මූල්‍ය අපරාධකාරයන්ගේ තෝතැන්නක් වූ එයාර් ලංකා

fhkf
SAITM-SLIIT ඈඳීමේ කුමන්ත්‍රණයේ ඥාති සම්බන්ධය මෙන්න
October 5, 2017
fghj
සාධාරණය සහ යුක්තිය ඉල්ලන පොළොන්නරුවේ කඳුළු කතාව
October 5, 2017
Show all

මූල්‍ය අපරාධකාරයන්ගේ තෝතැන්නක් වූ එයාර් ලංකා

ftrht

‘එයාර් ලංකා අපේ ජාතික ගුවන් සේවය’ එදා කරුණාරත්න අබේසේකරයන්ගේ ප්‍රතාපවත් හඩින් කීවේය. ‘අපේ’ යනුවෙන් හැඳින්වූ සහ හඳුනා ගත් කොපමණ දේවල් දැන් අපේ නොවන්නේ දැයි කල්පනා කිරීම වැදගත්ය. ‘අපේ ජාතික ගුවන් සේවය’ එක් වරෙක එමිරේට්ස්ලාගේ ගුවන් සේවය බවට පත් වූයේය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අනුහසින්ය. පසුව එය යළි අපේ රටට අත්පත් කර ගැනීමට හැකි විය.
ඉන් පසු අපේ වූයේද? නැත. එය රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත් කර ගනු ලැබීය. මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහගේ සොහොයුරෙකු වූ නිශාන්ත වික්‍රමසිංහ එහි සභාපති ධුරයට පත් කරනු ලැබීය. එතැන් සිට මෙය මැදමූලන සනුහරේම ගොඩ යන ධන උල්පතක් කර ගනිමින් ඉහගෙන කෑමට පටන් ගත්තේය.
එය කෙතරම් දැයි පැහැදිලි වන්නේ විගණන වාර්තාවලින්ය. මහින්ද බලයට පැමිණියේ 2005 නොවැම්බර් මාසයේය. එයින් කියවෙන්නේ 2006 වර්ෂය මුල සිටම බලය ගෙන ගියේ ඔහු බවය. රාජ්‍ය ආයතනවලට ගැත්තන් සහ පවුල් හැත්තවරිගය පත් කරගෙන බලය පිහිටුවා ගනු ලැබීය. එයාර් ලංකා සමාගම ද එසේය. 2007/08 ගිණුම් වර්ෂයට අනුව එයාර් ලංකා සමාගමේ ලාභය රුපියල් මිලියන 4,428ක් තිබිණි. එය ලාභ ලැබීමේ අවසානය වූයේය. 2008/09 ගිණුම් වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව පාඩු ලබමින් තිබේ. රාජපක්ෂ බලයට පැමිණීමට පෙර මිලියන 4,428ක් වූ ශුද්ධ ලාභය 2008/09 වර්ෂයේ දී එයින් දෙගුණයකටත් වඩා විශාල රුපියල් මිලියන 9,306ක ශුද්ධ පාඩුවක් බවට පත් වූයේය.
එතැන් සිට ‘රාජපක්ෂ පවුලේ ගුවන් සේවය’ මහජනතාවගේ බදු මුදලින් හොරා කන්න ඉඩ දී තිඛෙන ප්‍රමාණය කොතරම් ද යන්න පැහැදිලි වන්නේ රාජපක්ෂ බලයෙන් චුත වන විට රුපියල් මිලියන 90,661ක් වූ අතිවිශාල පාඩුවක් වසර හතක් තුළ ගොඩගසා තිබීමෙන්ය. රාජපක්ෂලාගේ හුරතල් බලු පැටව් ගෙන ඒමට පවා ගුවන් යානා යොදා ගැනීමට තරම් වූයේය. විගණන වාර්තාවේ සෘජුව සඳහන් නොකළ ද, සිද්ධිය මෙසේය:
‘එම සිදුවීම 2014 ජනවාරි 22 දින සිදුවී තිබිණි. සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ යානයේ ඉන්ධන කාන්දු වීමක් ඇති බවට සැකසහිත වීම මත එය පරීක්ෂා කිරීම සඳහා කාලය ගත වීමෙන් සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිතව සිටි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ අපහසුතාව මගහැරීම සඳහා සභාපතිවරයාගේ උපදෙස් පරිදි වෙනත් යානයක් සිංගප්පූරුවේ හදිසියේ ගොඩබෑමට සිදු වූ බව එහි නිරීක්ෂණය විය.’ යනුවෙන් සඳහන්ය. එයාර් ලංකා අපේ නොව රාජපක්ෂ පවුලේ වූයේ එසේය.
දැන් බලයේ සිටින්නේ රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවය. පවුලේ උන් මෙයින් ගැරූ තරම පිට දමා හවුල් පාලනය ද කදිමට ගරමින් සිටින්නේය. රාජපක්ෂ පවුලෙන් පසුව හවුල් ආණ්ඩුව යටතේ 2015/2016 ගිණුම් වර්ෂයේ දී සමාගමේ පාඩුව රුපියල් මිලියන 12,622 වීමට මුල පාදා හවුල් ආණ්ඩුව වැඩ පටන්ගෙන තිබිණි. රාජපක්ෂ පවුල් පාලනය තුළ රු.මි. 90,661ක් මුළු පාඩුව මේ වන විට රු.මි. 1,69,755ක් දක්වා වර්ධනය වී ඇත.
