SAITM-SLIIT ඈඳීමේ කුමන්ත්‍රණයේ ඥාති සම්බන්ධය මෙන්න

fgthdz
වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය
October 5, 2017
ftrht
මූල්‍ය අපරාධකාරයන්ගේ තෝතැන්නක් වූ එයාර් ලංකා
October 5, 2017
Show all

SAITM-SLIIT ඈඳීමේ කුමන්ත්‍රණයේ ඥාති සම්බන්ධය මෙන්න

fhkf

මුදලට වෛද්‍ය උපාධි පිරිනමන නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඇති නීතිවිරෝධී භාවය සහ එහි සිදු වන වංචා පිළිබඳ විවිධ සංවිධාන සහ මාධ්‍ය විසින් කරුණු අනාවරණය කරමින් තිබේ. සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වාගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව පසුගිය 11 වනදා ජනාධිපති වෙත භාරදුන් බව ප්‍රකාශ විය.
SAITM-SLIIT ඈඳීමේ කතාව ආවේ මෙකී කමිටුව පත් කිරීමෙන් පසුවය. පසුගිය 13 වනදා කැබිනට් තීරණ දැනුම් දීමේ දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට රාජිත ඇමතිවරයා පිළිතුරු දී තිබුණේ, සයිටම් ආයතනයේ කොටස් මිලදී ගැනීමට ස්ලිට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය. මොන කමිටුව පත්කළත් එදත් අදත් ආණ්ඩුවේ සිටින ඇතැම් මැති ඇමතීන් මේ සඳහා ප්‍රසිද්ධියේම අනුබල දීම බව කවුරුත් දන්නා රහසකි. රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල සහ එස්.බී. දිසානායක පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා උපාධිය මුදලට විකුණන කාර්යයට සහාය පළ කරමින් සිටියි. එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කීවේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට අවකාශ දෙන එක සිය රාජ්‍ය ප්‍රතිපත්තිය බවයි. එසේ කී එස්.බී. අද සමාජ සුබසාධන ඇමැතිවරයාය.
අද උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පෞද්ගලික උපාධි ආයතන පවත්වාගෙන යාමට විරුද්ධ නැත. විරුද්ධ නැතිවා පමණක් නොව ඒ වෙනුවෙන් රෙදි නැතිව කඩේ යමින් ද සිටියි. රාජපක්ෂ පළවා හැරි පසුව ඔහුගේ ක්‍රමය සියතට ගෙන ඉදිරියට ගෙන යාම හැර විකල්පයක් සිරිසේන රනිල් හවුල් ආණ්ඩුවට නැත.
ඒ නිසා රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් හවුල් පාලනය ද අධ්‍යාපනය විකිණීමේ පිළිවෙතක සිටින බව දැන් රහසක් නොවේ. එපමණක් නොව ඇතැම් ජනමාධ්‍ය ආයතන ද මාලඹේ උපාධි කඩයට කඩේ යමින් සිටී. සත්‍යය යැයි කියමින් බයිලා කියන මේ ඇතැම් මාධ්‍ය ආයතන වෛද්‍ය උපාධි විකුණන්නට මාලඹේ පිහිටුවන ලද ආයතනය සහ ඊට අනුබද්ධ රෝහල දක්වා ක්‍රියාවලියේ වංචනික බව වසන් කරයි. මේ ජනමාධ්‍ය ආයතනවලට මිලියන ගණනින් දැන්වීම් ලැඛෙන නිසා නිදහස් අධ්‍යාපන අයිතීන් වළලා දැමීම ඔවුන්ට එතරම් ගැටලුවක් නොවේ. වරක් එක්තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවේ පුවතකට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයාගේ ප්‍රකාශයක් ගෙන තිබිණි. ඔහු පවසා තිබුණේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට විරුද්ධ වන අයට නීතිය ක්‍රියාත්මක කරන බවයි. ජාතික මට්ටමේ පුවත්පතක මෙවැනි පුවතක් පළ වන්නේ ඇයි? විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිටින පුවත් පත්වල මෙබඳු ජුගුප්සාජනක තත්ත්වයන් ඇති වන්නේ මිලියන ගණනින් ගෙවන දැන්වීම්වලට පුවත්පත් කලාව යටපත් කෙරෙන නිසාය.
මුදලට යට වූ දේශපාලකයන් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන ද මෙසේ සයිටම් වෙනුවෙන් සියල්ල පාවා දෙමින් සිටිය ද, ජනතාව තුළ මේ සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ විරෝධයකි. ඒ විරෝධය දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබේ. උද්ඝෝෂණ, විරෝධතා රැලි, රථ පෙළපාළි පමණක් නොව රාත්‍රී විරෝධතා දක්වා මේවා වර්ධනය වෙමින් පවතින්නේ ජනතාව තුළින් නැග එන විරෝධයේ දිග පළල ඇස් කන් පේන සියල්ලන්ටම සැක නෑර තේරුම් ගත හැකි වන පරිදිය.
