මහින්දගේ පාපෝච්චාරණය සහ වීරතුංගගේ කනට රහසක් කියූ කුමාරොදයේ වලසා

gjkl
දශක හතක අස්වැන්න වසකුප්පියද?
October 6, 2017
dgfj
සාධාරණය ඉල්ලන හම්බන්තොට වරාය සේවකයෝ
October 6, 2017
Show all

මහින්දගේ පාපෝච්චාරණය සහ වීරතුංගගේ කනට රහසක් කියූ කුමාරොදයේ වලසා

lggh

සිල් රෙදි ඛෙදීමට එරෙහි නඩු නිමිත්ත

2015 ජනවාරි 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් පමණක් තරග කළ ජනාධිපති මැතිවරණ සමයේ අවසාන දින කිහිපය තුළ දිවයිනේ පන්සල් හරහා බෞද්ධයන්ට සිල් රෙදි ඛෙදා දීමක් එවකට ජනාධිපති වූ සහ අපේක්ෂකයෙකු ද වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කරන ලදී. මහින්ද ජන්දයෙන් පරාජය වූ අතර, ඔහුගේ විරුද්ධවාදියා ජය ගනු ලැබීය. පසුව මෙම ක්‍රියාවට එරෙහිව නඩුවක් ගොනු වූ අතර, පැමිණිලිකාර පාර්ශ්වය කියා සිටියේ මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට අමතරව මහජන මුදල් අවභාවිතයේ යෙදවීමක් බවය. මේ සදහා චූදිතයන් ලෙස නම් කොට තිබුණේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් වූ අනූූෂ පැල්පිටය.

