අනාගත සුරක්ෂිතතාව නැති නිසා දිවි නසා ගැනීමට පෙළඹෙනවා

sdrg
මනුෂ්‍යත්වය කෝ ?
October 11, 2017
fghgf
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කළ බොරු චෝදනාවක්…!
October 11, 2017
Show all

අනාගත සුරක්ෂිතතාව නැති නිසා දිවි නසා ගැනීමට පෙළඹෙනවා

gjkg dhft gfjh

මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් ලංකාව නැවතත් ඉහළ මට්ටමකට පැමිණ තිඛෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ. මේ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා මෙවර විද්වත් සංවාදය වෙන් කෙරේ.
කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ‘ලංකා’ වෙත හෙළි කළ කරුණු මෙසේය.

සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් ලංකාව මුළු ලෝකයෙන්ම ඉහළ මට්ටමකට ආයෙත් ඇවිත්. මේ ගැන මූලිකව විග්‍රහ කරන්නේ කොහොමද?

රටක් හැටියට සිය දිවි නසා ගැනීම් ඉහළ මට්ටමක පවතිනවාය කියන්නේ ඉතාම ශෝචනීය, බරපතළ තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශ්වවල අවධානය වහාම යොමු කළ යුතුව තිඛෙනවා. මේ ගැන අපි මූලිකව විග්‍රහ කර ගන්නේ කොහොමද කියා බැලීම අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට ප්‍රශ්නය හඳුනා ගත යුතුව තිඛෙනවා.
1. කාලයක් තිස්සේ සැලසුම් කරලා, ඊට අවශ්‍ය යම් කිසි උත්තේජනයක් ලැබුණු වහාම ක්‍රියාවට නැඟීමෙන් සිය දිවි නසා ගැනීමත්,
2. ක්ෂණික ආවේගයන් මත පදනම් වෙලා විවිධ උපක්‍රම මඟින් දිවි තොර කර ගැනීමට උත්සාහ කිරීමත් වශයෙන්.
මේ දෙවැනි අවස්ථාව ගැන කෙටියෙන් පැහැදිලි කර ගැනීම වැදගත්. ක්ෂණික ආවේගයක් මත සිය දිවි නසා ගැනීමට කල්පනා කළත්, නියත වශයෙන්ම එයට යා යුතු බවට දැඩි තීරණයක් නොගෙන ඉන්න අවස්ථා තිඛෙනවා. නමුත්, සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න යොදා ගන්නා ක්‍රමයේ තිඛෙන බරපතළකම නිසාම ජීවිතය අහිමි වී යනවා. ඇත්තටම ක්ෂණික ආවේගයක් ඇති වුණත් එයින් සිය දිවි නසා ගත යුතුයි කියන ස්ථීර අරමුණක් එතන නෑ.
අර මම කියූ පළමුවැනි අවස්ථාව ගැනත් ටිකක් පැහැදිලි කර ගැනීම වැදගත්. සිය දිවි නසා ගැනීම ගැන ඔහුගේ හෝ ඇයගේ සිතට අහම්ඛෙන් සිතුවිලි ඇති වෙනවා. නමුත් සිතුවිල්ලේ ප්‍රබලතාව ක්‍රමයෙන් වැඩි වෙත්ම සිය දිවි නසා ගැනීමට සිතෙන වාර ගණනත් ක්‍රමයෙන් ඉහළ යනවා. ඊට සමාන්තරව සිතුවිල්ලේ තිඛෙන දරුණුකමත් ක්‍රමයෙන් වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් තවත් දෙයක් පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත්.

මොකක් ද ඒ පැහැදිලි කර ගැනීම ?

‘ජීවත් වුණා ඇති’ කියලා සිතන මුල් අවස්ථාවේ දී තමන් විසින් ක්‍රියාකාරී සැලසුමක් ගැන කල්පනා නොකර ‘ඉබේම මිය යනවා නම් හොඳයි’ කියලා කල්පනා කරනවා. උදාහරණ හැටියට පාරේ යන කොට වාහනයක හැපිලා මැරෙනවා නම් හොඳයි කියලා හිතනවා. ‘ලෙඩක් හැදිලා මැරෙනවා නම් කමක් නෑ’ කියලා හිතනවා. මේකට කියන්නේ අක්‍රීය සිය දිවි නසා ගැනීමේ මූලාශ්‍රය (Passive Suicidal Source) කියලයි. ජීවිතය නැති කර ගැනීමේ අභිප්‍රාය ප්‍රබල වෙත්ම ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. පැය ගාණක් ගත වෙන්න පුළුවන්, සති ගාණක් ගත වෙන්න පුළුවන්, කල්පනා කරලා සැලසුමක් හදා ගන්නවා.

