ලලිත්ගේ දඩුවම ගැන මහින්දගෙන් ඉගෙන ගන්නවාද? අනුරගෙන් ඉගෙන ගන්නවාද?

fhgh
ජනතාවගේ සල්ලි සහ රාජිතගේ පිල්ලි!
October 6, 2017
,,hjj
ජනාධිපති තාත්තාගේ ව්‍යවස්ථා උගුල
October 6, 2017
Show all

ලලිත්ගේ දඩුවම ගැන මහින්දගෙන් ඉගෙන ගන්නවාද? අනුරගෙන් ඉගෙන ගන්නවාද?

xdj

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනාට මහාධිකරණයෙන් ලබා දුන් දඩුවම් සම්බන්ධයෙන් රනිල් අගමැති ද පුදුමයට පත් වූ බව මන්ත්‍රී, මහින්දගේ කටින් කියා තිබිණි. මහින්දගේ අවශ්‍යතාවය අනුව පාර්ලිමේන්තුවේ අගමැති නිල කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ ‘පුදුමය’ පළ කළ කෙරී තිබිණි. රනිල්ගේ පුදුමය මහින්දගේ කටින් එළියට පැමිණීම එයින් නතර වූයේ නැත. පසුගිය 14 වැනිදා මහින්ද රාජපක‍ෂ නිකුත් කළ නිවේදනය එහි දෙවැනි අවස්ථාව බව නො අනුමානය.
නීතිඥයකු බව කියා ගන්නා මහින්ද රාජපක්ෂට ලලිත් හා අනූෂ සම්බන්ධයෙන් මේ දක්වා නොතිබූ නීති නුවණක් මෙම නිවේදනයෙන් එළියට පැමිණ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නොයෙක් අණපනත් හා චක්‍රලේඛ ගෙනහැර දක්වමින් එම නිවේදනය නිකුත් කර තිඛෙන්නේ රනිල් අගමැති හමු වූ පසු මහින්දට නීති ප්‍රාඥයෙකුගේ ඥානය පහළ වී ඇති බව පැහැදිලිය.
‘මගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මොවුන් කර ඇත්තේ, රටේ ජනාධිපතිවරයා විසින් ඔවුන් වෙත ලබා දුන් නීත්‍යානුකූල නියෝගයක් කි්‍රයාත්මක කිරීම පමණි.’ යනුවෙන් නිවේදනයේ සඳහන්ය. මන්ත්‍රී, මහින්ද ඒ බව තහවුරු කිරීමට විශාල වෙහෙසක් ගෙන තිබේ. මන්ත්‍රී, මහින්ද විසින් ප්‍රකාශ කර ඇත්තේ, ‘ජනාධිපති විශේෂ සංවර්ධන’ යනුවෙන් නම් කළ ව්‍යාපෘතියක් 2012 වසරේ දී ආරම්භ කරන ලද බවය. ‘වෙනත් අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල හිඩැස් පිරවීම සහ ජනාධිපතිවරයාට සෘජුව කෙරෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට’ මෙය ක්‍රියාත්මක කළ බවත් සඳහන්ව ඇත. වසරකට රුපියල් මිලියන 1,000ක් මෙයට වෙන් කළ බවද මන්ත්‍රී, මහින්දගේ නිවේදනය ආරම්භයේ සඳහන්ය.
මේ යටතේ 2014 වර්ෂයේදී ඉටු කිරීමට යෝජිත කාර්යයන් අටක් වූ බවද, එයින් අංක 6 යටතේ ‘පෝය දිනවල පන්සල්වල සිල් ගන්නා බැතිමතුන්ට ද්‍රව්‍යමය ආධාර සැපයීමේ ව්‍යාපෘතිය’ වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට තිබූ බවද සඳහන්ය. ඒ අනුව ක්‍රියා කරන ලෙස ලලිත් වීරතුංග විසින් අනෙකුත් නිලධාරීන්ට දන්වා ඇත්තේ, 2014 මැයි 12 වැනි දින බවද සඳහන්ය. මන්ත්‍රී, මහින්දගේ නිවේදනයෙන් මතු කිරීමට උත්සාහ කරන මූලික නීති ගැට කිහිපයක් තිබේ.
(අ) ජනාධිපතිවරණය කැඳවීමට බොහෝ කලකට පෙර මෙය ආරම්භ කළ බව.