තීන්දුව කෙටියෙන්

පුරා දින 24ක් විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පිටු ගණනක් පුරා ලියවුණු ඉතා දීර්ඝ තීන්දුවක් දණ්ඩ නීති සංග්‍රහයේ 386 ප්‍රකාරව පසුගිය සැප්තැම්බර් 7 වෙනි දින උසාවියේ දී ප්‍රකාශයට පත් කරන ලද අතර, උද්ධෘතයක් නොවන පහත දක්වන එහි හරය පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍ය වනුයේ විවිධ පාර්ශ්වයන්ගේ පශ්චාද් තීන්දු, නිරීක්ෂණ සහ ප්‍රකාශ සහ ප්‍රතිචාරවල බොළදකම සහ වැරැද්ද තමන්ටම නිවැරදි කර ගැනීමට එය ආධාරයක් විිය හැකි බැවිනි. පැමිණිලිකාර පාර්ශ්වය විසින් කිසිම සාධාරණ සැකයකින් තොරව චූදිතයන්ව සියලු චෝදනාවලට වරදකරුවන් බවත්, 2015 පැවැත්වූ ජනාධිපති මැතිවරණයේදී විශේෂ අපේක්ෂකයෙකුට අයුතු වාසියක් ලබා දීමේ දේශපාලන අරමුණින් යුතුව චේතනාන්විතව සහ වංචනිකව (dishonestly) මෙම වැරැද්ද කර ඇති බවය. එම නිසා චූදිතයනට බරපතළ වැඩ ඇතිව වසර තුන බැගින් සිරදඩුවමක් ද, ‘විදුලි සංදේශ නියාමන පනත’ (TRC Act, No. 25 of 1991) උල්ලංඝනය කරමින් රුපියල් ලක්ෂ 6,000ක පාඩුවක් විදුලි සංදේශ නියාමන කොමිසමට (එනම් ජනතාවට) කරන ලද හෙයින්, එම පාඩුව පියවීමක් වශයෙන් සිරදඩුවමට අමතරව එක් අයෙකු මිලියන 50 බැගින් දඩයක් ද ගෙවිය යුතුය. (මෙය රජයට සහ රටට කරන ලද මූල්‍යමය අලාභයෙන් 1/6ක් පමණි. අර්ජුන ඇලෝසියස් කරන ලද බැදුම්කර වංචාවේ සමස්ත මුදලම ඔහුගෙන් නැවත අය කර ගත යුතු බවට මොරදෙන ඒකාබද්ධ විපක්ෂය සහ විරෝධතාවයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා සිල් රෙදි ව්‍යාපෘතිය හරහා ජනතාවගෙන් ගසාකෑ මුළු මුදලම මහින්දගෙන් සහ වීරතුංගලාගෙන් ඉල්ලා පාරට නොබසින්නේ ජනතාව කෙරෙහි අනුකම්පාවක් නැති නිසා ද? නීතිය නොදන්නාකමටද? කුහකකමටද? නැතිනම් මහින්දවාදී මනෝභාවය නිසාද?)
මෙම තීන්දුවෙන් ඇත්තට හෝ බොරුවට කුපිත වූ හෝ නොදන්නාකමට ආවේශ වූ අයට තීන්දුවේ නීතිමය පදනමට බලපෑ සාධක නීතිඥයෙකු නොවන මා අවබෝධ කර ගත් ආකාරයට පහත සරලව පෙළගස්වනුයේ, තීන්දුව පොදු නීති ව්‍යුහය තුළත්, එමෙන්ම අදාළ සුවිශේෂ නඩු අභ්‍යන්තරය තුළින් මතු වූ කරුණු කාරණා තුළත් යන දෙකටම අනුව ‘යුක්තිසහගත’ තීන්දුවක් වූ (just judgement) බව ඉස්මතු කිරීමටය. යමෙක් එය සාධාරණ නොවේ (unfair) යැයි කියන්නේ නම් එය නීති විෂයයට අදාළ මාතෘකාවකට වඩා ආචාරධර්මය සහ සදාචාරය පිළිබද විෂයයට වැටෙන මාතෘකාවකි. මේ දෙක වෙන් කර ගත යුතු බව දේශීය සහ විදේශීය නීති විශාරදයන් (උදා: Reinhold Niebuhr iy John Rawls) පෙන්වා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඇරත් මේ දෙක වෙන් කොට සැලකීමේ කතිකාවට වසර දහස් ගණනක ඉතිහාසයක් පවා ඇත. අපේ නීතිඥවරු සහ විනිසුරුවරු මේ වෙනස අතැඹුලක් සේ දනිති. සිල් රෙදි තීන්දුව අසාධාරණ යැයි පවසමින් ජනතාව අවුස්සනුයේ මේ දෙකේ වෙනස නොදන්නා නිසාය. අධිකරණ තීන්දු පිළිබදව සදාචාර ප්‍රශ්න මතු කළ හැකිමුත්, නීතිය යනු ආචාරධර්මය නොවේ. කෙසේ වෙතත්, ආන්දෝලනයට තුඩු දුන් තීන්දුව එසේ ප්‍රකාශ කිරීමට හේතුවූ කරුණු මෙසේය:
1. ක්‍රියාවට අදාළ වියදමට අනුමැතියක් නැතිවීම.
2. අනුමැතියක් රහිතව තමා ක්‍රියා කළ බව වීරතුංග පිළිගැනීම.
3. ලක්ෂ 6,000ක මහජන මුදලක් අවභාවිතය. (misappropriation)
4. මුදල ජනාධිපති ලේකම් වීරතුංගගේ ගිණුමට බැර කරගෙන තිබීම.
5. චූදිතයන්ගේ රාජකාරී ලැයිස්තුවට සිල් රෙදි ඛෙදීම අයත් නොවීම.
6. රෙදි ඛෙදා දීමේ වැරැද්ද චේතනාන්විතව සම්පූර්ණ කිරීම.
තීන්දුවට විරෝධී ගිහි, පැවිදි ප්‍රතිචාර මාධ්‍ය හරහා සමාජගත විය. මේවායින් ලිපියේ තේමාවට වැදගත් වනුයේ මහින්දගේ පාපොච්චාරණයයි.

