ඔක්තෝබර් 24දා…

gfn
කාටූන්
October 5, 2017
sef
ඔවුන්ට බැඳීම් අඩුයි ජීවිත ඉතා සරලයි…
October 5, 2017
Show all

ඔක්තෝබර් 24දා…

afsdhh

සන්නද්ධ නැගීසිටීමක් සඳහා සූදානම් වන ලෙස වූ ඔක්තෝබර් 10 බොල්ෂෙවික් මධ්‍යම කාරක සභා තීරණය අනුව විප්ලවවාදී හමුදා කොමිටිය නමින් මිලිටරි සංවිධානයක් ගොඩනගන ලදී. එහි ප්‍රකාශිත අරමුණ වූයේ ප්‍රතිවිප්ලවයට හා ජර්මන් ආක්‍රමණයට එරෙහිව ක්‍රියා කිරීමය. වාම සමාජවාදී විප්ලවවාදී පාක්ෂිකයන් දෙදෙනෙකුගෙන් ද, බොල්ෂෙවිකයන් තිදෙනෙකුගෙන් ද එහි පාලක මණ්ඩලය සමන්විත විය. සභාපති තනතුර දැරුවේ ළාබාල වාම ස. වි. පාක්ෂිිකයකු වන පි. ඊ. ලැසිමර්ය. එමගින් ද, එහි කාර්යාලය ස්මොල්නි මන්දිරයේම පිහිටුවා ගැනීමෙන් ද එයට සෝවියට් ස්වරූපයක් ලබා දිය හැකි විය. එහි සෙසු නායකයන් වූයේ ට්‍රොට්ස්කි, චෙස් ශ+රයකු හා ගණිතඥයකු වූ ඇන්ටනෙව් ඔව්සෙන්කෝ හා බෝල්ටික් නාවික බලඇණියේ බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවේ සභාපති පී. වයි. දයිඛෙන්කෝය.
මෙම විප්ලවවාදී හමුදා කොමිටිය නිල වශයෙන් පිළිගත යුතු යයි ට්‍රොට්ස්කි සෝවියට් සභාවේ දී යෝජනා කර සම්මත කර ගන්නා ලදී. තවද පෙත්‍රොග්‍රාද් දිස්ත්‍රික්කයේ (නිලධාරී) හමුදා කාර්ය මණ්ඩලයට එහි නියෝජිතයෙකු ඇතුළු කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. අනතුරුව සෝවියට් සභාවේ හමුදා අංශයේ අනුමැතිය නොමැතිව කිසිදු නිවේදනයක් නිකුත් නොකරන්නැයි ඊළඟට ඔවුහු දිස්ත්‍රික් හමුදා කාර්ය මණ්ඩලෙන් ඉල්ලා සිටියහ. එය ද ප්‍රතික්ෂේප විය. කමනෙව් විසින් නොවායා ෂිසින් පුවත්පතට කරන ලද හෙළිදරව්වෙන් පසු සන්නද්ධ නැගිටීමේ ව්‍යාපාරය ප්‍රසිද්ධියේ පැතිර යද්දී අගමැති කෙරෙන්ස්කි එයට ප්‍රතිචාර දැක්වූයේ ‘මම මේ කැරැල්ල එනකනුයි යාච්ඤා කර කර ඉන්නේ, මට ඕක කුඩු කරල දාන්න ඕනෑවටත් වඩා හමුදාව ඉන්නවා’ යනුවෙන් පවසමිනි. ජූලි කැරැල්ල සිහියට නගා ගත් ඔහු බොල්ෂෙවිකයන් වෙතින් මෙවර ද බලාපොරොත්තු වූයේ එවැන්නක්මය. ආණ්ඩුව පමණක් නොව අන් බොහෝ දෙනා ද සන්නද්ධ නැඟිටීම වශයෙන් බලාපොරොත්තු වූයේ ජූලි 3 දා මෙන් දහස් ගණන් සෙබළුන් හා කම්කරුවන් වීදි බැස පවත්වන මහා පෙළපාළියක් බව පෙනෙන්නට තිබිණි. එබැවින්, කෙරෙන්ස්කි බොල්ෂෙවිකයන්ගේ සන්නද්ධ නැගීසිටීමේ සූදානමට එරෙහිව ගන්නා ලද මුල් පියවර වූයේ පෙත්‍රොග්‍රාද් හමුදා සේනාංකවලින් කොටසක් උතුරු යුද පෙරමුණට යවන ලෙස අණ කිරීමය.