(ආ) සිල් රෙදි සපයන ලද්දේ පන්සල් 11,021කට මිස ඡන්දදායකයන්ට නොවන බවත්, ඒවා ඛෙදා දෙන ලද්දේ විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදි බවත් දැක්වීම.
(ඇ) පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතිය යටතේ නිල ඇඳුම් ඛෙදා දෙන්නේ ද අවුරුද්දේ අන්තිමට වන අතර, ඡන්දයක් තිබුණත්, එය නැවැත්විය නොහැක. ඡන්දයක් පවතින අතර, පාසල් නිල ඇඳුම් ඛෙදා දීමෙන් ඡන්දයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිඛෙනවා යැයි කිසිවකු කියන්නේ නැත. යන තර්කය.
(ඈ) මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ‘මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් කරන දහම් පඩුරක්’ යන ප්‍රකාශය අඩංගු පත්‍රිකාව ඡන්ද අල්ලසක් නොවන බව.
(ඉ) සිල් රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් පසුව ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට ඔක්තෝබර් 30 වැනි දින එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට ජනාධිපති ලේකම්, ලලිත් වීරතුංග දැන් වූ බව.
(ඊ) සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට තීන්දු කිරීම.
(එ) විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා තුනකට අනුමැතිය ලබා දී ඇති බව ආදී වශයෙන් අධිකරණයේදී හෙළි කිරීමට අමතක වීම වැනි නීති තර්ක නිවේදනයේ ඇතුළත්ය.
මේ ආදී වශයෙන් වූ කරුණු දෙස බැලීමේ දී පැහැදිලි වන එක දෙයක් ඇත. ‘මේ රටේ සිංහල බෞද්ධයන්ට සිල් රෙද්දක් ඛෙදා දීමත් දඩුවම් කරන වරදක් නේ හාමුදුරුවනේ’ යනුවෙන් ගැලරියට කළ කතාව ‘නීතිමය පොරත්වයකින්’ කීමට නිවේදනය නිකුත් කර ඇති බවය. අනෙක් පැත්තෙන් පැහැදිලි වන්නේ නිවේදනයේ තවත් යටි අරමුණක් තිබූ බවය. එය නම්, ‘අපේ අය බිලි දීලා උන් යහතින් ඉන්නවා. නියෝග කළ එකාලා පැත්තක. දඩුවම් විඳින්නේ අපේ අය. මේ අපරාධවලට හෙණම ගහන්ඩ ඕනෑ’ යනුවෙන් වීරතුංග, පැල්පිට පවුල්වල අය ශාප නොකර සිටීමට යෙදූ උපායක් බවය.
මන්ත්‍රී මහින්දගේ නිවේදනයෙන් ‘නීතිමය ගැට’ වශයෙන් මතු කිරීමට උත්සාහ කර තිඛෙන ඉහත ‘අ’ සිට ‘ඊ’ දක්වා ඇති කරුණුවල අවසන් දෙක විස්තර සහිතව විමසා බැලීම අවශ්‍යය. ලලිත් වීරතුංග විසින් 2014 ඔක්තෝබර් 30 වැනිදා විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට දන්වා ඇත්තේ, ‘සිල් රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් පසුව ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ලබා ගන්නා’ ලෙසය. හොඳින් මතක තබා ගත යුත්තේ, ‘පසුව ප්‍රතිපූර්ණය කිරීමේ’ මූලික කොන්දේසියක් මෙහි තිඛෙන බවය.
ජනාධිපති ලේකම්, ලලිත් වීරතුංග 2014 ඔක්තෝබර් 30 වැනිදා නිකුත් කළ නියෝගය පරිදි අනූෂ පැල්පිට විදුලි සන්දේශ අධ්‍යක්ෂ ජනරාල් විසින් කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට 2014 දෙසැම්බර් 15 වැනිදා යෝජනා තුනක් ඉදිරිපත් කර ඇති බව මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ නිවේදනයෙන් කියා ඇත. මන්ත්‍රී, මහින්ද සඳහන් කර තිඛෙන යෝජනා තුන වන්නේ¦
1. ආර්ථීක ප්‍රතිපාදන හැටියට විදුලි සන්දේශ නියාමන කොමිසමේ සමාජසේවා ගිණුමට රුපියල් මිලියන 600ක් වෙන් කිරීම.
2. මෙකී මිලියන 600 ජනාධිපති විශේෂ සංවර්ධන ගිණුමට ලබා දීම.
