චතුරිකාගේ තාත්තා ජනාධිපති කළ ජනතාව ගැන….

hjkgf
ඕලු වැව ඉස්මත්තේ කිරට හඩන කිරි ගොවියෝ
October 6, 2017
gj,k
සෑම දරුවෙක්ම සුවිශේෂයි. එහෙත්….
October 6, 2017
Show all

චතුරිකාගේ තාත්තා ජනාධිපති කළ ජනතාව ගැන….

gjknm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය චතුරිකා පසුගියදා මහත් උත්සවාකාරයෙන් ඇය ලියූ පොතක් දොරට වැඩුවා. ඒ පොතේ නම ‘ජනාධිපති තාත්තා.’ තවම පොත කියවන්නට අපට නොලැබුණත්, ඒ පොතේ ඇත්තේ මොනවාදැයි හිතාගන්නට බැරිකමක් නැහැ. කොහොම වුණත් ඒ දියණියට දැනෙන හැටියට, ඇහෙන හැටියට ඇය පොතක් ලියා පළ කිරීම අගය කළ යුතු උත්සාහයක්. ඇත්තටම ඇය විසින්ම මේ පොත ලියුවාද කියන එක අපට වැදගත් නැහැ. අපේ සමහර දේශපාලක දරුවන්ට, විශේෂයෙන්ම පුතුන්ට තමන්ගේ තාත්තලාගේ දේශපාලනය හා රට පාලනය කළ ආකාරය ගැන ලියන්නත් ලැජ්ජා ඇති. කොහොමත් අපේ රටේ දේශපාලඥයන් ගැන ඒ අයගේ දූ දරුවන් පොත් ලිවුවොත්, බොරු නැතුව ඇත්තම ලිවුවොත්, ඒවා බොහෝමයක් හොරකම්, දූෂණ, අපරාධ, ජාවාරම්, බලය අයුතු යෙදවීම් වලින් පිරී යනවාට කිසිම සැකයක් නැහැ. බයිසිකල් කටුවක්, නිවසක් නැතිව දේශපාලනයට ආ බොහෝ තාත්තලා කෝටිපතියන් වූ හැටි, ඉඩකඩම්, ව්‍යාපාර හිමි ධනවතුන් වූ හැටි ඒ දරුවන් නොලීවත් මේ රටේ ජනතාව ඒ අදුරු කතාන්දර හොදින් දන්නවා.
චතුරිකාගේ පොත එළිදක්වපු උත්සවයත් සාර්ථකයි. මැති ඇමතිවරු, රජයේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවල, පොලිසියේ ඉහළ අය විශාල ප්‍රමාණයක් ඇවිත් හිටියා. අර රේන්ද රාලගේ බල්ලගේ අවමගුලට මහ සෙනගක් ආවා කියන කතාව වගේ ජනාධිපති දියණියගේ උත්සවයට මේ අය නෑවිත් සිටීද? ඒත් ඒ තාත්තා ජනාධිපති කරවූ මේ රටේ සාමාන්‍ය ජනතාව කී දෙනෙක් එතන සිටියාද? මරණය අතේ තියාගෙන තාත්තා වෙනුවෙන් වෙහෙස වූ අය කී දෙනෙක් ආවාද? ලස්සන කතා ගොඩක් අතරේ දීප්ති ගුණරත්නත් දේශනයක් කළා. දැන් දැන් කියවෙන විදිහට චතුරිකා දේශපාලනයට එනවාද නැද්ද කියන එක රටට හෝ ජනතාවට නම් වැදගත් නැහැ. අද තාත්තාව වට කරගෙන වැරදි පාර දිගේ ඇදගෙන යන්නට දගලන අයට නම් චතුරිකාලාගේ ආගමනය වැදගත් වෙයි. මොකද අද කරන සෙල්ලම චතුරිකාලා වගේ චරිත දේශපාලනයට ආවාම දිගටම කරගෙන යන්න ලේසි නිසා. ඇයට දේශපාලනයට ඒමේ නිදහස තියෙනවා. පෙරමග ලකුණුවලින් ඒ බව පෙනෙනවා.
