ධීවර වරාය සියල්ල එක මල්ලේ සේල්පොළට

asadf
ගිය වාරේ උන් දුන්නා මේ වාරේ මුන් දෙනවා
October 5, 2017
fhgh
ජනතාවගේ සල්ලි සහ රාජිතගේ පිල්ලි!
October 6, 2017
Show all

ධීවර වරාය සියල්ල එක මල්ලේ සේල්පොළට

dgyu

එදා ධීවර ඇමතිවරයාව සිටි රාජිත සේනාරත්න ධීවර වරායන් හැසිරවූයේ ඒවා තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සිතමින් බව ප්‍රසිද්ධ රහසකි. මෝදර ධීවර වරාය බදු දීම සම්බන්ධයෙන් සහ තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් රාජිතට දූෂණ චෝදනා එල්ල වී තිඛෙන්නේ ඒ නිසාය. හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න 2014 ඔක්තෝබර් මාසයේදී රටේ ප්‍රධාන සම්පතක් වූ මෝදර ධීවර වරාය බ්‍රිතාන්‍ය සමාගමකට බදු දුන්නේ අත යටින් හොඳ කුට්ටියක් තමන්ගේ සාක්කුවට දමා ගනිමිනි.
මෝදර ධීවර වරායට අයිති හෙක්ටයාර 1.42ක ඉඩම් ප්‍රමාණයක් හෙවත් අක්කර තුන හමාරක් සඳහා රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මසකට රුපියල් ලක්ෂ දාහතක්ව තිබියදී රුපියල් එක්ලක්ෂ විසිපන්දාහ බැගින් බ්‍රිතාන්‍ය සමාගමට අවුරුදු 25කට බදු දීම මගින් රාජිත විසින් රටට සිදුකොට ඇති පාඩුව කෝටි 47කටත් වඩා වැඩිය. මේ සම්බන්ධයෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පසුගියදා
පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ ලක්ෂ 17ක තක්සේරුව වූයේ අක්කර තුන හමාරකට බවත් රුපියල් 125,000 ගණනේ බදු දුන්නේ අක්කර එක හමාරක කොටසක් බවත්ය. අක්කර තුන හමාරක් ලක්ෂ 17ක් වෙද්දී අක්කර එක හමාරක ප්‍රමාණයක් 125,000ක් වෙන්නේ කෙසේදැයි විචාර බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට පැහැදිලිය. සභාපතිවරයාගේ කටින් බොරුව එළියට ආවේය. දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවාටය. මේ සඳහා වගකිව යුත්තේ රාජිත සේනාරත්නයි. මේ හොර නඩය මොනවා කීවද විදේශ ධීවර යාත්‍රා මගින් අල්ලන මසුන්ගෙන් 25%ක් එතෙක් මෝදර ධීවර වරාය මගින් සංස්ථාවට දෙනු ලැබුණි. ඒ නිසා මෝදර ධීවර වරාය, සංස්ථාවේ පාලනය යටතේ තිබියදී විදේශිකයන් විසින් අල්ලනු ලබන මසුන් අඩු මිලට පාරිභෝගිකයන්ට ලබා දෙන්න සංස්ථාවට හැකියාව තිබුණි. නමුත් රාජිත සේනාරත්න විසින් වරාය බදු දීමෙන් පසුව එම කටයුත්ත නතර විය. දැන් විදේශ යාත්‍රාවලින් මසුන් ලැඛෙන්නේ නැත. සංස්ථාවට සිදු වී ඇත්තේ පෞද්ගලික වෙළෙන්දන්ගෙන් වැඩි මිලට මසුන් මිලදී ගැනීමටය. සංස්ථාව කඩා වැටීම ඇරඹෙන්නේ මේවා නිසාය.
