හැම දරුවෙකුම විශේෂයි…

ද්ෆ්ඝ්ඛ්ව්
හරි අත කියා වැරදි අතට යාම
September 20, 2017
ffghk
ඇමෙරිකා-උතුරු කොරියා යුද උණුසුමට ගිනි පිඹින න්‍යෂ්ටික බෝම්බ
September 21, 2017
Show all

හැම දරුවෙකුම විශේෂයි…

hjk

විචාරශීලීභාවය පුංචි දරුවෝ සහජයෙන්ම ගෙන එති. වයස අවුරුදු තුනක සිඟිත්තියක් සිටින මම එය තදින් අත්විඳිමින් සිටිමි.
‘ඇයි තාත්ති එහෙම වෙන්නේ…?’
‘මොකක්ද ඒකේ තේරුම ?’
තොරතෝංචියක් නැතිව හැම දෙයක්ම ගැඹුරට ම විමසන්නීය. පුංචි වයසේ ඔවුන් තුළ තිඛෙන මෙම විශේෂ ගුණය හරිහැටි කළමනාකරණය කෙරෙන අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ තිබේද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයකි.
දශක ගණනාවක් තිස්සේ කි්‍රයාත්මක නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ බිහි වූ ඉතා හොඳ අත්දැකීම් සහිත අධ්‍යාපනඥයන් අප රට තුළ සිටී. නමුත්, ඔවුන්ගෙන් වැඩක් ගැනීමට සමත් අධ්‍යාපන ඇමති කෙනෙකු මේ මහ පොළොව මත තවමත් බිහි වී නොමැති බව කිව යුතුමය. ගතානුගතික ලෙස සෑම වසරකම ගුරුවරු වාර සටහන් පුරවමින්, විෂය නිර්දේශය කෙසේ හෝ ආවරණය කිරීමේ අරමුණින් හැල්මේ දුවති. දරුවෝ ස්වල්ප දෙනෙක් ඔහු හෝ ඇය සමග එල්ලී දුව යති. බහුතරයක් අතරමං වෙති. අනාථ වෙති. දැඩි කුතුහලයක් සහ විචාරශීලීත්වයක් සහිතව අවුරුදු හයෙන් පාසලට ඇතුළු වන දරු පරම්පරාව වසර ගණනාවකට පසුව කිසිවක් නොවිමසන ගුරුවරයා කියන ඕනෑම දෙයක් එහෙයි, නැතහොත්, ‘ආමේන්’ කියා පිළිගන්නා පරම්පරාවක් ලෙස සමාජයට මුදාහැරෙති.
විෂය නිර්දේශයක් තිබීම වැදගත්ය. නමුත්, එම විෂය නිර්දේශය ආවරණය කිරීම තම එකම අරමුණ කොට නොගෙන දරුවාව තේරුම් ගනිමින්, දරුවන්ගේ මානසික හා කායික වර්ධනය ගැන සිතන ගුරු පරම්පරාවක් අපේ රටට අවශ්‍යව තිබේ. තනි තනි ගුරුවරු වශයෙන් හුදෙකලා ලෙස එවැනි තත්්ත්වයකට හැඩගැසීම ගුණාත්මක වෙනසකට ප්‍රමාණවත් නොවේ. පරිපාලකයන් විසින් සවිඥානිකව ගුරු පුහුණු වැඩපිළිවෙළක් හරහා මෙම තත්ත්වය හැඩගැස්විය යුතුය.
