දශක හතක අස්වැන්න වසකුප්පියද?

ghk
දැන් මහරජා වෙන කෙනෙක්…!
October 6, 2017
lggh
මහින්දගේ පාපෝච්චාරණය සහ වීරතුංගගේ කනට රහසක් කියූ කුමාරොදයේ වලසා
October 6, 2017
Show all

දශක හතක අස්වැන්න වසකුප්පියද?

gjkl

සිදුවීම් සිදුවන්නේ කොක් හඩලා සිනාසීමට හෝ මහ හඩින් හඩාවැටීමට නොව තේරුම් ගැනීමට යැයි ඉතා වැදගත් කියමනක් තිබේ. පසුගිය සතියේ දඹුල්ලේ ලූනු ගොවියෙකු සියදිවි නසාගැනීම සියලු දෙනාගේ හදවත් සසල කරන සිදුවීමක්ව තිබිණි. ඔහු එසේ සියදිවි හානි කරගෙන තිබුණේ සිය ලූනු වගාව වැස්සෙන් විනාශවීම නිසා බව මාධ්‍ය වාර්තා කර තිබිණි. සැබවින්ම ඊට ආසන්න හේතුව එය වුවත් එහි ඊට වඩා ගැඹුරු කතාවක් තිබේ. වගාවට හානි වූ විට ඔහුගේ අස්වැන්න නැතිවෙයි. එවිට ඔහුගේ ආදායම නැතිවෙයි. ආදායම නැතිවූ විට ජීවත්වීමේ ප්‍රශ්නය මතුවෙයි. ලබාගත් ණය තුරුස් ගෙවාගැනීමට නොහැකි වෙයි. අඹුදරුවන්ගේ ආහාරපාන වල සිට සියලු මූලික අවශ්‍යතා ඉටුකිරීමට නොහැකි වෙයි. මීළඟ කන්නය වගාකිරීමට නොහැකි වෙයි. මේ දුක කියන්නට කෙනෙකුද ඔහුට නැත්නම් විපතේදී උදව්වන්නට කෙනෙකුද ඔහුට නැත්නම් ඔහු පත්වන අසරණභාවය කෙතරම්ද? ඔහු මෙන්ම ඔහුගේ අනෙකුත් ගොවි ජනයාගේද තත්ත්වය එය නම් ඒ අසරණභාවය අරුමයක් වන්නේ නැත.
ඒ නිසා මේ සියදිවි නසාගැනීමේ ප්‍රශ්නය හුදු පුද්ගල ප්‍රශ්නයක් නොව සමාජ ප්‍රශ්නයකි. එනිසා එය දේශපාලන ප්‍රශ්නයකි. දශක හතක් අප රට පාලනය කළ පාලක පංතිය ජනතාවට ජීවත්වීමට සුදුසු සමාජයක් තනාදී නැත. පාලක පංතිය මහජන ධනය, දේපොළ කෝටි ප්‍රකෝටි ගණනින් ගිලගන්නා අතර පීඩිත ජනතාව වෙත උරුම කළේ ආර්ථීක පීඩනය, දරිද්‍රතාවය, කුසගින්න, මන්දපෝෂණය, නූගත්කම ආදියයි.
කෘෂිකාර්මික රටක් වන අප රටේ කෘෂි ආර්ථීකය රැඳී ඇත්තේ මෙරට ජනතාවගේ උර මතය. මුළු ජීවිත කාලය පුරාම මහපොළොව සමඟ පොරබදිමින් රටට ආහාර සැපයීමට ඔහු වෙහෙස වෙයි. එනිසා ඔහු රටේ නිෂ්පාදන ආර්ථීකයේ වැදගත්ම සාධකයකි. පසුගිය ආණ්ඩු කාල වලද වගා ණය ගෙවාගත නොහැකිව ගොවීන් විශාල ලෙස සියදිවි නසාගත් බව බොහෝ දෙනාට අමතක විය නොහැකිය. ආර්ථීකයේ තීරණාත්මක මෙහෙවරක් ඉටුකරන ගොවියාට වත්මන් සමාජ ක්‍රමය උරුම කර දී ඇත්තේ වස කුප්පිය නම් එය කෙතරම් ඛේදජනක වන්නේද?
