ශීත මාලිගයට වෙඩි!

milton
71 අරගලයේ නොමියෙන මතකය මිල්ටන් ප්‍රනාන්දු විරුවා…
October 5, 2017
dfhza
95 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය
October 5, 2017
Show all

ශීත මාලිගයට වෙඩි!

fthbn

ලෙනින් ආයුධ සන්නද්ධ නැගිටීම් සැලසුම් කරන විට ඔහු අදහස් කළේ බලය අල්ලා ගැනීම පෙත්‍රෝග්‍රාද් නුවර හා මොස්කව් නුවර එක විට සිදු විය යුතු බවයි. මෙම නගර දෙකේ බලය එක විට අත්පත් කර ගැනීමෙන් අප අත්‍යවශ්‍යයෙන්ම හා ප්‍රශ්න විරහිතව ජයග්‍රහණය කරන්නේ යයි ඔහු ලිවීය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රැස් වූ මොස්කව් ප්‍රාදේශීය කොමිටි හා නගර කොමිටි ඒකාබද්ධ රැස්වීමේදී විප්ලවවාදී හමුදා කොමිටියේ සම්මුතිය පිළිබඳව හට ගත් මතභේද හේතුවෙන් අරමුණට ළඟා වීමට අපොහොසත් විය. තවද කි:මී: 713ක් එකිනෙකින් ඈත්ව පිහිටි මොස්කව් හා පෙත්‍රොග්‍රාද් නගර දෙක අතර දුරකථන සේවා ටික දිනක් තිස්සේ බිඳවැටී තිබී නැවත යථා තත්ත්වයට පත් කරන ලද්දේ ඔක්තෝබර් 25දා උදෑසනය. 25දා දහවල් වන විට පෙත්‍රොග්‍රාද් නුවර සිටි මොස්කව් සෝවියට් සභාවේ සභාපති වී.පී. නොගින් සන්නද්ධ නැගිටීමේ ජයග්‍රහණය මොස්කව් නුවර පක්ෂ සංවිධායකයන්ට දුරකථනයෙන් දැනුම් දුන් අතර ඒ වන විට සන්නද්ධ නැගිටීම කෙසේ වෙතත්, විප්ලවවාදී හමුදා කොමිටියවත් පිහිටුවා නොතිබිණි. රැස්වීම් පිට රැස්වීම් තබමින් එදින සවස් වන විට එවැන්නක් පිහිටුවා ගත් නමුත් ඔක්තෝබර් 25 දින මොස්කව් නුවර කිසිදු නැගිටීමක් සිදු නොවීය.
25දා දහවල් විජයග්‍රාහී ප්‍රකාශනය නිකුත් කරන විට සාන්ත අයිසැක් චතුරශ්‍රයත්, ශීත මාලිගය අවට ප්‍රදේශයත්, එතුළ වූ තාවකාලික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයත් හැර පෙත්‍රොග්‍රාද් නුවර අන් සියල්ල බොල්ෂෙවිකයන්ට නතු වී තිබිණි. එදින ශීත මාලිගයේ සාමාන්‍යයෙන් සිටින හමුදා කණ්ඩායමට අමතරව කොසැක් බැටෑලියන් දෙකක් ද, මිලිටරි පාසලෙන් පැමිණි කැඩෙට් භටයන් පිරිසක් ද කාන්තා ස්වේච්ඡා සෙබළියන් දෙසීයක් ද එක්වී 3,000ක් පමණ වූ හමුදා පිරිසක් වූහ. ශීත මාලිගය වෙත ඇතුළු වීමට අවස්ථාව ලද ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන ජෝන් රීඩ් එහි ඇතුළත වාතාවරණය මෙසේ විස්තර කරයි. ‘දැවයෙන් සකස් කළ ගෙබිමෙහි අපිරිසිදු මෙට්ට පේළි හා බ්ලැන්කේට්ටු විය. ඉන් ඇතැමෙක ඉඳ හිට සොල්දාදුවන් වැතිර සිටියේය. ගෙබිම පුරා සිගරැට් කොට ද, පාන් කැබලි ද, වටිනා එහෙත් හිස් ප්‍රංශ මත්පැන් බෝතල් ද විසිර තිබිණ. දහදිය වාෂ්පයෙන් තෙත බරිත වූ ශාලාව තුළ සිගරට් දුමාරය අතරින් සොල්දාදුවෝ ඔබ මොබ යමින් සිටියහ. එය විශාල බැරැක්කයක් බඳු විය. ජනෙල් පඩි මත මැෂින් තුවක්කු අටවා තිබිණි. මෙට්ට අතර රයිපල් ගොඩ ගසා තිබිණි.