ඇයගේ දේශපාලනය විග්‍රහ කරලා තිබුණේ බොහොම ජනතාවාදී ආකාරයකට. ජනතාවට සේවය කිරීම ඇගේ අරමුණලු. බොහොම හොදයි. දැන් අවුරුදු 70 ක් එජාපයත්, අවුරුදු 66 ක් ශ්‍රීලනිපයත් ජනතාවට කළ සේවයේ සාරාංශය ගැන විග්‍රහයක යෙදෙන්න කියලා අපි චතුරිකා දියණියට කියමු. එදා බෑගයක ඇදුම් දමාගෙන ගොවිකමට පොළොන්නරුවට සියනෑ කෝරළේ ඉදලා ආව පියෙකුගේ දරුවකු වසර 40ක් පමණ දේශපාලනයේ යෙදී 2015දී ජනාධිපති තනතුරට පත් වීම දියණියක් හැටියට ඇයට ආඩම්බරයක් තමයි.
මේ රටේ මිනිස්සු තුළ දේශපාලකයන්ගේ දරුවන් ගැන තියෙන්නෙ පැහැදීමක් නම් නෙවෙයි. තමුන්ගෙ තාත්තලාගේ දේශපාලන හයිය ඇගට අරන් විවිධාකාර චණ්ඩිකම්, අපරාධ කරන, ඒ බලය සහ ජනතාවගේ මුදල් නැති නාස්ති කරමින් විනාශකාරී ජීවිත ගත කරන පිරිසක් හැටියටයි අපේ ජනතාව දේශපාලක දරුවන් දකින්නේ. තාත්තාගේ කාලේ ඉවර වේගෙන එනකොට හෙමිහිට ප්‍රාදේශීය සභා, පළාත් සභා හරහා දේශපාලනයට රිංගා ගන්න මේ දරුවෝ රටටම පිළලයක්. මේ අශීලාචාර දේශපාලන දරුවන්ගේ ක්‍රියාකාරකම්වල උපරිම තලයට ආවේ පහුගිය රාජපක්ෂ යුගයේ බව පැහැදිලි සත්‍යයක්. මහින්ද රාජපක්ෂගේ පුත්තු එදා ක්‍රියා කරපු ආකාරය රටම දන්නවා. එදා ජනාධිපති පුත්තු ප්‍රකෝටිපතියෝ වුණා. විශාල සමාගම්, ඉඩකඩම්, දේපළ හිමිකාරයෝ වුණා. ඔවුන්ට හොරකම්, දූෂණ, වංචා, අපචාර චෝදනා විතරක් නෙමෙයි ඝාතන චෝදනා පවා එල්ල වුණා. අද ඒ කාලේ කරපු සමහර දේවල් වල ප්‍රතිඵල ලැඛෙමින් තඛෙනවා. අධ්‍යාපනයට දක්ෂතා නොදක්වපු අය නීතිඥ විභාග, රොකට් ඉංජිනේරු විභාග, ආරක්ෂක උපාධි ලබපු හැටි ක්‍රීඩාවට අදක්ෂ අය කණ්ඩායම් නායකත්ව ලබපු හැටි කාටත් මතකයි. එදා ඒ ක්‍රියාකාරකම් ජනතාව අතර මහත් පිළිකුලට ලක් වුණා. මේ කාලේදි පිස්සු නටපු තවත් දේශපාලක පුත්තු කිහිප දෙනෙක්ම හිටියා. ඒ අතර මෛත්‍රී ඇමතිගේ පුතාත් යම් චෝදනාවකට ලක් වුණු බව අපට මතකයි. කොහොම වුණත් මේ දේශපාලක පුතුන්ගේ ක්‍රියාකාරකම් මහින්දගේ ආණ්ඩුව පරාජය වෙන්නට ප්‍රධාන හේතුවක් වුණු බවත් මතක තබා ගත යුතුයි.