හමුදා පෙරමුණට යැවීමේ තීරණයෙන් ඇවීස්සී ගිය හමුදා සෙබළුන්ගේ ප්‍රතික්‍රියාව වූයේ විප්ලවවාදී හමුදා කොමිටියට තම අවනත භාවය ප්‍රකාශ කිරීමය. ඊට වහා ප්‍රතිචාර දැක්වූ වි.හ.කො.ද ඒ ඒ රෙජිමේන්තුවල නායකත්වය දැරූ ආණ්ඩුවේ හමුදා නිලධාරීන් වෙනුවට තම කොමිසාර්වරු යැවූහ. ආණ්ඩුවට හිතවත් ඇතැම් කොසැක් රෙජිමේන්තු පවා වි.හ.කො.ට තම සහයෝගය දැක්වීය. මෙලෙස රෙජිමේන්තු මත තම බලය විහිදුවා ගත් වි.හ.කො. දැන් පෙත්‍රොග්‍රාද් හමුදා රෙජිමේන්තුවල අධිකාරිය වන්නේ තමන් බවත් තම නියෝගවලට අවනත විය යුතු බවත් ආණ්ඩුවේ හමුදා කාර්ය මණ්ඩලයට දන්වා සිටියේය. තම අවසරයකින් තොරව කිසිදු ආයාචනයක්, කිසිදු ප්‍රකාශනයක් නිකුත් නොකරන ලෙස ද නියෝග කරන ලදී. තවද කරෙන්වර් ආයුධ ගබඩාවට ගිය වි.හ.කො. නියෝජිතයෝ විශාල ආයුධ තොගයක් පවරා ගත්හ. මේ වන විට තත්ත්වයේ භයානකකම අවබෝධ කර ගත් ආණ්ඩුව කලින් ප්‍රතික්ෂේප කළ ඉල්ලීම් ප්‍රදානය කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් නියෝජිතයෙකු එවනු ලැබුව ද, එවිට ඔවුන් ප්‍රමාද වූවා වැඩිය. ඔක්තෝබර් 23දා වන විට ශීත මාලිගය වෙත ප්‍රහාර එල්ල කළ හැකි කාලතුවක්කු සවි කර තිබූ පීටර් පෝල් බලකොටුව දක්වා වි.හ.කො. තම බලය විහිදුවාලීය. මේ අනුව සන්නද්ධ නැඟිටීමට පෙරම නගරයේ ආණ්ඩුව සතු මිලිටරි බලය තව දුරටත් දුබල වී තිබිණි. එහෙත් ආණ්ඩුව මුළුමනින්ම තනි නොවීය. කැඩෙට් භටයෝ (තුන් අවුරුදු යුද නිලධාරී උපාධි පාඨමාලාව හදාරන ආධුනිකයන්) ආණ්ඩුව හා සිටියහ. ආණ්ඩුව සතුව යුන්කර් හමුදා (උපාධිය ලත් කැඩෙට් භටයන්) ද විය. වි.හ.කො. අවනත නොවූ කොසැක් රෙජිමේන්තු ද ආණ්ඩුව හා විය. මීට අමතරව තමන්ට ඉතා ළැදි හමුදා සයිකල් (පා පැදි) බැටෑලියනය හා කාන්තා ස්වේච්ඡා බලඇණිය ආණ්ඩුව විසින් රහසේ පෙත්‍රොග්‍රාදයට කැඳවන ලදී.
ඔක්තෝබර් 24 දා පාන්දර බොල්ෂෙවික් පක්ෂ පුවත්පත වූ රිබොචි පුට් (ජූලි සිද්ධියේ දී ‘ප්‍රව්ඩා’ කාර්යාලයට කඩා වැදීමෙන් පසු එය පළ කළ නොහැකි වූ අතර, බොල්ෂෙවික් පුවත් පත රිබොචි පුට් නමින් පළ විය.) මුද්‍රණාලයට කඩා වැදුණු කැඩෙට් භටයෝ එයට සීල් තබා තම භාරයට ගත්හ. තවද, වි.හ. කොමිටි විසින් හමුදා රෙජිමේන්තු ප්‍රධානීන් ලෙස පත් කරනු ලැබූ කොමිසාර්වරුන් එම තනතුරුවලින් ඉවත් විය යුතු බව ද ඒ හා සමගම නිවේදනය කළ දිස්ත්‍රික් හමුදා මූලස්ථාන එසේ නොවුවහොත්, ඔවුන් අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයට ඉදිරිපත් කරන බව (Court Martial) නිවේදනය කෙළේය.