‘ශීත මාලිගය තුළ සිටි සොල්දාදුවන් තුළ සටනකට මුහුණ දීමේ දිරිය ඛෙහෙවින් දුබල විය. කැරලි හමුදා ආක්‍රමණය ටිකෙන් ටික කල් යන විට ඔවුන් තුළ වූ භීතිය ක්‍රමයෙන් වැඩෙන්නට විය. සතුරු හමුදාව ඉතා විශාල බව බොල්ෂෙවික් ප්‍රචාරක යාන්ත්‍රණය මගින් ඔවුන් වෙත නිරන්තරයෙන් දැනුම්වත් කිරීම මගින් ඔවුන් තව තවත් මානසිකව ඇද වැටිණ.’
ශීත මාලිගයේ සිටි හමුදා නිලධාරියෙකු වූ ඇලෙක්සැන්ඩර් සයින්ග්බේ මාලිගය තුළ වූ වාතාවරණය මෙසේ විස්තර කරයි.
‘සොල්දාදුවන් දුම් බොමින් ද මත්පැන් පානය කරමින් ද තම කාලකණ්ණි ඉරණම ගැන සාප කරමින් ද හැසිරුණු අතර, ඇමතිවරු ඔවුන්ට විනය හා හික්මීමේ වැදගත්කම පහදා දෙමින් සිටියහ. කොසැක්වරු ස්ත්‍රීන් සමග එකට එක් වී සටන් කරන්නට සිදු වී තිබීම පිළිබඳ කනස්සල්ල පළ කරමින් සිටියහ. මාලිගය තුළ නිසි ආයුධ ගබඩාවක් නොවීය. සොල්දාදුවන්ගේ රාත්‍රී ආහාරය පි‚ස ප්‍රමාණවත් ආහාර ද නොවීය.’
පස්වරුව තෙක් කල් දමා තිබූ ශීත මාලිගය අල්ලා ගැනීමේ ප්‍රයත්නය නැවත ද කල් දමන ලදී. මේ වන විට දෙවන සෝවියට් සභා සම්මේලනය ආරම්භ කිරීමට තව ඉතිරිව තිබුණේ පැය කිහිපයකි. එය මෙලෙස කල් යාම පිළිබඳ ලෙනින්ගේ ප්‍රතිචාරය විප්ලවවාදී මිලිටරි කමිටුවේ නායකයකු වූ එන්. අයි. පොඩ්වොයිස්ති සිහිපත් කරන්නේ මෙසේය.
‘පෙරවරු 11 සිට පස්වරු 11 දක්වා ලෙනින් අප වෙත තුණ්ඩු වරුසාවක් වස්සවමින් නිතර කියා සිටියේ අප සැලසුම් අවුල් කරන බවය. සෝවියට් කොන්ග්‍රසය අත ළඟට පැමිණ ඇති නමුත්, තවමත් කැබිනෙට්ටුව අත්අඩංගුවට ගෙන නැති බවය. ශීත මාලිගය අල්ලාගෙන නැති බවය. සෝවියට් කොන්ග්‍රසයට දැනුම් දීම පිණිස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිය යුතු බවය. මොහොතක්වත් පමා නොවිය යුතු බවය.’
අන්තිමේදී සවස 6.50ට ආණ්ඩුව වහා යටත් විය යුතු බවට වූ නිවේදනය නිකුත් කරන ලදී. එය සැල වූ විට අමාත්‍ය මණ්ඩලය තීරණය කෙළේ ඊට ධෛර්යවත්ව මුහුණ දිය යුතු බවය. අවුරෝරා කාලතුවක්කු වලින් මාලිගය තමන් සමගම විනාශ කරතියි ඇතැම්හු බිය පළ කළද වැඩි දෙනෙකුගේ අදහස වූයේ බොල්ෂෙවික්වරුන් එවැනි විනාශකාරී ක්‍රියාවකට යොමු වී පොදු අප්‍රසාදයට පත් වීමට තරම් නිර්භීත නොවිය හැකි බවය. එබැවින්, යටත් විය යුතු බවට වූ අන්තිම නිවේදනය නොසලකා හරින ලදී.