එදා මහින්ද රාජපක්ෂගේ අවිචාරවත්, ඒකාධිපති පවුල් පාලනය යටතේ ආණ්ඩුවේ ක්‍රියාදාමය පිළිකුල් කරපු ජනතාව ඔවුන්ට එරෙහිව සටන් කරද්දී චතුරිකාගේ පියාත් ඒ අශීලාචාර ආණ්ඩුවේ ඇමතිකමක් දරමින් හිටියා. ඔහු තමුන්ට ජනාධිපති පුතුන්ගෙන් පවා එල්ල වුණු කෙණෙහිලිකම් ඉවසා දරාගෙන හිටිය බව ජනතාව දන්නවා. කාලයක් තිස්සේ සිදුවුණු ජනතාවගේ ගොනුවීම තුළ මහින්දලාව ගෙදර යවන්නට ජනතාව විසින් සූදානම් කළ වේදිකාවට මෛත්‍රී ගොඩවුණා පමණයි. එදා මෛත්‍රී ජනාධිපති කරවීමට මුල් වූ බලවේග අද කොහිද? එදා මෛත්‍රී වටා රොක් වුණු හැට දෙලක්ෂයක ජනතා බලවේගය අද කොහිද? ඒ හැමෝම අද මෛත්‍රී ජනපති අතහැර දාලා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා. ඒ ජනතාව නොහිතපු, නොපතපු පිරිසක් අද ජනාධිපති තාත්තා වටේ ඉන්න බව දියණිය චතුරිකාටත් වැටහෙනවාද මන්දා.
දැන් තාත්තා වටේ ඉන්නේ එදා ඔහුව පරාජය කරලා අඩි 6 ක් පොළොව යටට යවන්නට මහින්දට උදව් උපකාර කරපු උදවිය බව චතුරිකාට තේරෙනවාත් ඇති. අවස්ථාවාදීන්, ජාතිවාදීන්, ආගම්වාදීන් වටවෙලා. විවිධ චෝදනා ලබපු අය, ජාවාරම්කාරයන් නීතියෙන් බේරෙන්න ඔහුට ළං වෙලා. තාත්තා ඡන්ද ලක්ෂ 62 ක් ලබාගෙන ජනාධිපති වුණාට අද එ.ජා. පෙරමුණේ සමහරුන්ට ඕන විදිහට රට පාලනය වෙන බවත් ඇයට පෙනෙනවා ඇති. බලය තියන කොට බස් දාලා, කෑම බීම දීලා රැස්වීම්වලට එකතු කරන මිනිස්සු ගාණෙන් තමුන්ට තියෙන ජනතා ප්‍රසාදය මනින්න බැරි බවත්, එදා මහින්දට මීටත් වඩා සෙනග හිටියත් ඔහු පරාද වුණු බවත්, ජනාධිපති බලය විදිමින් ඉන්න චතුරිකාලාගේ තාත්තාට අමතක නිසාම චතුරිකාටත් ඒක නොතේරෙනවා ඇති.
ඇත්තටම මේ රටේ හිටපු අනෙක් ජනාධිපති තාත්තලාට වඩා චතුරිකාගේ තාත්තාගේ පැවැත්ම හා චර්යාවන් තරමක් ඉහළ බව ඇත්තක්. ඔහු ඇතුළේ ඉන්න මනුස්සකම ඉදහිට එළියට ආවත්, ඔහු වටේ ඉන්නා නරුම පිරිස් උත්සාහ කරන්නේ ඔහු තුළ ඉන්න රාක්ෂයාව එළියට ගැනීමටයි. ඒ රාක්ෂයා එළියට ආවාම තමයි ඔවුන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ. බල ලෝභයෙන් අන්ධ වුණු පාලකයෙක් යටතේ තමුන්ට කොච්චර ලේසියෙන් තමුන්ගේ මලු පුරවා ගන්න පුළුවන්ද කියන එක ඔවුන් දන්නවා. එදා මෛත්‍රීත් ජනාධිපතිකම ඉල්ලුවේ මේ භයානක විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනුයි. රටේ පැතිරෙමින් තිබූ දූෂණය, භීෂණය, ජාතිවාදය, ආගම්වාදය මැඩපවත්වලා, නීතිගරුක, සංහිදියාවෙන් යුතු රටක් බවට පත් කරන්න, රටට හානිකර ව්‍යවස්ථා වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් ගෙන එන්න පොරොන්දු වෙමිනුයි. ඒත් ඔහු දැන් ක්‍රියා කරන්නේ වෙනස් විදිහකින්. එදා චතුරිකාගේ තාත්තාට වළ කපපු ශ්‍රීලනිපයේ බලලෝභි හොරු, දූෂිතයන් ළං කරගෙන අද ඔහු මහින්දගේ පාරටම ක්‍රමයෙන් ඇතුල් වෙමින් සිටින බවක් පෙනෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න අදහසක් පෙනෙන්න නැහැ. ආයෙත් ඉල්ලන්න ලෑස්ති වෙන පාටක් පෙනෙනවා. තමුන්ගේ පියාගේ දේශපාලන ගමන ගැන ආඩම්බර වෙන චතුරිකා දියණිය ඔහුට ඡන්දය දුන් ජනතාවගේ සුන් වූ බලාපොරොත්තු ගැන හිතන්නේ, කියන්නේ මොනවාද?