මේ සිද්ධින් සැලවීමත් සමගම වහා රැස් වී තත්ත්වය සමාලෝචනය කළ බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාව එක් එක් සභිකයාට වෙන වෙනම වැඩ කොටස් පැවරීය. ඒ ආණ්ඩුව ගන්නා පියවරයන් පිළිබඳව විමසිලිමත්ව සිටීමට ස්වෙර්ද්ලොව්, දුම්රිය හා සම්බන්ධීකරණය පවත්වාගෙන යාමට බුබ්නොව්, තැපැල් හා ටෙලිග්‍රාෆ් පාලනය භාරව ඩ්රුසින්ස්කි ආදී වශයෙන්ය. එතැන් සිට සියලුම මධ්‍යම කාරක සභිකයන් දිගටම ස්මොල්නියේ රැඳී සිටිය යුතු යයි තීරණය විය.
ඒ සමගම වි.හ. කොමිටිය නිකුත් කළ ප්‍රකාශනයක මෙසේ සඳහන් විය. ‘ප්‍රතිවිප්ලවය එහි සාපරාධී හිස ඔසවා ඇත. සෝවියට් සභා සම්මේලනය පොඩි පට්ටම් කිරීමට පියවර ගනිමින් සිටී. මේ ප්‍රයත්නයන්ගෙන් නගරය ආරක්ෂා කර විප්ලවකාරී විනය පවත්වාගෙන යාමේ කාර්යය වි.හ.කො. තමන් වෙත පවරා ගනී.’ තවද ඔවුහු සෙබළුන් වෙත මෙසේ නිවේදනය කළහ. ‘…යුද සූදානමකින් සිටින ලෙසත්, අලුත් නියෝග බලාපොරොත්තු වන ලෙසත් රෙජිමේන්තුවලට මෙයින් නියෝග කෙරේ. මේ නියෝගය පමා කිරීම හෝ කඩ කිරීම විප්ලවයට කරන ද්‍රෝහිකමක් ලෙස සලකමු – ඇන්ටනොව් ඔව්සෙන්කෝ, ලේකම්.’
ඉනික්බිති පෙරවරු 8.00 වන විට සන්නද්ධ නැගිටීමේ ආරම්භය සටහන් කරමින් රිබොචි පුට් මුද්‍රණාලය වෙත පැමි‚ විප්ලවවාදී හමුදා සෙබළු එහි වූ කැඩෙට් භටයන් පළවා හැර එය නැවත පවරා ගත්හ. කැඩෙට් භටයෝ ප්‍රතිප්‍රහාරයකින් තොරව ඉවත්ව ගියහ. සවස 2.00 වනවිට පුවත්පත නැවත මුද්‍රණය කර ඛෙදා හරින ලදී. සෝවියට් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන පස්වරු පුවත්පතක් වූ රිබොචි අයි සොල්ටාඩ් පුවත්පත වසා දැමීමට ආණ්ඩුව ගත් ප්‍රයත්නයට ද ඒ ඉරණමම අත් විය.
මේ අතර මුර සංචාරක කොසැක් භටයෝ ජූලි සිද්ධීන්වලින් පසුව ප්‍රථම වරට වීදි සංචාරය කරන්නට වන්හ. අණට අකීකරු වන්නන් මුළු ශක්තිය යොදා මර්දනය කරන බව ආණ්ඩුවේ පෙත්‍රොග්‍රාද් හමුදා ප්‍රධානී කොල්කොව්නිකොව් නිවේදනය කෙළේය.
