හොරු රකින ආණ්ඩුව බිය වූ ජාතික විගණන පනත

xfgjhf gbh
හම්බන්තොට ලේවාය සජිත් ප්‍රේමදාසලා ඉහගෙන කන හැටි
October 10, 2017
Untitled-1
රටේ ජනතාවගෙන් ලක්ෂ 47කට මන්දපෝෂණය
October 11, 2017
Show all

හොරු රකින ආණ්ඩුව බිය වූ ජාතික විගණන පනත

AWDaE

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට මහජන මුදල් අවභාවිත කිරීම, නාස්ති කිරීම, වංචා කිරීම හා දූෂණයේ යෙදවීම පිළිබඳව විශාල චෝදනාවක් එල්ල විය. රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයට ද එකී කාරණා ප්‍රබල ලෙස බලපෑවේය. මේ ආණ්ඩුව බලයට පත් වූයේ ද මේ සියලු මුදල් අවභාවිතයන්ට කොන්දේසි විරහිතව තිත තබන බව පුන පුනා ජනතාව හමුවේ ශපථ කරමිනි. රාජපක්ෂ ආණ්ඩුව පළවා හැර පිහිටුවා ගත් ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ප්‍රමුඛ ඉඩක් වෙන් වී තිබුණේ ජාතික විගණන පනතක් ගෙන ඒම පිළිබඳ කරුණටය. එම දින 100 වැඩපිළිවෙළේ සඳහන් වූ පොරොන්දුව අනුව 2015 පෙබරවාරි 19 වැනිදා විගණන පනත ඉදිරිපත් කරන බවට සහතික කොට තිබිණි. එම ඉදිරිපත් කරන විගණන පනත 2015 මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බවටත් පොරොන්දු විය. ඒ අනුව ක්‍රියාත්මක නොවූ ආණ්ඩුව 2015 අප්‍රේල් 20 වැනිදා අගමැතිවරයා විසින් මෙකී පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. එසේ ඉදිරිපත් කොට මේ වන විට වසර දෙකහමාරක් ගත වී තිබේ. මේ වසර දෙකහමාර තුළ කැබිනට් මණ්ඩලය 120 වතාවක් පමණ රැස් වී ඇත. කෙසේ වුවද, තවම පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට නැත. අනුමත කරන බවත් පෙනෙන්නට ද නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා මේ පනත කැබිනට් මණ්ඩලය තුළ මේ වන විට සංශෝධනය වී ඇති බව ඉතාම පැහැදිලිය. මේ සියලූ සංශෝධනයන්ගෙන් අනතුරුව 2017 අගෝස්තු 9 වැනිදා මෙම පනත නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් වූ පනත අධ්‍යයනය කළ යුතු බව අමාත්‍යවරුන් පැවසීම නිසා මේ වන විට අදාළ පනත කැබිනට් මණ්ඩලය තුළ සිර වී තිබේ. පැහැදිලිවම මේ රටේ මහජන මුදල් අවභාවිතාවන්ට, වංචා දූෂණයන්ට, නාස්තියට අමාත්‍යවරුන් වගකිව යුතුය. තමන්ගේ වංචාවන් දූෂණයන් මුදල් අවභාවිත කිරීම් හෙළිදරවු වන බැවින්, ඇමතිවරුන් මෙම පනත මඟහරිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
පසුගිය ආණ්ඩුව සේ ම වත්මන් ආණ්ඩුව ද, ආණ්ඩුවේ ඇමතිවරුන් ද සෘජුව මහජන මුදල් විනාශ කරමින් ඇත. මේ විනාශ කරන මුදල් පිළිබඳව නිශ්චිත විගණනයක් කිරීම අතිශයින්ම වැදගත්ය. නොඑසේ නම්, මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් මේ පාලකයන් විනාශ කරනු ඇත. මේ ආණ්ඩුව යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය කිලෝමීටර් 32.5 සඳහා රුපියල් බිලියන 135ක් වැය කිරීමට නියමිතව ඇත. ඒ අනුව කිලෝ මීටරයක් සඳහා රුපියල් කෝටි 415ක් වැය වේ. මේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ද මීට පෙර ප්‍රතික්ෂේප වූ සමාගමකට වීම විශේෂත්වයකි. අධික ණය බරක හිර වී සිටින රටක් මාර්ගයක කිලෝ මීටරයක් ඉදි කිරීමට රුපියල් කෝටි 415ක් වැය කළ යුතු ද යන්න දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතුය. මේ එක් සරල උදාහරණයක් පමණයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ද මේ වන විට විශාල මුදල් අවභාවිතයක් සිදු වෙමින් පවතිනවා. අනෙක් අතින් ගුවන් යානා මිල දී ගැනීම් සම්බන්ධයෙන් ද ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතී.