3. මෙකී මුදල් විදුලි සන්දේශ නියාමන කොමිසමේ සමාජසේවා ගිණුම හරහා වැය කිරීම. යන කරුණුවලට විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව මන්ත්‍රී, මහින්ද කියයි.
දැන් මතු වන බරපතළම ප්‍රශ්නයක් ඇත. මන්ත්‍රී, මහින්දගේ නිවේදනයේ දක්වා තිඛෙන පරිදි රුපියල් මිලියන 600ක් ප්‍රතිපූරණය කිරීමට අදාළ කිසිදු සඳහනක් අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවල නොවීමය. මහින්දගේ නීතිමය කරුණු දැක්වීම්වල අවසාන කරුණු දෙක කෙරෙහි යළි අවධානය යොමු කළ යුතුව තිබේ. විදුලි සන්දේශ නියාමන කොමිසමේ මිලියන 600 ප්‍රතිපූරණය කළ යුතු බව (ඉ) හි දී සඳහන් කර පසුව (ඊ) හි දී සඳහන් කරන්නේ ‘සිල් රෙදි ව්‍යාපෘතිය’ සඳහා මූල්‍ය අනුග්‍රහය විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට තීන්දු කළ බවය. මන්ත්‍රී, මහින්දගේ නිවේදනය ශාස්ත්‍රකරුවකුගේ නැකතකින් නිකුත් කර ඇති බව පැහැදිලිය. ඒ තුළම ‘ප්‍රතිපූරණය’ සහ ‘මූල්‍ය අනුග්‍රහය’ යන පරස්පරතා තිබීමත්, කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය ළදරුවන් කර ප්‍රතිපූරණය කිරීමේ කිසිම යෝජනාවක් සම්මත කර නොතිබීමත් නිසාය.
රනිල් ද පුදුමයට පත් වූ නඩු තීන්දුවක් සම්බන්ධයෙන් රනිල්ගේ නීති උපදේශකයන් ද හවුල් කරගෙන නිකුත් කළ නිවේදනය හරහා ගහන ගැට ද මහින්දට පාරාවළල්ලක් වන ලකුණු මෙයින් පැහැදිලි වේ. දැන් හත්පොළේ ගා ගන්නේ මන්ත්‍රී, මහින්ද පමණක් ද නොව තීන්දුවෙන් පුදුමයට පත් වූ රනිල් ද සමඟමය. මන්ත්‍රී, මහින්දගේ නිවේදනය වියුක්තව ගෙන බොහෝ කරුණු ඒ තුළින් ඉදිරිපත් කිරීමට තිබේ. නමුත්, එය ජනතාවට එතරම් ඵලදායක වන්නේ නැත. මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 10 වැනිදා මහරගම ප්‍රසිද්ධ රැලියක දී දැක් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සංයුක්ත අවබෝධයක් ලබා ගත හැකිය. මෙතැන් සිට ඒ වෙත යොමු වෙමු.
ගොඩක් අය අර්ථකථනය කරන්න උත්සාහ කරනවා ලලිත් වීරතුංග හොඳ මහත්තයෙක් කියලා. ඇඳුමෙන්, පැළඳුමෙන් හොඳ මහත්තයෙක් වගේ වුණාට පට්ට හොරෙක් බව මතක තබා ගන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අග්‍රාමාත්‍ය ලේකම් හැටියට වැඩ කරන කොට ‘හෙල්පින් හම්බන්තොට’ සුනාමි අරමුදල ආරම්භ කරන කොටත් ලලිත් වීරතුංග අගමැති ලේකම් බව මතක තබා ගන්න. ‘හෙල්පින් හම්බන්තොට’ ගැන නඩු තීන්දුව දෙන දවසේ ලලිත් වීරතුංග මහත්තයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ඇයි ? මේක හෙළි කරන ලෙස මම අභියෝග කරනවා. අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්ඩාරනායක නෙරපා හරින්න වත්කම් බැරකම් චෝදනාවක් ඉදිරිපත් කළා. නඩුව දැම්මේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන්. ඊට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමතිවරුන් මහවැලි කේන්ද්‍රයට ගෙන්වලා ඒ ඇමතිවරුන්ගේ පැරණි වත්කම් බැරකම් ප්‍රකාශ හදන්න උපදෙස් දුන්නේ කවුරුන්ද?