මෑතක දී ගුරු උපදේශකවරයෙක් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක අධීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමේ දී ලද අත්දැකීමක් මෙසේය: එක් ප්‍රාථමික පන්තියක ශිෂ්‍යාවක් ගුරුවරියකගෙන් කුඩම්මාගේ සැලකිලි ලබන බව ඔහු නිරීක්ෂණය කර ඇත. ඒ පිළිබඳව විමසීමේදී ගුරුවරියගේ ප්‍රතිචාරය වී ඇත්තේ, ‘කිසි ඕනෑකමක් නැති දරුවෙක් සර්… කොයි වෙලෙත් මං කියලා දෙද් දී අහක බලන් ඉන්නේ…’ යනාදී ලෙසය. අත්දැකීම් බහුල ගුරු උපදේශකවරයා විසින් කරන ලද කෙටි විමර්ශනයකින් පසු ඔහු අනාවරණය කර ගත්තේ හදවත සසල කරවන තොරතුරකි. ඇයගේ දකුණු කන ශ්‍රවණ ආබාධයකින් යුතු නිසා ගුරුවරියගේ හඩ ශ්‍රවණය කර ගැනීමට ඇය වම් කන ගුරුවරිය දෙසට හරවන බවය. මෙය එක් උදාහරණයක් පමණි. වාර සටහන් අනුගමනය කරමින් විෂය නිර්දේශය ආවරණය කිරීම හඹා යන ගුරුවරිය තුළ එම දරුවා තේරුම් ගැනීමට තරම් මානසික වත්කමක් ඉතිරි වී නොමැත. මෙම තත්ත්වය වෙනස් කළ යුතු නොවන්නේද?
තවත් ගුරු උපදේශකවරියක් එවැනි ශෝචනීය අත්දැකීමක් මා සමග ඛෙදාහදා ගත්තාය. එයත් ප්‍රාථමික පාසලකි. එක් සිසුවකු පන්තියේ කොන් වී සිට ඇත. පන්ති භාර ගුරුවරියගේ පැහැදිලි කිරීම වී ඇත්තේ, පවරන කිසි වැඩක් නොකරන දරුවකු ලෙසයි. ඔහුගේ ලියන පොත් පරීක්ෂා කිරීමේදී හිස් පිටු පමණක්ම දක්නට ලැබී ඇත.
‘පුතා අකුරු ලියන්න දන්නවද?’
උපදේශවරියගේ පැනයට පිළිතුරක් ලැබිණි.
‘ඔව්.’
‘එහෙනම්, පුතා කැමති දෙයක් මට මේ පොතේ ලියලා දෙනවද?’
ටික වේලාවකින් ගුරු උපදේශකවරිය ඔහුගේ පොත පරීක්ෂා කළාය. ‘තාත්තා’ යන වචනය පමණක්ම එහි සඳහන් වී ඇත. පැන්සලෙන් නැවත නැවත එම වචනය මතම ලියා ඇති බව ඇය වටහා ගත්තාය. ඇය විසින් කළ පසුවිපරමේදී එම දරුවාගේ පියා ඔහුට වයස අවුරුදු දෙකහමාරේදී පමණ මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත. තවදුරටත් සොයාබැලීමේදී සිය නිවසේදීම අලූත නිම කළ කොන්ක්‍රීට් වහළයෙන් බිමට වැටී එම මරණය සිදු වී ඇති බව සොයාගෙන ඇත. තම පියාට ඛෙහෙවින්ම ඇළුම් කළ දරුවා පියාගේ වියෝව නිසා ඇති වූ කම්පනයෙන් තවමත් පෙළෙන බව පන්ති භාර ගුරුවරිය හඳුනාගෙන තිබුණේ නම්, දරුවාගේ මනස සුව කළ හැකිව තිබූ බව උපදේශකවරියගේ අදහසයි. නමුත්, පවතින අධ්‍යාපන රටාව තුළ දරුවන් තේරුම් ගැනීමට අවකාශයක් ගුරුවරුන් හට ඉතිරි කර නොමැති බව ඇය විසින් ද පිළිගන්නා ලදී.
සෑම ළමයකු තුළම තිඛෙන විශේෂතා හඳුනා ගනිමින්, දරුවකු තුළ පවතින හොඳ ගුණාංග මරා දමන්නේ නැතිව, ඒවා සංවර්ධනය කරමින්, විචාරශීලී, ඉදිරිගාමී දරු පරම්පරාවක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් සංවාද කිරීමට ඔබට ආරාධනය කරමි.


නිර්මාණ වීරසිංහ
(සාමාන්‍ය පෙළ ගණිත ආචාර්ය)