හම්බන්තොට ලේවාය සජිත් ප්‍රේමදාසලා ඉහගෙන කන හැටි

xfghjfv gfh
අස්වූ සභාපති ආණ්ඩුවේ රෙදි ගලවයි!
October 10, 2017
AWDaE
හොරු රකින ආණ්ඩුව බිය වූ ජාතික විගණන පනත
October 10, 2017
Show all

හම්බන්තොට ලේවාය සජිත් ප්‍රේමදාසලා ඉහගෙන කන හැටි

xfgjhf gbh

දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ වී පසුව සංස්ථාවක් බවට පත් කරන ලද හා ඊට පසුව පොදු ජන එක්සත් පෙරමුණ රජය සමයේ පෞද්ගලිකකරණය කිරීමට සැලසුම් කරන ලද හම්බන්තොට ලුණු ලේවාය පසු කාලයක දී සේවක භාරකාර අරමුදල් මණ්ඩලයේ අයිතියට පත් කර ‘ලංකා සෝල්ට් ලිමිටඩ්’ ලෙස නාමකරණය කරනු ලැබීය. සේවක භාරකාර මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ වැඩ කරන 25,00,000කට අධික ජනතාවගේ අරමුදලකින් සමන්විත රජයට පූර්ණ අයිතිය ඇති අරමුදලකි. මෙම අරමුදලෙන් රුපියල් මිලියන 500කට අසන්න මුදලක් යොදවා ‘ලංකා සෝල්ට් ලිමිටඩ්’ හි අයිතියෙන් 90%ක කොටසක් අත්පත් කරගෙන ඇත. ඒ අනුව ලංකා සෝල්ඩ් ලිමිටඩ් යනු සේවක භාරකාර අරමුදල් මණ්ඩලය සතු වත්කමකි. ඒ අනුව සමාගමේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම, ලුණු විකිණීම, සේවකයන් බඳවා ගැනීම, සේවක උසස් වීම් ලබා දීම, සේවක විනය ඇතුළු සමාගමේ සියලු ක්‍රියාකාරකම් පිළිගත්, විනිවිද භාවය ඇති ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතුය.
2015 වසර ආරම්භයේ දී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග අගමැති රනිල් වික්‍රමසිංහගේ අමාත්‍යාංශයක් වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට අයිති විය. එහෙත්, එය නාමිකව සිදු වූවක් පමණක් වන අතර, එහි සියලු කටයුතුවලට මැදිහත් වන්නේ නිවාස හා ඉදි කිරීම් ඇමති සජිත් ප්‍රේමදාසය. සමාගමට වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ ද ඔහු විසින්ය. එසේ ඇමති සජිත් ප්‍රේමදාසගේ අණසකට යටත් වන හම්බන්තොට ලුණු ලේවාය ඇමතිවරයා විසින් ඉහගෙන කන්නට පටන් ගන්නේ කාටත් හොර රහසේය.
සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට ලේවායට අතපෙවීම සඳහා අපූරු තර්කයක් ගෙන එමින් තිබේ. ලේවාය අධික පාඩු ලබන තත්ත්වයකින් පවත්වා ගෙන ගිය බවත් හා අධික ණය බරක් සහිතව තව දුරටත් කරගෙන යා නොහැකි තත්ත්වයට එය පත්ව තිබුණ බවත් ඒ තර්කයේ පදනමයි.
එහෙත්, සමාගමේ මූල්‍ය වාර්තා සහ අනෙකුත් තොරතුරු පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ හම්බන්තොට ලේවාය එවැනි පාඩු ලබන තත්ත්වයකට පත් වී නොතිබුණු බවයි. ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සිය තර්කය සාධාරණ බව පෙන්වීමට යොදා ගනු ලබන්නේ 2013 වසරේ වාර්තාවන්ය. 2013 වසරේ දී සිදුව ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 36,000කට සීමා වීමයි. ඒ නිසා ලේවාය පාලනය කරන ලංකා ලූණු සමාගම එම වසරේ රුපියල් මිලියන 95ක පමණ අලාභයක් ලබා ඇත.
