ගිය වාරේ උන් දුන්නා මේ වාරේ මුන් දෙනවා

fghj
සාධාරණය සහ යුක්තිය ඉල්ලන පොළොන්නරුවේ කඳුළු කතාව
October 5, 2017
dgyu
ධීවර වරාය සියල්ල එක මල්ලේ සේල්පොළට
October 6, 2017
Show all

ගිය වාරේ උන් දුන්නා මේ වාරේ මුන් දෙනවා

asadf

රටක මාධ්‍ය යනු ඒ රටේ මුර බල්ලාය. යම්කිසි අසාධාරණ ක්‍රියාවක් සිදුවන්නේ නම් විගස එය අනාවරණය කරමින් ජනතාව අවදි කරන්නේ මාධ්‍ය විසිනි. ඒ නිසාම සැබෑ මාධ්‍යවේදීන් යනු සැමගේ ගෞරවාදරයට පත්‍ර විය යුතු පුද්ගලයන්ය. ලංකාවේ මාධ්‍ය වෘත්තිය තුළ කොන්ද කෙළින් තබාගෙන තම වෘත්තීය ගෞරවය නොකෙලෙසමින් කටයුතු කළ මාධ්‍යවේදීන් ප්‍රමාණටත් වඩා සොයා ගත හැකිය. එහෙත්, ඇතැම් පිරිස් ඉතිහාසයක් පුරා මාධ්‍ය වෘත්තිය තුළ ගොඩනැගුණු වටිනාකම් එකිනෙක තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා සහ තම දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් භාවිත කරමින් තම මාධ්‍ය සුක්කානම කරකවන අයුරු, තමන්ට රිසි අයුරින් හසුරුවන අයුරු මෙරට හුදී ජනතාවට පසුගිය කාලයක් මුළුල්ලේම දැක ගන්නට අවස්ථාව ලැබිණි.
බලයේ සිටින ආණ්ඩු විසින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන යොදා ගැනීම ද ලංකාවේ ජනතාවට ඒ තරම් අරුමයක් නොවේ. කොටින්ම කියන්නේ නම් ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවේ හොරණෑවන් බවට පත් වීම එදා මෙන්ම අදත් සිදු වෙමින් තිබේ. මේ හොරණෑ වාදනය සඳහා කලක් මාධ්‍ය වෘත්තියේ නිරත වූවන් හොරණෑකරුවන් බවට පත් වන අතර, ඔවුන් පවතින ආණ්ඩුවට පක්ෂපාතීත්වය දැක්වීමට පමණක් නොව ආණ්ඩුව වෙනුවෙන් ඕනෑම සාවද්‍ය මතයක් ප්‍රකාශ කිරීමට තරම් සිය වෘත්තීය ගරුත්වය පමණක් නොව ආත්ම ගරුත්වය ද අහෝසි කරගත්තවුන් වීම ලැජ්ජාසහගතය. වර්තමාන හවුල් ආණ්ඩුවේ ද මෙවැනි පිරිසක් සිටින අතර දැන් ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවලට අරක්ගෙන ඇති බහුතරය ඔවුන්ය.
එහෙත්, මේ කියන පිරිස මේ ආණ්ඩුවේ හොරණෑකරුවන් නොව පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නළාකාරයන්ය. දැන් ඔවුන්ට කියන්නට මහා අවනඩුවක් කියමින් සිටින්නේ අතීතයේ තමන් කළ කී දෑ තමන්ට එළව එළවා පහර දෙන බව නොකියා කියමිනි. ඔවුන් අන් කවරෙකුවත් නොව ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවේදන හෝ වැඩසටහන් හා සම්බන්ධව කටයුතු කළ පිරිසකි. සුධර්මන් රදලියගොඩ, සංජීව එදිරිමාන්න, කෞෂිකා ගීතානි, අශෝක කරුණානායක ඇතුළු පිරිසක් මේ කණ්ඩායමට අයත්ය.