එදා මෝදර වරායේ කොටසක් විකිණිම නිසා ධීවර සංස්ථාව පාඩු ලබන තත්ත්වයට ඇද දැමූ ආණ්ඩුව අද ඒ පාඩු ලබන ඇත්ත හේතු වසන් කරමින් විකිණීම සඳහා හේතුව ලෙස පාඩුව පමණක් පෙන්වීම හාස්‍යජනකය. එසේ ඇත්ත වසන් කරමින් එදා මෝදර ධීවර වරායට අත තබමින් ඇමති රාජිත සේනාරත්න කටයුතු කළ ආකාරයටම සියලු ධීවර වරායන් තිස් වසරකට බදු දීමට ඇමති මහින්ද අමරවීර ප්‍රමුඛ ආණ්ඩුව අද කටයුතු කරමින් සිටින්නේ හවුලේ කරන්නට ආ යහපාලනයේ අරුමය නැවත නැවතත් ජනතාව ඉදිරියේ නිරුවත් කරවමිනි. ඒ අනුව මේ වන විට වේගවත් කර ඇති රාජ්‍ය සම්පත් විකිණීම ඉඩම්, වරායවල්, ඛනිජ සම්පත් කුණු කොල්ලයට බදු දීමට තවත් පරිච්ඡේදයක් එක් කරමින් ධීවර කර්මාන්තය වෙන්දේසි කිරීමට ආණ්ඩුව අත ගසා ඇත.
මහින්ද අමරවීරගේ ධීවර වරාය බදු දීමේ යෝජනාව පසුගිය වසරේ කැබිනට් පත්‍රිකාවක් හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව බදු පදනම යටතේ ධීවර වරායන් පැවැරීමේ යෝජනාව අනුමත වී ක්‍රියාත්මක වෙමින් ද තිබේ. ඒ අනුව රටේ ක්‍රියාත්මක වන හා ඉදිකෙරෙමින්, යෝජනා වී ඇති එම සියලු වරායන්වල තක්සේරු වටිනාකම රුපියල් 1,692,853,950.00කි. මේ වන විට රටේ වරාය 20ක් ක්‍රියාත්මක අතර ගොඩනැගෙමින් තිඛෙන හා යෝජනා වී ඇති වරායන් සමගින් එම ප්‍රමාණය 30කි. ධීවර කාර්මිකයන්ගේ යටිතල පහසුකම් සැපයීම, බෝට්ටුවලට ඉන්ධන ජලය, විදේශීය නැව් සඳහා ඉන්ධන ලබාදීම ඇතුලු සමස්ත යටිතල පහසුකම් සැපයීම සමස්ත ධීවර වරාය සතු කාර්ය භාරය වේ.
දේශීය බෝට්ටුවලට ඉන්ධන ලබාදීම මෙන්ම විදේශීය ධීවරයන්ගේ බෝට්ටු සඳහා ජලය, ඉන්ධන ලබාදීම මගින් රටට විශාල ආදායමක් ලබාගැනීමට හැකියාව තිබේ. ඉන්දික ගුණවර්ධන ඇමතිවරයා ධීවර ඇමතිවරයාව සිටියදී ගැසට් පත්‍රයක් මගින් ධීවර වරායක් සතුව තිඛෙන කාර්යභාරය ගැසට් කොට තිබේ. ඒ අනුව අයිස් ෆැක්ටරි පවත්වාගෙන යාම, මසුන් කල්තබා ගැනීම වැනි කාර්යයන් පවා ධීවර වරායන් මගින් කළ හැකිය. ඒ මගින් සමස්ත ධීවර කර්මාන්තයටම ලැඛෙන සහය අති විශාලය.
එවැනි තත්ත්වයක් තිබියදී වර්තමාන හවුල් ආණ්ඩුවේ ධීවර ඇමති මහින්ද අමරවීර විසින් රාජිත සේනාරත්නගේ වැඩේම ඉදිරියට කරගෙන යාම ඛේදවාචකයකි.