එහෙත් 2015 වසරේ දී වත්මන් ආණ්ඩුවේ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ සමාගම වාර්තාගත රුපියල් මිලියන 170ක අලාභයක් ලබා ඇත. මෙය ලේවාය ඉතිහාසයේ ලැබී ඇති විශාලතම අලාභයයි. 2015 වසර තුළ සමාගමට නිෂ්පාදනය කිරීමට හැකිව තිබුණේ ලුණු මෙට්‍රික් ටොන් 29,000කට ආසන්න ප්‍රමාණයක් පමණි.
නමුත් 2014 වසරේ ඉතිරි තොගය ලෙස 2015 වසර සඳහා ලුණු මෙට්‍රික් ටොන් 53,000ක ලුණු තොගයක් ලැබී ඇත. ඒ අනුව වසර තුළ විකිණීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 82,000ක් පමණ ඇත. සාමාන්‍ය අපතේ යාම් හා අවසන් තොගය හැරුණු කොට සමාගම 2015 වසර තුළ ලුණු මෙටි්‍රක් ටොන් 60,000කට ආසන්න ප්‍රමාණයක් විකුණා ඇත. 2015 වසර සඳහා මෙම ලුණු ප්‍රමාණය විකුණා රුපියල් මිලියන 1,010ක විකුණුම් ආදායමක් වන ඉතිහාසයේ දෙවැනි වැඩිම විකුණුම් ආදායම ලබා ගත්ත ද, ඉතිහාසයේ වැඩිම අලාභය වන රුපියල් මිලියන 170ක අලාභය ලබා ඇත්තේ ද 2015 වසර තුළය.
නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා 2016 නොවැම්බර් මස දී පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩුවෙන් හම්බන්තොට ලුණු ලේවාය තමා භාර ගන්නා විට රුපියල් මිලියන 330ක ණය මුදලක් සහිතව භාර ගත් බවයි. නමුත්, මෙම ප්‍රකාශය ද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි.
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය වාර්තාව අධ්‍යයනය කිරීමේ දී මෙවැනි විශාල ණය මුදලක් සම්බන්ධව කිසිවක් සොයා ගැනීමට නොහැක. සමාගමක මූල්‍ය තත්ත්වය පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීමට පෙර සමාගමේ වගකීම් ගැන මෙන්ම වත්කම ගැන ද අවධානය යොමු කළ යුතු බව මූල්‍ය වාර්තාවක් හෝ ව්‍යාපාර පිළිබඳ ඉතා ම සුළු හෝ දැනුමක් ඇති ඕනෑම අයකුට තේරුම් ගත හැකිය.
සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට ලුණු ලේවායට සහ ලංකා ලුණු සමාගමට අත පොවන්නට පටන් ගන්නා මොහොත වන විට සමාගම සතුව තිබු ලුණු මෙට්‍රික් ටොන් 53,000ක ප්‍රමාණය, එවකට වෙළෙඳපොළ වටිනාකම අවම වශයෙන් රුපියල් මිලියන 650කට ආසන්න වේ. එසේ නම් එම මුදලින් ම ඉහත කී ණය මුදල පියවා ගැනීමට සමාගමට හැකියාව තිබුණේය. මීට අමතරව ස්ථාවර තැන්පතු, ණය ගැතියෝ, සේවක ණය ආදිය එකතු කළ විට මෙම අගය තවත් විශාල වේ. මේ අනුව ඉතාම පැහැදිලි වන්නේ විශාල ණය මුදලක් සහිතව එම සමාගම පැවති බවට සජිත් ප්‍රේමදාස ඇමතිවරයා විසින් කරගෙන යන ප්‍රකාශ අතේ රෝල් පමණක් බවය. රටේ මහජනයා නොමඟ යවන අයුරින් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශයත්, සමාගමේ සභාපතිවරයා ඇතුළු සමාගමේ කළමනාකාරිත්වය වරින්වර ජනමාධ්‍යයන්ට සිදු කරනු ලබන ප්‍රකාශත් එම අතේ රෝලේම කොටස්ය.