මේ අතර ඔවුහු තමන් ගලවා ගන්නැයි ආයාචනා පිට ආයාචනා නිකුත් කරන්නට වූහ. (එදින උදෑසන දුරකථන හුවමාරු මධ්‍යස්ථානය අල්ලා ගැනීමෙන් පසු මාලිගයේ දුරකථන සේවා බොල්ෂෙවිකයන් විසින් විසන්ධි කර තිබුණ ද යුද ආමාත්‍යාංශයේ රහස් කාමරයක වූ රහස් දුරකථන සේවයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතිණි.) ඒ ආයාචනා ශ්‍රවණය කළ ස.වා. විප්ලවවාදියෙකු වන පී. සොරොකින් (ඔහු කෙරෙන්ස්කිගේ ලේකම්වරයෙක් ද විය.) මෙසේ සටහන් කරයි.. ‘දුරකථනයෙන් මා හට දැනගන්නට ලැබුණේ බොල්ෂෙවිකයන් කොන්ස්ට්‍රාඩ්හි සිට ගෙන්වන ලද අවුරෝරා නමැති යුද නැවෙන් ශීත මාලිගයට ප්‍රහාර එල්ල කරමින් අන්තර්වාර රජයේ ආමාත්‍ය මණ්ඩලයට යටත් වීමට බලකරන බවය. සවස 7ට පමණ නාගරික ඩූමාවට ගිය මා හට දැනගන්නට ලැබුණේ ශීත මාලිගය තුළ කාන්තා රෙජිමේන්තුවක් හා කැඩෙට් භටයන් පිරිසක් අති විශාල බොල්ෂෙවික් භටයන්ට විරෝධය පළ කරමින් සිටින බවය. එහි සිටි අමාත්‍ය කොනොව්ලොව් දුරකථනයෙන් ආයාචනා කරමින් ආධාර අයැද සිටියේය. වියරු වැටී සිටින නාවිකයන් ශීත මාලිගය අත් පත් කර ගැනීමෙන් පසු ඔවුන් ඉරා දමනු ඇත. ඩූමාවේ අප සියලු දෙනාම එහි ගොස් ඔවුන් බේරා ගැනීමේ උත්සාහයක් දැරිය යුතු යැයි තීරණය කෙළෙමු. අප ඩූමාවෙන් පිටත්ව යාමට සැරසෙනවාත් සමගම දුරකථනයෙන් දුක්මුසු කෑගැසීමක් අසන්නට ලැබිණි. ..මාලිගාවේ ගේට්ටු බලහත්කාරයෙන් ඇරලා, ඝාතනය පටන් අරගෙන.. ඉක්මන් කරන්න. කලහකාරී පිරිස් දැනටමත් පළවෙනි තට්ටුවට ළඟා වෙලා. ඔක්කොම ඉවරයි. ඔවුන් දැන් කඩා වදිනවා. ඒත් සමගම දුරකථනය නැවතිණි. ශීත මාලිගයේ සිට කතා කළ කොනොව්ලොව්ගේ අවසන් වචන කිහිපය වූයේ හඩා වැළපීමකි.’
ඒ පූර්ව රාත්‍රියෙහි සිව් දෙනා බැගින් වූ පේළි සෑදී මනා හික්මීමෙන් යුතුව සොරොකින් ඇතුළු ඩූමා මන්ත්‍රී පිරිස ඉදිරියට ගමන් කළහ. පළමු පේළියේ පෙතොග්‍රාද් නාගරික ඩූමා සභාපති මහලු ස්කෙවෙයිඩර් විය. පැවති පොද වැස්සෙන් ආරක්ෂා වනු පිණිස කුඩයක් ඉහලාගෙන (උදේ සිරභාරයට ගෙන පසුව නිදහස් කළ) සැපයුම් අමාත්‍ය ප්‍රොකොපොවිච් ඔහු අසලින් ගමන් කෙළේය. ඔහුගේ අනෙක් අතෙහි මග හෙළි කරනු පිණිස එල්ලා ගත් ලන්තෑරුමකි. පාන් ද ලිංගුස් ද අඩංගු බැගින් එක් එක් පෙළපාළිකරුවාගේ අතෙහි විය. ඒ මාලිගය තුළ කුස ගින්නෙන් සිටින්නන් සඳහා ඛෙදා දීමටය. මඳ දුරක් යන විට කසාන් චතුරස්‍රය අසල දී බොල්ෂෙවික් නාවිකයන් විසින් පෙළපාළිය නතර කරනු ලැබීය. ශීත මාලිගය දෙසට යන්නට අවසර නැතැයි ඔවුහු පැවසූහ. අවසර ඇතත් නැතත් අපි යනවා යි එවිට මහලු ඩූමා සභාපතිවරයා තර්ජනාත්මකව පැවසීය. හොඳයි, අපි ඒ පැත්තට ගියොත් මොනවද කරන්නේ, වෙඩි තියනවා දැයි ඒ අතර ප්‍රොකොපොවිච් විමසීය. අපි ආයුධ අතේ නැති අයට වෙඩි තියන්නේ නෑ, ඒත් ශීත මාලිගයට යන්න දෙන්න බැහැ යන්න එහි හුන් ප්‍රධාන නාවිකයාගේ පිළිතුර විය. අපි ඉස්සරහට යනවා තමුසෙල මොනව කරන්න ද යනුවෙන් පවසමින් එවිට මහලු ස්කෙවෙයිඩර් ඉදිරියට යන්නට තැත් කරත්ම ආපහු හැරිල ගෙදර ගියෙ නැත්නම් මෙන්න මෙහෙම ගහලා එළවා දමනවායි එවිට නාවිකයා තට්ටමට ගසන බවට අතින් සන්කොට පෙන්වීය. අන්තිමේදී කණ්ඩායම පසුබා ගිය අතර ප්‍රොකොපොවිච් පාර අයිනේ වූ කොටයක් මතට ගොඩ වී අකුළා ගත් කුඩය ඒ මේ අත වනමින් තමන් සමග ආ පිරිස ඇමතීය. ‘සහෝදරවරුනි, පුරවැසියනි සාමකාමී අපිට විරුද්ධව බලහත්කාරය යොදවා ඇත. මේ නූගතුන් ඉදිරියේ අපේ අහිංසක ලේ වැගිරිය යුතු නැත. මහ මග වෙඩි කෑම අපගේ ගෞරවයට හානියකි. අපි ආපහු ඩූමාවට ගිහින් රටයි විප්ලවයයි රැක ගන්නේ කොහොම ද කියා සාකච්ඡා කරමු.’