ඔවුන් කරන සැලසුම්වලට ප්‍රතිවිරෝධී, බාධාකාරී සිතුවිලි එන්නේ නැද්ද?

අන්න ඒක තමයි වැදගත්. ජීවිතය නැති කර ගන්න සැලසුම් කරනවා වගේම ඊට විරුද්ධව ජීවත් වීම සඳහාත් මානසික පෙළඹවීම් ඇති වෙනවා. ඊට හේතු වෙන්නේ තමන්ගේ දරුවන්, ආදරය කරන අය, සමාජයෙන් සිදු වන අවවාද ගැන සිතීම වගේම ජීවත් වීමට සිතීම වගේ හේතූන් හිතේ ඇති වෙන්න පුළුවන්. මිනිසකු තුළ ජීවිතය නැති කර ගැනීමට පොළඹවන සාධක වගේ ම ජීවත් වීමට පොළඹවන සාධක කියන ප්‍රතිවිරෝධී කරුණු අතර ගැටීමකින් ජීවත් වීමට පොළඹවන සාධකවලට වඩා ජීවිතය නැති කර ගැනීමේ සාධක ප්‍රබල වූ අවස්ථාවක දී සැලසුම් ක්‍රියාත්මක කරනවා.

මේ වගේ සිතුවිලි ඇති වන්නේ ඇයි කියලා මනෝ විද්‍යාත්මකව විග්‍රහ කරන්නේ කොහොමද?

ලෝකයේ කර තිඛෙන පර්යේෂණවලින් සොයාගෙන තියෙන්නේ සිය දිවි නසා ගන්නා අයගෙන් සියයකට අනූවක්ම විශාදය නමැති මානසික රෝගය මත සිදු කරන බවයි. මේ රෝගය දීර්ඝකාලීනව බලපවත්වන දුක, කනගාටුව, ජීවිතයේ සියලුම දේ ගැන අසුභවාදීව සිතීම, ජීවිතයේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අපහසු වීම වගේ තත්ත්වයන් මතයි ඇති වෙන්නේ. මේ රෝගාබාධ වැළඳුණු අයට ජීවිතයේ රස විඳිමට අදාළ කලාව, සාහිත්‍යය, සංගීතය වගේම ආදරයත් නීරස වෙන්න පටන් ගන්නවා. මේ සියලුම දේවල් අප්‍රිය කෙරෙනවා. තමා වටා ඉන්න කිසිම කෙනෙකු තමාට උදවු කළ නොහැකි අය විදියට හැඟී යනවා. මේ තත්ත්වය බරපතළ වෙන කොට නින්ද නොයාම, මතකය ගිලිහීම, ආහාර රුචිය නැති වීම මෙන්ම ලිංගිකත්වය වාගේ ස්වාභාවික ආශාවනුත් ක්‍රමයෙන් බැහැර වී යනාව. විශාද තත්ත්වය උග්‍ර වූ තත්ත්වයේ දී තිඛෙන එකම විසඳුම මරණය කියලා රෝගයෙන් පෙළෙන අය කල්පනා කර ක්‍රියාමාර්ග තෝරනවා. හැබැයි, මේ රෝගය දීර්ඝ කාලයක් එකම විදියට පවතින්නෙත් නැහැ. ප්‍රතිකාර මඟින් සුව වෙනවා. නමුත් යළි මතු වීමේ හැකියාව තියෙනවා. විශාදය මතු වන්නේම වරින්වර. මේ නිසා රෝගයෙන් පීඩා විඳින අවස්ථාවල දී ඖෂධ පාවිච්චි කරනවා. සුව වූ පසු ප්‍රතිකාර අත්හරිනවා. මෙතන තමයි භයානකකම තියෙන්නේ. විශාදය නැවත මතු වූ අවස්ථාවක දී තමන්ට පාලනය කර ගත නොහැකි ආකාරයට බරපතළව ඇති වෙන්නේ.