එහෙත්, සමාගමේ සිදු වූ ඇතැම් මූල්‍ය ගනුදෙනු පිළිබඳ මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් හා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මඟින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව මේ කිසිවෙක් පවසන්නේ නැත. එසේම සමාගමේ
ඇතැම් මිල දී ගැනීම් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදු වී නොමැත. භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී මිල ගණන් කැඳවීම, මිල දී ගත යුතු භාණ්ඩය අනුමත කිරීම, තාක්ෂණ කමිටු අනුමැතිය හා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සිදු වූ ආකාරය පාර්ශ්වීය බවට මේ වන විටත් තොරතුරු ලැඛෙමින් තිබේ. එමෙන්ම ලුණු විකිණීම, අබලි භාණ්ඩ විකිණීම, ඉදිකිරීම් කටයුතු හා වාහන සදහා කුලී ගෙවීම ආදිය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
එහෙත්, 2015 වසරේ සිට මේ දක්වා සේවකයන් බඳවා ගැනීම නම්, බොහෝ සෙයින් ඉහළ ගොස් තිබේ. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන න්‍යාය පත්‍රයේ එක් ජවනිකාවක් හෙළිදරවු වන්නේ මෙහිදීය. සජිත්ට ඡන්ද ගොඩ වැඩි කර ගැනීමටත්, තමන්ට මැතිවරණයේ දී උදවු උපකාර කළ පිරිස සතුටු කිරීමටත් අලූතෙන් රැකියා ලබා දිය යුතු වේ. ඒ අනුව මෙම සමාගමට අලුතෙන් සේවකයන් බඳවාගෙන ඇති අතර, ඇතැම් උසස් වීම් ලබා දීම්වල තර්කානුකූල බවක් හෝ දකින්නට නැත. 2015 වසරේ දී සමාගම මිලියන 170ක වාර්තාගත අලාභයක් ලබා තිබිය දී වුවද, එම වසරේ දීම අධ්‍යක්ෂ මණ්ඩලයේ මාසික දීමනාව දෙගුණ කිරීමට සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මැදිහත් වී කටයුතු කර තිබේ.
ලුණු යනු අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයකි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ලුණුවලට තිඛෙන්නේ කතිපයාධිකාරී වෙළෙඳ පොළකි. ඒ ලුණු නිෂ්පාදනය කරන ආයතන ලංකාව තුළ ඇත්තේ කිහිපයක් නිසාය. මෙම කිහිපය අතුරින් ද ලංකා සෝල්ට් ලිමිටඩ් විසින් ලංකාවේ මුළු ලුණු වෙළෙඳපොළෙන් 60%කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. ලුණුවලට පවතින අනම්‍ය ඉල්ලුම නිසා ලුණු මිල කොතරම් වැඩි වුවද, ලුණුවල ඉල්ලුම් අඩු නොවේ. ලේවායේ ලාභය පෙන්වීම සඳහා වත්මන් පාලනය උපයෝගී කර තිඛෙන්නේ මෙම ආර්ථීක විද්‍යාත්මක කරුණයි. ඒ අනුව ලුණුවල විකුණුම් මිල දෙගුණ කර ආදායම වැඩි කර 2016 වසරේ දී වැඩි ලාභයක් ලැබු බවට මාධ්‍ය හරහා ප්‍රචාරයක් ගෙන යන ලදී. කතිපයාධිකාරි වෙළෙඳපොළක් තුළ වෙළෙඳපොළේ බහුතරය අත්පත් කරගෙන ඇති ආයතනයකට අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක මිල වැඩි කර ආදායම් පෙන්වීම හා ලාභ පෙන්වීම ඉතා සරල, පහසු කටයුත්තකි. සිදු කළ යුත්තේ එය නොවේ. කාර්යක්ෂමතාව වැඩි කර පිරිවැය අඩු කොට ලබා ගත හැකි උපරිම විකුණුම් ප්‍රමාණයකින් වැඩි ලාභයක් ලබා ගැනීමයි.