ඔක්තෝබර් 25 දින තුළ බොල්ෂෙවිකයන් වෙත ආණ්ඩුවේ සිවිල් නායකයන්ට එල්ල කළ හැකි වූ අභියෝගය එබඳු විය. සොරොකින් තම සටහන මෙසේ අවසන් කරයි.
‘..කරන්නට දෙයක් නැත. අපි නිහඩව නාගරික ඩූමාව වෙත ආපසු හැරී ආවෙමු. එහිදී මාලිගාව වෙත සම්බන්ධ වීමට නැවතත් උත්සාහ කළ නමුත්, ඒ වන විට දුරකථන සම්බන්ධතාවය ඇනහිට තිබිණි. වෙඩි හඩ ද නතර වී තිබුණු අතර, ඝාතනය සිදුවෙමින් ඇතැයි අපි සිතුවෙමු.’
අවසන් නිවේදන නිකුත් කිරීමෙන් පැය 3ක් ඇවෑමෙන් රාත්‍රී 9.40ට මාලිගයට පහර දීමේ නියෝගය නිකුත් විය. අවුරෝරා යුද නැවෙන් නිකුත් කරන ලද අසාමාන්‍ය හඬින් යුත් කාලතුවක්කු වෙඩි හඬින් බියපත්ව අමාත්‍ය මණ්ඩලය බිම දිගා වූහ. තැතිගත් කාන්තා බළකාය
මාලිගයේ පිටුපස ශාලාවකට යවන ලදහ. බොහෝ කැඩෙට් භටයෝ තම මුර කපොළු හැර යන්නට වූහ. එහෙත්, අවුරෝරා වෙඩිල්ල අනතුරු හැඟවීමට යොදා ගන්නා පුහු වෙඩිල්ලක් පමණක් විය. සේවා ස්ථාන හැර යන භටයන්ට එසේ හැර යන්නට ටික වේලාවක් ඉඩ දෙන ලද්දේය. මේ අවස්ථාව ජෝන් රීඩ් මෙසේ සටහන් කරයි. ‘තුන් හතර දෙනා බැගින් යුන්කර්වරු එළියට ආහ. ඔවුන් අල්ලා පරීක්ෂා කරන අතර නුඹලා මිනිසුන්ගේ මාරයන්, කොර්නිලොව්වාදින් යනාදි වශයෙන් පරිභව කරන්නට වූහ. එහෙත් ශාරිරික හිංසාවක් නොකළහ. මාලිගයෙන් සොරා ගත් බඩුවලින් ඔවුන්ගේ සාක්කු පිරී තිබිණි. ඒවා සියල්ල ලේඛනගත කර කාමරයක ගොඩ ගැසීය. නුඹ නැවතත් ජනතාවට විරුද්ධව ආයුධ ගන්නේ දැයි ඔවුන් එකිනෙකාගෙන් මහ හඬින් විමසනු ලැබීය. නැහැයි ඔවුහු එකා බැගින් වෙන වෙනම පිළිතුරු දුන්හ. ඉනික්බිති ඔවුන්ට නිදහසේ මාලිගයෙන් පිට වී යාමට ඉඩ දෙන ලදී. ඉන් පසු මාලිගා චතුරස්‍රයෙහි වූ කාලතුවක්කුවලින් පහර දෙන ලෙස බ්ලැගොන්රවොව් (පීටර් පෝල් බලකොටුවට පත් කර සිටි කොමිසාර්වරයා) විසින් අණ කරන ලදී. ශීත මාලිගය පෙදෙසින් නැගෙමින් තිබුණු මේ වෙඩි හඩ පසුබිම් කර ගනිමින් රාත්‍රී 10.40ට සමස්ත රුසියානු සෝවියට් සභා සම්මේලනය ආරම්භ විය.


චන්ද්‍රසේන බදුගම