සෑම දරුවෙක්ම සුවිශේෂයි. එහෙත්….

gjknm
චතුරිකාගේ තාත්තා ජනාධිපති කළ ජනතාව ගැන….
October 6, 2017
kll;
කියුබාවේ දිවි රකිමින් එක්සත් ජනපදය සමතලා කළ ඉර්මා!
October 6, 2017
Show all

සෑම දරුවෙක්ම සුවිශේෂයි. එහෙත්….

gj,k

නිර්මාණ වීරසිංහ නම් සහෘදයකු විසින් ‘ලංකා’ පුවත්පතේ ‘වයිඩ් බෝඩ්හි’ පසුගිය සතියක අලවා තිබූ වියමන පිළිබඳව සංවාද කිරීමට ඇරයුමක් තිඛෙනු දුටු හෙයින් එම ඇරයුම සහෘද සිතින් පිළිගනිමින් මෙම කථීකාව ආරම්භ කරමි.
එහි මාතෘකාව වී තිබුණේ සෑම දරුවෙක්ම සුවිශේෂයි යනුවෙනි. ඔව්, එය සහමුලින්ම පිළිගනිමි. විවාද නැත. එහෙත් ඔහු අවසන මතු කරන ‘විචාරශීලී ඉදිරිගාමී දරු පරම්පරාවක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් සංවාද කිරීමට කතා කිරීම’ සම්බන්ධයෙන් මෙම කථීකාව ඇරඹීම සුදුසු යැයි සිතුවෙමි.
නිර්මාණ වීරසිංහ සහෘදයා විසින් සිය ලිපියේ මුලදී මතු කළ දරුවන්ගේ මානසිකත්වය වටහා ගත නොහැකි ගුරුවරුන් හා ගුරු උපදේශකයන් ගැන සඳහන් කර තිබේ. ඒ ආකාරයෙන්ම සිය පියාගේ අකල් වියෝවෙන් තැවෙන පුතෙකුගේ චින්ත සන්තානය තැවෙන ආකාරයද තැනක විග්‍රහ කරයි.
සැබැවින්ම ඔහුට අනුව ගුරුවරුන් හා ගුරු උපදේශකයන්ද පුනරුත්ථාපනය කළ යුතුය. දරුවන්ට ප්‍රථම ඔවුන් නැවත සකස් කළ යුතුව ඇත. එනයින් බලන කල එම ගුරු උපදේශකයන් පුහුණු කළ අයද නැවත පුනරුත්ථාපනය කළ යුතු බව ගම්‍ය නොවන්නේද? එසේ නම්, ඔවුන්ගේද පූර්වගාමීන් ද පුනරුත්ථාපනය කළ යුතුය යන තර්කය නැගේ. මේ ආකාරයට බලන කල මුළු ගුරු සංහතියම ශිෂ්‍ය සංහතියට ප්‍රථමයෙන් පුනර්ඥානනය කළ යුතු බවට තර්කයක් මතු කළ හැකිවේ. එසේ නම් මෙම කර්තව්‍ය ශිෂ්‍යයන් පමණක් විචාරශීලීව ගොඩනැගිය යුතුය යන ප්‍රවාදය තුළින් සාක්ෂාත් කරගැනීමට හැකියාවක් ලැබේද? බරපතළ ප්‍රශ්නයකි.
නිර්මාණ වීරසිංහ සහෘදයාගේ කල්පනාවන් ඉතා කාලෝචිත වුවත්, එහි පරිකල්පන ශක්තිය ගැබ් නොවී තිඛෙන බව මෙම තර්කනය ඔස්සේ පැහැදිලි වේ. එසේ නම් කළ යුත්තේ අග සිට මුලට යාමද? එනම් ශිෂ්‍යයන්ගේ සිට ඔවුන්ගේ ගුරු පරම්පරාව ඥාණනය කිරීම දක්වා වන අවරෝහන ක්‍රියා පටිපාටියටද? එසේ නැත්නම් මුළු සමාජයටම බලපාන ආර්ථීක, සමාජ, දේශපාලන, අධ්‍යාපන ආදී මෙකී නොකී අටෝරාශියක් විෂයයන් සම්බන්ධයෙන් වන දේශපාලන ආර්ථීක දැනුම්වත් කිරීමට නොවේද? මෙන්න මේ සරල ලෙස පෙනෙන, එනමුත් අතිශය සංකීර්ණ ක්‍රියාවලියට අප යා