මහින්ද කළ පාපෝච්චාරණය සහ කුමාරොදයේ වලසා

මහින්ද කීවේ මෙය තමාගේ නියෝගයක් උඩ ඛෙදා දුන් බවකි. මෙය සිල් රෙදි සම්බන්ධව ඔහුගේ පාපොච්චාරණයයි. තමා මෙම නියෝගය දුන් බව ඔහු කීවේ තීන්දුවෙන් පසුවය. නඩුව දින 24ක් විභාග වූ නිසා මෙම පාපොච්චාරණය ඔහුට අධිකරණය ඉදිරියේ කිරීමට තිබිණ. එසේ කොට තමන්ට සුවචව සහ කීකරුව වසර 10ක් සේවය කළ තමන්ගේ නිලධාරියාව චෝදනාවෙන් සපුරා නිදහස් කර ගැනීම දුෂ්කර වුවත්, දඩුවම ලිිහිල් කර ගැනීමට තිබිණ. මහින්ද එසේ කළේ නැත. ඔහු අධිකරණයට සහ ජනතාවට සිදු වූ ඇත්ත වසන් කළේය. ඇත්ත කීමට වීරතුංග හිරේට නියම වන තෙක්ම සිටියේය. තමාගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වීරතුංගව පාවිච්චි කළ මහින්ද වීරතුංගව 2015දී සිල් රෙදි ඛෙදීමට ද පාවිච්චි කළ බව මහින්දගේ පාපොච්චාරණයෙන් පැහැදිලි වේ. වීරතුංග වුවද, සියල්ල කළේ අකමැත්තෙන් නොවේ. එහෙත්, මහින්ද තමාගේ මිතුරා, ඥාතියා, කියූ හැමදේම සහ දෙනු ලැබූ නියෝග අකුරටම ක්‍රියාවට නැංවූ කීකරු ලේකම්වරයාව මානසික පෙළීමකට පත් කරමින් වීරතුංගට දුන් පණිවිඩය වූයේ ‘නුඔට හැකි නම් බේරියං’ යන්නය. එහෙත්, වීරතුංග තුළ මහින්ද වෙනුවෙන් පමණක් සැග වී තිබු මනුස්සකම නිසා සිල් රෙදි මගඩියෙන් මහින්දව නිදහස් කරමින්, වරද තමා පිට පටවා ගත්තේ
නියෝගයකින් හෝ නිර්දේශයකින් තොරව තමා කටයුතු කළ බව අධිකරණයේ දී පිළිිගනිමිනි. එසේ නම්, වීරතුංග හිරේට නියම වූයේ මහින්ද බේරන්නට යාම නිසාය. එහෙත්, මහින්ද වරද භාර ගත්තේ වීරතුංග හිරේට නියම වූවාට පසුවය. වීරතුංගට තමන් කුඩා කාලයේ කිය වූ කුමාරොදය පොතේ වලසෙකුගේ හදිසි පැමිණීම නිසා තම මිතුරා වලසාට දී ගසකට නැග තම ජීවිතය බේරා ගැනීම ගැන පමණක් සිතූ අවස්ථාවාදී බොරු සගයා ගැන බිම වැටී සිටි මිතුරාට වලසා කියු රහස කී වරක් නම් බන්ධනාගාරයේදී නැවත මතක් වෙන්නට ඇද්ද? කුමාරොදයේ වලසා බන්ධනාගාරයට පැමිණ වීරතුංගගේ කනට එම රහස කොපමණ වාරයක් නම් කොදුරා කියන්නට ඇද්ද? වලසා කියූ රහස කුමක් දැයි පාඨක ඔබ දනිති.