මහින්ද අමරවීරගේ ධීවර වරායන් සියල්ල විකිණීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගෙන්නේ මෙසේය. 2016 ඔක්තෝබර් 12 වනදා මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරයි. මේ කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරයාගේ නිරීක්ෂණත් ආරක්ෂක ඇමතිවරයා ලෙස ඔහුගේ නිරීක්ෂණත් එවකට මුදල් ඇමති රවී කරුණානායකගේ නිරීක්ෂණත් ඉදිරිපත් කරන්නේ ඉන් පසුවය. නමුත් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා මෙම ධීවර වරායන් විකිණීමේ කැබිනට් පත්‍රිකාවට විරුද්ධත්වය දක්වා නැත. ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමි වේ.
සැලැස්මේ ඇත්තේ සියලුම ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් සියල්ල එක වර බදු දීමයි. ඒ සඳහා මේ වනවිට ධීවර වරාය නීතිගත සංස්ථාවේ මූලස්ථානය ඇතුළු වරායන් 11ක් තක්සේරු කර අවසන්ය. මූලස්ථාන කාර්යාලයේ වාහන, ඉඩම, සියල්ල ඊට අයත් වන අතර ඒවාද මේ වන විට තක්සේරු කොට තිබේ. මූලස්ථාන කාර්යාලයේ තක්සේරු වටිනාකම රුපියල් විසිඅටකෝටි හාරලක්ෂ හතලිස්තුන්දහසකි. තංගල්ල, කිරින්ද, මිරිස්ස, පුරාණවැල්ල, කුඩාවැල්ල, සුදුවැල්ල, නිල්වැල්ල, වාලච්චේන, කල්පිටිය, කෝඩ්බේ යන සියලූ වරායන් තක්සේරු කර හමාරයි. මුළු තක්සේරු වටිනාකම රුපියල් එකසිය හැටනව කෝටි විසිහත් ලක්ෂ පනස් තුන්දහස් නවසිය පනහකි.
මෙම වරායන් පෞද්ගලික අංශයට බදුදීම නිසා රටේ ජාතික ආරක්ෂාවට, ධීවරයන්ගේ ජන ජීවිතයට, මෙන්ම ධීවර කර්මාන්තයටද එල්ල වන්නේ මරු පහරකි. මෙම ධීවර වරායන් සියල්ල පෞද්ගලික ආයතනවලින් පාලනය කරන්න පටන් ගතහොත් එය රටේ ආරක්ෂාවට ප්‍රශ්නයකි. දැනටත් මත්ද්‍රව්‍යයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති ලංකාව තව දුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත් වීමට මේ නිසා වැඩි අවස්ථාවක් ලැඛෙනු ඇත. එපමණක් නොව මෙරට අපේ ධීවරයන්ට පෞද්ගලික ආයතනවල නීතිරීතිවලට යට වීමටද සිදුවීම වැලැක්විය නොහැකිය.
නාවික හමුදාවේ ආරක්ෂාව ලැඛෙනවා යයි ආණ්ඩුව කියන්නේ කන්න ඕනෑ නිසා කබරගොයා තලගොයා කරගැනීමේ න්‍යාය
අනුගමනය කරමිනි. මේ සියල්ලම නාවික හමුදාවට පාලනය කළ නොහැකි බව දැනටමත් ඔප්පු වී තිබේ. දැනටත් සිදුවෙමින් තිඛෙන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට මුුහුදේ මසුන් හොරකම් කිරීම හෝ වළක්වන්න නාවික හමුදාවට නොහැකි වී තිබේ.
රට වටා කිලෝමීටර් 1620ක මුහුදු ප්‍රමාණයක් තිබේ. ධීවර වරායන් 20ක්, නැංගුරම් පොළවල් 58ක්, තොටුපොළවල් 860ක් ද තිබේ. ආණ්ඩුව කළ යුත්තේ මේ සියල්ල කළමනාකරණය කරමින් විධිමත් ධීවර කර්මාන්තයක් ස්ථාපිත කිරීමයි. එහෙත් ආණ්ඩුවේ සැලැස්ම මේවා සියල්ල අවුරුදු 30කට සමාගම්වලට බදු දීමයි. එසේ කළහොත් රට වටා තිඛෙන කිලෝමීටර් 1620ක වෙරළ තීරයේ කොතනකින් වුවද වැල්ලට බහින්නට එම සමාගම් වලින් බලපත්‍රයක් ගැනීමට මෙරට ධීවරයන්ට සිදු වනු ඇත.