මේ තුළ හවුල් පාලනයේ තරම කොතරම් දැයි විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. 2017 වර්ෂය වෙනුවෙන් ක්‍රියාකාරී සැලසුමක් සකස් කර ඇත. එයට අනුව සමාගමේ සිටින සේවකයන් 6,959 දෙනෙකු අතුරින් පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට යෝජිතය. එසේ විශ්‍රාම යන අය වෙනුවෙන් වන්දි ගෙවීමට ඩොලර් මිලියන 15.4ක්, එනම් රුපියල් මිලියන 2,387ක් වෙන් කර තිබිණි. මෙය යෝජනා කරන්නේ 2016 දී අලුතින් තනතුරු ඇති කර 38 දෙනෙකු සේවයට බඳවාගෙන සහ තවත් 71 දෙනෙකුට අලුතින් පත්වීම්දී තිඛෙන පසුබිමකදීය.
අලුතින් තනතුරු ඇති කර පත්වීම්දීම එසේ මෙසේ කටයුත්තක් නොවේ. දේශපාලන ඉත්තන්ගෙන් සහ ගැත්තන්ගෙන් පිරවීමට කරන ඒවාය. මේ කටයුතු කරන්නේ හවුල් ආණ්ඩුව විසින් පත් කර සිටින නිලධාරීන් මගින්ය. සභාපති අජිත් නිශ්ශංක ඩයස්, විධායක අධ්‍යක්ෂ රඛිත ජයවර්ධන, දෙවැනි විධායක අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් සුලින් පීරිස් සහ අධ්‍යක්ෂවරුන් වශයෙන් ජෝෂප් බ්‍රිටෝ, චානක ද සිල්වා, මහින්ද හරදාස, නිරංජන් ද සිල්වා, දේවා ආදිත්‍ය සහ හරීන්ද්‍ර බාලපටබැඳි යන අයයි.
මොවුන් රාජපක්ෂ පවුල් පාලනයට වඩා සමාගම ඉහගෙන කෑමට පටන්ගෙන තිඛෙන්නේ එක් අයෙකුට මසකට රුපියල් ලක්ෂ 30කට වැඩි මාසික වේතන නිලධාරීන් සිව් දෙනෙකුට ගෙවීමෙන්ය. තවත් නිලධාරීන් තිදෙනෙකුට මසකට රුපියල් ලක්ෂ දහය ඉක්මවූ වේතන ගෙවීමෙන්ය. මේ අතරින් වාණිජ නිලධාරියා වශයෙන් පත් කර සිටින සුරේන් රත්වත්තේ තැනැත්තා විශේෂිතය. ඔහුගේ වැටුප රුපියල් ලක්ෂ 30ත් ඉක්මවා ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිසි පත්වීමක් පවා ලබා දී නොමැති බව විගණන වාර්තාවලින් හෙළි කරයි.
මොහු පත් කර ඇත්තේ 2015 දෙසැම්බර් 11 වෙනි දිනය. රනිල් වික්‍රමසිිංහ අගමැතිගේ ආර්ථීක කළමනාකරණ කමිටුවේ විශේෂ නියෝග මත පත් කර ඇත. එය කොතරම් බලගතු පත් කිරීමක් දැයි කිවහොත්, 2017 ජූලි 25 වෙනි දින වන විටද මෙම පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පවා ලබා දී නොතිබිණි. ලක්ෂ 30ක මාසික වේතනයට අමතරව මසකට රුපියල් 2,50,000/-ක් බැගින් නිවාස දීමනාවක් ද ගෙවමින් සිටී. මේ අනුව ඔහුට නිවාස කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 80ක් මේ වන විට ගෙවා තිබේ. මෙයට අමතරව ඉහළ කළමනාකරණයේ නිලධාරීන් ගණනාවක් මසකට රුපියල් ලක්ෂ 10 ඉක්මවූ වැටුප් ගනිමින් සිටිති.
මෙම නිලධාරියා රාජපක්ෂ පවුල් පාලනයේදී සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහටත් වඩා බලවත් බව මෙයින් පැහැදිලි වේ. මීට අමතරව සමාගමේ තවත් මහා මූල්‍ය කොල්ලයක් රනිල්ගේ ආර්ථීක කළමනාකරණ කමිටුව හරහා මේ වන විට සිදු කරමින් සිටී. එය මහ බැංකු බැඳුම්කර කොල්ලයට ද වඩා සුවිශාල විය හැකිය. ඒ පිළිබඳව රටේ අවධානය තවමත් යොමු වී නැත. රාජපක්ෂ පාලන සමයේ දී එයාර් බස් 15ක් මිල දී ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබීම මත සිදුවන්නකි එය. එම අවබෝධතා ගිවිසුම අවලංගු කිරීමේ නාමයෙන් රුපියල් කෝටි දහස් ගණනක් මේ වන විට කිසියම් බලවතුන් පිරිසක් කොල්ලකා තිබේ. ඒ පිළිබඳව වෙනමම සොයාබැලිය යුතුය. ‘අපේ ජාතික ගුවන් සේවය’ දැන් දේශපාලන මූල්‍ය අපරාධකාරයන්ගේ තෝතැන්නක් කරගෙන ඇත්තේ මෙසේය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර