EPF කොල්ලයට එරෙහිව වෘත්තීය සමිති සටනට

HYHYJ
අපරාධ රකින මූලිකම තැන වෙලා තිඛෙන්නේ පාර්ලිමේන්තුව
September 20, 2017
ghj,l
නැගෙනහිර වෙරළ බිඳ අඳෝනා නගන රළ…
September 20, 2017
Show all

EPF කොල්ලයට එරෙහිව වෘත්තීය සමිති සටනට

ggjk

රටේ පවතින ආර්ථීක අර්බුදයට හේතු වූ කරුණු නිවැරදි කොට ආර්ථීකය ගොඩනගනවා වෙනුවට ආණ්ඩුව රටේ සම්පත් විකුණමින්, ජනතා සහන කප්පාදු කරමින් හා ජනතාව මත මහා බදු බරක් පටවමින් සිටී. එහිම දිගුවක් ලෙස පසුගියදා ඉදිරිපත් කෙරුණු නව බදු පනතට එරෙහිව මේ වන විට රට පුරා පොදු මහජනයා මෙන්ම වෘත්තීය සමිති ඇතුළු මේ රටේ වැඩකරන ජනතාවගේ විරෝධය එල්ල වී ඇත. විශේෂයෙන්ම සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් සඳහා නව බද්දක් හඳුන්වාදී තිබීම හේතුවෙන් මේ වන විටත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙමින් ඇත. මේ ඒ පිළිබඳව වෘත්තීය සමිති පාර්ශ්වයෙන් මතු වූ අදහස් කිහිපයකි.

මේ සටන දිනන්න පොදු අරගලයක් දියත් කළ යුතුයි
චාමර මද්දුම කළුගේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්

‘ආණ්ඩුව සම්මත කර ගැනීමට යෝජනා කරනවා නව බදු සංශෝධන පනතක්. ඒ පනතේ රටේ පොදු ජනතාවට මෙන්ම වැඩකරන ජනතාවටත් බලපාන විශේෂ කරුණු කාරණා කිහිපයක් තිඛෙනවා. ඒ තුළ පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය, වතු කියන ක්ෂේත්‍රවල නියළිලා ඉන්න සේවකයන්ට බරපතළ අවාසියක් තිඛෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ ගත්තොත් 1,200කට ආසන්න සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ඊ.ටී.එෆ්.වලට හා ඊ.පී.එෆ්.වලට මුදල් බැර වෙන සේවකයෝ. අලුත් බදු පනතින් සේවක අර්ථසාධක අරමුදල්වලින් වාර්ෂිකව ලබන ආදායමෙන් ආණ්ඩුව 14%ක් බදු වශයෙන් ගන්න හදනවා. ඒ වගේම විශ්‍රාම යාමේදී මුදල් ආපසු ලබා ගන්නා විටත්, ගිණුමේ ශේෂය මත නැවත 14%ක බද්දක් අය කිරීමටයි යෝජනා කරලා තියෙන්නේ. සමෘද්ධි සේවකයන් විශාල පඩියක් ලබන අය නොවෙයි. මේක ඔවුන්ට සිදු වන බරපතළ අසාධාරණයක්. ඒ නිසා අපි වෘත්තීය සමිති එකමුතුව විදියට සමස්ත සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා එකතු වෙලා පොදු අරගලයක් දියත් කළ යුතුයි. තනි තනියෙන් මේ සටන දිනන්න පුළුවන්කමක් නැහැ. මීට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ගෙනාවා ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතක්. එයත් පරාද කළේ පොදු සටනක් ඇතුළෙයි. ඒ නිසා බදු පිට බදු පටවමින් සාමාන්‍ය ජනතාව තළා පෙළන මේ පාලනයට එරෙහිව ද අප එක්ව සටන් කළ යුතුයි.

වෘත්තීය සමිති සියල්ල එක මිටකට ගෙනැවිත් සටන් කරනවා
චන්ද්‍රසිරි මහගමගේ වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ දැනට සේවකයන් 9,800ක් පමණ සේවය කරනවා. එතකොට මේ සියලුම සේවකයන්ගේ සේවක භාරකාර අරමුදල් සඳහා සෑම මාසයකම අය කර ගැනීම් කරලා ආයතනය මගින් සේවක අර්ථසාධක අරමුදල වෙත යොමු කරනවා. මේ නව බදු පනත යටතේ අර්ථසාධක අරමුදලෙන් අනිවාර්යයෙන්ම බදු මුදලක් අය කර ගන්න යෝජනා කරලා තිඛෙනවා. ඒ අනුව 14%ක
බදු ප්‍රමාණයක් පනවලා තියෙනවා. එතකොට යම් සේවකයෙක් විශ්‍රාම යද්දී ගෙදර යන කොට එම මුදලෙන් 14%ක ප්‍රමාණයක් ආණ්ඩුව බදු විදියට අය කර ගත්තහම අසාධාරණයි. සේවකයන් එතෙක් කල් තමන්ගේ ආයතන තුළ වැඩ කරලා උපයා ගත් මුදලින් කොටසක් මහ බැංකුවේ තැන්පත් කරලා එය නැවත ආයෝජනය කරලා තමයි ඊ.ටී.එෆ්. එකට පොලිය ලබා දෙන්නේ. ඒ නිසා මේකට අත තියන්න ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීමට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය සමග වරාය සේවකයන් ද එක්ව කටයුතු කරනවා. ආණ්ඩුවට අපි කියන්නේ ඔය පනත පාර්ලිමේන්තුවට ගේන්න එපා. පාර්ලිමේන්තුවට ගෙනාවොත් මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා වෘත්තිය සමිති සියල්ල එක මිටකට ගෙන සටන් කරන්න අපි සූදානම්.