ධීවරයන් මුහුදට ගිහින් මාළු ඇල්ලූ පමණින් එය කර්මාන්තයක් වන්නේ නැත. මෙරට ධීවර කර්මාන්තයෙන් ජීවත් වන පිරිස ලක්ෂ දෙකහමාරක් පමණ වේ. මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුලු ආණ්ඩුව මෙම වරායන් බදු දීමට සැලසුම් හදා ඇත්තේ අවම එම ධීවරයන්ට පමණක් නොව අවම වශයෙන් බදු දීමෙන් පසුව සේවකයන්ට කුමක් සිදු වන්නේද යන්න පවා නොසිතමිනි. ඒ පිළිබඳ තවමත් සඳහනක් නැත. මෝදර ධීවර වරාය බදු දෙන අවස්ථාවේ එහි සිටි සේවකයින් වෙනත් වරායන්වලට අනුයුක්ත කරනු ලැබීය. නමුත් මේ වනතෙක් අනෙක් වරායන් බදු දීමේදී සේවකයන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ආණ්ඩුව තීරණයක් ගෙන නොමැත. වරායන් සියල්ල බදු දෙන නිසා ඔවුන් අනුයුක්ත කිරීමට වෙනත් ස්ථානයක්ද නොමැත. ඒ අනුව ආණ්ඩුව පාරට ඇද දමන්නේ ධීවරයන් පමණක් නොවේ. ධීවර සංස්ථාවේ සේවකයන්ටද මේ නිසා යන එන මං නැතිව යනු ඇත.
ඒ වෙනුවට දැන් ආණ්ඩුව වෙනත් ප්‍රශ්නයක් ඇදගෙන දඟලමින් සිටියි. ඒ සේවකයන් අතිරික්තයක් ඇති බව පැවසීමයි. ආණ්ඩුව එසේ කියනවා නම් ඊට වගකිව යුත්තේද මීට පෙර සිටි සහ වර්තමානයේ සිටින ධීවර ඇමතිවරුන්ය. මහින්ද රාජපක්ෂ, රාජිත සේනාරත්න, මහින්ද අමරවීර ඊට සෘජුවම වගකිව යුතුය.
කෙසේ වෙතත් මේ ආණ්ඩුවට සැලැස්මක් නැති බවත් තිඛෙන එකම සැලැස්ම විකිණීම බවත් ධීවර වරායන් විකිණීමෙන් වඩාත් හොඳින් තහවුරු වේ. රට වටා මහ මුහුදක් තිඛෙන රටක ස්වභාවිකව ලැඛෙන මත්ස්‍ය සම්පත රටේ ජනතාවගේ පරිභෝජනයට ලබා දෙන්නට හෝ සැලැස්මක් සකස් කර ගැනීමට ආණ්ඩුව අසමත්ය. ඒ අසමත් කමට විසඳුම් සොයනු වෙනුවට ධීවර ඇමතිවරයා කරන්නේද ප්‍රගතිශීලී සළුපිළි වලින් තම නිරුවත වසා ගැනීම පමණි. ඒ නිසා ධීවර වරායන් සියල්ල විදේශීය සමාගම් වලට බදු දෙන්නට සිතන ඇමතිවරයාට කිව යුතුව ඇත්තේ තමන් තව දුරටත් ධීවර ඇමතිවරයා වශයෙන් ඇමති පුටුවේ සිටින්නේ කුමක් සඳහා දැයි එළඹි සිහියෙන් යුතුව නැවතත් සිතා බලන ලෙසයි.


චතුර දිසානායක