සාධාරණය සහ යුක්තිය ඉල්ලන පොළොන්නරුවේ කඳුළු කතාව

ftrht
මූල්‍ය අපරාධකාරයන්ගේ තෝතැන්නක් වූ එයාර් ලංකා
October 5, 2017
asadf
ගිය වාරේ උන් දුන්නා මේ වාරේ මුන් දෙනවා
October 5, 2017
Show all

සාධාරණය සහ යුක්තිය ඉල්ලන පොළොන්නරුවේ කඳුළු කතාව

fghj

කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය කිසිදු ආකාරයකින් හෝ පැහැර ගන්නට කිසිවෙකුටත් අයිතියක් නැත. විවිධ ක්‍රමවේදයන් මගින් මාතෘභූමියට මිනිසුන් අහිමි කරන සමාජ ක්‍රමයක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ අයිතිය පිළිබඳව වැඩි වැඩියෙන් කතා කිරීමට සිදුව ඇත. දේශපාලන බලය උපයෝගී කොටගෙන ඉතිහාසය පුරාම මෙරට ජනතාවට ජීවිත පමණක් නොව සිය ගම්බිම් ද අහිමි වූ අවස්ථා කොතෙකුක් ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා කළ රිය අනතුරකින් මේ මාතෘභූමියට අහිමි කළ උදාර මිනිසුන් දෙදෙනෙකුගේ කතාව ද එසේ ඉතිහාසයට එක් වීමට ඉඩ තිබූ පසුබිමක් පසුගිය සැප්තැම්බර් මස 9 වැනිදා පොළොන්නරුවෙන් වාර්තා විය.
පල්ලෙවත්ත ගමරාලලාගේ නැණසිරි ප්‍රඥාරතන සිරිසේන නොහොත් ලාල් සිරිසේන සිදු කළ අනතුරකින් එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකු වන හිගුරක්ගොඩ උතුරු යටියල්පතාන, කවුඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එල්.එච්.ෙජ්.එම්. බුද්ධදාස (59) හා එල්.එච්.ජේ.එම්. ජයරත්න බණ්ඩා (44) යන දෙදෙනා ජීවිතක්ෂයට පත් වූහ. ඉන් එක් සහෝදරයෙකු වන බුද්ධදාස මහතා අවිවාහකයෙකු වන අතර, ඔහු දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳ ඇත. අනෙක් සහෝදරයා වන ජයරත්න බණ්ඩා මහතා දෙදරු පියෙකි. මේ සිදුවීම සිදු වී ඇත්තේ රාත්‍රී කාලයේදීය. බුද්ධදාස මහතා පොළොන්නරුව මහ රෝහලට ගොස් ඇත්තේ සායනික ප්‍රතිකාර සඳහාය. සිද්ධිය වූ රාත්‍රියේ ඔහු රෝහලේ රුධිර පිරිසිදු කිරීමේ සායනයට සහභාගී වී ඇත. එම සායනය නිම වී ඇත්තේ රාත්‍රී 12.30ට පමණය. සිය සහෝදරයා රැගෙන යාම සඳහා ජයරත්න මහතා පැමිණ ඇති අතර, දෙදෙනාම යතුරු පැදියෙන් නැවත නිවස බලා පැමිණෙමින් සිටිය දී පොළොන්නරුව හිගුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය සහල් මෝල ආසන්නයේදී NC KI – 1006 දරන ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රියකින් පිටුපසින් පැමිණි ලාල් සිරිසේන විසින් මෙම අනතුර සිදු කර පළාගොස් ඇත. මේ අනතුර සිදු වන අවස්ථාව වන විට ලාල් සිරිසේන අධික බීමතින් සිට ඇති බවට තොරතුරු තිබුණ ද, එසේ බීමතින් නොසිටි බවට සනාථ කිරීමට විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බවද වාර්තා වෙයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කි්‍රයාකාරී සාමාජිකයන් දෙදෙනෙකි. මෙම අනතුර සැල වූ වහාම පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර, ඒ වන විටත් ප්‍රදේශවාසීන් විසින් අදාළ පුද්ගලයන් දෙදෙනා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. රෝහලට ඇතුළත් කරන විටත් බුද්ධදාස මහතා මිය ගොස් සිටි අතර, අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි ජයරත්න බණ්ඩා මහතා රෝහලේ දී අදාළ තොරතුරු සියල්ල පැවසීමෙන් අනතුරුව මරණයට පත් වී ඇත. මෙය හදිසි අනතුරකින් සිදුවූ මරණ ලෙස මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් විය හැකිය. ඒ කෙසේ වෙතත්, මෙය සැබවින්ම ගත් කල්හි බේබදු පුද්ගලයෙකු විසින් අපරීක්ෂාකාරී රිය ධාවනයකින් සිදු කරන ලද ඝාතනය.
