදා තමුන් සිටි ප්‍රතිපත්ති වලින් බැහැරව කටයුතු කරන බවක් පෙනෙන්නට තිඛෙනවා. එදා තමුන් දැඩි ලෙස විරුද්ධ වුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට අද ශ්‍රීලනිපය එකග නැහැ. පක්ෂයේ අවශ්‍යතාව බව පෙන්නුවත් මේක මෛත්‍රීගෙත් අවශ්‍යතාව බව පැහැදිලියි. ඒ තමුන්ගේ හා පක්ෂයේ පටු අරමුණු, බල ලෝභිත්වය වෙනුවෙන්. ප්‍රධාන පක්ෂ දෙකම එක තැනක සිටින, ඒ වගේම විරුද්ධ පක්ෂ පවා එකග වන මෙවැනි අවස්ථාවක් ආයෙත් එළඹෙයිද කියලා නම් සැකයි. ඒ වගේ ස්වර්ණමය අවස්ථාවක් භාවිතා කරමින්, රටට ලොකු හානියක් කරමින් තිඛෙන මේ ව්‍යවස්ථාවම වෙනස් කරන එක, විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය වෙනස් කරන එක ජනපතිගේ වගකීමක්. ඔහුව පත්කළ ජනතාවගේ ප්‍රධාන අරමුණ එය බව ඔහුත් දන්නවා. ඒත් පටු අරමුණු වෙනුවෙන් දැන් පක්ෂ සභාපතිකම පෙරට දමාගෙන නිමල් සිරිපාලගේ විරෝධයට යටත් වෙලා ඉන්න එක ජනතාව පාවා දීමක්. මෛත්‍රී ජනපති මුල ඉදන්ම තමුන් පත්කළ ජනතාව පාවා දුන් නිසා මේක එතරම් දෙයක් නොවෙනවා ඇති.
ශ්‍රීලනිපය ඇතුළෙ එදා ඉදන්ම ජාතිකවාදය කියන දේ තිබුණු බව රහසක් නෙමෙයි. ඒ වගේම ශ්‍රීලනිපය චන්ද්‍රිකාගේ යටතේ ජාතිකවාදයෙන් බැහැර වෙමින් සියළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටින ස්වභාවයක් පෙන්නුම් කළා. ඒත් මහින්දගේ කාලයේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මහින්දගේ ස්ථීර පදනම වුණේ දැඩි ජාතිවාදය. යුද්ධය දිනා ගත් වීරයා විදිහට නාමකරණය වෙමින්, රට ගැන හිතන, දේශප්‍රේමය හිතේ පුරවා ගත්, සිංහල බෞද්ධ සැබෑ නායකයා තමුන්ය යන මතවාදය ඔහු ස්ථාවර කළා. ඒ යුගයේ සිවුරු පොරවා ගත් මැර කල්ලි විසින් සුළු ආගමිකයන් ඉලක්ක කරගෙන ගෙන ගිය භීෂණය අපට අමතක නැහැ. දේශප්‍රේමය කියා නම් කරන ලද මේ ජාතිවාදයේ, ආගම්වාදයේ ගින්න පක්ෂයේ ඇතුල් ආත්මය දක්වා කාවද්දන්න මහින්දට හැකි වුණා. ඒත් මහින්ද විසින් අමතක කරපු සුළු ජාතිකයන්ගේ විරෝධය මහින්දට ගෙදර යන්න පාර කැපුවා. ඒත් අදටත් මහින්දගේ දේශපාලනය පදනම් වෙන්නේ ජාතිවාදය හා ආගම්වාදය පදනම් කරගත් මේ ස්ථාවරයයි.
ඒ වගේම මහින්දගේ අනික් ක්‍රියාවලිය වුණේ කොහොම හරි මුදල් හම්බ කරගත් සල්ලිකාර ජාවාරම්කාරයන්ගේ මුදල් බලයෙන් ඡන්ද දිනා ගැනීමයි. හතර අතට මුදල් විසි කරමින් ගෙන ගිය මේ ඡන්ද ව්‍යාපාරයත් මහින්දගේ බලයේ පදනමක් වුණා. ඒ නිසාම මේක ශ්‍රීලනිපයෙ පදනම බවටත් ඉබේම පත් වුණා. ඉතින් මේ වෙනකොට ශ්‍රීලනිපයේ පදනම වෙන්නේ මේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් හිස ඔද්දල් කරගත් දේශප්‍රේමී යයි කියා ගන්නා ජාවාරම්කාරයන් නඩය බව පැහැදිලි සත්‍යයක්.
ඉතින් පක්ෂය තමුන්ගෙ පැත්තට හරවා ගන්න නම් මේ දෙකොටසම තමුන් යටතට ගන්න ඕන බව මෛත්‍රී ජනපති දන්නවා. බලය ඇති තැනට යාම ජාවාරම්කාරයන්ගේ ස්වභාවය නිසා ඒ හොරු සේරම පාහේ ඔහු ළගට ආවා. මෛත්‍රී දැන් උත්සාහ කරන්නේ මේ ජාතිවාදී, ආගම්වාදී ආත්මයට කතා කරන්නයි. ඔහු පහුගිය කාලෙ පුරා දිගින් දිගටම රණවිරුවන් ගැන කතා කරමින්, මහින්ද වගේ පන්සල් ගානේ යමින් තමුන්ගේ සිංහල බෞද්ධකම ගැන තහවුරු කරන්න වෙහෙසුණේ මේ නිසයි. ඥානසාරලා වගේ මැර භික්ෂුන් පවා ජනපති මැදුරට ගෙන්වා ගෙන සාකච්ඡා කළේ මේ නිසයි. මේ වනවිටත් අලුයට ගිනි වගේ තියෙන මේ ජාතිවාදී කල්ලිවල භීෂණය නැවත හිස ඔසවමින් තිඛෙන්නෙත්, එයට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙන්නේත් මේ නිසයි. ඒ වගේම මෛත්‍රී මහා හයියෙන් කෑ ගසමින් පක්ෂ සම්මේලනයේදී තමුන් රණවිරුවන් කිසිසේත් පාවා නොදෙන බව කිවුවේත් මේ නිසයි. පක්ෂය නිවැරදි කරනවා වෙනුවට තමනුත් පක්ෂය ඇතුළේ තියෙන වැරදි ස්ථාවරයට යාම ජනපතිවරයාගේ තෝරා ගැනීම බව පැහැදිලියි.


ඩී. බී. ඇල්කඩුව