ඉරානයත් මිසයිලයක් අත්හදා බලයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑමේ අරමුණින් මධ්‍යම දුර විහිදුම් අලුත් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉරානය පවසයි. කිලෝමීටර 2,000ක විහිදුම් පරාසයක් සහිත ‘කොරම්ශහර්’ මිසයිලය අත්හදා බැලූ අවස්ථාව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණ. එම අත්හදා බැලීම කරනු ලැබුවේ කෙදින ද යන්න පැහැදිලි නැත.
‘කොරම්ශහර්’ මිසයිලය මුල් වරට ප්‍රදර්ශනය කෙරුණේ ටෙහෙරාන් අගනුවර පැවති හමුදා පෙළපාළියකදීය. එයට යුද ශීර්ෂ කිහිපයක් එකවර රැගෙන යාමේ හැකියාව පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා පවසයි.
එම මිසයිලයේ සුවිශේෂී නිමැවුම පිළිබඳව කරුණු දැක්වූ ඉරානයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් අමීර් හතමී කියා සිටියේ, සතුරාගේ ගුවන් ආරක්ෂක රේඩාර් මඟහැරීමේ හැකියාව සහ ගුවන්ගත වූ මොහොතේ පටන් ඉලක්කයට පහර දෙන තුරුම මඟපෙන්වීමේ හැකියාව හේතුවෙන් එය උපායමාර්ගික මිසයිලයක් බවය. විවිධ ආකාරයේ මිසයිල නිෂ්පාදනය කිරීම පිණිස කිසිදු රටකින් අවසර ලබා ගැනීමට ඉරානය බලාපොරොත්තු නොවන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ නමුත්, වත්මන් වාතාවරණය තුළ ලෝක ප්‍රජාව ඉරානය සහ උතුරු කොරියාව සංසන්දනය කිරීමේ හැකියාව තිඛෙන බැවින් මේ මිසයිල අත්හදා බැලීම ඉරානයට පාරාවළල්ලක් බවට පත් වීමේ අවදානමක් පවතින බවත් ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති.
ඉරානය බැලිස්ටික් මිසයිල වැඩසටහනට සහ ත්‍රස්තවාදී සංවිධානවලට අනුබල දෙන බව පවසමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජුලි මාසයේ ඉරානයට එරෙහිව අලූතෙන් සම්බාධක ප්‍රකාශයට පත් කළේය. ඊට පෙරාතුව පසුගිය ජනවාරි මාසයේ ඉරානය බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව ද ඇමෙරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීය. එවැනි අත්හදා බැලීම් ලෝක බලවතුන් හය දෙනෙක් ඉරානය සමග 2015දී අත්සන් තැබූ ගිවිසුමේ මුඛ්‍යාර්ථයට එරෙහිව යන්නක් බව එක්සත් ජනපදයේ තර්කය විය.
එහෙත් සිය මිසයිල අත්හදා බැලීම් එම ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන බව ඉරානය අවධාරණය කරයි. අදාළ මිසයිල න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යාමේ අරමුණින් නිෂ්පාදනය නොකරන ලද බව ඉරානයේ තර්කය වී තිබේ.


ධනංජය සූරියබණ්ඩාර