මේ අතර 24දා සවස පූර්ව පාර්ලිමේන්තුවේදී (සමූහාණ්ඩු කවුන්සලයේදී) කෙරෙන්ස්කි ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ අසතුට පළ කෙරෙන යෝජනාවක් සම්මත කරන ලදී. ආණ්ඩුව යුද සමාදානය සඳහා ඉදිරිපත් නොවීම හා ගොවීන්ට ඉඩම් පැවරීමේ ආඥාවක් නිකුත් නොකිරීම මතු වී ඇති අර්බුදයට හේතු වශයෙන් දක්වා තිබුණු එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුවේම හවුල්කාරයන් වූ මෙන්ෂෙවික් හා ස.වි. පක්ෂය විසිනි. තමන් තැබූ මේ පියවර ඓතිහාසික එකකැයි හඳුන්වා ගත් මෙන්ෂෙවික් හා ස.වි. වාදීහු ඒ බව සඳහන් පෝස්ටර් නගරය පුරා ඇලවූහ. කලින් ධනේශ්වර සෝවියට් සභාගයක් වෙනුවෙන් උග්‍ර ලෙස පෙනී සිටි මෙන්ෂෙවික්වාදී ඩෑන් හා ගොට්ස් පවා යුද සමාදානය හා ක්ෂණික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉදිරිපත් වන්නට වූහ. මේ අතර සියලු සෝවියට් පක්ෂවල සහභාගීත්වයෙන් රජයක් පිහිටුවා ගැනීමේ යෝජනාවක් සෝවියට් සභා සම්මේලනයේදී සම්මත කර ගැනීමට සහාය සොයමින් 24දා සවස කමනෙව් ද ස්මොල්නියේ සැරිසරමින් සිටිනු දක්නට ලැබිණ.
එදින සවස පෙත්‍රොග්‍රාද් සෝවියට් සභාවේ දී ට්‍රොට්ස්කි අවධාරණය කෙළේ අප ගන්නා හමුදාමය ක්‍රියාමාර්ග ආරක්ෂක පියවරයන් පමණක් බවය. සෝවියට් සම්මේලනය අත ළඟ තිබියදී සන්නද්ධ නැගිටීමක් මගින් බලය අල්ලා ගැනීමේ සැලැස්මක් නැති බවය.
මේ අතර නගරයේ සිදු වන දේ ගැන නිතර නිරීක්ෂණ ලබා ගනිමින් සිටි ලෙනින් 24දා සවස මධ්‍යම කාරක සභාවට මෙසේ ලියා එවීය. (ආරක්ෂක හේතුන් මත ගනු ලැබූ මධ්‍යම කාරක සභා තීරණයක් අනුව ලෙනින් මේ වන විටත් තට්ටු නිවාසයක වූ ෆොපනෝවා නමැති කාන්තාවගේ නිවසකට කොටු වී සිටියේය.)
‘…සහෝදරවරුනි, මා වැර යොදා කියා සිටින්නේ මේ වන විට සියල්ල නූලකින් එල්ලෙමින් තිඛෙනවා බඳු බවය. අප දැන් මුහුණ පා සිටින ප්‍රශ්න සම්මේලනවලින්, සම්මන්ත්‍රණවලින් පමණක් නොව සෝවියට් කොන්ග්‍රස්වලින් ද විසඳිය හැකි ඒවා නොවේ. මේ ප්‍රශ්න විසඳිය හැක්කේ ජනතාවටය. ආයුධ සන්නද්ධව නැගී සිටින ජනතාවට පමණි. තව දුරටත් ප්‍රමාද විය යුතු නැත. එසේ වුවහොත්, සියල්ල නැති වී යා හැකිය. අප අදම මේ රාත්‍රියේ දීම ආණ්ඩුව අත්අඩංගුවට ගත යුතුය. සෝවියට් සම්මේලන ඡන්දය තෙක් ඒ සඳහා වැනි වැනී සිටීම විනාශයකි. ඍජු ගතානුගතිකත්වයකි. මෙබඳු ප්‍රශ්න ඡන්දයෙන් නොව බලය යොදා විසඳා ගැනීමේ අයිතිය ජනතාවට ඇත…’
මේ වන විට ලෙනින්ගේ හා කමනෙව්ගේ බලය පවරා ගැනීම පිළිබඳ යෝජනා එකිනෙක කෙරෙහි තියුණු තරගයක නියැළී සිටියේය. දැන් යෝජනාවල ජයග්‍රහණය මැනුණේ මධ්‍යම කාරක සභාවේ දී මෙන් ඡන්දවලින් නොව කාලයෙනි. ඒ වන විට කමනෙව්ගේ හා ලෙනින්ගේ යෝජනා අතර පරතරය පැය 24ක් පමණක් විය. කාලය වේගවත් ගමනක යෙදෙමින් සිටියේය.


චන්ද්‍රසේන බදුගම