ජනතාවගේ සල්ලි සහ රාජිතගේ පිල්ලි!

dgyu
ධීවර වරාය සියල්ල එක මල්ලේ සේල්පොළට
October 6, 2017
xdj
ලලිත්ගේ දඩුවම ගැන මහින්දගෙන් ඉගෙන ගන්නවාද? අනුරගෙන් ඉගෙන ගන්නවාද?
October 6, 2017
Show all

ජනතාවගේ සල්ලි සහ රාජිතගේ පිල්ලි!

fhgh

මනසින් උසස් වූ යන අර්ථයෙන් අප හට මිනිස්සු යන නාමකරණය ලැබී ඇති බව මා කුඩා කාලයේදී වැඩිහිටියකු මට කළ පැහැදිලි කිරීමක් තවමත් මගේ මතකයේ රැඳී තිබේ.
ඒ අනුව මනසින් උසස් වූ මිනිසුන්ගේ සිතුවිලි උසස් විය යුතුය. ක්‍රියාකාරකම් ඒ උසස් සිතුවිලි අනුව විය යුතුය. සන්සුන් මනසින් සිතා බලන මෙන් මම ඔබට කියමි. අප ජීවත් වනුයේ, එවන් මිනිසුන්ගෙන් යුක්ත සමාජයක ද යන්න නැවත නැවතත් සිතා බැලීමට සිදුවූ අවස්ථා කීයක් නම් ඔබට අත්දැකීමට සිදු වී ඇද්ද?
එවන් සිදුවීමක් පිළිබඳ මතකයක් මෑතක දී අලුත් විය. මෙම සටහන ලියන්නට සිත තුළ ඇති වුණු බල කිරීම මඟහරිනු නොහැකි විය.
ඉතින් ලියමි.
මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු වන එම්. එස්. එම්. මොහොමඩ් මහතා විසින් සිය එකම පුතු වූ හම්ඩ් මොහොමඩ් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව අවබෝධ කොටගෙන ඇත්තේ, මෙයට වසර තුනකට පමණ ඉහතදීය. ඔහු ප්‍රතිකාර සඳහා සිය පුතු ඉන්දියාවට රැගෙන යනුයේ, මෙරට වෛද්‍යවරයකුගේ මඟපෙන්වීම මතය. වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක සිය පුතු ප්‍රතිකාර සඳහා නතර කර තැබීමට මොහොමඩ් මහතා විසින් කටයුතු කරනු ලැබීය. පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීම සුළුපටු නොවන බව කිවයුතු නොවේ.
සිය පුතු වෙනුවෙන් එම දයාබර පියාණන් ඕනෑම කැප කිරීමකට සූදානම්ව සිටි අතර, එතෙක් සිය දේපළ විකුණමින් මිලියන සියයකට අධික මුදලක් වියදම් කර තිබිණි. ආර්ථීකව හා මානසිකව ද පිරිහෙමින් සිටි මොහොමඩ් මහතා සිය පුතු රැගෙන යළි ලංකාවට පැමිණ ප්‍රතිකාර සඳහා මහරගම පිළිකා රෝහලට යොමු වනුයේ ඉන් අනතුරුවය.
එම යොමු වීමෙන් පසු රෝහල පිළිබඳව කරුණු සොයා බලන මොහොමඩ් මහතාට දැනගැනීමට ලැබී ඇත්තේ, රජයේ රෝහලක් වන මහරගම පිළිකා රෝහලෙහි රෝගීන්ගේ පරීක්ෂණ සඳහා අවශ්‍ය වන ‘පෙට් ස්කෑනර්’ යන්ත්‍රයක් නොමැති බවය. පිළිකා රෝගය වැළඳුණු අයකුගේ ප්‍රතිකාර ක්‍රමවත්ව සිදු කිරීමට හා පිළිකාව පිළිබඳව හඳුනා ගැනීමට පෙට් ස්කෑනර් යන්ත්‍රයකින් පරීක්ෂා කිරීම ඉමහත් පහසුවක් බව පැවසෙන අතර, මෙම යන්ත්‍රයක් මෙරට ඇත්තේ, එක් පෞද්ගලික රෝහලක පමණකි. එයින් එක් අවස්ථාවක පරීක්ෂා කිරීමක් සඳහා එම රෝහලෙහි අය කරන මුදල රුපියල් 20,000.00 ඉක්මවන බවද ඔහු විසින් හඳුනා ගනු ලැබීය.
ඒ අනුව මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කිරීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් වනුයේ, මොහොමඩ් මහතාගේ පුත් හමීඩ් මොහොමඩ් නම්. එවකට දාහත් වියැති තරුණයාගෙනි. වහාම තම පුතුගේ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මොහොමඩ් මහතා, තමන් ද නියෝජනය වන ‘කඩීජා’ නම් සංවිධානය හා එක්ව ‘ෆයිට් කැන්සර්’ නම් සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ 2016 මාර්තු මස 14 වැනිදාය.
ඒ මහරගම ‘අපේක්ෂා’ රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීම සඳහා මුදල් එක්රැස් කිරීමේ අරමුණින්ය. මාධ්‍ය ආයතනවල ප්‍රචාරක අනුග්‍රහයත් සමඟ මිලියන 200ක මුදලක් එක්රැස් කිරීමේ මෙහෙයුම දියත් වනුයේ, ඉන් අනතුරුවය.