ඒ අතර මෙම සියදිවි නසාගැනීම් ප්‍රශ්නය ගොවිජනතාවට පමණක් සීමා වූවක් නොවේ. ශ්‍රී ලංකාවේ තරුණ හා මැදිවියේ පිරිස් අතර සියදිවි නසාගැනීම් ඉහළ බව සංඛ්‍යා වාර්තා සඳහන් කරයි. ඒ අතර වැඩි ප්‍රතිශතයක් ප්‍රේම සබඳතා සහ විවාහ ජීවිත ආශ්‍රිත ගැටලු බවට වාර්තා වෙයි. මේ කරුණට අදාළව නූගත්කම හා සමාජ පසුගාමීත්වය ද විශාල බලපෑමක් සිදුකරන බව පැහැදිලි කරුණකි.
වර්තමානය වන විට ලොව සියදිවි නසාගැනීම් ඉහළම රටවල් හතර අතර ශ්‍රී ලංකාව පසුවෙයි. එහි අගය වාර්තා වන්නේ ජනගහණයෙන් ලක්ෂයකට විසි අටක් ලෙසය. ඒ මියයෑම් සංඛ්‍යාවය. එහෙත් සියදිවි නසාගැනීමට තැත් කිරීම් සංඛ්‍යාව මීට වඩා ඛෙහෙවින් විශාලය. කුමන හෝ හේතු නිසා මිනිසුන්ට, ගැහැනුන්ට මේ සමාජයේ ජීවත්වීම එපා වී තිබේ නම් ඒ ජීවිතයෙන් පලායාමට තරම් ප්‍රබල වී තිබේනම් හා ලොව එවැනි තත්ත්වයන් ඇති ඉහළම රටවල් හතර අතර අප රට සිටී නම් එය සැබවින්ම හඩාවැටීමට කරුණක් නොවන්නේද? එහෙත් මුලින් කීවාක් මෙන් හඩාවැටීම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නැත. දඹුල්ලේ ගොවි පියාගේ මරණයත්, අප රට ලෝකයේ රටවල් අතර ඉහළට ගෙනගොස් ඇති අනෙකුත් සියදිවි නසාගැනීම් සියල්ලත් හුදු පුද්ගල වරදක් පමණක් ලෙස දැකිය නොහැකිය. එහි මූලය බරපතළ දේශපාලන ප්‍රශ්නයකි. සැබෑ ලෙස විග්‍රහ කරගන්නේ නම් ඒ සියල්ල හුදු සියදිවි නසාගැනීම් නොව ඔවුන් ඔවුන් ලවාම ඝාතනය කරවීම් බව පෙනීයනු ඇත. එනම් ඒවා පැහැදිලිවම දේශපාලන ඝාතනයන්ය.
උදේ සිට රෑ වනතුරු කිසිඳු විවේකයක් නොමැතිව දහදිය හෙළන, වැඩකරන ජනතාවට බර පටවා ඔවුන්ගේ මූලික මිනිස් අයිතීන්ද උදුරාගෙන තිඛෙන අතර ඇමතිවරුද, පාලක පංතියේ පිරිස්ද ධන කුවේරයන් වී ඇති අන්දම සියලූ දෙනාගේ ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. දශක හතක් තිස්සේ මේ රට පාලනය කල පාලකයන් මෙරට ජනතාවට ලබාදී ඇති සැබෑ දේ මෙයයි.
සැබැවින්ම අප රට ඉදිරියට ගොස් ඇත්තේ සියදිවි නසාගැනීම්වලින්, අපරාධවලින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන්, ස්ත්‍රී දූෂණවලින්, රිය අනතුරුවලින්, හොරකම්වලින්, මූල්‍ය අපරාධ වැනි පැතිවලින්ය. දශක හතක් තිස්සේ අප පාලකයන් වර්ධනය කර ඇත්තේ මේවාය.
ඉතින් අප තවදුරටත් මේ මාවතේම ගමන් කරනවාද?