පාපෝච්චාරක මහින්දගේ දේශපාලනය ගැන තව දුරටත්

මහින්ද ඍජුවම කීවේ ‘ඔහු මේ වැරැද්ද කළ බවත් ඔහු මේ නියෝගය දුන් බවත්ය.’ අනුමැතියකින් තොරව ලක්ෂ 6,000ක් මුදාහැරීමට ජනාධිපති බලතල යටතේ වුවද කළ නොහැකි තත්ත්වයක් තිබුණ ද, මහින්ද ඒ ගැන දෙපාරක් හිතුවේ නැත. දෙවරක් ජනාධිපති ධුරය දැරූ අයෙකු සහ තෙවැනි වරට ද 18 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකුට මෙම වැරැද්ද නොකළ යුතු බවක් මොහොතකට හෝ සිතුණේ නැත. කණමැදිරියා දකින්නේ ආලෝකය පමණි. ආලෝකය තුළ තම මරණය ඇති බවට කණමැදිරියාට තේරුමක් නැත. ඌව පළාත් සභා මැතිවරණයේ සිල් රෙදි ඛෙදාහැරීම නීති විරෝධී බවට මැතිවරණ කොමසාරිස් 2014 සැප්තැම්බර් මස තහංචියක් පනවමින් කර තිබූ නියෝගය ද තුට්ටුවකට ගණන් නොගෙන සිය සුපුරුදු අත්තනෝමතික මනෝභාවය සහ ඒකාධිපති බලය පාවිච්චි කොට 2014දී ඌවේ ජනතාව බෞද්ධ කිරීම සදහා කළ ‘පුණ්‍යකර්මය’ 2015දී ලංකාව පුරා සිටින බෞද්ධයන් ශීලයේ පිහිටු වීමේ ‘මහා පුණ්‍යකර්මය’ තෙක් දිගු කළේය. එහෙත්, මහින්ද පරාද විය. එසේ වූයේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සදහා ආගමික වශයෙන් පූජනීය සිල් රෙද්ද පාවිච්චි කිරීමේ කර්මය හෝ පාපය නිසා නොවේ. සේනාධිනායකයා හැටියට රට බේරා ගැනීමේ කාර්යභාරය හැරුණු විට 2005 ජනාධිපති වීමට අර ඇදීමේ සිට (සුනාමි මුදල් සම්බන්ධයෙන් ගත් කල පිරිසිදු දෑතක් සහ නිර්මල මනසක් මහින්දට නොතිබූ බවට සරත් එන්. සිල්වා ප්‍රසිද්ධියේ කළ පාපොච්චාරණය ද මෙහිදී සිහිපත් කර ගැනීම වටී) 2015 දක්වා කරන ලද වෙනත් කර්මයන් නිසාය. විශේෂයෙන් පංචශීලයේ 1, 2 සහ 4 කඩ කිරීම හෝ කඩ කිරීමට අනුබල දීම හෝ කෙරෙන විට අහක බලා සිටීම හෝ සමහරවිට මේ තුනම ඔහුගේ පාලන සමයේ සිදු වූ බව ජනතාව 2015 මැතිවරණය වන විට හොදින් දැන සිටි නිසාය. දේශපාලනික වශයෙන් මහින්දගේ අවසනාවන්ත ඉරණම කල් තියා ලියා ගත්තේ මහින්ද විසින්මය. එයට සුමනදාස වගකිව යුතු නොවේ.
2015දී සිදු වූ මෙම සිල් රෙදි ඛෙදීමේ දේශපාලන මගඩිය මහින්දට සුපුරුදු දේශපාලනික වංචනික ක්‍රියා සහ මහජන මුදල් නාස්ති කිරීම් ගොන්න වූ හෙජිං ගනුදෙනුව, ගුවන් යානා මිල දී ගැනීම, අරලියගහ මන්දිරයේ සතිපතා දන්සල් ඇරීම, ඇත්ත හෝ බොරු වුණා හෝ සුනාමි මුදල් අපයෝජනය පිළිබද අපවාදය සහ තම ජයග්‍රහණය පතා එල්. ටී. ටී. ඊ.යට කෝටි ගණනින් මුදල් සැපයීම පිළිබද ලැයිස්තුවට අලුතින්ම එකතු වුණේ සිල් රෙදි ඛෙදීමය. මෙය වංචනික වන්නේ මැතිවරණයට දින 4කට හෝ සතියකට පෙර තියුණු තරගයක් මෝදුව තිබූ අවස්ථාවක අංශ මාත්‍රයක හෝ සිල් රෙදි අවශ්‍යතාවයක් නොදැනුණු වෙලාවක ලක්ෂ 6,000ක් වටිනා සිල් රෙදි බෙදාදීමට කටයුතු කිරීමය. යම් කිසි හෙයකින් මැතිවරණයෙන් මහින්ද ජය ගත්තේ නම්, මහින්දගේ සමයේ අත්තනෝමතිකව කාබාසිනියා කළ වෙනත් මහජන මුදල් නාස්ති පරීක්ෂණ යට ගියා මෙන් මෙම ලක්ෂ 6,000 යේ නාස්තිය ද යට යනු නියතය.
