71 අරගලයේ නොමියෙන මතකය මිල්ටන් ප්‍රනාන්දු විරුවා…

fghd
කැරැල්ල ඇරඹේ…
October 5, 2017
fthbn
ශීත මාලිගයට වෙඩි!
October 5, 2017
Show all

71 අරගලයේ නොමියෙන මතකය මිල්ටන් ප්‍රනාන්දු විරුවා…

milton

එදා එනම්, 1971 අප්‍රේල් 5 වැනිදා රාත්‍රී කඩවත පොලිසියට කළ පහර දීමේ දී කඩවත පොලිසියේ නිලධාරියකු තැබූ වෙඩි පහරකින් ඔහු මිය ගියේය. ඔහුගේ වයස අවුරුදු 28කි. 1943දී වත්තල, මාබෝලේදී උපත ලද මිල්ටන් සහෝදරයාට අක්කලා දෙදෙනෙක් සහ එක් බාල සොයුරියක් සිටියහ. අපේ විරුවා පවුලේ එකම පිරිමි දරුවාය. කුඩා කල සිටම බලාපොරොත්තු නොවූ පරිදි පවුලේ සියල්ලන් තනිකර පියා මිය ගියේය. දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණු මිල්ටන් සහෝදරයා ඇතුළු පවුලේ සැම පියාගේ අභාවයෙන් දරිද්‍රතාවයේ පතුලටම කිදා බැස්සේය. කෙසේ හෝ කුඩා තේ කඩයක් පවත්වාගෙන යමින්, මෑණියන් දරුවන් හතර දෙනාගේ ළමා විය පසු කර ගන්නා ලදී. බෞද්ධ පවුලක උපන් මිල්ටන් සහෝදරයා අධ්‍යාපනය ආරම්භ කළේ මාබෝලේ ශාන්ත මරියා කතෝලික විදුහලෙනි. 1961දී සාමාන්‍ය පෙළ සමත් වන ඔහු ශාන්ත මරියා විදුහලේ උසස් පෙළ පන්ති නොවූයෙන්, ඒ සඳහා මත්තුමගල කරුණාරත්න විදුහලට ඇතුළත් විය. ඔහු මත්තුමගල විදුහලට ගිය විට ශාන්ත මරියා විදුහලට පසු කාලයකදී විශේෂ ප්‍රසිද්ධ පුද්ගලයකු වූ ඩබ්ලිව්.ටී. කරුණාරත්න ශිෂ්‍ය ගුරුවරයකු වශයෙන් පත්වීමක් ලැබ එහි පැමිණියේය.
ඔහු ‘ඉන්කම් ටැක්ස් කරූ’ වශයෙන් පසුව ප්‍රසිද්ධ වුවත්, මුල් රජයේ සේවාව ශාන්ත මරියා විදුහලේ ගුරුවරයකු වශයෙන් ලද පත් වීමය. පසුව කරුණාරත්න සහෝදරයා එය අත්හැර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැඳිණි. කරුණාරත්න සහෝදරයා ’71 කැරැල්ලේ මහ නඩුවේ 37 වැනි විත්තිකරුය. මිල්ටන් සහෝදරයා 36 වැනි විත්තිකරුය. මේ කාලයේදීම අනාගත ජනතා විමුක්ති පෙරමුණේ පතාක යෝධයකු වූ මහ නඩුවේ පළමුවැනි විත්තිකරු වූ පියතිලක සමරරත්න ඇතුළු පවුල මිල්ටන් සහෝදරයාගේ ගෙදරට මීටර් 200ක් පමණ දුරින් කුලී ගෙයක පදිංචියට පැමිණියේය. පියතිලක – මිල්ටන් සම්බන්ධතාවයට ඛෙහෙවින් හේතු වූයේ මේ අසල්වැසි සබඳතාවයය. පසු කාලයක තමන්ගේ ම නිවසක් සාදාගෙන වර්තමාන පදිංචි ප්‍රදේශය වූ මහබාගේ ග්‍රාමයට පියතිලක සහෝදරයා පැමිණියේය. මාබෝල ප්‍රදේශය ජනතා විමුක්ති පෙරමුුණට ඉතිහාසයේ වැදගත් වූයේ මේ තුන්යහළුවන් එනම්, කරුණාරත්න, පියතිලක සහ මිල්ටන් මාබෝලේ සිටීම ය කරුණාරත්න සහෝදරයා ගැන එදා පාසලේ ශිෂ්‍යයන් අතර මතකයේ ඇත්තේ, ජාතික ඇඳුම ඇඳ වඩා උස නැති ලස්සන පුංචි ස්කෝල මහත්තයා ලෙසිනි.