ඊළගට ජීවිත කාලයම ජනතා මුදලින් සැප විදිමින් ජීවත් වුණු චතුරිකා දියණියට නම් තමුන්ගේ ජනාධිපති තාත්තා ගැන පොත් ලියන්නට පුළුවන්. ඒත් මේ රටේ දුක් විදින, තැලෙන, පෑගෙන, රට පාලනය කරන දේශපාලකයන් නිසාම මේ වැරදි ක්‍රමය නිසාම දිනෙන් දින පිරිහෙමින් සිටින දරුවන් තමුන්ගේ තාත්තලා ගැන මොනවා නම් ලියන්නද? අර තාත්තා සැරයක් කිවුවා වගේ බම්බුව තමයි ලියන්න තියෙන්නේ. අවුරුදු හැත්තෑ ගණනක් ඒ පැත්තට මේ පැත්තට ඡන්දය දිදී, අද ගොඩ යයි, හෙට ගොඩ යයි කියලා බලාපොරොත්තු තියාගෙන දහදුක් විඳිමින්, චතුරිකාගේ තාත්තා වගේ දේශපාලකයන් රැසක් පවුල් පිටින් නඩත්තු කරන්න තේ, රබර් වතුවල, කම්හල්වල, කුඹුරුවල, මහ මුහුදේ, පිටරටවල දුක් විඳින තාත්තලා අම්මලා ගැන ලියන්නේ කවුද? අනික හැමදාම එක එක දේවල්වලට
රැවටිලා, දේශපාලන අම්බරුවන් රෑනකට කතිරය ගහන මේ තාත්තලා තමුන්ගේ අනාගත පරපුරට කරන වින්නැහිය ගැන මොනවා නම් ලියන්නද?
කොහොම වුණත් තාත්තා ජනාධිපති වුණාම පුදුමාකාර සැගවුණු දක්ෂතා ප්‍රකට කළ මහින්දගේ පුතාලාගේ අඩිපාරේම යමින් ඔවුන්ටත් බැරිවුණු දෙයක් චතුරිකා දුව කරලා තියෙනවා. අද චතුරිකාට ජනාධිපති තාත්තා වගේම එදා නාමල්, යෝෂිත, රෝහිතලාටත් හිටියා ආඩම්බරකාර තාත්තා කෙනෙක්. ඒත් එදා නාමල්ලාට පොතක් ලියන එක සමහර විට අමතක වෙන්න ඇති. අනෙක් අතට ඒ තාත්තා, සමහරු කිවුව විදිහට අප්පච්චි ගැන වුණත් මොනවා කියලා ලියන්නද? එයාගේ කෙරුවාව ලිවුවොත් බල්ලො බත් කන්නේ නැහැ. ඒ අප්පච්චිගේ කෙරුවාවල් නිසා එයා යටතේ හිටපු නිලධාරීන්, ගෝල බාලයෝ හිර බත් කනවා. දඩුවම් විදිනවා. පැරදිලා අප්පච්චි මළා කියලා ගෙදර යවලා තවමත් කරන කුමන්ත්‍රණ, අශීලාචාර වැඩ නිසා තවමත් රට අරාජික වෙනවා. පන්සල් ගාණේ යමින්, චීවරයටයි, හමුදා නිල ඇදුමටයි මුවා වෙලා ජාතිවාදය, ආගම්වාදය පතුරවමින්, බල ලෝභයෙන් අන්ධ වෙලා කරන දේවල් ගැන කොහොම ලියන්නද?