ඔවුන් කියන ආකාරයට දැන් ඔවුන්ට පාඩුවේ සිටින්නට හෝ නොහැකි වී තිබේ. එයට හේතුව දේශපාලන පළිගැනීම්ය. මොවුන්ගෙන් ඇතැමෙකු බොරු චෝදනා නගමින් සේවයෙන් ඉවත් කිරීමට කිහිප විටකම උත්සාහ කර ඇත. ඊට අමතරව තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැඛෙන අතර සේවය අවසන් කර නිවෙස් බලා පිටත්ව යද්දී වාහන හරස් කරමින් සිදු කරන ලද බාධා කිරීම් මෙන්ම තර්ජනය කිරීම් පිළිබඳවද ඔවුහු කරුණු ඉදිරිපත් කරති. ඇතැම් අවස්ථාවල නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් සියලු දෙනා ඝාතනය කරන බවට දරුවන්ට පවා තර්ජනය කර ඇත.
ස්වාධීන රූපවාහිනියේ ඉහළ නිලධාරීන් මොවුන්ට බොරු චෝදනා නගමින් කරුණු විමසීමකින් හෝ කිසිදු පරීක්ෂණයකින් තොරව තරයේ අවවාද කිරීමේ ලිපි ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනුවලට ඇතුළත් කර තිබේ. වසර පහළොවක් තිස්සේ ස්වාධීන රූපවාහිනියේ සේවය කළ අරුණ ක්‍රිෂාන්තගේ බිරිඳට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හා නිලධාරීන් විවිධ බාධා කිරීම් සිදු කර ඇති අතර, මේ වන විට ඇය වගකීම්වලින් ඉවත් කර ඇති බව පවසයි. දසුන් වසන්ත, ඉම්රාන් හමීඩ් පරීක්ෂණ නොමැතිව සේවයෙන් ඉවත් කර ඇති අතර තවත් පළිගැනීමකට ලක් වූ ස්වාධීන රූපවාහිනියේ පිළිගැනීමේ නිලධාරිණියක වූ රේණුකා දිවිතොටවෙල පීඩනය දරා ගත නොහැකිව ස්නායුවක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවද පැවසේ.
ඔවුන්ගේ මේ අවනඩුව වෙනුවෙන් දැන් ඔවුහු ඉතාමත් අහිංසක ලෙස නීතියේ පිළිසරණ සහ වගකිව යුත්තන්ගේ සාධාරණ, සානුකම්පික මැදිහත් වීම බලාපොරොත්තු වෙති. ඒ වෙනුවෙන් ඔවුන් මේ සිදුවීම් පිළිබඳ පොලිසියට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබේ. එතනින් ද නොනැවතී අධිකරණයට ද ගොස් තිබේ. එසේම මේ ගැටලු සම්බන්ධයෙන් ආයතනයේ සභාපතිවරයාටත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් තවත් බොහෝ පිරිසකටත් ලිඛිත දැනුම්දීම් කර තිබේ.
කෙසේ නමුත්, පවතින නීතියට පයින් ගසමින්, කිසිදු රාජ්‍ය සේවකයකු සේවයෙන් ඉවත් කිරීම හෝ පළිගැනීම් කිරීම කිසිවෙකුත් අනුමත කරන්නේ නැත. වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ එසේ පැවති සංස්කෘතිය අවසන් කර යහපාලනය තහවුරු කිරීමටය. එහෙත්, දැන් සිදු වන්නේ පරණ චක්‍රයම යළිත් කරකැවීමමද?