අදාළ අනතුර සිදු කර ලාල් සිරිසේන පළාගොස් සිටි අතර අනතුර සිදු කළේ කවරෙකු ද යන්න රැස්ව සිටි පිරිසට ගැටලුවක් විය. විවිධ අර්ථකථන ඒ සදහා එකතුවන්නට විය. බුද්ධදාස මහතා ජවිපෙ පැරණිතම ක්‍රියාකාරිකයෙකි. ජයරත්න මහතා මෙවර ජවිපෙ වෙනුවෙන් යටියල්පතාන කොට්ඨාසය සඳහා තරග කිරීමට නියමිතව සිටි අයෙකි. මේ අනතුර නාඳුනන රියදුරෙකු සිදු කළ අනතුරක් ලෙස අර්ථකථනය වන්නට විය. එහෙත්, එය එසේ වන්නට ජවිපෙ සාමාජිකයන් ඉඩ නොතබා රහසිගතව සියලු තොරතුරු රැස් කළේය. රැස් කර ගත් තොරතුරු අනුව ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන මේ අනතුර සිදු කර ඇති බවත්, අනතුර සිදු කළ ජීප් රථය ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය සහල් මෝලේ සඟවා ඇති බවත් තහවුරු කොටගෙන තිබිණි. ජවිපෙ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.බී. සරත් මහතා මේ පිළිබඳව සොයා බලන්නැයි පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ ද, පොලිසිය අදාළ අනතුර පිළිබඳව පසුගාමී බවක් දක්වන බව පෙනෙන්නට විය. පොලිසිය ජනාධිපති සොහොයුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලි වූ අතර, ටී.බී. සරත් මහතා ජන බලයක් සහිතව පොලිසියට වහාම යුක්තිය ඉටු කරන්නැයි බල කළේය. පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් පොලිසියට එරෙහිව ජන බලයක් ගොඩනගන බව පුන පුනා කීවේය. පොලිසිය තොරතුරු සොයා යනවා වෙනුවට අවශ්‍ය තොරතුරු සියල්ල පොලිසියට ලබා දීමට අදාළ පාර්ශ්ව කටයුතු කළේය.
කෙසේ වුවද, පොලිසියට එල්ල වූ විරෝධතා හමුවේ පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්නට සිදු විය. පසු දින පෙරවරු 6.00ට පමණ පොලිස් ස්ථානාධිපතිවරයා ද සමග පැමිණි ලාල් සිරිසේන පොලිසියට වාහනය ද සමඟ භාර වූයේය. පොලිසියට භාර වූ ලාල් සිරිසේන අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර මහතා විසින් පසුගිය ඔහු සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. නැවත පසුගිය 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ ලාල් සිරිසේන මහතා නැවත දින 14ක් දක්වා බන්ධනාගාරගත කර ඇත. මෙය ජනතා මැදිහත් වීමකින් ලද යුක්තිය ඉටු වීමක් මිස පොලිසිය විසින් නිසි පරිදි පරීක්ෂණ සිදු කොට අපරාධයක් නීතිය හමුවට පැමිණවීමක් ලෙස හෝ යහපාලනය ක්‍රියාත්මක වීමක් ලෙස හෝ අර්ථ දැක්විය නොහැකිය. එය එසේ පවසන්නට වන්නේ මෙම සිදුවීම සඟවන්නට පොලිසිය ගත් උත්සාහය නිසාවෙනි. බොහෝ විට මෙය තවත් එක් හදිසි අනතුරක් බවට පත් වන්නට ඉඩ තිබිණි.
මාධ්‍ය මේ සිදුවීම වාර්තා කළේ අවම මට්ටමකිනි. ඇතැම් මාධ්‍ය විසින් මෙය නිකන්ම නිකම් රිය අනතුරක් සේ වාර්තා කරන ලදී. ඇතැම් විට එය එසේ වන්නට ඇත්තේ අනතුර සිදු කළේ ජනාධිපතිවරයාගේ සහෝදරයා නිසා විය හැකිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඩඩ්ලි සිරිසේන ඇතුළු පිරිසක් මළගෙදරට ද පැමිණ ඇත. එසේ පැමිණ පවුලේ ඥාතීන්ට සිය ශෝකය පළ කිරීම පිළිබඳව කෘතඥ විය යුතුය. එසේ ශෝකය පළ කිරීමෙන් පමණක් යුක්තිය ඉටු නොවේ. පසුගිය 14 වන දින විත්තිකරුවන්ට ඇප ලබාදෙමින් අගතියට පත් පාර්ශවයට ගෙවන වන්දියක් ලෙස රුපියල් දෙලක්ෂයක් ලබාදෙන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. තමන් යුක්තිගරුක මිනිසෙකු බව ඔප්පු කිරීමට ලද තීරණාත්මක මොහොත ද මෙයයි. තමාගේ සහෝදරයාට වුවද නීතියේ පොදුබව වඩාත් හොඳින් ඔප්පු කර පෙන්විය යුතුය. එසේම මේ මරණ දෙකට සාධාරණය හා යුක්තිය ඉටු කළ යුතුය. එසේ වන්නේ නම්, ජනාධිපතිවරයා මළගෙදරට පැමිණියාට වඩා එය අගය කළ යුතුය. ලාල් සිරිසේන ජනාධිපතිවරයාගේ සොහොයුරා වුවද, පොලිසියට ඔහු තවත් එක් පුරවැසියෙකු වන බැවින්, නීතිය සාධාරණව හා අපක්ෂපාතීව ඉටු කිරීමට කටයුතු කළ යුතුය. ඒ යුක්තිය ඉටු වන තුරු සමාජය ද, වින්දිතයන්ගේ ආදරණීයයන් ද දෑස් දල්වා බලා සිටිනු ඇත.


එස්. කේ. ගමගේ