චතුරිකාගේ තාත්තාත් අපරාධකාරයෝ කිහිප දෙනෙක් වෙනුවෙන් පෙනී හිටිමින් ඔවුන් ආරක්ෂා කරන්න දඟලන බව පෙනෙනවා. සිවුරට ගරු කරනවා කියමින් ආගම්වාදය, ජාතිවාදය පතුරවමින් රට ගිනි තියන්න දඟලන අයට රැකවරණය දෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම පත් කරන එකත් යට යවන්න හදනවා. තමුන්ට විශාල හයියක් වුණු උතුරේ ජනතාවට සහනයක් තවමත් නැහැ. සංහිදියාව වෙනුවෙන් දැන්වීම් දානවා හැරුණාම වෙන දෙයක් කරන බවක් පේන්න නැහැ. මේ විදිහට දිගටම ගියොත් අර නාමල්ලාගේ ආඩම්බරකාර තාත්තාට වුණු වින්නැහියටත් වඩා දෙයක් චතුරිකාගේ තාත්තාටත් වෙනවා. දැන් බැදුම්කර කොමිසම හොද අපූරුවට දූෂිතයන්ව රටට හෙළිදරව් කරනවා. බලතල තියෙන කොමිසමක් හරහා දිගටම මේ ක්‍රියාවලිය සිදු වෙන එක රටට හොදයි. ඒත් දේශපාලඥයන්ට නම් නරකයි. දැන් කරවටක් අසූචි වලේ ගිලී සිටින දේශපාලඥයන් මුදා ගන්න හරි ඒක හේතුවක් වේවි. බලය අයුතු ලෙස යොදවන නිලධාරීන්ට හොද පාඩමක් සිල් රෙදි නඩුව. තොරතුරු දැනගැනීමේ පනත, අතුරුදහන් වූවන් පිළිබද ක්‍රියාවලිය ටිකෙන් ටික ඉදිරියට යාම හොදයි. රටට ජාත්‍යන්තරව යම් පිළිගැනීමක් ලැබී තිඛෙන බවත් ඇත්තක්. තමුන්ගේ සහෝදරයාගේ අතින් වරදක් වුණු වෙලාවේ ක්‍රියා කළ විදිහ හොද පූර්වාදර්ශයක්. මේ හොද දේවල් මෙහෙම වෙද්දි තමුන්ගෙ පාර්ශ්වය පැත්තෙන් සිදුවුණු දූෂණ වංචා ගැනත් විනිවිදභාවයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
එදා බලය අයුතු ලෙස භාවිතා කළ දේශපාලකයන් විතරක් නෙමෙයි නිලධාරිනුත් ඒවාට දඩුවම් ලැබිය යුතුයි. ජනාධිපති තාත්තා ළගට රිංගලා හැංගිලා ඉන්න සමහර නිලධාරින් එදා කරපු දේවල් සොයා බැලිය යුතුයි. නැතිනම් මොවුන් නිසා අප්‍රසාදයට පත් වෙන්නේ ජනාධිපති තාත්තාමයි. රටේ මේ වන විට පැතිරෙමින් තිඛෙන ජාතිවාදය හා ආගම්වාදය මුළුමනින්ම මැඩලමින්, සංහිදියාව කරා යාම වැදගත්. මේ රටේ තියෙන බොහොමයක් ප්‍රශ්නවලට හේතුවක් වෙලා තියෙන මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි ප්‍රධානම අභියෝගය.
චතුරිකා තමුන්ගේ කතාවෙදී කිවුවා වගේම බලය කියන එක අස්ථීර බව තේරුම් අරගෙන, බලය තියෙනකොට ළගට ඇවිත්, මුරුංගා අත්තේ තියන අයට රැවටෙන්නේ නැතිව, රනිල්ලාගේ, මහින්දලාගේ ඩීල්වලට අසු නොවී සැබෑ ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිමින්, කටයුතු කළොත් කවදා හරි මේ තනතුරෙන් බැහැලා යන දවසට මෛත්‍රී ජනාධිපති තාත්තා ගැන චතුරිකා දුවට වගේම අපටත් සතුටු වෙන්න පුළුවන් වේවි.


ඩී. බී. ඇල්කඩුව