අපගේ කතානායකවරයා මත්තුමගල විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටින අතර, තරුණයෙක් වශයෙන් ඒ යුගයේ තිබූ නිර්ධන පන්ති පීඩනය නිසාම ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයට යොමු විය. චීන කොමියුනිස්ට් පක්ෂය යනු ජනතා විමුක්ති පෙරමුණේ පතාක යෝධයන් මුල් දේශපාලන අත්පොත තැබූ ස්ථානයයි. තවත් වැදගත් වූයේ මාබෝලේ සිට එඩේරමුල්ල දුම්රියපොළ හරහා පා ගමනින් යා හැකි දුරක තවත් නායකයන් තිදෙනෙකුගේ වාසභූමි පිහිටියේය. එනම්, ටී.ඩී. සිල්වා, විමලගුණේ සහ මදනායක සහෝදරයන්ගේය. මේ ආකාරයට බැලු විට මිල්ටන් සහෝදරයාගේ වාසභූමිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හය දෙනෙකු ජීවත් වුණු ප්‍රදේශයකි. මෙසේ තිබියදී දිවයිනේ බෞද්ධ ජනතාව විහාරස්ථානයන් වෙත ඇදී යද්දී, 1965 වෙසක් පොහොය දින චීන කොමියුනිස්ට් පක්ෂයේ කිහිප දෙනෙකු ඇතුළු තවත් සහෝදරවරුන් 11 දෙනෙකු අක්මීමන ඩබ්ලිව්.ටී. කරුණාරත්න සොයුරාගේ නිවසට රැස් වූයේ ලංකා දේශපාලන ඉතිහාස පොතේ වැදගත් හා තීරණාත්මක පිටුවක ආරම්භය සටහන් කිරීමටය.
මේ මුල් හමුවීමෙන් පසු පළමු සහ සියලු අධ්‍යාපන කඳවුරුවලට සහභාගී වීමෙන් පසු මිල්ටන් සහෝදරයා පූර්ණකාලීනයකු වශයෙන් පක්ෂයේ කටයුතු කිරීමට දොරට වැඩියේය. ඔහු නවක සාමාජිකයන්ට පන්ති පැවැත් වූ ස්ථාන සංඛ්‍යාවක් සඳහන් කිරීමෙන් මෙම ලිපිය ඉතා දීර්ඝ එකක් වනු ඇත. මෙය ලියන මට ද දේශන පහෙන් එකක් පවත්වන ලද්දේ මිල්ටන් සහෝදරයා විසිිනි. ඔහුගේ දේශපාලන පන්ති පැවැත්වීමේ දක්ෂතාවය, විලාසය, කරුණු පැහැදිලි කිරීමේ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. දිනක් තම මෑණියන් පොල් අතු වහලය දෙස බලා ‘අපේ වහලය හදා ගන්න ඕනෑ’ යැයි කියූ විට, මිල්ටන් සොයුරා පැවසුවේ, ‘අම්මේ, අපේ වහලය පමණක් නොවෙයි, සියලුම වහලවලින් පොල් අතු ඉවත් කරන්න ඕනෑ. එයට දිනයක් එයි.’ යනුවෙනි. අම්මාට එහි තේරුම වැටහුණා දැයි මට නම් සිතන්න අමාරුයි. මේ රටේ නිර්ධන පන්තියට, ජනතා විමුක්ති පෙරමුණට ඔහු කළ කැප කිරීම්, සේවය අති විශාලය. ‘අප්‍රේල් 05 වැනිදා දහවල් 12.00ට විතර මට විද්‍යෝදය සංඝාරාමයේදී මිල්ටන් හමු වුණා. මිල්ටන් කිව්වා, හෙට හිරු උදා වන කොට අපි දෙන්නාගෙන් කවුරු ජීවතුන් අතර ඉඳී ද කියන්න බැහැ. පරිස්සමින් වැඩ කරන්න කිව්වා’ (ප්‍රේමපාල හේවාබටගේ – රුවන් ජයතුංගගේ පොත පිටුව, 401).
‘අපි ගෙයකට මුවා වෙලා පොලිසියට වෙඩි තිබ්බා. මිල්ටන් හිටියේ රාගම පාර පැත්තේ. අපි වෙඩි තියන කොට පොලිසියත් වෙඩි තිබ්බා. මිල්ටන් උණ්ඩ හා බෝම්බ ඉවර වීම නිසා ප්‍රධාන පාර හරහා පැනලා අපි හිටපු පැත්තට දුවගෙන ආවා. අපි කෑ ගහලා කිව්වා, ප්‍රධාන පාරෙන් පනින්න එපා කියලා. මිල්ටන් ඇඳගෙන හිටියේ, සුදු පාට ටී ෂර්ට් එකක්. ඒ නිසා පොලිසියට පහසුවෙන් ඉලක්කය ගන්න හැකි වුණා. වෙඩි පාරත් සමග මිල්ටන් ඇදවැටුණා. මම ගෝනහේනෙ අමරසිංහටයි, ටයිටස්ටයි කිව්වා, මිල්ටන්ගේ මිනිය ඇදලා අපි ළඟට ගේන්න කියලා. ඒ අය බඩගාගෙන ගිහින් මිනිය ගෙනාවා’ (සෝමසිරි කුමානායක – රුවන් ජයතුංගගේ පොත, පිටුව 155).
දිනක් රෙක්සි සහෝදරයා මා එක්ක ගියා, මාබෝලේ, වෙල්ගම්මුල්ල වෙල් යාය පෙන්නන්න. අක්කර 13ක් විශාලයි. මේ වෙල් යායේ නියරක් මත වාඩි වී රෝහණ සහෝදරයා කරුණාසේන සහ මිල්ටන් සහෝදරවරුන් සමග සවසට සාකච්ඡා කරන හැටි ගැන ඔහුගේ මතකය අවදි කළා. නමුත්, අද මේ වෙල් යායේ එකම වෙලක්වත් නැහැ. එක දිගටම ගොඩ කරන ලද වෙල්යායේ ඇති නිවාස පන්ති පමණයි ඇත්තේ. රෙක්සි සහෝදරයා මිල්ටන් සහෝදරයා ජීවත් වූ කුඩා නිවස තිබූ තැන ද පෙන්වූවා. අද එතන විශාල මහල් නිවසක්. මිල්ටන් සහෝදරයාගේ මව ඉඩම විකුණලා ඉතිරි වුණු කුඩා ඉඩම් කැබැල්ලකයි, මිල්ටන් සහෝදරයා මිය යාමෙන් පසු ජීවත් වූයේ, මේ දේශප්‍රේමියා, විප්ලවවාදියා, මාක්ස්වාදියා ලංකාවේ සමාජවාදය සහ නිර්ධන පන්ති පාලනයක් උදෙසා තම ජීවිතය පූජා කිරීම ගෞරවාන්විතව සිහිපත් කරමින්, සටහන අවසන් කරමි.
අවසාන වශයෙන් කුඩා කාලයේ සිට ම පාසල් ජීවිතය තුළදී ද, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ දී ද මිල්ටන් සහෝදරයා ළඟින්ම සිටි මාබෝලේ රෙක්සි සහෝදරයා මිල්ටන් සහෝදරයා ගැන තොරතුරු සපයා දෙමින් ලබා දුන් සහයෝගය නොමැති නම්, මෙම ලිපියට මහත් අඩුපාඩුවක් වන්නට තිබිණි.


පේමසිරි (බොරැල්ල)