සිය දිවි නසා ගන්න බලපාන්නේ මනෝ විද්‍යාත්මක හේතු පමණක්මද?

නෑ. විවිධ පෞරුෂත්ව සාධකත් බලපානවා. විශේෂයෙන් අපේ රටේ පරීක්ෂණවල දී සොයාගෙන තිඛෙන්නේ ජීවිත හානි කර ගැනීමට උත්සාහ කරන බොහෝ පුද්ගලයන්ට විවිධ පෞරුෂත්ව ගැටලු තිඛෙන බවයි. අපි හඳුනාගෙන තිඛෙන පෞරුෂත්ව ආබාධ අතුරින් ප්‍රධානම වෙන්නේ අසීමාන්තික පෞරුෂත්ව ආබාධය. නව යෞවන වයසේ සිට දීර්ඝකාලීනව ඇති වෙන රෝගයක්. ලක්ෂණ තමයි, ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම, ජීවිතයේ හිස් බව වරින්වර දැනීම, දුක, සතුට වැනි හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම, මත්පැන්, මත්ද්‍රව්‍යවලට, ලිංගිකත්වයට දැඩි ලෙස ඇබ්බැහි වීම, අත් පා කපා ගැනීම වැනි ශරීරයට හානි සිදු කර ගැනීම වගේ ලක්ෂණ දකින්න ලැඛෙනවා. පහත් මට්ටම්වල සිට උපරිම මට්ටම් දක්වා පෞරුෂත්ව ආබාධ විශාල පරාසයක පැතිරී යනවා.

පෞරුෂත්ව සාධක ඇති වීම ගැන විස්තර කර කියන්න :

ලංකාවේ තරුණ, තරුණියන්ට සමාජීය කුසලතා සඳහා ඉඩකඩ ඉතාම අඩුයි. අධ්‍යාපනයේ තරගකාරීත්වය ඉතාම ඉහළ මට්ටමෙන් තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට සමාජයීය ගැටීම් ඉතාම අඩුයි. අත්දැකීම් බොහොම පටුයි. පොතට පතට සීමා වී, කොටු වී තමයි ඉන්නේ. තරුණ තරුණියන් සමඟ සමාජයීය කුසලතා ඉගෙන ගන්නට ඉතාම අල්ප වූ අවස්ථා පවා නැති මට්ටමක් තියෙන්නේ. අත්දැකීම් ඉතා අල්ප නිසා ගැටුම් කළමනාකරණයේ දී අසමත්. මම විශේෂයෙන් කියන්නේ දරුවන් පොත් අතරම කොටු නොකරන්න කියලයි. දැනුම පමණක් තිඛෙන සමාජයීය අත්දැකීම් අඩු දරුවන්ට සමාජයේ දී හමු වන ගැටලුවලට නිවැරදි පිළිතුරු සොයා ගන්න නොහැකියි. මේ නිසා බොහෝ ආවේගශීලී වීම, බොහෝ අසීමාන්තිකව හැඟීම්බර වීම, ක්ෂණික පිළිිතුරු සෙවීම වැනි පෞරුෂත්ව දුර්වලතාවලින් ගහණ වෙනවා.

අපි මේ දක්වා කතා කළේ ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක හේතු ගැන. මේවා විතර ද බලපාන්නේ?