මෙසේ මෙම කණ්ඩායම සේවයෙන් පහ කිරීමට, තර්ජනය කිරීමට, බිය වැද්දීමට හේතුව ද ඔවුන් හඳුනාගෙන තිඛෙන අතර, ඒ පැවති ආණ්ඩුවට සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතීව කටයුතු කිරීමයි. බළලා මල්ලෙන් එළියට පැන තිබේ. සුධර්මන් රදලියගොඩ ඉදිරිපත් කළ තුලනාත්මක දේශපාලන විග්‍රහයේ තුලනයේ දිග පළල දැන් ඔවුන්ම පිළිගෙන ඇත. සංජීව එදිරිමාන්නලාගේ අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණයේ පක්ෂපාතීත්වය හොඳින්ම පැහැදිලිය. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උද්ඝෝෂණවලට පහර දී ශිෂ්‍යයන් සිරගත කරද්දී එය සාධාරණීයකරණය කිරීමට මුසාවාද ඇද බෑ සංජීවලාට අද පාඩුවේ ඉන්නට බැරි වී තිබේ.
මාධ්‍ය වෘත්තීය ගරු කටයුතු වෘත්තියකි. එහෙත් මාධ්‍යවේදීන් අතුරුදහන් කරමින් සමස්ත මාධ්‍යටම පහර දෙනු අපි මීට පෙර ඉතිහාසයේ දැක ඇත්තෙමු. ජාතික රුපවාහිනියටම කඩාවැදී ඇමතිවරයෙකු යකානැටූ සිද්ධිය එවැන්නකි. එක් වෙබ් මාධ්‍ය ආයතනයක් ගිනිබත් කිරීම තවත් උදාහරණයකි. සමහර මාධ්‍ය ආයතන තහනම් වීම ඉන්පසු එම ආයතනයේ හිමිකරුගේ සහෝදරයා දේශපාලනයට පැමිණීමෙන් පසු මාධ්‍ය තහනම ඉවත්වීම, පුවත්පත් ආයතනවලට පහර දීම මෙවැනි නානාවිධ සිදුවීම් සිදු වූයේ සංජීව එදිරිමාන්නලා, සුධර්මන් රදලියගොඩලා පෙනී සිටින මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළය. ඔවුන් ඒවා අපක්ෂපාතීව වාර්තා කළ ආකාරය මෙරට ජනතාවට අමතක වන්නට බැරිය.
තොරතුරු දැනගැනීමේ අයිතිය නීත්‍යනුකූලව පිළි ගනු ලැබූයේ දැනට මාස කිහිපයකට පෙර වුවද, තොරතුරු දැනගැනීම
අයිතියක් බවට පත් වන්නේ නීති සම්මත කළ නිසාම නොවේ. එහෙත්, බලයේ සිටින ආණ්ඩුවකට පක්ෂපාතීත්වය දක්වමින් මාධ්‍ය භාවිතයක් සිදු වන්නේ නම් එතැන අනිවාර්යයෙන්ම ජනතාවට තොරතුරු වසන් කිරීම පමණක් නොව වැරදි තොරතුරු ලබා දීම ද සිදු වන බව පැහැදිලිය. එවැන්නක් සිදු කළ සහ එවැනි ගමනකට අනුබලය ලබා දුන්නවුන් ජනතාවගෙන් සාධාරණයක් ඉල්ලා සිටීම හාස්‍යයට කරුණකි.
ඒ නිසා දැන් ඔවුන්ට එළව එළවා පහර දෙන්නේ ඔවුන් විසින් පෝෂණය කළ සංස්කෘතිය විසින්මය. එදා උන්ය. අද මුන්ය. දෙගොල්ලන්ම කරන්නේ මාධ්‍ය වෘත්තිය නොව මාධ්‍ය ගණිකා වෘත්තියයි.
මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට කුමන ආකාරයකින් හෝ තර්ජනය කිරීම, බියවැද්දීම, තම කටයුතු නිසි අයුරින් කරගෙන යාමට බාධා කිරීම අනුමත කළ නොහැකිය. එහෙත් ඒ සඳහා ආණ්ඩුවල වුවමනාවට මත ගොඩනගන මාධ්‍ය විසින් රට පාලනය කරන යුගය අවසන් කොට ජනතාවට ඇත්ත කියන විශිෂ්ට මාධ්‍ය භාවිතාවක් සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් රටේ ඇති කළ යුතුය. ඒ වෙනුවට නිරපේක්ෂ මාධ්‍ය නිර්ණායක තමන්ගේ ආරක්ෂාවට යොදා ගනිමින්, අතීතයේ තමන්ගේ වැරදි භාවිතාව සාධාරණීයකරණය කර ගැනීමට කිසිවෙකුටත් ඉඩ දිය යුතු නැත. එය අතීතයේ එසේ කළ අයට පමණක් නොව වර්තමානයේ එසේ කරමින් සිටින අයට ද වලංගුය.


චතුර දිසානායක