මේ ප්‍රශ්නය මහපාරේ බේරගන්න ඉඩ තියන්න එපා
වසන්ත සමරසිංහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති

නව බදු පනත හරහා සේවක අර්ථසාධක අරමුදල හා භාරකාර අරමුදල ඇතුළු සේවක අරමුදල්වලින් බදු අය කිරීමට යෝජනා කරලා තියෙනවා. මෙතෙක් එම අරමුදල් මත බදු අය කිරීමක් සිදු වූයේ නැහැ. 10%ක නාමික බද්දකුයි තිබුණේ. ඒක කුමන මොහොතකදිවත් වියදමක් විදියට අරමුදලට එකතු වුණේ නැහැ. නමුත් නව පනත හරහා වාර්ෂික ආයෝජන ආදායමට 14%කුත්, රඳවා ගැනීමේ බද්ද ලෙස සේවකයා විශ්‍රාම යන මොහොතේ ඔහුගේ ගිණුමේ ඇති ශේෂයට 14%ක බද්දකුත් ලෙස නව බදු දෙකක් අය කිරීමට යෝජනා කර තිඛෙනවා. මේ වෙන කොට සේවක අර්ථසාධක අරමුදලේ තිඛෙනවා රුපියල් බිලියන 1,750ක් පමණ. 2015 අවුරුද්දේ සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික ආයෝජන ආදායම බිලියන 160ක්. ඒකට බද්දක් අය කළා නම් රුපියල් බිලියන 22.4ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2,240ක්. මේ බදු අය කිරීමට කිසිම සාධාරණ හේතුවක් නැහැ. මේ බදු දෙකම ඉතාම අසාධාරණයි. ඒ නිසා වෘත්තීය සමිතියක් විදියට අපි මේ බදුවලට එරෙහිව අපේ දැඩි අප්‍රසාදය පළ කරනවා. ආණ්ඩුවක් විසින් බදු අය කළ යුතු බව අප පිළිගන්නවා. ඒ වගේම ඒ සඳහා ආණ්ඩුවට ඕනෑ තරම් ක්‍රමවේද තිඛෙනවා. තවමත් බදු නොගෙවන විශේෂ කර්මාන්ත ගණනාවක් තිඛෙනවා. අපි ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා මේ නව බදු ගැන අපේ ස්ථාවරය. ලබන 11 වෙනිදා කොළඹ දී දැවැන්ත සම්මන්ත්‍රණයක් පවත්වන්න අපි සූදානම්. රට පුරාම පෝස්ටර් හා අත් පත්‍රිකා මගින් ජනතාව දැනුම්වත් කරන අතර ඊට සමගාමීව සම්මන්ත්‍රණ මාලාවක්ද පැවැත්වීමට සූදානම් වී සිටිනවා. ඒ වගේම 21 වෙනිදා කොළඹට දැවැන්ත පෙළපාළියක් එනවා, මේ බදු හකුළා ගැනීම සඳහා ආණ්ඩුවට බල කරමින්. ඒ නිසා අපි ආණ්ඩුවට නැවත නැවතත් කියන්නේ අපිව පාරට ගෙනැල්ලා මේ ප්‍රශ්නය මහපාරේ බේරා ගන්න ඉඩ තියන්න එපා කියලයි. මේ අරමුදල කොල්ල කන්න ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී උත්සාහ කළා. පසුගිය ආණ්ඩුව කාලේ එවැනි කොල්ලකෑමකට ආණ්ඩුව සූදානම් වෙද්දී දැවැන්ත විරෝධතාවයක් නිර්මාණය වුණා. රොෂේන් චානක ඝාතනය කළේත් ඒ විරෝධතාවය අතරෙදී. එහෙම ඝාතනය කරලාවත් සේවක අර්ථසාධක අරමුදල කොල්ලකන්න මේ රටේ ජනතාව ඉඩ දනුනේ නැහැ. ඒ නිසා මර්දනය කරලා මේ කොල්ලකාරී වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනයන්න මේ ආණ්ඩුවත් සූදානම් වෙනවා නම් ඒ වැඩපිළිවෙළ කිසිසේත්ම සාර්ථක කරගන්න වෙන්නේ නැහැ කියන එක අපි කියනවා. ඒ නිසා මේ නව බදු පනත වහාම හකුළා ගන්නා ලෙස අප ආණ්ඩුවට බල කර සිටිනවා.