පැහැදිලිවම නෑ. සමාජයීය කාරණාත් අතිශය ප්‍රබල විදියට බලපානවා. යම් කිසි පුද්ගලයකුට විෂාදය ඇති වීම සහ ජීවිත නැති කර ගැනීමට තීරණ ගැනීමේ දී ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක කාරණාත් බලපානවාට අමතරව ප්‍රබල වශයෙන් විවිධ සමාජයීය කාරණාත් බලපානවා. ප්‍රශ්නවලට විසඳුමක් ලෙස ජීවිත නැති කර ගැනීමට පෙළඹෙන්නේ සමාජීය බලපෑම තුළින්. මාධ්‍යයත් මේකට විශාල වශයෙන් බලපානවා. නූතනම සමාජ ජාල මාධ්‍යවලින් කෙරෙන බලපෑම විශාලයි. විශේෂයෙන්ම ජීවිත නැති කර ගැනීම වීරත්වයක් හැටියට හුවාදක්වන අවස්ථා තිඛෙනවා. තත්පරයෙන් තත්පරය විස්තර කරමින්, ප්‍රදර්ශනාත්මක ලෙස ඉදිරිපත් කරනවා. තරුණ තරුණියන් එවැනි ක්‍රියා අනුගමනය කිරීමට පෙළඹෙනවා. පවතින විෂම සමාජයේ පසුගාමී සමාජයේ මේ කරුණු ඉතාම බරපතළයි. මම අර මුලින් කියූ සමාජයීය කුසලතා නැති අය ප්‍රශ්න ඇති වුණාම කල්පනා කරන්නේ පළා යන්න. අර කියූ මිත්‍රකම් නැති, සමාජ සම්බන්ධතා නැති අයට පීඩනයක් අඩු කර ගන්න ක්‍රම ගැන අවබෝධයක් නැහැ. බරපතළම දේ තරුණ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගන්නේ කොහොමද? විශ්වාසය ගොඩනඟා ගන්නේ කොහොමද? කියලා දන්නේ නැතිකම. අනෙක් පැත්තෙන් කිසිම සම්බන්ධතාවක් සදාකාලික නෑ. සියලුම දේවල් වෙනස් වෙනවා කියන අවබෝධය නෑ. මේ අනවබෝධය නිසා ම යම් වෙනසක් වූ හැටියේම විශාල මානසික පීඩනයකට පත් වෙනවා. එයින්ම විශාදයට ගොදුරු වීමේ හැකියාව ඉහළ ගිහින් අන්තිම ප්‍රතිඵලය ලෙස සිය දිවි නසා ගන්න පෙළඹෙනවා.

මේ දක්වා වැඩි අවධානයක් යොමු කළේ තරුණ පරපුර ගැන. වැඩිහිටියන් පවා විශාල වශයෙන් සිය දිවි හානි කර ගන්නවා නේ…?

තරුණ පරපුර හැරුණාම වැඩිහිටියොත් විශාල පිරිසක් ජීවිතය නැති කර ගැනීමට පෙළඹී තිඛෙනවා. වැඩිහිටි වියේ දී ඇති වන විවිධ සමාජයීය කාරණා විසින් ඔවුන්ව අතිශය පීඩවට පත් කෙරෙනවා. සමාජයීය විෂමතාව ඔවුන්ට දරා ගන්න බෑ. අනෙක දරුවන් බොහෝ සෙයින් ඔවුන්ගෙන් දුරස් වීම. සමහර විට විදේශයන්ට ගිහින්. දශක කීපයක සිට පෙරට වඩා වර්තමානයේ දී බරපතළ විදියට ඔවුන් තනි වෙලා ඉන්නේ. අනෙක ගෙදරම ඉන්න දරුවන්ට මාපියන් එක්ක නිතර ගැවසෙන්න වෙලාවක් නැහැ. දරුවන්ට දෙමාපියන්ගේ හැඟීම් ඛෙදා ගන්න අවස්ථාවක් නැහැ. විදේශගත වූවන්ට දුරකථනයෙන් හෝ අන්තර්ජාලය මඟින් විතරයි ඇසුරු කරන්න ලැඛෙන්නේ. මේ තනිකම දරා ගැනීම හරිම අමාරු සංකීර්ණ දෙයක්. අනෙක් පැත්තෙන් විවිධ රෝගවලට ගොදුරු වී පීඩා විඳිනවා. වැඩිහිටියන්ගේ විශාදයට මේ වගේ හේතු බලපානවා. අනෙක් පැත්තෙන් ගැටලුවක් ආවාම වැඩිහිටියන් ඒ බව කියන්නේ නෑ. මේ වගේ සංකීර්ණ තත්ත්වයන්ගේ අන්තිම උත්තරය හැටියට සිය දිවි නසා ගන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම ආර්ථීක දරිද්‍රතාවය නිසා වැඩිහිටි සිය දිවි නසා ගැනීම් ඉහළ බව පැහැදිලිියි.
මේ ප්‍රශ්න අහන්න කෙනෙකුත් නෑ. කියන්න කෙනෙකුත් නෑ. කිව්වට උත්තරත් නෑ. ඒ නිසා හිතේ තද කරගෙන ඉන්නේ. බොහෝ විට ඔවුන් මානසික පීඩාවකින් නැත්නම්, විශාදයෙන් පෙළුණු බව අනෙක් අය තේරුම් ගන්නේ ජීවිතය නැති කර ගත්තාට පස්සේ. ලංකාවේ වැඩිහිටි පිිරිමි අයගේ ජීවිත නැති කර ගැනීම් ඉහළ යමින් පවතිනවා.