‘ඒ විතරක් නොවෙයි, ජනාධිපතිවරණයේ සිල් රෙදි ඛෙදීම නිවන පතා ගොඩනැගුණු ධාර්මික මනෝභාවයකින් දුන් දෙයක් නොවෙයි. මේක ඡන්ද අල්ලසක්. මේ ගැන ප්‍රශ්නය මතු වුණාට පස්සේ මැතිවරණ කොමසාරිස්තුමා මැදිහත් වුණා. බැසිල් රාජපක්ෂ සහභාගී වෙලා ආණමඩුවේ සිල් රෙදි ඛෙදන්න තිබුණා. මැතිවරණ කොමසාරිස්තුමා ඒක නතර කළා. ලලිත් වීරතුංග කියන්නේ අල්ලස් දෙන්න පෙළඹවාපු කෙනෙක්. පිරිසිදු මහත්තයෙක් වෙන්නේ කොහොමද? විදුලි සන්දේශ නියාමන කොමිසම තිඛෙන්නේ අපේ රටේ සංඛ්‍යාත නියාමනය කරන්න, ඒවා ආරක්ෂා කරන්න සහ නිසි විදියට කළමනාකරණය කරන්න. ඒකේ තිබුණු සල්ලි ලක්ෂ 6,000ක සිල් රෙදි ගන්න දුන්නා. ලංකාව වටේ පරිධිය කිලෝ මීටර් 1,340යි. මේ වටේ තුන් වටයක් ඔතන්න පුළුවන් සිල් රෙදි ඛෙදුවා.
‘හැම සිල් රෙදි පාර්සලයක් ඇතුළෙම මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් තිබුණා. ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔහුගේ පණිවුඩයක් තිබුණා. මේක ඡන්දයට දීපු අල්ලසක් නොවන්නේ කොහොමද? සමහර ස්වාමීන් වහන්සේලා කිපිලා තිබුණා, ‘මේ රටේ සිල් රෙද්දක් ඛෙදා දෙන්නවත් බැරිද?’ කියලා. හැබැයි, කිපෙන්න ඕනෑ සිල් රෙද්දත් ඡන්ද අල්ලසක් ලෙස පාවිච්චි කිරීම පිළිබඳවයි. ධර්මය පැත්තෙන් කිපෙන්න ඕනෑ ඒකට.
‘ඡන්ද අල්ලස් දුන්නේ මේ ටික විතරක් නොවෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කැරම් බෝඩ් 14,000ක් ඛෙදුවා. ඡන්ද රැස්වීම්වල කොඩි කණු හිටවන්න හැම ප්‍රාදේශීය සභාවකටම ‘දිවි නැගුම’ අරමුදලෙන් ලක්ෂ 200ක කොඩි කණු ඛෙදුවා. එදා ඛනිජ තෙල් ඇමති, අනුර ප්‍රියදර්ශන යාපා පෙට්‍රෝලියම් එකෙන් ලක්ෂ 61ක් සතොසට දුන්නා වියළි ආහාර පාර්සල් ඡන්දයට ඛෙදන්න. ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ හතක ආහාර මලු සතොසෙන් ඛෙදුවා. වයඹ වැවිලි සමාගමෙන් මොනරාගලට ගිහින් රෙදිපිළි ඛෙදුවා, ජගත් පුෂ්පකුමාර ඇමති. සමෘද්ධි පවුලකට රුපියල් 2,500.00 ගාණේ දෙන්න බැසිල් රාජපක්ෂ නියෝග කළා. ඡන්දයට කලින් 2,500.00ක්, ඡන්දයට පස්සේ රුපියල් 7,500.00ක් දෙන බවයි බැසිල් කිව්වේ. සමෘද්ධිලාභීන්ගේ තැන්පත් සල්ලිවලින් රුපියල් මිලියන 2,592ක් ඛෙදුවා. මෙහෙමයි, ඡන්ද අල්ලස් දුන්නේ.