අයි.එම්.එෆ්. එකේ උපදෙස් මතඉදිරිපත් කෙරුණු ජනතා විරෝධී බද්දක්
පී.එස්.බී. ජයසුන්දර මහතා ලංකා ටෙලිකොම් සේවා සංගමයේ ප්‍රධාන ලේකම්

ඔය දේශීය ආදායම් පනත කියන එක නිර්මාණය කරන්නෙම රටේ අවශ්‍යතාවයන් අනුව නොවෙයි. අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව අයි.එම්.එෆ්. එකේ උපදෙස් මත ඉදිරිපත් කෙරුණු ජනතා විරෝධී බද්දක් තමයි මේ නව බදු සංශෝධන පනත තුළ තිඛෙන්නේ. ඇත්තම කියනවා නම්, රටේ ආදායමට වඩා ණය ගෙවා ගන්න අටව ගත්ත එකක් විදියටයි අපි මේ බදු පනත දකින්නේ. ඊටත් අමතරව තියෙන විශේෂම කාරණය තමයි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුළ ගත්තොත් එහි සේවකයන්ගෙන් විශාල ප්‍රමාණයක් ඊ.ටී.එෆ්. හා ඊ.පී.එෆ්. සහිත සේවකයන්. එතකොට ඔවුන් සියලු දෙනාගෙන්ම රඳවා ගැනීමේ බද්දක් අය කරනවා මෙම අරමුදල් සඳහා 14%ක. එය ඉතා අසාධාරණයි. වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට මේකට අපි විරුද්ධයි. විශ්‍රාම ගන්නා විට අර්ථසාධක අරමුදල තුළ රුපියල් ලක්ෂ 10ක් තිබුණා නම් ඉන් රුපියල් 1,40,000ක් රජය තියා ගන්නවා බදු ලෙස. එය සේවකයන්ගේ අනාගත ආයෝජනයන් හා වැඩකටයුතු වෙනුවෙන් තිබුණු මුදලක්. ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ මුදල් කොල්ලකන්නයි. ඒ නිසා අපි මේ බදු පනතට එරෙහිව දැඩි ස්ථාවරයක ඉන්නවා. ඒ වගේම ඒ වෙනුවෙන් ගනු ලබන සියලූ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.

කම්කරු අයිතීන්ට පහර ගහපු ආණ්ඩු වැඩි කලක් පැවතුණේ නැහැ
ඉංජිනේරු උපාලි රත්නායක ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

වර්තමාන ආණ්ඩුව මහජනතාව මත බදු පිට බදු පනවමින් ඉන්නවා. ඒ අනුව නව බදු පනතක් හඳුන්වා දී තිඛෙනවා. සංස්ථාපිත මණ්ඩලවල හා අනෙකුත් අංශවල බොහෝ සේවකයන් තමන් විශ්‍රාම ගියාට පසුව ජීවිතයේ ඉතිරි වැඩකටයුතු කර ගත්තේ තමන්ට හිමි සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් හරහායි. දැන් එතකොට මේ අලූත් බදු පනතින් මේ අරමුදල් සඳහාත් බදු අය කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. නමුත් විශ්‍රාම වැටුපක් පවා අහිමි මෙම සේවකයන් තමන්ගේ දරුවන් විවාහ කර දීම හා ඉඩමක් හෝ නිවසක් මිල දී ගැනීම ආදී ජීවිතයේ බොහෝ කාර්යයන් සඳහා භාවිත කරන්නේ මේ අරමුදලයි. ඒ සියලු අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට එය ප්‍රමාණවත් නොවුණත්, යම් තරමකට හෝ පිරිමසා ගැනීමේ හැකියාවක් තිබුණා. එතකොට දැන් මේ නව බදු අය කිරීම ක්‍රියාත්මක කළොත්, ඔවුන්ගේ ඒ බලාපොරොත්තු බිඳවැටෙනවා. ඒ නිසා මේක හරිම තීරණාත්මකයි. අපි මෙය සැහැල්ලුවට ගන්නේ නැහැ. අරමුදලුත් සේවක අයිතීනුත් ආරක්ෂා කරන්න අප ඇතුළු සියලු වෘත්තීය සමිති එක්ව ක්‍රියා කරන්න සූදානම්. ඒ වගේම ආණ්ඩුවට මතක් කරන්න කැමතියි මේ සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා කියලා. කම්කරු අයිතීන්ට එරෙහිව පහර ගහපු කිසිම ආණ්ඩුවක් වැඩිකල් පැවතුණෙත් නැහැ.


නිපුණා සාරංගි