යුතුය. ප්‍රශ්නයේ එක කොනක් නිවැරදි කිරීම කිසිසේත් කළ නොහැකි බව මගේ කල්පනාවයි. මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් සංවාද විවාද කිරීමට මම පසුබට නොවෙමි. පවුල කේන්ද්‍රීය සමාජයට දෙමාපියන් දෙදෙනා අත්‍යවශ්‍යය. එහි විවාදයකත් නොමැත. හේතුව ධනවාදී සමාජය තුළ මානව, දයාව, කරුණාව ආදී හැඟීම් පිහිටන්නේ තමාගේ කුසින් හදා වඩා ගත් දරුවන් කෙරෙහි පමණක්ම වන බැවිනි. දරුවෙකුට තම ජාතක පියා සහ මව තරම් ආදරේ දක්වන්නෙකු කිසිවිටෙක නොමැත යන මිථ්‍යාව වපුරා තිඛෙන්නේද? මේ ධනවාදී සමාජ චින්තකයන් විසින් වීම එයට හේතුව සේ මම දකිමි. ධනවාදී සමාජය පවතින තුරුම මෙම තත්ත්වය පැවතීම අත්‍යවශ්‍ය බව මම ද පිළිගනිමි. දරුවෙකුට තම ජාතක පියා අවශ්‍යය. තමන් බිහි කළ මව අත්‍යවශ්‍යය. එය මේ සමාජයට පමණක් අත්‍යවශ්‍ය වූවක් පමණක් බව මම පිළිගනිමි. හේතුව අනෙකුත් සුවහසක් පියවරුන් හා මව්වරුන්ටද තමන්ගේම දරුවා පමණක් දරුවා වන බැවිනි. මේ මතවාදය පුපුරුවා හැරෙන්නේ සමාජවාදී සමාජයෙන්ද ඔබ්බට ගිය කොමියුනිස්ට් සමාජය තුළදී පමණක් බව මම කෙටියෙන් අර්ථ දක්වමි. ඒ පිළිබඳව පුළුල් කථීකාවතක් අවශ්‍ය නම් ඉදිරියේදී ගොඩනගමු.
එසේ නම්, කාරණය පැහැදිලිය. නිර්මාණ වීරසිංහ සහෘදයාණෙනි, ඔබේ සිතැඟි ඉතාමත් විශිෂ්ටය. ඔබගේ අනුකම්පා සහගත සාධාරණ හදවත හඩගා කියන ‘විචාරශීලී දරුවෙකු බිහි කළ යුතුය යන’ සිතුවිල්ල මා හිස නමා ආචාර කරමින් පිළිගනිමි.
එහෙත් ඔබ යෝජනා කරන අධ්‍යාපන ක්‍රමවේදයකින් පමණක් මේ දැවෙන සමාජ ප්‍රශ්නයට විසඳුම් සොයා ගත නොහැකි බව මේ කරුණු දැක්වීම තුළින් සනාථ වන බව ඔබටද වැටහී යනවා ඇතැයි මම විශ්වාස කරමි. එසේ නොමැති නම් තවදුරටත් සංවාදශීලී වීමට මම නම්‍යශීලී වෙමි. සංවාදය ඉතා විශිෂ්ටය. ඉන් යථාර්තවාදී එකඟතා ඇති කර ගැනීම ඊටත් වඩා විශිෂ්ටය.
ඉතින් මේ අනුව අප කළ යුත්තේ කුමක්ද? අපේ උපන් නූපන් දරු පරපුර නොමග යවන තරුණ වැඩිහිටි පරපුර ඛෙලහීන කරන වයෝවෘද්ධ සමාජය අසරණ කරන මේ කාලකණ්ණි ධනවාදය පරාජය කිරීමයි. ධනවාදය පවතින්නේ යම් රටකද එම රටවැසියා අන්ත අසරණය. එහි දරු දරපුර අන්ත අසරණය. සියයට විස්සක් තරම් වන කොටසක් රටේ දේපළ වලින් සියයට අසූවක් භුක්ති විඳින අතර, ඉතිරි සියයට අසූවක් අසරණයන්් මෙන් ජීවත්වන සමාජයක දරුවන් පමණක් යහමඟ යැවීමට සිතීමත් මුළාවක් බව දැන් අපට වටහා ගත හැකිය.


පරාක්‍රම විජයරත්න – ගම්පහ