මිලියන 200ක දැවැන්ත ඉලක්කය දින සියය ඉක්ම වීමට ප්‍රථම පසු කරන එම සංවිධානයට එකතු වී ඇති මුදල් ප්‍රමාණය මිලියන 230ක් ඉක්මවන බව වාර්තා වේ.
හමීඩ් නම් නව යොවුන් තරුණයාගේ අරමුණ වෙනුවෙන් ජාති, ආගම්, කුල භේදයකින් තොරව රුපියල් 10.00 සිට මිලියන ගණනින් අරමුදල සඳහා දායක වී තිබිණ. දුක් විඳින දහසකුත් රෝගීන් වෙනුවෙන් එම යන්ත්‍රය ගෙන්වා රෝහලෙහි ස්ථාපිත කරන මෙන් ඉල්ලමින්. එම මිලියන 233ක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී මේ වන විට වසර එකහමාරක් ඉක්මවමින් තිබේ.
එදින වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම මුදල භාර ගනිමින්, එදින ප්‍රකාශ කළේ රජයේ මුදලින් තවත් ස්කෑනර් යන්ත්‍රයක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දීමට කටයුතු කරන බවය.
නැවත මෙම සටහනෙහි මුලට යාමට සිත් වෙයි. අද වන විට වසර එකහමාරක් ඉක්ම වී එම මුදලට සිදුවූ දෙයක් ඇත්තේ නැත. තම මුදල් සද්භාවයකින් යුතුව යහපත් අරමුණක් කි්‍රයාත්මක කිරීම වෙනුවෙන් පරිත්‍යාග කළ සෑම මිනිසකුගේම බලාපොරොත්තු සුන් වී අවසන්ය. අදට ද හමීඩ් මොහොමඩ් නව යොවුන් තරුණයාගේ ප්‍රාර්ථනය ඉටු නොවී තිඛෙනුයේ, වෙනත් කිසිවකුගේ බලපෑම නිසා නොව රාජිත සේනාරත්නගේ බලපෑමට බව බොහෝ දෙනෙකු පවසනුයේ, දෙස් දෙවොල් තබමිනි.
වත්මන් ජනාධිපතිවරයාගෙන් ද මේ පිළිබඳව මැදිහත් වීමක් ඉල්ලා ඇතත්, අද වන විට ඔහු ද තම දියාරු ප්‍රතිපත්තියේ නිමග්නව සිටීමෙන් පෙනී යන්නේ ඔහු ද මේ සඳහා මැදිහත් වීම නොසලකමින් සිටින බවය.
වාර්ෂිකව අප රටෙහි 20,000ක පමණ පිරිසක් පිළිකා රෝගයට ගොදුරු වන අතර, වාර්ෂිකව ඒ හේතුවෙන් මිය යන සංඛ්‍යාව 10,000කට ආසන්න බව පැවසේ. ඉහත කී පෞද්ගලික රෝහලට මුදල් ගරා ගැනීමට ඉඩහැර එම ස්කෑනර් යන්ත්‍රය මහරගම පිළිකා රෝහලෙහි ස්ථාපිත කිරීමට ඉඩ නොදීම පිළිබඳ ඇත්තේ රෝහල් ක්ෂේත්‍රය තුළ කි්‍රයාත්මක ම්ලේච්ඡ මාෆියාව මිස අනෙකක් නොවේ.
ඒ අනුව මොහොමඩ් මහතාට තම පුතු ඉන්දියානු රෝහලට ගෙන යාමට උපදෙස් දුන් වෛද්‍යවරයා ද එම ඉන්දියානු පෞද්ගලික රෝහලේ කොමිස් බුදින තැරැවුකරුවකු බව අනුමාන කළ හැකිය.
පෙර ද සඳහන් කළ පරිදි තමන් මනසින් උසස් වූවකු බව ඔප්පු කිරීම වෙනුවෙන් මෙම ස්කෑනරය සවි කිරීම සඳහා රාජිත සේනාරත්න ඇමතිවරයාට සෘජුවම බලපෑම් කළ හැකිය. එහෙත්, ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක්කේ, ඉතිහාසය පුරාවට ඔහුගේ දේශපාලන භාවිතය විසින් තමන් එවැන්නකු නොවන බවට ඔහු විසින් ඔප්පු කර ඇති නිසාය.
ජනාධිපතිවරයාට ද මෙම කරුණ පිළිබඳව සංවේදී වීමට ඉස්පාසුවක් නැතුවා වෙන්නට ඇත. පරිත්‍යාග කළ මුදල ද තව ටික දිනකින් අතුරුදහන්ව ගොස් රටේ ජනතාවට ද මෙම කරුණ අමතකව යනු ඇත. සොරුන් වෙනුවෙන් පෙනී සිටින යතිවරුන් ද මෙවැනි ගැටලු පිළිබඳව සංවේදී වන්නේ නැත. අභාවයට යන පාදඩ සමාජ ක්‍රමයක් තුළ යහ අරමුණක් කි්‍රයාත්මක කිරීමට වෙර දැරූ හමීඩ් තම අරමුණ මල් ඵල ගැන්වෙතැයි දෑස් දල්වාගෙන සිට පසුගිය 12 වැනිදා සදහටම අප අතරින් නික්ම ගියේය.
ඔහු මිය යන තෙක්ම ඔහුගේ සිහිනය සැබෑ වනු දැකීමට මෙම පාදඩ සමාජ ක්‍රමයෙහි නියෝජිතයන් ඉඩ දුන්නේ නැත. ඉදිරියට ඉඩ දෙතැයි අපේක්ෂා කළ හැක්කේ ද නැත.
මොහොමඩ් මහතාණනි, හමීඩ් සොහොයුරාණනි, ඔබේ යහපත් සංකල්පයට හා ඔබ ගත් උත්සාහයට තුති !


කිත්සිරි කොඩිතුවක්කු