ඔවුන්ට බැඳීම් අඩුයි ජීවිත ඉතා සරලයි…

afsdhh
ඔක්තෝබර් 24දා…
October 5, 2017
fghd
කැරැල්ල ඇරඹේ…
October 5, 2017
Show all

ඔවුන්ට බැඳීම් අඩුයි ජීවිත ඉතා සරලයි…

sef

ඒක වෙනස්ම කතාවක් 03

කියුබාවේ වසර හයක කාලයක් සෞඛ්‍ය පාඨමාලාවක් හදාරා ලංකාවට පැමිණ සිටින සුනිදු දිසානායක මහතා සමග කියුබාවේ අත්දැකීම් පිළිබදව කළ සාකච්ඡාවේ පළමු හා දෙවන කොටස් පසුගිය කලාපවල පළ විය. මේ එහි අවසන් කොටසයි.

අධ්‍යාපනය තුළින් කියුබානුවන්ට ලැබී තිඛෙන පිටිවහල මොන වගේද?

කියුබන් ජනතාව ඉතාම විනයගරුක පිරිසක්, ඔවුන් විනයගරුක පිරිසක් ලෙස හැඩගස්වා තිඛෙන්නේ අධ්‍යාපනය තුළින්, කියුබානුවන් සෑම විටම සිතීමට මුල්තැන දෙනවා, හැඟීමට වඩා අවබෝධයට මුල් තැන දෙන පිරිසක් බිහි කර තිඛෙනවා. පාසල් තුළ පළමුවෙනියා, දෙවැනියා, තුන්වැනියා විදියට තෝරන්නේ නැහැ. අනිකාව පරයා තමන් නැගීසිටින සංකල්පයක් ඔවුන්ට ඇති වන්නේ නැහැ. සමාජ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට පාසලින් ලැඛෙන මේ මූලික පදනම ඉතාම වැදගත් වෙනවා.

ඔවුන්ගේ සාමාන්‍ය ජනජීවිතය ගෙවෙන්නෙ කොහොමද?

සියල්ලන්ම විනෝදකාමීන්. ඔවුන්ට බැඳීම් අඩුයි. ජීවිත ඉතාම සරලයි. සංගීතයටත් ගොඩක් ළැදිකමක් දක්වනවා. මේ තත්ත්වය පෙන්වන හොඳම උදාහරණයක් තමයි, ඔවුන් අතර සිය දිවි හානිකර ගැනීම් ඉතාම අඩු වීම.

කියුබානුවන්ගේ දෛනික ජීවිතය හා ක්‍රීඩා කටයුතුත් මේ සාර්ථකත්වයට බලපාලා තිඛෙනවාද?

වයස අවුරුදු 17 ඉක්මවන අය හමුදා පුහුණුවකට යොමු කරනවා. සමාජය තුළ කටයුතු කරන අන්දම මෙම පුහුණුව තුළින් හුරු කරනවා. ඉතාම නීරෝගී තෘප්තිමත් ජන පිරිසක් සිටිනවා. ක්‍රීඩාව ඉහළින්ම සමාජගත කර තිඛෙනවා. නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා ක්‍රීඩාව ඉතා ඉහළින් භාවිත කරනවා. ඒ වගේම සමාජයේ එකිනෙකා අතර තරගකාරිත්වයක් නැහැ.

කියුබාවේ ජනවර්ග කිහිපයක කොටස් ජීවත් වෙනවා. ජාතිවාදය වගේ ප්‍රශ්න ඔවුන් අතර නැද්ද?

ඇත්තටම නැහැ. මම එහේ ගත කරපු මුළු කාලසීමාව පුරාම කිසිම ජාතිවාදී ප්‍රශ්නයක් දැක්කේ නැහැ. ඔවුන් අතර ජාති, කුල, ආගම් භේද කිසිවක් නැහැ. ජාතිය කියුබන් ජාතියයි. ජනගහනයෙන් 60%ක් පමණ සුදු, කළු මිශ්‍ර වූවන් ඉන්නවා. ජාතිවාදයක් නැහැ.

ළමයින් පිළිබඳ අවධානය මොන වගේද?

ඒක ගොඩක් වැදගත් කාරණයක්. ළමයින් ඔවුන්ගේ වටිනාම සම්පත ලෙස සලකන බව පෙනෙනවා. ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරනවා වගේම ඒ ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ළමයින්ට හිංසා කිරීම ඉතාම බරපතළ වරදක් ලෙසයි කියුබානුවන් සලකන්නෙ. කොටින්ම වැඩිහිටියන් දරුවන්ට පහරදෙන දඩුවම් ක්‍රම එහේ දකින්න ලැඛෙන්නේ නෑ. අපේ රටේ වගේම ගොඩක් රටවල ඉන්න වීදි දරුවන් කියුබාවේ දකින්න නැහැ.

වැඩිහිටියන්ගේ තත්ත්වය කොහොමද?

වැඩිහිටියන් අත්හැර දැමීමක් කිසිවිටකත් සිදු වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම නිවසක හිමිකම තිඛෙනවා. වැඩිහිටියන් උදෙසා දෛනික වැඩසටහන් සංවිධානය කර තිඛෙනවා. ඔවුන්ගේ කාලය කළමනාකරණය කිරීම මෙම වැඩසටහන්වල අරමුණයි. මෙම වැඩසටහන් වැඩිහිටි මධ්‍යස්ථානවලදී පවත්වනු ලබනවා. මෙම මධ්‍යස්ථාන ඇත්තෙන්ම ලංකාවේ තිඛෙන වැඩිහිටි නිවාස වගේ නොවෙයි. වැඩිහිටියන් උදෙසා විනෝද වීමේ අවස්ථා සකස් කර දී තිඛෙනවා. ලොකු කුඩා සෑම පුද්ගලයෙකුටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලයේ ලබා ගැනීම සඳහා කූපන් පතක් ලබා දී තිඛෙනවා.

වාහන භාවිතය පිළිබඳ තත්ත්වය කොහොමද?

ඇත්තටම නවීන පන්නයේ වාහන භාවිතය අඩු බව කියන්න ඕනෑ. ආර්ථීක සම්බාධක නිසා වෙන්න පුළුවන්. ඒත් කියුබාව තුළ රිය අනතුරු ඇත්තේම නැති තරම්. රියදුරන් මනා වෘත්තීයමය පුහුණුවකට ලක් කර තිඛෙනවා, අන්තර් පළාත් බස් සේවාවන් තිඛෙනවා. ඒවා රජය සතුයි. රියදුරු හා කොන්දොස්තර ඉතාම ආචාරශීලීයි. ඔවුන් ටයි පැළඳ සිටිනවා. බස් රථ සියල්ලම සුඛෝපභෝගීය. ගමන පිටත් වීමට පෙර මගීන් වෙත උපදෙස් ලබා දීමක් සිදු කරනවා. විදේශිකයන් උදෙසා වෙනම බස් සේවාවන් පවත්වාගෙන යනවා.


සාකච්ඡා කළේ බුද්ධි වරාගොඩ සමග ලලිත් ලියනගේ