ඒ නිසා ආණ්ඩුවත් සයිටම් වෙනුවෙන් කඩේ යන නඩයත් එක එක තුරුම්පු ගසමින් මේ විරෝධතාවයෙන් බේරීමට උත්සාහ දරමින් සිටිති. සයිටම් ජනසතු කරන ලෙස වන ඉල්ලීම වෙනුවට නෙවිල් ප්‍රනාන්දුගේ රෝහල ආණ්ඩුවට ගෙන එක්තරා සන්දර්ශනයක් පෙන්වා විරෝධය සමහන් කිරීමට උත්සාහ දැරුවත්, එයින් සිදු වූයේ ආණ්ඩුව තවත් අතේ රෝලක් ගැසූ බව හෙළිදරවු වීම පමණකි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට ගිවිසුම් අත්සන් කළා යැයි කීව ද, රෝහල පවරා ගැනීමකට අදාළ කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, ඒ තුළින් ආණ්ඩුව විසින් මහජනතාව මුළුමනින්ම නොමග යවා ඇති බවත් දැන් අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. මෙම චෝදනාව සම්බන්ධව අවස්ථා කිහිපයකදී මාධ්‍ය විසින් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කරුණු විමසා සිටිය ද, ඔහු ඒ සඳහා පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ කියන්නට දෙයක් නැති නිසා වන්නට ඇත.
සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව අධිකරණය හමුවේ ද ප්‍රකාශ වෙමින් තිබේ. සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිට වන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මේ බව හෙළි වී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනතෙහි 25 වැනි වගන්තිය අනුව උපාධි ප්‍රදාන ආයතන සම්බන්ධයෙන් බලයලත් නිලධාරියෙකු විසින් නිර්දේශ ලබා ගත යුතු අතර, එම පනතෙහි 70 වැනි වගන්තිය අනුව එම බලයලත් නිලධාරීන් කවුරුන් ද යන්න පෙන්වා දී ඇත. නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් හෝ අනුමැතියක් ලබා දී නැති බව පසුගිය වාර්තා පිරික්සීමේ දී තහවුරු වී ඇත. ඒ අනුව සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස ප්‍රකාශ කිරීම නීතිවිරෝධී කටයුත්තකි. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමතිවරයා එය නීත්‍යනුකූල ආයතනයක් බව ප්‍රකාශ කිරීම හරහා නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කරමින් සිටියි.
මේ නිසා දැන් ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දු වෙනුවෙන් ගැසූ ගැට සියල්ල පුස් වෙඩි බවට පත් වෙමින් තිඛෙන බව ආණ්ඩුවටම තේරුම් යන්නට පටන් ගෙන ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිත්, වෛද්‍ය සභාවේ උපසභාපතිත් යොදා ගනිමින් ආණ්ඩුව අලුත් ජවනිකාවක් කරළියට ගෙන එන්නේ තවත් පැරණි තුරුම්පු වලංගු නොවන නිසාය. මේ අලූත් ජවනිකාවට අනුව නෙවිල් ප්‍රනාන්දුගේ වෛද්‍ය විද්‍යාලය මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය හා අනුබද්ධ කිරීමට සැලසුම් වී තිබේ.
මෙවර මේ අලුත් ගේම් එක සඳහා ආණ්ඩුව තෝරාගෙන සිටින්නේ හොඳම ගේම්කාරයන් දෙදෙනෙකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මේ අතර පෙරමුණ ගෙන සිටියි. ඒ බව මොහාන්ගේ අතීත කැරැට්ටුවෙන්ම තේරුම් ගත හැකිය. ඔහු ගේම් ගසා ඇත්තේ ජාතික මට්මමෙන් නොව ජාත්‍යන්තර මට්ටමෙනි.