‘ලලිත් වීරතුංග මේ හැමදේම දන්නවා. ඔහු ජනාධිපති ලේකම්ගේ කාර්යය නොවෙයි කළේ. දේශපාලකයෙක් වුණා. අධිකරණයේදී ඒ ගැන ප්‍රශ්න කෙරුණා. ජනාධිපති ලේකම්වරයා හැටියට තමන්ට පැවරී තිඛෙන රාජකාරිය ඉටු කළ බවට තර්කයක් ඔවුන් ගෙනාවා. හැබැයි, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විමර්ශන අනුව ලලිත් වීරතුංග විසින් කරන ලද රූපවාහිනී සාකච්ඡාවලත්, ඔහු විසින් ආමන්ත්‍රණය කරන ලද රැස්වීම්වලත් වීඩියෝ පට ගෙනැල්ලා පෙන්නුවා. රාජ්‍ය පරිපාලන නිලධාරියකු හැටියට නොවෙයි, ඡන්ද ව්‍යාපාරයක දේශපාලකයකු හැටියට කටයුතු කළ බවට ඔප්පු කළා. මේ ගැන ෆේස්බුක්වල ලියන අය නිකම් තර්ක කරලා වැඩක් නෑ. ලලිත් වීරතුංගලාගේ නීතිඥවරුන් විවිධ ආකාරයෙන් ඔය ගැන තර්ක කළා.
‘හැබැයි, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා හොඳින් කරුණු ඉදිරිපත් කරලා ලලිත් වීරතුංග ජනාධිපති ලේකම් ධුරය ඉක්මවා යන දේශපාලන මැදිහත් වීමක් කළ බව ඔප්පු කළා. මේ දඩුවම් ලැබුණේ ඒ නිසයි. සරල කාරණයක් නොවෙයි. ජනාධිපති ලේකම්වරයකුට විරුද්ධව පරීක්ෂණ නිකම් සිද්ධ වුණේ නෑ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රේමශාන්ත මහත්තයා යටතේ මේ පරීක්ෂණ මෙහෙයවුණේ. මේ සඳහා උපදෙස් ලබා දුන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී විද්‍යාලංකාර. ඉතාමත් අසීරු පරීක්ෂණයක් මේක. පොදු දේපළ පනත යටතේ නඩුව දැම්මේ. හැබැයි, එක දවසක්වත් හිරේ හිටියේ නෑ. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වෙද්දී එක පාර ම මහාධිකරණයට නඩුව මාරු කළා.
‘මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කෙළින්ම මහාධිකරණයට ගියේ කොහොමද කියලා අධිකරණයත් පුදුම වුණා. අධිකරණයට ඒ තරමට බලපෑම් ආවා. පරීක්ෂණවලට බලපෑම් ආවා. ඒ සියල්ල මධ්‍යයේ කටයුතු කළේ කවුද? ලලිත් වීරතුංග රාජ්‍ය නිලධාරියෙක් නම්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අයත් රාජ්‍ය නිලධාරීන්. නීතිපති දෙපාර්තමේන්තුවේ අයත් රාජ්‍ය නිලධාරීන්. ලංකාවේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ හිටපු ඉහළම නිලධාරියාට මැතිවරණ අල්ලස් දීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු දලා ලබා දීපු තීන්දුවක් මේක. ඒක අගය කරන්න ඕනෑ¦ ආරක්ෂා කරන්න ඕනෑ.
‘ඇයි ආරක්ෂා කරන්න ඕනෑ ? රාජ්‍ය නිලධාරීනුත් පත් වෙන අසරණ භාවය අපි දන්නවා. නමුත්, රාජ්‍ය නිලධාරීනුත් කොන්ද කෙළින් තියාගෙන ඉන්න ඕනෑ, දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව යටතේ රාජ්‍ය නිලධාරීන්ට සිද්ධ වෙමින් තියෙන්නේ මොකක්ද? ඩී.එම්. ස්වාමිනාදන්ගේ නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ අමාත්‍යාංශයේ කාර්යාලය වෙනත් තැනකට අරගෙන ගියා. රජයේ තක්සේරු නිලධාරියාගේ තක්සේරුව මාසික කුලිය රුපියල් ලක්ෂ 30යි. හැබැයි, ලක්ෂ 50ක් දක්වා වැඩි කර ගන්න කීවා. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ලංකා සේනාරත්න මහත්මිය ඒ තීන්දුවට යටත් වුණේ නෑ. ඒ වාගේම සහකාර ලේකම්, නිකරි කාන්තන් මහතා. හැබැයි, ඒ අයට ස්ථානමාරු දඩුවම් දුන්නා. ඒ වාගේම එම අමාත්‍යාංශයේ ගණකාධිකාරී වසන්ත පෙරේරා ඒ චෙක් එකට අත්සන් කරන්න බෑ කිව්වා. ගණකාධිකාරීවරයාත් මාරු කළා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා, තීරණයක් අරගෙන හිටියා. අන්න එහෙ මයි රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ලේ මාසික කුලිය ලක්ෂ 240යි. මාස අටක් තිස්සේ තවම ගිහිල්ලත් නෑ. මේ චෙක්පත්වලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතිරේක ලේකම් රසිකා අබේධීර මහත්මිය මාරු කරලා දැම්මා.