ලෝකයේ අනෙක් රටවල් එක්ක බැලුවාම ලංකාවේ සිය දිවි නසා ගැනීම් ඉහළ ගොස් තිඛෙන්නේ ඇයි ?

මීට දශක කිහිපයකට පෙර තත්ත්වය එක්ක බැලුවාම දැන් තත්ත්වය අඩුයි. නමුත්, ලෝකය එක්ක බැලුවාම ලංකාවේ තත්ත්වය තවමත් ඉහළයි. අනෙක සිය දිවි නසා ගැනීම් අඩු වුණාට ජීවිත නැති කර ගැනීමේ උත්සාහයන් අඩු වී නෑ. ඉතාම ඉහළ මට්ටමේ තියෙන්නේ. ඒ අය බේරා ගැනීමේ හැකියාව වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ඉහළ ගොස් තිඛෙනවා. සිය දිවි නසා ගැනීම් අඩු වීම සම්බන්ධ ඇත්තම හේතුව ඒක. මේ නිසා සිය දිවි නසා ගැනීමේ උත්සාහයන් සංඛ්‍යාව ඉතාම ඉහළ බව අමතක නොකළ යුතුයි.

ඉතින්, අපි රටක් හැටියට බරපතළ තත්ත්වයක ඉන්නේ…! මෙහෙම වී තිඛෙන්නේ ඇයි ?

විවිධ හේතු බල පා තියෙනවා. තරුණයන්ගේ අනාගත සමාජ සුරක්ෂිතතාවය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වය මූලිකවම තියෙන බව පැහැදිලියි. අනෙක ඔවුන්ට ඔරොත්තු නොදෙන ඉතා ඉහළ තරගකාරීත්වයක් මුළු සමාජ ක්‍රමයේම  තියෙන්නේ. වෙළෙඳපොළ විවෘත කර තිබුණාට, අධ්‍යාපනයේ විවිධතා තිබුණාට ඒ සියල්ල ආර්ථීක කොන්දේසිය මත ගැටගැහිලා තියෙන්නේ. ආර්ථීක වශයෙන් ඉතාම දුර්වලයි. විශාල ඉච්ඡා භංගත්වයකට පත් වෙලා ඉන්නේ. ඔවුන්ට සමාජයීය දියුණුව පේනවා. වෙළෙඳපොළේ දී වෙන දෙයක් පේන්නේ. අන්තර්ජාලයේ දී පේන්නෙත් වෙනත් දෙයක්. නමුත්, ඒ දකින විවිධ විචිත්‍ර ලෝකය විඳින්න අවස්ථාව තියෙන්නේ අතළොස්සකට. සාතිශය බහුතරයකට ඒ අවස්ථාව නෑ, මේ නිසා මුළු සමාජයම ඉච්ඡා භංගත්වයට පත් වෙලා ඉන්නේ. ඒ වගේම නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය පිළිබඳ විවිධ ගැටලු තිඛෙනවා. විශේෂයෙන්ම සාධාරණත්වය, සමානාත්මතාවය කියන ගැටලුත් එක්ක බිඳවැටීම තමයි, ඉහළ යන සිය දිවි නසා ගැනීම්වලින් නිරූපණය වෙන සමාජයීය හේතු සාධක. උත්තර හොයන්න ඕනෑ බරපතළ කරුණු මේවා.


සංවාදය සහ සටහන
ප්‍රියදර්ශන දයාරත්න