වරක් ඔහු තවත් වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග එක්ව පර්යේෂණයක් සිදු කරන ලදී. ඒ පර්යේෂණය ඇසුරෙන් සකස් කළ වාර්තාව එංගලන්තයේBritish Medical Journal හි පළ වී ඇත. එහෙත් එම වාර්තාව ලංකාවේ ප්‍රකාශනයක් වන Ceylon Medical Journal හි මොහාන් ද සිල්වා පළ කරන්නේ එම පර්යේෂණය තමන් විසින් තනිවම කරන ලද්දක් බව පවසමිනි. පර්යේෂණය සඳහා සහභාගී වූ අනෙකුත් පිරිස ලංකාවේ අය නොවන නිසා මොහාන් සිතන්නේ එය තමන් විසින් කරන ලද්දක් බව හැමෝම පිළිගනු ඇති බවය. එහෙත්, මොහාන් ද සිල්වාගේ සිහිනයට වැඩි කල් පවතින්නට හැකි වූයේ නැත. හොර වැඩේ ඛෙල්ල මුලින්ම මාට්ටු විය. අවසානයේ මොහාන් ද සිල්වාට සිදු වූයේ ඒ පිළිබඳ සමාව ඉල්ලා ලිපියක් ලිවීමටය. අනුන්ගේ පර්යේෂණයක් තමන්ගේ කර ගන්නට ගිය මොහාන්ට අවසානයේ තනි අයිතිය ලැබුණේ කළ හොර වැඩේට සමාව ඉල්ලන ලිපියට පමණි.
දැන් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෙද විදුහලට ජාතකය දෙන්නට යන්නේ මේ මොහාන් ද සිල්වාය. ජාත්‍යන්තර ගේම් ගැසූ මොහාන්ට මේ වැඩේ ඒ තරම් අරුමයක් නොවේ. කල් යල් බලමින් කොනක සිට වැඩේට බසින්නට මොහාන් සිතන්නේ ඒ නිසාය. ඒ සඳහා පළමුවෙන් වෛද්‍ය සිසුන් නැවතත් දේශනවලට සහභාගී වන තත්ත්වයට පත් කළ යුතුය. ජනතා විරෝධයෙන් සැලකිය යුතු කොටසක් ඒ මගින් පාලනය වනු ඇතැයි ඔහුගේ කල්පනාවය. සිසුන් දේශනවලට සහභාගී කරවා ගැනීමට වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්ට ලිපියක් ලියන්නේ ඒ වැඩේ කර ගන්නටය. හීන් නූලේ තර්ජනයක් ද වන මොහාන් දෙමව්පියන්ට යැවූ ලිපියේ තිඛෙන්නේ ඇත්තම නොවන බව සයිටම් අවුලේ ඇත්ත තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇති බොහෝ දෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය.
සයිටම් සුජාත කිරීමට මොහාන්ගේ සහායට පැමිණ සිටින වෛද්‍ය සභාවේ උප සභාපතිවරිය වන නිලන්ති ද සිල්වාගේ නිල කාලය ද පසුගිය අගෝස්තු 23 වන දායින් අවසන් වී ඇත. කල් ඉකුත් වී තිබුණත්, සිය නිලයේ කටයුතු කරමින් සිටියේ කාගේ බලයෙන් දැයි කවුරුත් දන්නේ නැත. එහෙත් සැප්තැම්බර් 12වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇයගේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත. නොනිල කාලයේ ඇය විසින් ගත් තීරණවල වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ සේවා දිගුව අතීතයට බලපාන පරිදි ගැනීමට නොහැකි වීම නිසාය.
මොන ප්‍රශ්න ආවත් ඒ සියල්ලට වඩා මොහාන් ද සිල්වාගේත්, නිලන්ති ද සිල්වාගේත් ඥාති බැඳීම බලවත්ය. ඥාති බැඳීම් ඇත්තේ එතැන පමණක් නොවේ. මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ලක්ෂ්මන් එල්. රත්නායක ද මොහාන්ගේ ඥාතියෙකි. ලක්ෂ්මන් එල්. රත්නායක මොහාන්ගේ බෑනාගේ තාත්තාය. තේරෙන භාෂාවෙන් කියනවානම් මොහාන්ගේ මස්සිනාය. ඒ අනුව පැහැදිලි වන්නේ සයිටම් සහ ස්ලිට් ඈඳීමේ කුමන්ත්‍රණය දෙමස්සිනාලාගේ වැඩක් බවයි. ඒ වෙනුවෙන් සිය ඥාති සොයුරිය ගජරාමෙට වැඩය.
කවුරුන් මොනවා කළත්, නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින සහ ඒ වෙනුවෙන් කඩේ යන සියල්ලන්ම නියමෙන් හෝ අනියමෙන් සහාය දක්වන්නේ මෙරට වෛද්‍ය අධ්‍යාපනය වළපල්ලට යැවීමටය. කනගාටුවට කරුණ වන්නේ රටේ අධ්‍යාපනයට වගකිව යුතු උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ලත්, සෞඛ්‍යයට වගකිව යුතු රාජිතත්, විශ්වවිද්‍යාල වෙනුවෙන් වගකිව යුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වාත්, වෛද්‍ය සභාවේ උප සභාපති නිලන්ති ද සිල්වාත්, මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය කොල්ලකමින් ස්ථාපනය කළ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානියාත් නෙවිල් ප්‍රනාන්දු වෙනුවෙන් එක පෙළට සිට ගැනීමය.
මෙවැනි තත්ත්වයක් තුළ රටේ අධ්‍යාපනය ගැනත්, අනාගත පරපුර ගැනත් කුමන කතා දැයි අමුතුවෙන් ඇසිය යුතු නොවේ.


චතුර දිසානායක