මහින්ද සහ ඔහුගේ හිතවාදීන් ‘සිල් රෙදි ඛෙදීම නරක වැඩක් දැයි?’ ප්‍රශ්න කරමින් අධිකරණ තීන්දුව ද අවඥාවට ලක් කරන ගමන් ජනතාව මුළා කිරීමට උත්සාහ කිරීම තවත් අපරාධයකි. කිසිම අනුමැතියකින් තොරව සිල් රෙදි ඛෙදුවේ බුදුන් වහන්සේගේ ජායාරූපයක් සමගවත් නොව මහින්දගේ ඡායාරූපයක් සමගය. එසේ නම් ‘වැඩේ’ ආගමිකද? මහින්ද හෝ වෙනත් ඕනෑම පෘථග්ජන දේශපාලනඥයෙකුගේ ඡායාරූපයක් සමග සිල් රෙදි ඛෙදුවාම රෙදි පූජනීය වෙන්නේ කෙසේද? මෙම සුළු කරුණ තේරුම් ගන්න බැරි තරම් මිනිසුන් ඇත්තට අන්ධ වෙන්නේ කෙසේද? තීන්දුව ලබා දුන් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම තීන්දුවට පැමිණියේ රාජ්‍ය / මහජන මුදල් අයථා පරිහරණය කිරීම පිළිබඳ චෝදනාවට වීරතුංග සහ පැල්පිට වරදකරුවන් වීම නිසා මිස ඔවුන් සිල් රෙදි ඛෙදුවාට නම් නොවන බව තේරුම් ගැනීමට තරම් තීන්දුවට විරුද්ධ වන්නන් පහත් අඩියකට වැටුණේ කෙසේද?
ධනවාදය සක්‍රීය බටහිර රටවල සහ ධනවාදයට පාවඩ එළන ලංකාව   ද ඇතුළු රටවල තත්ත්වය මෙයට වඩා සාධාරණ විය නොහැක. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වීමේ ‘මිථ්‍යාව’ ජනතාව තුළ පැළ කළ ද, ප්‍රජාතන්ත්‍රවාදය පොතේ මිස ප්‍රායෝගිකව කිසිදා සාධාරණ නොවීය. යුක්තියුක්ත වූයේ නැත. සදාචාර වූයේ නැත. එසේ වූයේ නම් සොක්‍රටීස්ට හෙම්ලොක් වස පානය කිරීමට හෝ ජේසුස් වහන්සේට කුරුසිය මත මරණය ළගා වීමට හෝ සිදු නොවනු ඇත. තීන්දු දෙකම පිළිවෙළින් ග්‍රීක සහ රෝම ඊනියා ප්‍රජතන්ත්‍රවාදී තීන්දුය. ධනවාදය කේන්ද්‍රීයව ඇති මෙම ක්‍රමයේ උත්ප්‍රාසය නම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය පිළිගෙන එයට ඇතුළුව එහි කොන්දේසි පිළිපදින බවට ශපථ කරමින් මැතිවරණ නීතීරීති උල්ලංඝනය කිරීම සිදු වීමය. මුදල්, සිල් රෙදි, බයිසිකල් දේශපාලන අල්ලස් වෙනුයේ මේ තත්ත්වය තුළය. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඉතිහාසය පුරා කළේ මෙයයි. ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන පක්ෂ සෑම ගෙදරකටම බුදුපිළිමය බැගින් ඛෙදා දුනහොත්, ඒ ගැන මම පුදුම නොවෙමි. නිදහසින් පසු ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරාම විවෘතව සහ ආවෘතව මේවා සිදු වූ අතර, ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, අප්‍රිකාවේ, පකිස්ථානයේ, බංගල දේශයේ සහ මැතිවරණ පවත්වන ඕනෑම රටක මෙම අක්‍රමිකතා අද ශීඝ්‍රයෙන් සිදු වේ. එසේ නම් සිදුවිය යුත්තේ කුමක්ද? කළ යුත්තේ සියලු දූෂණ සහ අක්‍රමිකතාවන්ගේ හේතුකාරකය වන ධනවාදය මුලිනුපුටා දැමීමේ ප්‍රධාන නිෂ්ඨාවට ළගා වන ගමන් දැනට මේ ක්‍රමය වෙනස් කිරීමට සුදුසු දේශපාලනය තෝරාගෙන ඒ වටා පෙළගැසීමය.
ප. ලි. ලිපියේ අවසන් ඡේදය ලියන මේ මොහොතේ සිල් රෙදි චූූදිතයන්ට ඇප ලැබී ඇත. තීන්දුව ලැබී සති දෙකක් ගෙවුණ ද, බරපතළ වැඩ ඇතිව හිරේට නියම වූ චූදිතයෝ එක රැයක් හිරගෙදර නොසිටියහ. සිරගෙදර වෛද්‍ය නිලධාරිණී නිර්මලී තේනුවරගේ වෛද්‍ය වාර්තා උඩ චූදිතයන් සුඛෝපභෝගී ආහාර භුක්ති විදිමින් ඇප ලැඛෙන තෙක් සිටියේ රෝහලේය. කනගාටු නොවන්න. කලබල නොවන්න. මේකෙ නම ‘සිස්ටම් එක.’


ඩෙස්මන් මල්ලිකාරච්චි