‘ඒ විතරක් නොවෙයි, සංචාරක නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පාවිච්චි කළ වාහන දෙකක් ගත්තා. රජයට වාහන මිල දී ගන්න පුළුවන්කම තියෙන්නේ ‘බ්‍රෑන්ඩ් නිව්’ වාහන විතරයි. හැබැයි, පාවිච්චි කළ ‘ප්‍රාඩෝ’ රථ දෙකක් ගත්තා. මේ සම්බන්ධයෙන් ගෙවීම් ප්‍රතික්ෂේප කළ ප්‍රධාන ගණකාධිකාරිනී, ටී.ජී. අයිරාංගනී මහත්මියව ස්ථාන මාරු කළා. ආණ්ඩුවේ මන්තී්‍රවරුන් 58 දෙනාට මාසික වාහන කුලිය වශයෙන් රුපියල් ලක්ෂ හත ගාණේ මාස හැටකට ගෙවන්න කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, නිමල් බෝපගේ මහත්තයා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරයාත් අනුමත කළ කැබිනට් පත්‍රිකාවක් බව මතක තබා ගන්න! රනිල් වික්‍රමසිංහ බෝපගේ මහත්තයාට ‘එක්කෝ අත්සන් කරපන් නැත්නම් පලයං’ කිව්වා. හැබැයි, නිමල් බෝපගේලා ඒවා දරාගෙන හිටියා. ජනමාධ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට එකතු වුණාම ලේකම්වරුන් දෙන්නෙක් ඉන්න බෑ. ඒ තත්ත්වය උපයෝගී කරගෙන නිමල් බෝපගේ අයින් කරලා දැම්මා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වැඩ කරන්නේ මෙහෙම.
‘නිලධාරීන්ට විවිධ බලපෑම් එන බව අපි දන්නවා. හැබැයි, ඒ බලපෑම්වලට යටත් නොවී රාජකාරිය හරියට කරන නිලධාරීන් විශාල පිරිසක් අපේ රාජ්‍ය සේවයේ ඉන්නවා. අපි ඔවුන්ට ගෞරව කරන්න ඕනෑ. ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ලලිත් වීරතුංග යට වුණා නොවයි, ස්වේච්ඡාවෙන් මේකට මැදිහත් වුණු බව මතක තියා ගන්න. ජනාධිපති නියෝග නොවෙයි, ඒවා සැලසුම් කළේම ලලිත් වීරතුංග. දූෂිතයකුට දඩුවම් කරන කොට ජනතාව සතුටු වෙනවා වාගේම දූෂණයට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහාත් ජනතාව වෙත සැලකිය යුතු වගකීමක් තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාවත් එක්ක අපේ රටේ දූෂණයට, වංචාවට එරෙහිව සටන් වදින සෑම රාජ්‍ය නිලධාරියකුම ආරක‍ෂා කිරීම වෙනුවෙන් සටන් වදින බවට, පෙනී සිටින බවට අපි සහතික වෙනවා.’
මන්තී්‍ර, මහින්දගේ නිවේදනයෙන් ආරක්ෂා කරන්න උත්සාහ දරන ලලිත් වීරතුංගලාගේ තත්ත්වය හෙළි කර රනිල් වික්‍රමසිංහ අගමැති බලතල යොදා කි්‍රයාත්මක කරන දේ ඔය ලෙසය. මේ සටහන ලිවීම ආරම්භ කරන විට හිරේ සිටි දෙදෙනා සටහන අවසාන කරන කොට ඇප පිට නිදහස්ය. මෛත්‍රී ඇමෙරිකාවේ සිටින අතර මහාධිකරණය ඇප නියම කර තිබේ. මහාධිකරණය දුන් තීන්දුවකට එම අධිකරණයටම ඇප නියම කිරීමට සිදුවීමෙන් ලලිත් වීරතුංගගේ තරමත්, මන්තී්‍ර, මහින්ද රාජපක්ෂගේ තරමත් මෙන් ම අගමැති රනිල් වික්‍රමසිංහගේ තරමත් තීරණය කිරීම ජනතාවට භාරය.


ප්‍රියදර්ශන දයාරත්න