පසුගියදා මාධ්‍ය හමුවක දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ද මේ බව අවධාරණය කොට තිබිණි. විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, විශේෂයෙන් ම විගණන පනතට බිය අපේ රටේ අමාත්‍ය මණ්ඩලයත් මේ පනත පාර්ලිමේන්තුවට ගේන ඒමට ප්‍රධානම බාධකය බව ඒ අනුව තහවුරු වේ. මෙරට විගණන දෙපාර්තමේන්තුව මේ වන විට වසර 200ක් පමණ වියපත්ය. එහෙත්, අවාසනාව වන්නේ අපේ රටේ විගණන දෙපාර්තමේන්තුවට මෙතෙක් විගණන පනතක් නොතිබීමයි. මේ කරුණ සලකා බැලීමෙන් වුව අපේ පාලකයන් ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත් විය යුතුය. ලෝකයේ විගණන පනත් නැති තත්ත්වයක් පවතින්නේ අන්ත දූෂිත රටවල් තුළය. ඒ අන්ත දූෂිත රටවල් ගොන්නට මේ වන විට ලංකාව ද වැටී තිබීම යහපාලනයක් ගෙන ඒමට දස අතේ දිවුරා පොරොන්දු වූ රනිල් මෛත්‍රී ජනතාවගෙන් සමාව ගත යුතුය. විගණන පනත ගෙන ඒමට ආණ්ඩුව මැලිකමක් දක්වන්නේ අන් කිසිවක් නිසා නොව මේ ආණ්ඩුව යටතේ ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා හොඳින් මහජන මුදල් අවභාවිතාවේ යොදවන බැවිනි.
මහජන මුදල් භාවිත කිරීම පිළිබඳව පරීක්ෂා කර බැලිය යුත්තේ, එය වියදම් කිරීමට ප්‍රථමයෙනි. එහෙත්, අපේ රටේ එවන් යම් හෝ විගණනයක් කරන්නේ සියලු දූෂණයන්, වංචාවන් සිදු වූ පසුවය. ඒ හේතුවෙන් රටටත්, ජනතාවටත් සිදු වන හානි අවම කර ගැනීමට හැකි අවස්ථාව ගිලිහී යයි. ඒ නිසාම අපේ රටේ මුදල් භාවිතා කිරීම පිළිබඳව විගණනයක් කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයට පත් වී තිබේ. සරලම උදාහරණයක් වන්නේ පොතුහැර ගලගෙදර අධිවේගී මාර්ගයට ඉංජිනේරු සංස්ථාවේ ඇස්තමේන්තුව වී ඇත්තේ රුපියල් කෝටි 12,300 කි. එය පසෙකට දමා අදාළ අමාත්‍යවරයා එය ලබා දී ඇත්තේ රුපියල් කෝටි 13,500කට ප්‍රතික්ෂේප වූ සමාගමකටය. ඒ අනුව රටට සිදු කොට ඇති පාඩුව රුපියල් කෝටි 1,200කි. මේවා ගියේ කාගේ සාක්කුවට  ද යන්න සොයා බැලිය යුතුය. ඒ සදහා අනිවාර්ය විගණනයක් අවශ්‍යය. එබැවින්, විගණන පනතක් රටට අනිවාර්යයෙන්ම අවශ්‍යය. විගණන පනත සම්මත වූ පමණින් සියල්ල විසඳේ යැයි යමෙකු සිතන්නේ නම්, එය මෝඩකමකි. එහෙත්, එවන් පනතක් තිබීමෙන් ජනතාවට යම් නීතිමය ආවරණයක් සැලසෙන බව නම් තහවුරුය.
මේ ආණ්ඩුව ජාතික විගණන පනත ගෙන එමෙන් වැළකී සිටින්නේ අමාත්‍ය මණ්ඩලය තුළ බහුතරයක් දූෂිතයන්ගේ වංචාවන් හෙළිදරව් වන නිසා බවට වන සාක්ෂි ඕනෑ තරම් දැක ගන්නට ලැබේ. අගමැතිවරයා තමන්ගේ ගෝලබාලයන් ආරක්ෂා කිරීමට මේ පනත මඟහරිමින් සිටී. ජනාධිපතිවරයා තමන්ගේ ගෝලබාලයන් ආරක්ෂා කර ගැනීමට ද මේ පනත මඟහරිමින් යයි. මෙය දින 100 ආණ්ඩුව දුන් බරපතළ පොරොන්දුවක් බව මේ නායකයන් දෙපළට ද දැන් අමතකය. මේවා ගැන මහ ඉහළින් කතා කළ සිවිල් සමාජය ද අද අදහාගත නොහැකි නිද්‍රාවක ගිලී සිටී. දැන් කළ යුත්තේ ජනතාව අවදි වීමය. ජනතාව ද මේ නිද්‍රාවෙන් නැඟී සිටිය යුතුය. තව දුරටත් මේ පාලකයන් ජනතා අපේක්ෂාවන් ඉටු නොකරන්නේ නම්, කළ යුත්තේ කොන්දේසි විරහිතව මේ පාලකයන් පළවා හැරීමය. මේ පාලකයන් පළවා හැරිය යුත්තේ ඒ පන්නයේම තවත් කණ්ඩායමක් බලයට ගෙන ඒමට නොවන බව ද තේරුම් ගත යුතුය. එය තේරුම් ගන්නා ප්‍රමාණයට ජනතාවට ජයග්‍රහණ අත්වනු ඇත.


එස්. කේ. ගමගේ