2017 වසරේ දී සමාගමට මේ දක්වා නිෂ්පාදනය කිරීමට හැකිව ඇත්තේ ලුණු මෙට්‍රික් ටොන් 50,000ක් පමණි. ඉතිහාසයේ කිසි දිනක නොවු ලෙස 2017 වසරේ දී පුත්තලමෙන් ලුණු මෙට්‍රික් ටොන් 8,500කට අසන්න ප්‍රමාණයක් ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනය වෙත ගෙනැවිත් ඇත. නිෂ්පාදනය වැඩි වී ඇත් නම්, එසේ පුත්තලමෙන් හම්බන්තොටට ලුණු ගෙන එන්නේ ඇයි ? මේවා හතර බීරි වැඩය. එපමණක් නොව මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන ලුණු පැකට් තුළ ඛෙල්ලන්, සිප්පි කටු වැනි අපද්‍රව්‍ය ඇති බවට
පාරිභෝගික ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ. ‘ලක් ලුණු’ යනු ISO හා SLS සහතික සහිතව වෙළෙඳපොළේ අලෙවි වන ලුණු වර්ගයකි. එසේ නම් මෙම ලුණුවල ප්‍රමිතිය එම තත්ත්වයට අනුකූල විය යුතුය. නමුත්, පුත්තලම් ප්‍රදේශයෙන් රැගෙන එන ලුණු ලක්ලුණුවලට භාවිත කිරීම සහ එහි දී ISO හා SLS ප්‍රමිතීන් කොතරම් දුරට රැකෙනවා ද යන්න ගැටලුවකි. එහෙත්, ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වන අප්‍රසාදය වසන් කිරීම සඳහා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරමින් සිටින අතර, ඒ සඳහා අධික වියදමක් සමාගම විසින් දරනු ලැබේ.
මේ සෝබන වැඩ සඳහා වන වියදම්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ එහි සේවකයන්ටය. සේවකයන්ට සහන පොලී අනුපාත යටතේ සමාගමෙන් ලබා දෙන ලද ණය මුදල් මේ වන විට ලබා දීම නවතා ඇතැයි සේවකයෝ චෝදනා කරති. එසේම සේවක සුබසාධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම ද බොහෝ දුරට අඩු කර තිබේ.
ලංකා ලුණු සමාගම රජයට අයිතිය ඇති සමාගමකි. එහෙත් මේ දක්වා රාජ්‍ය ආයතනයකින් විගණනයක් සිදු කොට නැත. සමාගමේ පසුගිය කාලය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනයක් සිදු කරන්නේ නම්, මෙම කරුණු බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකියාව තිබේ.
කෙසේ වෙතත්, මේ වන විට අල්ලස් කොමිසමේ පරීක්ෂණ කටයුතු හා කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. නමුත් වත්මන් සමාගමේ බලධාරීන් දූෂණ, වංචාවලට සම්බන්ධ ලිපි ලේඛන වෙනස් කිරීමට, සාක්ෂිකරුවන්ට බල පෑම් කිරීමට සූදානම් වන බවට ද කරුණු හෙළි වී ඇත. ඒ නිසා හම්බන්තොට ලේවායේ සිදු වන මේ අකටයුතුකම් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම නිසියාකාරව සිදු කිරීමට නම් ඒ පිළිබඳවත් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව අවසාන වශයෙන් පෙන්වා දිය යුතුය.


චතුර දිසානායක